ළඟ තබාගන්න
සතුට හා සැනසුම සොයාගන්න අනිත් අයට අත දෙන්න
1, 2. සේවයේ හමු වෙන සමහර අය ගැන අපි මතක තියාගන්න ඕනේ මොකක්ද?
1 දේශනා සේවයේ යද්දී බයිබලය ගැන එතරම් අවබෝධයක් නැති අයව අපිට හමු වෙනවා. මේ අයට බයිබලයේ තිබෙන දේවල් ගැන යම් පැහැදීමක් ඇති කිරීමට නම් ඔවුන්ට තේරෙන විදිහට අපි කාරණා පැහැදිලි කර දිය යුතුයි.
2 සතුට හා සැනසුම සොයා නමැති සඟරාව ඒ සඳහා ඔවුන්ට ආධාරකයක් වෙයි. (1 තිමෝ. 2:3, 4) නමුත් ඔවුන්ට තවදුරටත් උපකාර අවශ්‍යයි. ඒ සඳහා අපිට මොනවාද කරන්න පුළුවන්? සාමාන්‍යයෙන් කතා කරන ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් පාවිච්චි කරන්න අපිට පුළුවන්.
3. ගෙහිමියා ගැන සැලකිල්ලක් දක්වන බව පෙන්වන්න පුළුවන් කොහොමද?
3 ඔවුන් ගැන සැලකිලිමත් වෙන්න: අපි කතා කරද්දී මිත්‍රශීලී විය යුතු අතර ඔවුන් උනන්දු වන යම් විෂයක් තෝරාගත යුතුයි. එවිට අපි ඔවුන් ගැන සැලකිල්ලක් දක්වන බව ගෙහිමියන්ට දැනෙන අතර ඔවුන්ගේ සිතේ තිබෙන දේ විවෘතව පවසන්නත් ඔවුන් පෙලඹෙයි. උදාහරණයකට, ගෙහිමියා සිටින ප්‍රදේශයේ ස්වාභාවික විපත් ඇති වී තිබෙනවාද? නැත්නම් නිතරම හොර මැරකම් හා කෝලහල ඇති වෙනවාද? එසේත් නැත්නම් එම ප්‍රදේශයේ ජනයාට ආර්ථික දුෂ්කරතා තිබෙනවාද? ගෙහිමියාට හොඳින් සවන් දීමෙන් හා අවට හොඳින් නිරීක්ෂණය කිරීමෙන් ගෙහිමියාගේ සිතේ තිබෙන්නේ මොන වගේ ප්‍රශ්නද කියා දැනගන්න අපිට පුළුවන්.
4. (අ) සාකච්ඡාව ආරම්භ කරන්න පුළුවන් කොහොමද? (ආ) බයිබල් පද, සඟරාවෙන්ම කියවීම ප්‍රයෝජනවත් වන්නේ ඇයි? (ඇ) මෙම යෝජනා ඔබගේ බලප්‍රදේශයට ගැළපෙනවා කියා ඔබ සිතනවාද?
4 සුහදශීලී විදිහට ගෙහිමියා සමඟ කතා කරන්න. ඔහුට හෝ ඔහුගේ පවුලේ අයට බලපා තිබෙන පොදු ප්‍රශ්නයක් ගැන පැවසීමෙන් පසු අපට මෙසේ පැවසිය හැකියි:
“අද ලෝකයේ තියෙන ප්‍රශ්න එන්න එන්නම වැඩි වෙනවා. ඒ ප්‍රශ්න අපිටයි අපේ පවුලේ අයටයි බලපාන කොට ඒවාට කොහොම මුහුණ දෙන්නද කියලා අපි කල්පනා කරනවා. ඔයාටත් එහෙම හිතිලා තියෙනවාද?”
තවත් යෝජනාවක්:
“මම කතා කරපු හුඟක් අය නං කිව්වේ දැං මිනිස්සු ඉස්සර වගේ නෙමෙයි කියලා. ඒ අය කියන්නේ ඉස්සර මිනිස්සු අනිත් අයට උදව් කරගෙන එකමුතුවෙන් හිටියා. අනිත් අයට ගෞරවයෙන් කතා කළා. ඒත් දැන්, අල්ලපු ගෙදර කෙනා ඉන්නවද නැද්ද කියලා බලන්නවත් මිනිස්සුන්ට වෙලාවක් නෑ. ඔයා මොකක්ද ඒ ගැන හිතන්නේ?”
ගෙහිමියා පිළිතුරක් දුන් පසු:
“ඒ වගේ ප්‍රශ්නවලට මුහුණ දුන්න යුවළක් ගැන මේ සඟරාවේ තියෙනවා. ඒ දෙන්නා තමයි සංඛයි අනූපමායි. දවසක් එයාලා පැරණි ශුද්ධ පොතක තිබුණ මෙන්න මේ දේ කියවලා පුදුම වුණා. [2 තිමෝති 3:1-5 සඟරාවේ 10වන පිටුවෙන් පෙන්වා කියවන්න.] අද සමාජයෙත් ඉන්නේ මේ වගේ අය නෙමෙයිද? [ගෙහිමියාට පිළිතුරු දීමට ඉඩහරින්න.] මේ වගේ සමාජයක ජීවත් වෙන්න නම් අපිට හොඳ මඟ පෙන්වීම් ඕනේ. ඒ මඟ පෙන්වීම් හොයාගන්න පුළුවන් කොහෙන්ද? මේ සඟරාවේ පෙන්නනවා, අර මම කිව්ව යුවළ මඟ පෙන්වීම් හොයාගත්තේ කොහෙන්ද කියලා. මමත් මේක කියෙව්වා. මේකේ ලස්සන තොරතුරු වගයක් තියෙනවා. ඔයත් කැමතිද මේක කියවලා බලන්න? [සඟරාව දෙන්න.] ඊළඟ පාර මම මේ පැත්තෙන් යන කොට ඔයාව හම්බ වෙන්න එන්නම්. ඔයාට වෙලාවක් තිබ්බොත් ‘සතුට හා සැනසුම හොයාගන්නේ කොහොමද’ කියන එක ගැන ටිකක් කතා කරමු.”
5. නැවත බැලීමක් ඥානවන්තව සැලසුම් කරන්න පුළුවන් කොහොමද?
5 සාකච්ඡාව අවසානයේදී අපේ නමත් අපි ඉන්නේ මේ ළඟපාත බවත් පවසන්න පුළුවන්. ඉන්පසුව ඔහුගේ නම අසන්න. නැවත හමු වීම සඳහා සැලසුම් කරද්දී අපි ඥානවන්ත වෙන්න අවශ්‍යයි. නැවත හමු වීම සඳහා දිනයක් හා වේලාවක් ගෙහිමියාගෙන් අසනවා වෙනුවට ‘ආපහු දවසක හම්බ වෙලා අපි කතා කරමු’ කියා පැවසීම වඩාත් සුදුසු වෙන්න පුළුවන්. ඔහුව නැවත හමු වීම සඳහා දිනයක් හා වේලාවක් අපිටම තීරණය කරන්න පුළුවන්.
6. මුල් වතාවේදීම ගෙහිමියන් සමඟ මිත්‍ර වීම වැදගත් ඇයි?
6 නැවත බැලීම සාර්ථක කරගන්න නම්: සමහර අය මුල් වතාවේදී උනන්දුවෙන් අපිට ඇහුම්කන් දුන්නත් ඔවුන්ව නැවත හමු වීමට ගියාම එතරම් උනන්දුවක් පෙන්වන්නේ නැහැ. ඒ නිසා මුල් වතාවේදීම ඔවුන් සමඟ මිත්‍ර වීමට උත්සාහ කිරීම හුඟක් වැදගත්. ඒ සඳහා ගෙහිමියා මුහුණ දෙන ප්‍රශ්න හෝ ඔහු සැලකිල්ලක් දක්වන දේවල් ගැන උනන්දුවක් දක්වන්න. ඊළඟ වතාවේ ගෙහිමියාව හමු වීමට යද්දී ඒදේවල් ගැන සුහදව ටිකක් කතා කරන්න. එවිට ඔහු සමඟ මිත්‍රත්වයක් ගොඩනඟාගෙන, ඔහුට අපහසුතාවක් නොදැනෙන ආකාරයට සාකච්ඡාව දිගටම කරගෙන යන්න අපිට පුළුවන් වෙනවා. ඒ සඳහා මුල් හමු වීමේදීම අපිට මොනවාද කරන්න පුළුවන්?
7. අපිට ලියාගන්න පුළුවන් තොරතුරු මොනවාද? නැවත හමු වීම් සාර්ථක කරගන්න මෙය උපකාරවත් වෙන්නේ කොහොමද?
7 තොරතුරු ලියාගන්න: ගෙහිමියාගේ තොරතුරු මතක තබාගෙන අපි ඒවා ලියාගන්නවා නම් එක් එක් ගෙහිමියාගේ පසුබිම මොන වගේද කියා අපි දන්නවා. එවිට නැවත ඔහුව හමු වෙන්න යද්දී එම තොරතුරු පාවිච්චි කර ගෙහිමියා ගැන අපි සැලකිල්ලක් දක්වන බව පෙන්වන්න පුළුවන්. ගෙහිමියා ගැන සැලකිල්ල දැක්වීම සඳහා උපකාරවත් වෙන තොරතුරු මොනවාද? උදාහරණයකට ගෙහිමියා හෝ ඔහුගේ පවුලේ කෙනෙක් අසනීප වී සිටිනවාද? ඔහු ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටිනවාද? එසේත් නැත්නම් ඔහු සතුන්ට කැමතිද? සමහර සහෝදරයන් සුරතල් සතුන්ගේ නම් පවා සටහන් කරගන්නවා.
8. අන් අය ගැන සැලකිල්ලක් පෙන්වීමට පිබිදෙව්! සඟරාව පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?
8 පිබිදෙව්! සඟරාව පාවිච්චි කරන්න. තායිලන්තයේ මිෂනාරි සේවය කරන සහෝදරයෙකුට ආර්ථික ප්‍රශ්න ගැන කල්පනා කරන පියෙක්ව හමු වුණා. ඉතිරි කිරීම ගැන පළ වූ පිබිදෙව්! සඟරාව ලැබුණු විට ඔහුව නැවත හමු වී එම සඟරාව දීමට මෙම සහෝදරයා තීරණය කළා. ඔහු කෙරෙහි දැක්වූ සැලකිල්ල ගැන පැහැදීමක් ඇති වූ එම පුද්ගලයා දැන් දිගටම බයිබලයේ ඇති තොරතුරු ඉගෙනගන්නවා. අලුත් සඟරාවක් කියවන සෑම අවස්ථාවකදීම සේවයේදී හමු වුණු අයට එය උපකාරවත් වෙයිද කියා අපිටත් කල්පනා කර බලන්න පුළුවන්. ඒ ඒ පුද්ගලයාට ගැළපෙන්නේ මොන ලිපියද කියා තීරණය කිරීමට, ඔවුන් ගැන ලියාගත් තොරතුරු අපිට උපකාරවත් වෙනවා.
9. මෙම යෝජනාවල ඇති කරුණුවලින් ඔබේ ප්‍රදේශයට සුදුසු වෙන්නේ කුමන කරුණුද?
9 ක්‍රමානුකූලව මිත්‍රත්වය ගොඩනඟාගන්න: සේවයේදී හමු වූ කෙනෙකුව නැවත හමු වීමට යන විට ඔහු කතා කිරීමට අදිමදි කරයි කියා ඔබට සිතෙනවා නම් මෙම ක්‍රමය අත්හදා බලන්න:
“කොහොමද [පුද්ගලයාගේ නම]? මම මේ පැත්තෙන් යන කොට ඔයාව මතක් වුණා. [මුල් හමු වීමේදී ඔහු ඔබට පැවසූ යම් ගැටලුවක් ගැන පවසා සුදුසුයි නම්, දැන් තත්වය කොහොමද කියා අසන්න.] ඒ වගේ ප්‍රශ්නෙකට මුහුණ දෙන එක ලේසි නෑ තමයි. මං මේ සඟරාව කියවද්දී මට ඔයාව මතක් වුණා. මට හිතුණා ඔයා මේක කියවන්න කැමති වෙයි කියලා. [පිබිදෙව්! සඟරාවේ ඔහුට ප්‍රයෝජනවත් ලිපිය පෙරළා දෙන්න.] මම නිතරම මේ පැත්තට එනවා. ආයි එද්දී ඔයාව හම්බ වෙන්න එන්නම්.”
එලෙස මිනිසුන් ගැන සැලකිල්ලක් දක්වද්දී නැවතත් ඔවුන්ව හමු වීමට එය මඟ පාදනවා. ඊළඟ වතාවේදී අපිට මෙහෙම කියන්න පුළුවන්:
“කොහොමද [පුද්ගලයාගේ නම]? අද ඔයාව ටිකක් බලලා යන්න හිතුණා. මට මතකයි ගිය වතාවේ ඔයා කිව්වා [කලින් වතාවේ ඔහු පැවසූ දෙයක් මතක් කරන්න.] කියලා. ඇත්තටම කියනවා නම් හුඟදෙනෙක්ට එහෙම හිතෙනවා. ඔයාට මතකද කලින් වතාවක මම ඔයාට සඟරාවක් දුන්නා. යුවළක් ගැන කතාවක් තිබ්බේ. [තුන්වෙනි පිටුවේ ඇති සංඛ හා අනූපමාට තිබූ ප්‍රශ්න ගැන සඳහන් කරන්න.] සමහරවිට ඔයා ඒක කියෙව්වා නම් ඔයා දකින්න ඇති ඒ දෙන්නට මොකක්ද වුණේ කියලා. [පස්වෙනි පිටුවේ ඇති ඡේද හතර කියවන්න හෝ සාකච්ඡා කරන්න.] හොඳ මඟ පෙන්වීම් තියෙන ඒ පොත තමයි බයිබලය. [හයවෙනි පිටුව පෙරළා එහි ඇති බයිබල් ප්‍රතිපත්ති දෙක තුනකට ඔහුගේ අවධානය යොමු කරන්න. හැමෝම ඒවා පිළිපදිනවා නම් මීට වඩා කොච්චර හොඳ තත්වයක් තියෙයිද කියා ඔහුට පෙන්වා දෙන්න.] මෙතන තියෙන මඟ පෙන්වීම්වලින් වැදගත් කියලා ඔයා හිතන්නේ මොන ඒවද? මේ වගේ හොඳ මඟ පෙන්වීම් බයිබලයේ තියෙන්නේ කොහොමද කියලා සංඛ කල්පනා කරා. සමහරවිට ඔයත් ඒ ගැන කල්පනා කරන්න ඇති. ඒ වගේම බයිබලය මොන වගේ පොතක්ද කියලා දැනගන්නත් ඔයා කැමති ඇති. මම කැමතියි ඊළඟ වතාවේ ආවම ඒ ගැන තොරතුරු ටිකක් ඔයාට කියන්න. [අටවෙනි පිටුවේ සිට දහවෙනි පිටුව දක්වා කියවීම සඳහා ඔහුව උනන්දු කරන්න.]”
10. ගෙහිමියා ප්‍රතිචාරය දක්වන ආකාරය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ ඇයි?
10 කෙනෙක්ව නැවත හමු වෙද්දී කතා කරන්න ඕනේ කොහොමද කියා තීරණය වෙන්නේ ඔහු කලින් වතාවේදී දැක්වූ ප්‍රතිචාරයට අනුවයි. අපි සමඟ කතා කරන්න ඔහු අදිමදි කරනවා නම් ඔහු සැලකිලිමත් වෙන දෙයක් ගැන කෙටියෙන් කතා කරමු. ඒ වගේම ඔහු ගැන සැලකිල්ලක් දක්වන බවත් පෙන්වමු. එවිට අපි ගැන ඔහුට තිබෙන විශ්වාසය ටිකෙන් ටික වැඩි වන අතර ක්‍රමානුකූලව බයිබලය ගැන දැනුමක් ලබා දෙන්නත් අපිට පුළුවන්.
11. සාකච්ඡාවන් සඳහා සතුට හා සැනසුම සොයා නමැති සඟරාව පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?
11 කෙනෙක් සමඟ දිගටම සාකච්ඡාවක් කරගෙන යන්න සතුට හා සැනසුම සොයා නමැති සඟරාව ප්‍රයෝජනවත් වන අතර බයිබලයේ ඉගැන්වීම් පොතෙන් බයිබල් පාඩමක් පටන්ගන්නත් එය අඩිතාලමක් සපයනවා. එක් වතාවකදී එක පාඩමක් හෝ පාඩමකින් කොටසක් කිරීමට අපිට හැකියි. පාඩම සම්පූර්ණයෙන් කියවා එය සාකච්ඡා කරනවාද නැත්නම් ඔහුට ගැළපෙන ඡේද පමණක් කියවා සාකච්ඡා කරනවාද යන්න ගෙහිමියාගේ තත්වයට අනුව අප තීරණය කළ යුතුයි. සාකච්ඡාවේදී අවධාරණය කරන්න ඕනේ මොන කරුණුද කියා දැනගන්නත් සාකච්ඡා කළ කොටස නැවත මතක් කරගන්නත් පුනරීක්ෂන ප්‍රශ්න උපකාරවත් වෙනවා.
12. මෙම සඟරාව ඉදිරිපත් කරන විදිහ ගැන පුහුණු වෙන්න අපිට මොනවාද කරන්න පුළුවන්?
12 මෙම සඟරාව ඉදිරිපත් කරන විදිහ අපේ පවුලේ අය සමඟ හෝ මිතුරන් සමඟ පෙරහුර කරන්න පුළුවන්. පවුලේ නමස්කාරයේදී මෙම සඟරාව සේවයේ ඉදිරිපත් කරන ආකාරය පුහුණු වෙන්න ඔබට සැලසුම් කරන්න පුළුවන්ද?
13. බයිබලයේ ඇති පණිවිඩයේ නියම අර්ථය වටහාගන්න උපකාර කරන්න අපිට පුළුවන් කොහොමද?
13 වපුරන්නාගේ උපමාවෙන් එක් එක් තැන්වල වැටුණු බීජ ගැන යේසුස් පැවසුවා. සරු පසේ වැටුණු බීජ යේසුස් සමාන කළේ පණිවිඩයට සවන් දී එහි ‘නියම අර්ථය වටහාගත්’ අයටයි. (මතෙ. 13:23) සේවයේදී හමු වන අයට බයිබලයේ ඇති පණිවිඩයේ නියම අර්ථය වටහා දීමට නම් ඒ එක් එක් පුද්ගලයාගේ තත්වයන් අපි තේරුම්ගත යුතු අතර ඉවසීමෙන්, ඔවුන්ට තේරුම්ගත හැකි ආකාරයෙන් ඉගැන්විය යුතුයි.
14. අපි මතක තබාගන්න ඕනේ මොකක්ද?
14 සේවයේදී හමු වන අය ගැන සැලකිලිමත් වීමෙන් හා ඔවුන් සමඟ මිත්‍රශීලී වීමෙන් ඔවුන්ව දිනාගන්න අපිට පුළුවන්. නමුත් අපි එක දෙයක් මතක තබාගන්න අවශ්‍යයි. එනම් ඔවුන්ව හමු වී සුහදව කතා කළත් සාමාන්‍ය දේවල් ගැන පමණක් කතා කරකර සිටීමෙන් වැළකීමට අපි වගබලා ගත යුතුයි. මන්ද අපේ අරමුණ ඔවුන්ව ක්‍රමක්‍රමයෙන් දෙවිගේ රාජ්‍ය පිළිබඳ පණිවිඩයට යොමු කිරීමයි. එය කිරීම සඳහා යෙහෝවා දෙවි අපට ආදර්ශයක් සපයනවා.—යෙසා. 30:21.
15. යාච්ඤාවේදී කුමන නිශ්චිත දේවල් සඳහන් කරන්න පුළුවන්ද?
15 දෙවිගේ උපකාරය ඉල්ලන්න: සත්‍ය පිළිබඳ අවංක උනන්දුවක් තිබෙන අයව අපි සොයන්නේ තනියම නෙවෙයි. එයට යෙහෝවා දෙවිත් හවුල් වෙනවා. (1 කොරි. 3:8, 9) ඒ නිසා අපේ සේවය සාර්ථක කරගන්න යෙහෝවා දෙවිගේ උපකාරය ඉල්ලන්න පුළුවන්. උදාහරණයකට සේවේදී හමු වූ අය ගැන සඳහන් කර යාච්ඤා කිරීම ඔවුන්ට ප්‍රයෝජනවත් වෙයි. එසේ කරද්දී නිශ්චිත දේවල් ගැන යාච්ඤා කරන්න අපිට පුළුවන්. ඔවුන්ගේ නම් සඳහන් කරමින් සත්‍ය පිළිගැනීමට ඔවුන් තුළ ආශාවක් ඇති කරන්න කියාත් අපිට යාච්ඤා කරන්න පුළුවන්. (ක්‍රියා 16:14) අපි ඔවුන්ව හමු වීමට නැවත යන විට භයක් සැකක් නැතුව අපිට සවන් දෙන්න කියාත්, තේරුම්ගන්න අමාරු දේවල් ඔවුන්ට තේරුම්ගන්න උපකාර කරන්න කියාත් අපිට යාච්ඤා කරන්න පුළුවන්. ඒ වගේම ඔවුන් සමඟ කතා කරද්දී ඥානවන්තව කතා කරන්න අපිට උපකාර කරන්න කියාත් යාච්ඤා කරන්න පුළුවන්.
16. යෙහෝවා දෙවිට ප්‍රශංසා ගෙන දෙන්න පුළුවන් ක්‍රම මොනවාද?
16 අපේ පණිවිඩයට මිනිසුන් ඇහුම්කන් දුන්නත් නැතත් දේශනා කිරීමට හවුල් වීමෙන් අපි ප්‍රසිද්ධියේ යෙහෝවා දෙවිට ප්‍රශංසා කරනවා. (හෙබ්‍රෙ. 13:15; යෙසා. 43:21) නමුත් අපේ පණිවිඩය කෙනෙක්ට තේරුම්ගන්න පුළුවන් විදිහට පැහැදිලි කර දී පසුව ඔහු යෙහෝවා දෙවිට ප්‍රේම කරන්න පටන්ගන්න විට එමගින් යෙහෝවා දෙවිට මොන තරම් ප්‍රශංසාවක් ලැබෙනවාද! එලෙස යෙහෝවා දෙවිට ප්‍රශංසා ගෙන දීමට අපි සියලුදෙනාම උත්සාහ කරමු!
[5වන පිටුවේ පින්තූරය]
දේශනා කරන ක්‍රමය වෙනස් කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන යොහන් 21:3-7න් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?