නව ලොව පරිවර්තනයෙන් උපරිම ප්‍රයෝජන ගන්න
පසුගිය දෙසැම්බර් මාසයේ පැවැත්වූ දිස්ත්‍රික් සමුළුවේදී අපට ලැබුණේ මොන තරම් වටිනා තෑග්ගක්ද! සිංහල භාෂාවෙන් ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය ලැබෙන තුරු බොහෝ කාලයක් පුරා අප බලා සිටියා. මේ ලිපිය සලකා බලද්දී නව ලොව පරිවර්තනය කෙරෙහි ඔබේ අගය තවත් වැඩි වන අතර දේවසේවයේදීත් පෞද්ගලික අධ්‍යයනයේදීත් වඩා හොඳින් එය භාවිත කරන්න මේ තොරතුරු ඔබට උපකාරවත් වෙයි. අපට මෙම වටිනා ප්රකාශනය තිබෙන නිසා එහි ඇති සියලුම අංග හොඳින් ප්‍රයෝජනයට ගැනීමට අපි අදිටන් කරගනිමු.
• පිටුවල සාරාංශය: මේවා සෑම පිටුවකම පාහේ ඉහළින් තිබෙන අතර බයිබල් වාර්තා සොයාගැනීමට එය පහසුවක්. අප සේවයේ යද්දී බයිබල් පදයක් තිබෙන තැන මතක නැත්නම් එය සොයාගන්න එම සාරාංශය උපකාරයක්. උදාහරණයකට, යේසුස්ගේ පැමිණ සිටීම ගැන තිබෙන බයිබල් පදය සොයාගැනීමට අවශ්‍යයි කියා සිතන්න. අපි මතෙව් පොත පිටුවෙන් පිටුව පෙරළද්දී 1530වන පිටුවේ ඉහළින් ඇති “ක්‍රිස්තුස් පැමිණ සිටින කාලයට ලකුණ” නමැති සාරාංශය දකින්න ලැබෙයි. සමහර අවස්ථාවල සාරාංශ දෙකක් දකින්න ලැබෙනවා. ඒවා නැවතීමේ තිතකින් හෝ කොමාවකින් වෙන් කර තිබෙනවා. ඉන් අදහස් කරන්නේ එම පිටුවේ ප්‍රධාන සිද්ධීන් දෙකක් ගැන සඳහන් වන බවයි. ඊට නිදසුනක් සඳහා බයිබලයේ 16වන පිටුව බලන්න. “මිනිසුන්ගේ දුෂ්ටකම. නෝවා නැවක් සාදයි” ලෙස එහි දැක්වෙනවා.
• යොමු දැක්වීම්: සෑම පිටුවකම මැද තීරුවේ බයිබල් පද ලැයිස්තුවක් තිබෙනවා ඔබ දැක ඇති. ඒ වගේම බයිබල් පදවල සමහර වචනවලට පසුව කුඩා අංක තිබෙනවාත් ඔබ දකියි. එම අංකවලට සමාන අංක මැද තීරුවේ හෝ පිටුවේ පහළ දකුණු කෙළවරේ දක්වා තිබෙනවා. එම අංකයෙන් යොමු දක්වන්නේ අප කියවමින් සිටින වාර්තාවට සමාන අදහසක් හෝ සිද්ධියක් විස්තර කරන තවත් බයිබල් පදයකටයි. නැත්නම් අප කියවමින් සිටින පුද්ගලයා හෝ ස්ථානය ගැන තොරතුරු අඩංගු තවත් පදයකටයි. අප කියවන්නේ බයිබල් අනාවැකියක් ගැන නම් එහි ඇති අංකයෙන් යොමු දක්වන්නේ එය ඉටු වූ ආකාරය විස්තර කරන බයිබල් පදයකට විය හැකියි. සමහර අවස්ථාවලදී ග්‍රීක ලියවිල්ලේ ලේඛකයන් හෙබ්‍රෙව් ලියවිල්ලෙන් කෙළින්ම උපුටාගත් අවස්ථා තිබෙනවා. ඔවුන් උපුටාගත්තේ කොතැනින්ද කියා මැද තීරුවේ ඇති යොමු දැක්වීම්වලින් සොයාගන්න පුළුවන්. නිදසුනකට, මතෙව් 12:7හි යේසුස් මෙසේ පැවසුවා. “‘මට වටින්නේ දයාව මිස පූජාව නොවෙයි’ යන කියමනේ නියම අර්ථය ඔබ තේරුම්ගෙන සිටියා නම් ඔබ නිදොස් අය පිට වරද තබන්නේ නැහැ.” එහි සඳහන් “නොවෙයි” යන වචනයට පසුව අංක 12 කුඩාවට දක්වා ඇති බව දුටුවාද? දැන් එම අංකය මැද තීරුවේ “12 පරි.” යටතේ බලන්න. එහි අංක 12 යටතේ ‘හොෂෙ 6:6’ ඔබ දකියි. “මට වටින්නේ දයාව මිස පූජාව නොවෙයි” යන කියමන යේසුස් උපුටාගත්තේ කොතැනින්ද කියා දැන් ඔබ දන්නවා.
• පාදසටහන්: සමහර වචන අසල තිබෙන කුඩා සංකේතවලින් යොමු දක්වන්නේ පිටුව පහළින් ඇති අමතර තොරතුරුයි. “ගෙහෙන්නාව,” “අනාචාරය” හා “වේශ්‍යාකම” වැනි යෙදුම් ගැන විස්තර කරන පාදසටහන් මගින් බයිබලයේ එම වචන භාවිත කර ඇති ආකාරය තේරුම්ගැනීමට පාඨකයාට උපකාර කරනවා. මුල් භාෂාවේ පුළුල් අර්ථයක් දුන් යෙදුම්වල මූලික අර්ථය මෙන්ම විකල්ප යෙදුම්ද පාදසටහන්වල දක්වා තිබෙනවා. බයිබලය ලියූ කාලවල සිටි මිනිසුන් භාවිත කළ යෙදුම් සමහර පාදසටහන්වල විස්තර කර තිබෙනවා. එදා භාවිත කළ මුදල් හා මිනුම් ක්‍රම, නවීන අගයන්ගෙන් විස්තර කරන පාදසටහන්ද තිබෙනවා. එමෙන්ම වැඩි විස්තර තිබෙන උපග්රන්ථවලටද එම පාදසටහන් පාඨකයාව යොමු කරනවා.
හෙබ්‍රෙව් හා ග්‍රීක භාෂාවලට ආවේනික අලංකාර යෙදුම් එයාකාරයෙන්ම ඉදිරිපත් කිරීම සඳහා පාදසටහන්වල ඒවා බොහෝවිට එලෙසම විස්තර කර තිබෙනවා. නිදසුනකට, එළිදරව් 14:4හි සඳහන් “නිර්මලය” යන වචනයට පාදසටහනේ දී ඇති විකල්ප වචනය බලන්න. එම පදවල ඇති වචනවල පුළුල් අර්ථ පාදසටහන්වල දක්වා තිබෙනවා. යෝබ් 1:6ත් බලන්න. එහි දෙවෙනි පාදසටහනෙහි “සාතන්” යන වචනය විස්තර කර තිබෙනවා.
එම යොමු දැක්වීම් හා පාදසටහන් හොඳින් පරීක්ෂා කිරීමෙන් බයිබලයේ ඇති පොත් 66 එකට එක සම්බන්ධ වන අයුරු තේරුම්ගන්න පුළුවන්. මෙය දේවවචනය බව ඉන් තේරුම්ගත හැකියි.
• කෙටි යෙදුම්: බයිබලයේ පොත්වල කෙටි යෙදුම් 8වන පිටුවේ දැක්වෙනවා. අමතර කෙටි යෙදුම් 7වන පිටුවේද දකින්න ලැබෙනවා. ඉන් කිහිපයකට නිදසුන් මේවායි. උපග්‍ර. – උපග්‍රන්ථය, මූ.අ. – මූලික අර්ථය, ක්‍රි.පූ. – ක්‍රිස්තු පූර්ව.
• උඩුකොමා: කෙනෙක් පැවසූ දෙයක් පහසුවෙන් හඳුනාගැනීමට නව ලොව පරිවර්තනයේ උඩුකොමා යොදාගෙන තිබෙනවා. අපේ ප්‍රකාශනවලද භාවිත කරන්නේ එම ක්‍රමයමයි. කෙනෙක් යමක් පැවසීමට පටන්ගත් විට එය යුගල උඩුකොමාවකින් (“) ආරම්භ වන අතර පවසන දෙය අවසන් වන්නේද (“) ඒ ආකාරයටමයි. කෙනෙක් යමක් පවසන අතරතුර වෙනත් කෙනෙක් පැවසූ දෙයක්ද ඔහු විසින්ම උපුටා දක්වනවා නම් එය ආරම්භ වන්නේ තනි උඩුකොමාවකින් (‘) වන අතර අවසානයටත් එයම (‘) යෙදෙයි. එවැනි නිදසුනක් සඳහා මාක් 14:27, 28 බලන්න.
• සූචිය: මෙය තිබෙන්නේ බයිබලයේ 1953වන පිටුවෙයි. එහි ලැයිස්තුගත කර තිබෙන ප්‍රධාන විෂයට අදාළ බයිබල් පද සොයාගැනීමට මෙම සූචිය විශාල උපකාරයක්. නිදසුනකට, අපට “යාච්ඤාව” ගැන සඳහන් කරන ප්‍රධාන බයිබල් පද සොයාගැනීමට අවශ්‍ය නම් සූචියේ ඇති යාච්ඤාව යන වචනය යටතේ එම පද සොයාගත හැකියි. “විශ්වාස,” “රාජ්‍යය,” “රුධිරය” හා “සමාව” යන වචනවලට අදාළ පදද එලෙස සොයාගත හැකියි. එම සූචියෙන්ම ඔබට පුද්ගලයන්, නගර හා ස්ථාන පිළිබඳ බයිබල් පදද සොයාගත හැකියි. පිටු අංක 1952හි තිබෙන සූචියේ පටුන මගින් හෝඩියේ පිළිවෙළට අකුරු තිබෙන පිටු අංක සොයාගත හැකියි. නිදසුනකට, ඒසව් ඔහුගේ කුලුඳුල්කම සුළු කිරීම ගැන තිබෙන බයිබල් පදය සොයාගැනීමට ඔබට වුවමනායි කියා සිතන්න. මුලින්ම 1952වන පිටුවට ගොස් ‘ඒ’ තිබෙන්නේ කුමන පිටුවේද කියා බලන්න. එය තිබෙන්නේ 1968වන පිටුවේ බව ඔබ දකියි. ඒසව් යන නම එහි තිබෙන අතර උත්පත්ති 25:34 ඉදිරියෙන් ‘ඒ. කුලුඳුල්කම සුළු කළේය’ කියා සඳහන් වෙනවා ඔබ දකියි. අප සොයන ප්‍රධාන වචනයේ මුල් අකුර තද කළු අකුරෙන් සඳහන් වන බව මතක තබාගන්න. මෙම නිදසුනට අනුව “ඒ” ලෙස දැක්වෙන්නේ ඒසව් යන නමයි. අප සොයන ප්‍රධාන වචනය යටතේ ඊට සම්බන්ධ වෙනත් වචනද තිබෙනවා. “විශ්වාස” යන ප්‍රධාන වචනය යටතේ තිබෙන “විශ්වාසයක් නැති අය,” “විශ්වාසවන්තකම” වැනි යෙදුම් ඊට නිදසුනක් ලෙස දැක්විය හැකියි.
අප මෙම වටිනා සූචිය තවමත් භාවිත කිරීමට පටන්ගෙන නැත්නම් එසේ කිරීමට දැන්ම පටන්ගනිමු. දේවසේවයේදී පමණක් නොව පෞද්ගලික අධ්‍යයනයේදීත් යම් විෂයක් ඔස්සේ පර්යේෂණය කරද්දීත් එය අපට විශාල උපකාරයක්.
• උපග්‍රන්ථය: උපග්‍රන්ථයේ තිබෙන තොරතුරු පිළිබඳ යම් අදහසක් ලබාගැනීමටත් ඒ තොරතුරු තිබෙන තැන සොයාගැනීමටත් 2048වන පිටුවේ තිබෙන උපග්‍රන්ථයේ පටුන ඔබට උපකාරවත් වෙයි. බයිබලයේ මූලික ඉගැන්වීම් කිහිපයක් උපග්‍රන්ථයේ සඳහන් වන බව ඔබ දකීවි. ඊට අමතරව මුදල් හා මිනුම්, බයිබලයේ සඳහන් මාස මෙන්ම ස්ථනවල සිතියම්ද ඊට ඇතුළත්.
මෙහි ඇති තොරතුරු සේවයේදී ප්‍රයෝජනවත් ලෙස යොදාගත හැකි ආකාරය දැන් අපි බලමු. එක්සත් බයිබල් සමාගමේ බයිබලයේ හෝ නව අනුවාදයේ යොහන් 4:24හි සඳහන් වෙන්නේ “දෙවියන් වහන්සේ ආත්මයක්ය” කියායි. නමුත් නව ලොව පරිවර්තනයේ එහි අදහස නිවැරදිව දක්වා තිබෙනවා. එම බයිබල් පදයට අදාළ පාදසටහනේ “නියුමා” යන ග්‍රීක වචනයට යොමු දක්වා තිබෙන අතර එය 2052වන පිටුවේ ඇති “‘ආත්මය’ යන වචනය භාවිත නොකිරීමට හේතු” යන කොටසට අපව යොමු කරනවා. එහි ඉහත බයිබල් පදයට අදාළ හෙබ්‍රෙව් වචනය (රුවා) හා ග්‍රීක වචනය (නියුමා) විවිධාකාරව භාවිත කර ඇති ආකාරය උදාහරණ සහිතව සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව “ආත්මය” නමැති වචනය මුල් හෙබ්‍රෙව් හා ග්‍රීක වචනවල අර්ථයට එකඟ නොවන බව එම උපග්‍රන්ථයේ ඉතා පැහැදිලිව විස්තර කරනවා.
• ප්‍රස්තාර සටහන් හා සිතියම්: බයිබලයේ සඳහන් ස්ථාන, චාරිත්‍ර හා මිනුම් තේරුම්ගැනීමට උපකාරවත් වන ප්‍රස්තාර සටහන් හා සිතියම්ද මෙහි අඩංගුයි. නිදසුනකට, ශුද්ධ කූඩාරම ගැන කියවද්දී 2068 හා 2069 යන පිටුවලට පෙරළා එම කූඩාරමේ විවිධ කොටස් හඳුනාගන්න ඔබට පුළුවන්. ලොකු අකුරු සහිත බයිබලයේ 2078 පිටුවේ ශුද්ධ කූඩාරමේ අමතර බිම් සැලැස්මක් තිබෙන බවත් සැලකිල්ලට ගන්න.
දෙවි සමඟ ඔබේ මිත්‍රත්වය දිගටම පවත්වාගැනීමට ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය උපකාරවත් වෙයි කියා අප විශ්වාස කරනවා. දිනපතාම බයිබලය කියවන්න. එහි ඇති අමතර අංග ප්‍රයෝජනයට ගන්න. ‘සත්‍යය අඩංගු දේවවචනය නිසි ලෙස භාවිත කරමින්’ දිනෙන් දින දෙවිට වඩ වඩාත් ළං වෙන්න!