ඔබව නිරීක්ෂණය කිරීමෙන් අන් අය ඉගෙනගන්නේ කුමක්ද?
1. යේසුස්ව නිරීක්ෂණය කිරීමෙන් ඔහුගේ ගෝලයන් ඉගෙනගත්තේ කුමක්ද?
1 “මා ඔබ පිට තබන වියගහ පිළිගෙන මගෙන් ඉගෙනගන්න” කියා යේසුස් පැවසුවා. (මතෙ. 11:29) යේසුස් අන් අයට ඉගැන්නුවේ වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ආදර්ශයක් තැබීමෙනුයි. ඔහුව නිරීක්ෂණය කිරීමෙන් ගෝලයන් ඉගෙනගත් දේ ගැන සිතා බලන්න. ඔහු මෘදු, කාරුණික මෙන්ම ප්‍රේමණීය කෙනෙක් වුණා. (මතෙ. 8:1-3; මාක් 6:30-34) ඔහුගේ යටහත්පහත්කම අව්‍යාජ එකක්. (යොහ. 13:2-5) යේසුස් වෙහෙස මහන්සිය නොබලා දක්ෂ ලෙස අන් අයට සත්‍යය උගන්වන ආකාරය ඔහු සමඟ දේවසේවයේ යෙදෙන විට ගෝලයන් දැක්කා. (ලූක් 8:1; 21:37, 38) අප කරන සේවය නිරීක්ෂණය කරන අයට අප තබන්නේ කුමන ආදර්ශයක්ද?
2. අපේ ආදර්ශය නිවැසියන්ට හොඳ බලපෑමක් වන්නේ කෙසේද?
2 නිවැසියන්: අපි විනීතව අඳින ආකාරය, අපේ හොඳ පුරුදු වගේම අපි ජනයා ගැන දක්වන අවංක උනන්දුව නිවැසියන් දකිද්දී ඔවුන් තුළ අපි ගැන හොඳ හැඟීමක් ඇති වෙනවා. (2 කොරි. 6:3; ෆිලි. 1:27) අපි නිතරම බයිබලය පාවිච්චි කරන ආකාරය ඔවුන් දකිනවා. වෙනත් අයගේ හිත් පැහැදී තිබෙන්නේ අපි ඔවුන්ට හොඳින් සවන් දෙන නිසයි. මෙවැනි පැතිවලින් අප තබන ආදර්ශයෙන් අපේ පණිවිඩයට ජනයාව ඇදගත හැකි බව අමතක කරන්න එපා.
3. අපේ සහෝදරයන්ට අපි හොඳ ආදර්ශයක් වන්නේ කෙසේද?
3 අපේ සහෝදරයන්: අපේ ආදර්ශයෙන් සහෝදරයන් ප්‍රයෝජන ලබන ආකාරය ගැනත් සිතා බලන්න. දේවසේවය සඳහා අප දක්වන උද්යෝගය බෝවෙනසුලුයි. යකඩින් යකඩ මුවහත් වෙනවා. (හිතෝ. 27:17) ඒ හා සමානව අපිත් හොඳින් සූදානම් වී ශුභාරංචිය ඉදිරිපත් කිරීමෙන් අන් අයත් දේශනා කිරීමේ ක්‍රම දියුණු කරගන්න පෙලඹෙනවා. උනන්දුවක් දක්වන අය ගැන නිවැරදි වාර්තාවක් තබාගෙන ප්‍රමාද නොවී ඔවුන්ව නැවත හමු වෙන්න යනවා නම් අන් අයත් එලෙසම කරන්න පෙලඹෙයි. දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කිරීමෙන් සෙසු සහෝදර සහෝදරියන්වත් ඒ සඳහා පොලඹවමු.—2 තිමෝ. 4:5.
4. අපේ ආදර්ශය ගැන අපි නිතර නිතර සෝදිසි කර බැලිය යුත්තේ ඇයි?
4 අපි කරන කියන දේ අනික් අයට බලපාන්නේ කොහොමද කියා නිතර නිතර සෝදිසි කර බලමු. අපේ හොඳ හැසිරීම ගැන යෙහෝවා දෙවි සතුටු වෙනවා. එමෙන්ම පාවුල්ට හැඟුණු ආකාරයටම අපිටත් හැඟෙන බව නිසැකයි. ඔහු පැවසුවේ “මා ක්‍රිස්තුස්ව අනුකරණය කරන ආකාරයටම ඔබත් මාව අනුකරණය කරන්න” කියායි.—1 කොරි. 11:1.