මම දැන් කරන ප්‍රමාණය ඇතිද?
1. විශ්වාසවන්ත ක්‍රිස්තියානියෙකු කුමක් ගැන දුක් වෙනවා විය හැකිද?
1 ඔබ කවදා හෝ ඒ ප්රශ්නය ගැන කල්පනා කර තිබෙනවාද? මහලු වයස, අසනීප, පවුලේ වගකීම් වැඩි වීම වැනි දේවල් නිසා ඔබට කලින් තරම් දේවසේවයේ හවුල් වෙන්න බැරුව ඇති. ඔබ ඒ ගැන දුක් වෙනවත් ඇති. දරුවන් තුන්දෙනෙක් සිටින සහෝදරියක් ලියා එව්වේ ‘පවුලේ වැඩවලට කාලයයි ශක්තියයි වැඩිපුර යොදවන්න සිද්ධ වෙන හින්දා ඉස්සර වගේ සේවය කරන්න බැහැ. සමහර වෙලාවට ඒ ගැන මගෙ හිත හරියට වද දෙනවා’ කියායි. ඔබටත් එහෙම හැඟෙනවා නම් සමබර විදිහට හිතන්න කුමක් උපකාරවත් වෙයිද?
2. දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද?
2 දෙවි අපෙන් බලාපොරොත්තු වන දෙය: අපි හැමෝම දෙවිට වැඩිපුර සේවයක් කරන්න ආස බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. ඒත් අපි කරන්න ආස දේ හා අපිට ඇත්තටම කරන්න පුළුවන් දේ අතර ලොකු වෙනසක් තිබෙනවා. කොහොමවුණත් වැඩියෙන් සේවය කරන්න ආසාවක් තිබීමෙන් තේරෙන්නේ ‘මම කරනවා හොඳටම ඇති’ කියන වැරදි ආකල්පය අපි තුළ නැති බවයි. අනිත් අතට අපිට කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩියෙන් කිරීම දෙවි අපෙන් බලාපොරොත්තු නොවන බවත් මතක තබාගත යුතුයි. (ගීතා. 103:13, 14) ඔහු අපෙන් බලාපොරොත්තු වෙන්නේ මුළු හදවතින්ම අපි ඔහුට කරන සේවය පමණයි.—කොලො. 3:23.
3. කරන්න පුළුවන් ප්‍රමාණය තීරණය කරන්න කුමක් උපකාරවත් වෙයිද?
3 අපිට ඇත්තටම කරන්න පුළුවන් ප්‍රමාණය කොතරම්ද කියා තීරණය කරන්න කුමක් උපකාරවත් වෙයිද? අපේ සැබෑ තත්වය දකින්න අපිට උපකාර කරන්න කියා දෙවිට යාච්ඤා කරන්න අපිට පුළුවන්. (ගීතා. 26:2) දියුණු විය යුතු පැති භය නැතුව පෙන්වා දෙන, අපිව හොඳින් හඳුනන, විශ්වාසවන්ත හා අවබෝධයෙන් ක්‍රියා කරන මිතුරෙකුගේ උපකාරය පතන්නත් අපිට හැකියි. (හිතෝ. 27:9) අපේ ජීවිතයේ තත්වයන් නිතරම වෙනස් වන නිසා ඒ ගැන විටින් විට සෝදිසි කර බැලීම හොඳයි.—එෆී. 5:10.
4. දේවසේවය සඳහා ලබා දෙන මඟපෙන්වීම් සැලකිය යුත්තේ කොහොමද?
4 සිහිගැන්වීම් සැලකිය යුතු ආකාරය: දිවීමේ තරඟයකදී මඟ දෙපස සිටින අය කෑගසමින් දුවන්නාව දිරිගන්වනවා. එසේ කරන්නේ ඔහුව මානසිකව වට්ටන්න නොව දිනුම් කණුව දක්වා දුවන්න ඔහුට ශක්තිය ලබා දෙන්නයි. ඒ හා සමානව රැස්වීම්වලදී හා ප්‍රකාශන මාර්ගයෙන් ‘නොකඩවා උදාසීන නොවී උද්යෝගයෙන් සේවයේ නිරත වන්න’ කියා බයිබලය මත පදනම් දිරිගැන්වීම් හා සිහිගැන්වීම් ලබා දෙන්නේ අපි කරන ප්‍රමාණය මදියි කියා පැවසීමට නොව අපේම ප්‍රයෝජනය සඳහායි. (2 තිමෝ. 4:2) අපි අපේ උපරිමය කරන්න උත්සාහ කරන තාක් කල් අප පෙන්වූ ‘ප්‍රේමය හා කළ සේවය’ යෙහෝවා දෙවි අමතක නොකරන බව අපට විශ්වාසයි.—හෙබ්‍රෙ. 6:10.