බයිබල් සාකච්ඡාවන් ආරම්භ කිරීමට කදිම මෙවලමක්
1. පාවුල් හා යේසුස් අන් අයට ඉගැන්වූයේ කෙසේද?
1 පාවුල් ‘ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන තර්කානුකූලව’ කාරණා පහදා දීමට වෑයම් කළා. (ක්රියා 17:2, 3; 18:19) එසේ කිරීමෙන් ඔහු අනුකරණය කළේ යේසුස්වයි. යේසුස් ඔහුට සවන් දුන් අයට දෙවිගේ කැමැත්ත හොඳින් තේරුම්ගැනීමට හැකි වන පරිදි බොහෝ අවස්ථාවලදී ශුද්ධ ලියවිල්ලෙන් කරුණු ගෙනහැර දැක්වූවා. එමෙන්ම උපමාද යොදාගත්තා. (මතෙ. 12:1-12) බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු නමැති පොත් පිංචය සකස් කර තිබෙන්නේ පාවුල් හා යේසුස් මෙන් අන් අයට ඉගැන්වීමට අපට උපකාර කිරීම සඳහායි.
2. බලපෑමෙන් යුත් හැඳින්වීම් සූදානම් කරගැනීම සඳහා බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු නමැති පොත් පිංචය යොදාගත හැක්කේ කෙසේද?
2 බලපෑමෙන් යුත් හැඳින්වීම් සූදානම් වෙමු: බයිබලය ගැන තවත් දැනගැනීමට ආශාවක් ඇති කරන ආකාරයේ හැඳින්වීම් රැසක් බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු නමැති පොත් පිංචයේ තිබෙනවා. විවිධ හැඳින්වීම් කිහිපයක් සූදානම් වී ඒවා අත්හදා බැලීමෙන් ඔබේ සේවයට විවිධත්වයක් එකතු වෙනවා පමණක් නොව තැනට ගැළපෙන ආකාරයෙන් සාර්ථක සාකච්ඡා ආරම්භ කිරීමටද හැකි වෙයි. නිතර නිතර සේවය කරන ප්රදේශවල සිටින ප්රචාරකයන්ට එය විශේෂයෙන්ම ප්රයෝජනදායකයි. දුරකථනයෙන් සාක්ෂි දරන විට හෝ ගේට්ටු කණුවේ සවි කර ඇති දුරකථනයකින් නිවසේ සිටින අයට කතා කරන විට එම පොත් පිංචයේ ඇති හැඳින්වීම් එහි සඳහන් ආකාරයටම කියවිය හැකියි.
3. මෙම පොත් පිංචයේ 8-16 දක්වා පිටුවල තිබෙන්නේ දේවසේවයට ප්රයෝජනවත් කුමන තොරතුරුද?
3 සංවාදයට බාධා කරන්නන්ට ප්රතිචාරය දැක්වීම: අප සේවයේ හවුල් වන විට සංවාදයට බාධා කරන්නන් හමු වෙනවා. එමනිසා සේවයේ යෑමට කලින් මෙම පොත් පිංචයේ 8-13 දක්වා පිටුවල තිබෙන කරුණු සලකා බැලීමට ටික වේලාවක් ගැනීම හොඳයි. සේවයේ යන විට බෞද්ධ, හින්දු හා මුස්ලිම් අයවත් හමු වෙනවා. එවැනි අවස්ථාවලදී 13-16 දක්වා පිටුවල තොරතුරු ප්රයෝජනවත් වේවි.
4. මෙම පොත් පිංචයේ හැඳින්වීම් හොඳින් සූදානම් වීම වැදගත් වන්නේ ඇයි?
4 හොඳින් සූදානම් වී ප්රයෝජන ගනිමු: මෙම පොත් පිංචයේ තිබෙන කරුණු ගැන හොඳින් දැනුවත් වීමට කාලය ගනිමු. එහි හැඳින්වීම් හොඳින් සූදානම් වීමෙන් ඕනෑම තත්වයකට ගැළපෙන ආකාරයට ශුභාරංචිය ඉදිරිපත් කිරීමට අපට හැකි වෙයි. පවුලේ පාඩමෙන් පසු හෝ වෙනත් අවස්ථාවකදී එහි සඳහන් හැඳින්වීම් පෙරහුරු කිරීමට විනාඩි කිහිපයක් වැය කිරීමට ඔබට හැකියි. එසේ කර තිබෙන විට ඔබ සේවයේ හවුල් වෙද්දී විශ්වාසයෙන් යුතුව එම හැඳින්වීම් යොදාගැනීමට ඔබට හැකි වෙයි. එමනිසා මෙම පොත් පිංචය හොඳින් භාවිත කිරීම වැදගත්.
5. මෙම පොත් පිංචය ළඟ තබාගැනීමෙන් ලැබෙන වෙනත් ප්රයෝජන මොනවාද?
5 වෙනත් ප්රයෝජන: සමහරුන් බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු නමැති පොත් පිංචය දේවසේවයේ පමණක් නොව රැකියාවට හා පාසැල් යන විටද රැගෙන යනවා. ඒ නිසා අවිධිමත්ව සාක්ෂි දැරීමට ප්රස්තා උදා වන විට එය හොඳින් යොදාගන්න ඔවුන්ට හැකි වී තිබෙනවා. ක්ෂේත්ර සේවය සඳහා රැස්වීම් පවත්වන අයටද උපකාරවත් වන තොරතුරු මෙහි අඩංගු වෙනවා.
6. අන් අයට සාක්ෂි දරන විට අපේ අරමුණ වන්නේ කුමක්ද?
6 අපි යම් කෙනෙකුට සාක්ෂි දරන විට අපේ අරමුණ වන්නේ තර්ක කර ඔවුන්ව පරාජය කිරීමවත් නිකම්ම තොරතුරු ඉදිරිපත් කිරීමවත් නොවෙයි. අපි වෑයම් කරන්නේ බයිබලය යොදාගෙන තර්කානුකූලව කරුණු පහදා දීමටයි. බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු නමැති පොත් පිංචය අප හොඳින් භාවිත කිරීමෙන් පෙන්වන්නේ අප උගන්වන දේ ගැන අප නිතරම සැලකිලිමත් වන බවයි.—1 තිමෝ. 4:16.