ඔබ පවුලක් හැටියට ගැලවීම සඳහා පියවර ගන්නවාද?
1 මෙම දුෂ්ට ලෝකය ඉතාම ළඟදී විනාශ වන බව දැනටමත් ඉටු වී තිබෙන බයිබල් අනාවැකිවලින් පැහැදිලියි. අප අද ජීවත් වන්නෙත් නෝවා සහ ඔහුගේ පවුලේ අය ජලගැල්මට පෙර ජීවත් වුණා හා සමාන දරුණු පරිසරයකයි. (මතෙ. 24:37-39) දෙවි එදා ගෙනා විනාශයෙන් නෝවාට ගැලවෙන්න හැකි වුණේ ඔහු ‘සැබෑ දෙවි සමඟ ගමන් කළ’ නිසයි. (උත්. 6:9, NW) නෝවාගේ පවුලේ අයටත් එම විනාශයෙන් බේරීමට හැකි වුණේ ඔහු තම පවුලේ අයට යෙහෝවා දෙවි පිළිබඳව උගන්වා තිබුණු නිසයි. ළඟදීම සිදු වීමට නියමිත විනාශයෙන් බේරීමට පවුලක් හැටියට අපටත් නෝවාව අනුකරණය කළ හැක්කේ කෙසේද?
2 ධර්මිෂ්ඨකම ගැන දේශනා කරන්නෙකු: නෝවා අවුරුදු 40ක් 50ක් පමණ කාලයක් දිගටම “ධර්මිෂ්ඨකම ගැන දේශනා කරන්නෙකු” ලෙස සේවය කළා. (2 පේතෘ. 2:5) අසල්වැසියන් නෝවා කළ දේශනා සේවය ගැන සමච්චල් කරන්න ඇති. එසේ කරන්න ඇත්තේ සමහරවිට පොළොවට පැමිණි කැරළිකාර දේවදූතයන්ගේ බලපෑම නිසා විය හැකියි. අද අප ජීවත් වන්නෙත් අපේ සේවය ගැන සමච්චල් කරන සමාජයකයි. එය අන්තිම දවස්වල ලකුණක්. (2 පේතෘ. 3:3, 4) කෙසේවෙතත් නෝවාගේ කාලයේ මෙන් නොව අද දින දේශනා කිරීමෙහි අප දරන වෑයමට ප්රතිඵල ලැබී තිබෙන බව බොහෝ ජනයා දෙවිට නමස්කාර කිරීමට ‘රැස්වීමෙන්’ පෙනී යනවා. (යෙසා. 2:2) ‘ඔබවත් ඔබට සවන් දෙන්නන්වත් ගලවාගන්න’ හැකි වන්නේ දිගටම විඳදරාගනිමින් සේවය කරනවා නම් පමණයි. (1 තිමෝ. 4:16) දෙමාපියෙනි, ඔබේ දරුවන්ට මේ සේවයේ ඇති හදිසිතාවේ හැඟීම ඔබේ කතාවෙන් මෙන්ම ක්රියාවෙන් පෙන්වන්න ඔබට පුළුවන්ද?—2 තිමෝ. 4:2.
3 ඔහු අණ කළ ‘ලෙසම කළා’: නෝවා සහ ඔහුගේ පවුලේ අයට විනාශයෙන් බේරීමට හැකි වුණේ දෙවි ‘අණ කළ ලෙසම කළ’ නිසයි. (උත්. 6:22) ඒ හා සමානව අපත් බයිබලයෙන් හා දාස පංතියෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට ‘කීකරු වීමට සූදානමින්’ සිටිය යුතුයි. (යාකො. 3:17) එක් පියෙක් තමන්ට දෙවිගේ සංවිධානයෙන් ලැබුණු උපදෙස් අදාළ කරගත්තා. ඔහු සෑම සතියකම පවුලේ බයිබල් පාඩම කළා. පවුලේ අය සමඟ සති අන්තයේ සේවයේ ගියා. දරුවන් සමඟ මාරුවෙන් මාරුවට සේවය කළා. ඔහු දාස පංතියෙන් ලැබුණු මඟ පෙන්වීම් එලෙසම පිළිපැදීම නිසා එය දරුවන් තුළ හොඳ බලපෑමක් ඇති කිරීමට සමත් වුණා. දරුවන් හයදෙනාම දෙවිට විශ්වාසවන්තව සේවය කරන වැඩිහිටියන් බවට පත් වුණා.
4 අවසානය පැමිණෙන්නේ අප නොසිතන අවස්ථාවකයි. (ලූක් 12:40) අපත් නෝවා මෙන් ගැලවීම සඳහා ඇදහිලිවන්තව ක්රියා කරනවා නම් අපත් අපේ පවුලේ අයත් ගැලවීම සඳහා සුදානම් කියා කිව හැකියි.—හෙබ්රෙ. 11:7.