ප්‍රශ්න පෙට්ටිය
◼ දිව්‍යාණ්ඩු සේවා පාසැලේ හා සේවා රැස්වීමේ සෑම කොටසක් අවසානයේදී සබයේ අය අත්පොළසන් දීම සුදුසුද?
යෙහෝවා දෙවි පොළොව නිර්මාණය කළ අවස්ථාවේදී ‘පහන් තාරකාවෝ එක්ව ප්‍රීතියෙන් ගී ගැයූ’ බවත් ‘දෙවිගේ පුත්‍රයෝ සතුටු සිතින් අත්පොළසන් දුන්’ බවත් බයිබලයේ සඳහන් වෙනවා. (යෝබ් 38:7, NW) දෙවි පොළොව නිර්මාණය කරද්දී ඔහුගේ ප්‍රඥාව, යහපත්කම හා බලය සුවිශේෂි ආකාරයකින් දිස් වෙනවා දුටු ඒ දේවදූතයන් ඔහුට ප්‍රශංසා කිරීමට පෙලඹුණා.
තම පැවරුම් හොඳින් සූදානම් වී ඉදිරිපත් කිරීමට සහෝදර සහෝදරියන් දරන වෑයම්වලට අපේ අගය පළ කිරීම හොඳ දෙයක්. සාමාන්‍යයෙන් අප එක්රැස්වීම් හා සමුළුවලදී කතා, නිරූපණ හා අද්දැකීම් ඉදිරිපත් කළ පසු අත්පොළසන් දෙනවා. එවැනි අවස්ථාවලදී කතා ඉදිරිපත් කිරීමට සාමාන්‍යයට වඩා වැඩි කාලයක් හා වෑයමක් දරන්න ඔවුන්ට සිදු වෙනවා. එවැනි අවස්ථාවලදී අත්පොළසන් දීමෙන් අප අගය පළ කරන්නේ එම කොටස් ඉදිරිපත් කළ අය දැරූ වෑයම්වලට පමණක් නොවෙයි. අපේ අත්පොළසන් මගින් යෙහෝවා දෙවිටත් ඔහු සිය වචනය හා සංවිධානය මාර්ගයෙන් අපට උගන්වන දේවල් ගැනත් අප අගය පළ කරනවා.—යෙසා. 48:17; මතෙ. 24:45-47.
දිව්‍යාණ්ඩු සේවා පාසැලේ හා සේවා රැස්වීමේ කොටස් ඉදිරිපත් කළ පසු අත්පොළසන් දීම සුදුසුද? සාමාන්‍යයෙන් ශිෂ්‍යයෙක් ඔහුගේ හෝ ඇගේ පළමු පැවරුම ඉදිරිපත් කිරීමෙන් පසු අප අත්පොළසන් දෙන්නේ නිතැතින්මයි. මුළු සිතින්ම නැඟෙන එවැනි අගය පළ කිරීම් තහනම් කරන නීති නැහැ. නමුත් සෑම කොටසකටම අත්පොළසන් දුන්නොත් එය කරන්න ඕන නිසාම කරන්න ඉඩ තිබෙනවා. ඒ වගේම අත්පොළසන් දෙන නියම හේතුවද තේරුම් නොගත හැකියි. එම නිසා සාමාන්‍යයෙන් අප සෑම කොටසක් අවසානයේදී අත්පොළසන් දෙන්නේ නැහැ.
සාමාන්‍යයෙන් අප දිව්‍යාණ්ඩු සේවා පාසැලේ හා සේවා රැස්වීමේ සෑම කොටසක්ම අවසානයේදී අත්පොළසන් නොදුන්නත් ඒවා ඉදිරිපත් කළ අය දැරූ වෑයම් සඳහා අපේ අගය වෙනත් ආකාරවලින් පළ කළ හැකියි. එක් ක්‍රමයක් නම් ඔවුන් කතාවක් ඉදිරිපත් කරද්දී ඊට හොඳ අවධානයක් දීමයි. එමෙන්ම රැස්වීමෙන් පසු පෞද්ගලිකව අපේ අගය පළ කිරීමටද හැකියි.—එෆී. 1:15, 16.