විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට නවකයන්ව සූදානම් කරමු
1 යම් කෙනෙක් බයිබලය පාඩම් කරන්න පටන්ගෙන “දේවභක්තික ජීවිතයක් ගත කරන්න කැමති” වන විට ඔහු සාතන්ගේ විශේෂ ඉලක්කයක් බවට පත් වෙනවා. (2 තිමෝ. 3:12) එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට රැකියා කරන ස්ථානයෙන්, පාසැලේ මිතුරන්ගෙන් හෝ අසල්වැසියන්ගෙන් විරුද්ධවාදිකම් එල්ල විය හැකියි. එමෙන්ම අවංක චේතනාවකින් ඔවුන්ට උපකාර කිරීමට උත්සාහ දරන නෑදෑයන්ගෙන් එල්ල වන පීඩනය දරාගැනීමටද නවකයන්ට අසීරු විය හැකියි.—මතෙ. 10:21; මාක් 3:21.
2 විරුද්ධවාදිකම් අපේක්ෂා කළ යුතුයි: ඇතැම් අවස්ථාවලදී නවකයන්ට පීඩා පැමිණෙන්නේ සාක්ෂිකරුවන් ගැන වැරදි වැටහීම් තිබෙන අයගෙනුයි. නමුත් නවකයන් හැටියට ඔවුන් පීඩා අපේක්ෂා කළ යුතුයි. එමෙන්ම ඔවුන්ට පීඩා පැමිණෙන්නේ ඔවුන් යේසුස්ගේ සැබෑ ගෝලයන් නිසා බව ඔවුන් තේරුම්ගත යුතුයි. (යොහ. 15:20) යේසුස්ගේ ගෝලයෙකු වීම හා දෙවිට කීකරු වීම නිසා සමාජයෙන් නින්දා විඳින්න සිදු වුණත් එමගින් මහත් ප්‍රීතියක් අත් වන බව මතක තබාගන්න. (ක්‍රියා 5:27-29, 40, 41) යෙහෝවා දෙවි ඔවුන්ව අත්හරින්නේ නැති බවට නවකයන්ට සහතික වන්න. (ගීතා. 27:10; මාක් 10:29, 30) ඔවුන් දිගටම විශ්වාසවන්තව සිටීමෙන් ඔප්පු කරන්නේ ඔවුන් දෙවිගේ පැත්තේ සිටින බවයි.—හිතෝ. 27:11.
3 නිවැරදි දැනුම ලබාගත යුතුයි: කුමන ආකාරයේ පීඩා පැමිණියත් නොනවත්වාම නිවැරදි දැනුම ලබාගැනීමේ වැදගත්කම ඔබේ ශිෂ්‍යයන්ට කාවද්දන්න. පීඩා ගෙන ඒමෙන් සාතන් උත්සාහ කරන්නේ ඔවුන් ලබන දැනුම මුල් ඇදීමට පෙර ඔවුන්ගේ සිත්වලින් එය උදුරා දැමීමටයි. (හිතෝ. 4:23; ලූක් 8:13) නමුත් ඇදහිල්ලෙහි වර්ධනය වීමට නම් ඔවුන් දිගටම දේවවචනයේ සඳහන් නිවැරදි දැනුම ලබාගත යුතුයි.—ගීතා. 1:2, 3; කොලො. 2:6, 7.
4 විඳදරාගත යුතුයි: කුමන දුෂ්කරතාවලට මුහුණ දුන්නත් විඳදරාගැනීම අත්‍යවශ්‍යයි. එමගින් ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය වෙයි. (ලූක් 21:16-19) නවකයන් පීඩා විඳදරාගන්නා විට ඉන් ඔවුන්ද අන් අයද ප්‍රයෝජන ලබයි. විශ්වාසවන්තව විඳදරාගන්නා අයට බොහෝ සේ ආශීර්වාද කිරීමට දෙවිට හැකි බවත් ඔවුන් අද්දකියි.—යාකො. 1:12.
5 තෙසලෝනිකයේ සිටි සහෝදරයන්ගෙන් බොහෝදෙනෙකුට සත්‍යයට පැමිණීමට පාවුල් උපකාර කළා. ඔවුන් පීඩා මැද ශක්තිමත්ව සිටීම ගැන සතුටු වූ ඔහු ඒ අය ගැන දෙවිට ස්තුති කළා. (2 තෙස. 1:3-5) විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට හා විඳදරාගැනීමට අප නවකයන්ව සූදානම් කරනවා නම් පාවුල් අද්දුටු ප්‍රීතිය අද්දකින්න අපටත් හැකි වන බව නිසැකයි.