හොඳ ගුරුවරයෙකුට අත්‍යවශ්‍යම ගුණාංගය
1. හොඳ ගුරුවරයෙකු සතුව තිබිය යුතු ගුණාංගය කුමක්ද?
1 හොඳ ගුරුවරයෙක් වීමට අවශ්‍ය වන්නේ කුමක්ද? උසස් අධ්‍යාපනයක්වත් සැබෑ නමස්කාරය තුළ ලබා ඇති අද්දැකීම්වත් කුසලතාවත් නොව ප්‍රේමයයි. නීතිය පිළිපැදීමට අවශ්‍ය වන්නෙත් යේසුස්ගේ අනුගාමිකයන්ව හඳුනාගැනීමේ ලකුණ වන්නෙත් යෙහෝවා දෙවිගේ ප්‍රධාන ගතිලක්ෂණයක් වන්නෙත් එයයි. (යොහ. 13:35; ගලා. 5:14; 1 යොහ. 4:8) ඒ නිසා හොඳ ගුරුවරයෙකුගේ සෑම ක්‍රියාවකින්ම ප්‍රේමය පිළිබිඹු වෙයි.
2. ජනයා කෙරෙහි ප්‍රේමයක් වර්ධනය කරගැනීම අවශ්‍ය වන්නේ ඇයි?
2 අන් අයට ප්‍රේම කරන්න: උතුම් ගුරුවරයා වන යේසුස්ට මිනිසුන් කෙරෙහි ඉමහත් ප්‍රේමයක් තිබුණා. ජනයා ඔහුට ඇහුම්කන් දුන්නේ ඒ නිසයි. (ලූක් 5:12, 13; යොහ. 13:1; 15:13) අපිටත් ජනයා කෙරෙහි ප්‍රේමයක් තිබෙනවා නම් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ලැබෙන සෑම අවස්ථාවකින්ම අප උපරිම ප්‍රයෝජන ගන්නවා. කුමන බාධක පැමිණියත් අප අධෛර්යය වෙන්නේ නැහැ. ජනයාගේ කනස්සල්ලට හේතු වී තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකි වන ලෙස ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ අප ඔවුන් කෙරෙහි සැලකිලිමත් නිසයි. ඒ වගේම බයිබල් පාඩම කිරීමට පමණක් නොව කල් ඇතුව ඊට සූදානම් වීමටද අපි කාලය වැය කරනවා.
3. බයිබලයේ ඇති සත්‍යයන් අගය කිරීම අපට සේවය කිරීම සඳහා උපකාරයක් වන්නේ කෙසේද?
3 බයිබලයේ ඇති සත්‍යයන් අගය කරන්න: බයිබලයේ ඇති සත්‍යයන් යේසුස් ඉතා අගය කළ අතර ඔහු ඒවා සැලකුවේ වටිනා වස්තුවක් ලෙසයි. (මතෙ. 13:52) ඔහු මෙන් අපත් එය අගය කරනවා නම් උද්යෝගයෙන් ඒ ගැන කතා කරනවා. එවිට ඊට සවන් දීමට අන් අය තුළද ලොකු පෙලඹීමක් ඇති වෙයි. සේවය කිරීමට තිබෙන බාධා ගැන සිතනවා වෙනුවට ශුභාරංචිය තුළින් මිනිසාට ලැබෙන ප්‍රයෝජන ගැන සිතීමට අපව පොලඹවන්නේද බයිබලයේ ඇති සත්‍යයන් කෙරෙහි අප තුළ තිබෙන අගයයි.
4. ප්‍රේමය වර්ධනය කරගත හැක්කේ කෙසේද?
4 ප්‍රේමය වර්ධනය කරගන්න: යෙහෝවා දෙවි සහ යේසුස් ප්‍රේමය පෙන්වා ඇති ආකාරය සහ අද සමාජයේ මිනිසුන් සිටින තත්වය ගැන කල්පනා කිරීම තුළින් අපට ජනයා කෙරෙහි ප්‍රේමය වර්ධනය කරගත හැකියි. (මාක් 6:34; 1 යොහ. 4:10, 11) නොකඩවා පෞද්ගලික අධ්‍යයනය කිරීමෙන් හා ඒ තොරතුරු ගැන ගැඹුරින් සිතා බැලීමෙන්ද එය කළ හැකියි. ප්‍රේමය, දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් කෙනෙකු තුළ ඇති වන ගුණාංගයක්. (ගලා. 5:22) ඒ නිසා දෙවිගේ බලය ඉල්ලා අපට යාච්ඤා කළ හැකියි. (ලූක් 11:13; 1 යොහ. 5:14) අප තුළ ප්‍රේමය තිබෙනවා නම් අපේ අධ්‍යාපන මට්ටම කුමක් වුවත්, සැබෑ නමස්කාරය තුළ බොහෝ අද්දැකීම් ලබා තිබුණත් නැතත් සහජ කුසලතාවන් තිබුණත් නැතත් අපට හොඳ ගුරුවරයෙක් වෙන්න පුළුවන්.