බයිබලයට හුරු වෙන්න
1. බයිබලය මෙතරම් වටින්නේ ඇයි?
1 බයිබලය දක්ෂ ලෙස යොදාගන්නා විට සත්‍යය පැහැදිලිව ප්‍රකාශ කිරීමට හා ඉගැන්වීමට හැකි වෙනවා. ඒ වගේම බොරු ඉගැන්වීම් හා මිනිසුන්ගේ සම්ප්‍රදායන් හෙළි කිරීමටත් හැකි වෙනවා.—2 තිමෝ. 2:15; 1 පේතෘ. 3:15.
2. බයිබල් පද තිබෙන තැන් මතක තබාගන්න උපකාර වන්නේ කුමක්ද?
2 බයිබලය පෙරළන්න: යම් උපකරණයක් අතට හුරු වෙන්නේ එය පාවිච්චි කරන තරමටයි. බයිබලයත් ඒ හා සමානයි. බයිබලයේ මුල සිට අග දක්වාම කියවීමෙන් එහි තේමාව ගැන සමස්ත අදහසක් ගන්න පුළුවන්. එසේ කියවීම බයිබල් පද හොඳින් මතක තබාගන්නත් පහසුවෙන්ම ඒවා සොයාගන්නත් උපකාරයක්. බයිබල් පද තිබෙන තැන් මතකයේ තිබෙනවා නම් ගෙයින් ගෙට සේවයේ මෙන්ම අවිධිමත් සේවයේ යෙදෙන විට ස්ථිර විශ්වාසයකින් හා උද්‍යෝගයෙන් කතා කරන්න හැකි වෙනවා.—1 තෙස. 1:5.
3, 4. (අ) බයිබලයට හුරු විය හැකි සමහර ක්‍රම මොනවාද? (ආ) බයිබල් පද මතකයේ තබාගැනීමට ඔබ වෙනත් ක්‍රම අත් හදා බලා තිබෙනවාද?
3 සභා රැස්වීම්වලදී බයිබලය පෙරළා බැලීම පුරුද්දක් කරගන්න. පෞද්ගලික අධ්‍යයනයේ යෙදෙන විට හා සභා රැස්වීම්වලට සූදානම් වන විට සෑම බයිබල් පදයක්ම බලා ඒවා අදාළ වන ආකාරයත් කල්පනා කර බලන්න. පරිගණකයකින් හෝ මුද්‍රිත කොළවලින් කියවනවාට වඩා බයිබලයෙන්ම කියවීම මගින් දේවසේවයේ යෙදෙන විට පහසුවෙන් බයිබල් පද සොයාගැනීමට හැකි බව බොහෝදෙනාට වැටහී තිබෙනවා.—යොහ. 14:26.
4 සමහර පවුල් බයිබල් පද කටපාඩම් කරගැනීමට කාලයක් වෙන් කර තිබෙනවා. ඔවුන් බයිබල් පදයක් කාඩ් එකක හෝ කොළ කෑල්ලක එක පැත්තක ලියා එහි අනිත් පැත්තේ එම පදය තිබෙන ස්ථානය සටහන් කරනවා. ඉන්පසු මේවා උපයෝගි කරගෙන බයිබල් පද මතක් කරගැනීමට හෝ සොයාගැනීමට ඔවුන් උත්සාහ කරනවා. බයිබලය උපයෝගී කරගෙන සේවයේදී පැවසීමට අවශ්‍ය දේවල් සොයාගැනීමෙන් හා ප්‍රශ්නයකට පිළිතුරක් දෙන ආකාරය පුහුණු වීමෙන් බයිබලය දක්ෂ ලෙස පාවිච්චි කරන්න පුළුවන් වෙනවා.
5. බයිබලය දක්ෂ ලෙස යොදාගැනීම වැදගත් වෙන්නේ ඇයි?
5 බයිබලය තරම්ම වටිනා වෙන කිසිම පොතක් නැහැ. ‘ගැලවීම ලබාගැනීම සඳහා [ජනයාව] නැණවත්’ කරන්න හැකි එකම පොත එයයි. (2 තිමෝ. 3:15) අද සිටින වැඩිදෙනෙක් බයිබලයේ තිබෙන වටිනාකම නොදන්නා නිසා එහි ඇති දේ ඔවුන්ට පෙන්වීමට අපි දක්ෂ වීම ඉතා වැදගත්.—හිතෝ. 2:1-5.