දේශනා සේවයේදී විඳදරාගනිමු
1 වසර 30කට වැඩි කාලයක් පුරා දේශනා සේවය ඔහුගේ ජීවිතයේ ප්‍රධානම කාර්යය කරගත් පාවුල් ඉන් මහත් තෘප්තියක් අද්දැක්කා. එහිදී ඔහුට බොහෝ දුෂ්කරතාවලට මුහුණ දීමටත් සිදු වුණා. (2 කොරි. 11:23-29) නමුත් ඔහු දේශනා කිරීම අත්හැරියේ නැහැ. (2 කොරි. 4:1) විඳදරාගනිමින් දේවසේවයේ හවුල් වීම සඳහා අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන් බව ඔහු තේරුම්ගත්තා. (ෆිලි. 4:13) විඳදරාගැනීම පිළිබඳ තම ආදර්ශය සැලකිල්ලට ගනිමින් මෙසේ පැවසීමට ඔහුට හැකි වුණා. “මා ක්‍රිස්තුස්ව අනුකරණය කරන්නාක් මෙන් ඔබ මාව අනුකරණය කරන්න.”—1 කොරි. 11:1.
2 මේ කාලයේදී පීඩා විඳදරාගැනීම: සෑම දවසකම අපේ සහෝදර සහෝදරියන් තම පවුලේ සාමාජිකයන්ගේ, රැකියා ස්ථානයේ අයගේ හෝ පාසැල් සිසුන්ගේ සමච්චල් කිරීම්වලට, විරුද්ධවාදිකම්වලට ලක් වෙනවා. සමහරුන්ට ශුභාරංචිය ගැන කිසිම උනන්දුවක් නැහැ. (මතෙ. 10:35; යොහ. 15:20) සමහරවිට ඔබත් එවැනි දේවල් අද්දකින කෙනෙක් විය හැකියි. සමහරවිට ඔබ අසනීපයකින් වේදනා විඳිනවා වෙන්නත් පුළුවන්. එසේ නැත්නම් ඔබේ ඇදහිල්ල හා විඳදරාගැනීම පරීක්ෂණයට ලක් වන අවස්ථාවලට සෑම දවසකම මුහුණ දීමට සිදු වෙනවා විය හැකියි. එවැනි තත්වයන් යටතේ විඳදරාගැනීමට ඔබට උපකාරවත් වන්නේ කුමක්ද? දුෂ්කරතාවලට සාර්ථකව මුහුණ දුන් පුරාණ කාලයේ සිටි ඇදහිලිවන්තයන්ගේ හා මේ කාලයේ සිටින එවැනි සහෝදර සහෝදරියන්ගේ ආදර්ශය ගැන සිතා බැලීමයි.—1 පේතෘ. 5:9.
3 ‘දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගැනීම’ මගින් දේවසේවයේදී අද්දකින බාධාවන් හමුවේ විඳදරාගැනීමට ශක්තිය ලැබෙනවා. (එෆී. 6:10-13, 15) විඳදරාගැනීමට අත්‍යවශ්‍ය තවත් දෙයක් නම් යාච්ඤාවයි. එමෙන්ම පීඩා විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය දෙවි ඔහුගේ බලය මාර්ගයෙන්ද ලබා දෙනවා. (2 කොරි. 6:4-7) අප සාතන්ට හා ඔහුගේ දුෂ්ට ලෝකයට එරෙහිව කරන සටනින් ජය ගැනීමට නම් අපේ ශක්තිය නිතර අලුත් කරගන්න කියා දෙවි ලබා දෙන සිහිගැන්වීම්වලට අප කීකරු විය යුතුයි. (ගීතා. 119:24, 85-88) දරුවෙක් තමාගේ ආදරණීය පියාගෙන් ලැබෙන ලිපියක් නැවත නැවතත් කියවන්නාක් මෙන් අප දෙවිගේ වචනය නිතරම කියවනවා නම් ඔහු සමඟ තිබෙන අපේ මිත්‍රත්වය තවත් ශක්තිමත් වෙනවා. පෞද්ගලික අධ්‍යයනයේ යෙදීමෙන්ද පීඩා විඳදරාගැනීමට අවශ්‍ය ප්‍රඥාව ලබාගන්න පුළුවන්. අප තීරණ ගන්නා විට දෙවිගේ මඟ පෙන්වීම් සලකා බැලීමටත් ඔහුට දිගටම විශ්වාසවන්තව සිටීමටත් එවන් අධ්‍යයනයක් උපකාරවත් වෙනවා.—හිතෝ. 2:10, 11.
4 විඳදරාගැනීමෙන් ලැබෙන ආශීර්වාද: පාවුල් මෙන් අපත් විඳදරාගනිමින් අත් නෑර දේශනා සේවයේ හවුල් වෙනවා නම් යෙහෝවා දෙවිගේ සිත සතුටු කිරීමට අපට හැකි වන අතර එමගින් අපටත් අන් අයටත් ආශීර්වාද ලැබෙනවා. (හිතෝ. 27:11) කුමන බාධා පැමිණියත් අත් නෑර දේශනා කිරීමට අපි අදිටන් කරගනිමු. අපට තිබෙන්නේ “ගින්නෙන් සෝදිසි කරනු ලැබුවත් නැති වී යන රනට වඩා බොහෝ සේ වටිනා” ඇදහිල්ලක් බව පෙන්වමු.—1 පේතෘ. 1:6, 7.