ප්‍රශ්න පෙට්ටිය
◼ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකුට ආගමික සංවිධානයක් මගින් පවත්වාගෙන යන රෝහලක හෝ සාත්තු නිවාසයක ප්‍රතිකාර ගැනීම සුදුසුද?
විවිධ ආගමික සංවිධාන මගින් රෝහල් හා සාත්තු නිවාස පවත්වාගෙන යනවා. ඒවායින් දිගුකාලීන මෙන්ම කෙටිකාලීන ප්‍රතිකාර ලබාගත හැකියි. සමාන්‍යයෙන් මෙවැනි සේවාවන් සංවිධානය කර තිබෙන්නේ මහ බැබිලෝනියට කෙළින්ම අත හිත දීමේ අරමුණින් නෙවෙයි. (එළි. 18:2, 4) සමහරවිට ආගමික සංවිධානයක් මගින් එවැනි ස්ථානයක් මුලින්ම ආරම්භ කිරීමට හේතු වූයේ මුදල් ඉපයීමේ අරමුණෙන් විය හැකියි. අද එවැනි රෝහල් හා සාත්තු නිවාස මුලින් දැමූ නම්වලින් ක්‍රියාත්මක වුණද දැන් එම ආගමික සංවිධානවලට ඒවායේ කිසිම සම්බන්ධයක් නොතිබෙනවා විය හැකියි. වෙනත් ස්ථානවල තවමත් එය මුලින් ආරම්භ කළ ආගමික සංවිධානයට අයත් පැවිදි පක්ෂයේ සමහරදෙනෙක් සේවය කරනවාද විය හැකියි.
ආගමික සංවිධානයකට අයත් යයි සිතන රෝහලකින් හෝ සාත්තු නිවාසයකින් සේවාව ලබාගන්නවාද නැද්ද කියා තීරණය කිරීම එක් එක් සාක්ෂිකරුවාගේ වගකීමයි. එක් සාක්ෂිකරුවෙකුට එවැනි රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීම සිතට එකඟ වුණත් තවත් කෙනෙකුගේ හෘදය සාක්ෂිය එයට ඉඩ නොදිය හැකියි. (1 තිමෝ. 1:5) කෙනෙක් එවැනි ස්ථානයකින් ප්‍රතිකාර ගැනීමට තීරණය කරනවා නම් ඊට හේතු විය හැකි කරුණු කිහිපයක් අපි දැන් සලකා බලමු.
උදාහරණයකට යම් ප්‍රදේශයක ප්‍රතිකාර ලබාගත හැකි එකම ස්ථානය ආගමික ස්ථානයකට සම්බන්ධ රෝහලක් හෝ සාත්තු නිවාසයක් පමණක් විය හැකියි. එසේත් නැත්නම් ළඟ පාත වෙන රෝහලක් තිබුණද හොඳම සේවාව ලබාගත හැකි වන්නේ එවැනි රෝහලකින් පමණක් විය හැකියි. තවත් සමහර අවස්ථාවලදී රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර සැපයීමට අවශ්‍ය විශේෂිත පහසුකම් තිබෙන්නේ ආගමික ස්ථානයකට සම්බන්ධයක් ඇති රෝහලේ පමණක් විය හැකියි. තවද ඔබට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා හෝ ශල්‍ය වෛද්‍යවරයා පැමිණෙන්නේ එම ස්ථානයට පමණක්ද විය හැකියි. ඒ විතරක් නෙවෙයි රුධිරය සම්බන්ධයෙන් ක්‍රිස්තියානියෙකු හැටියට ඔබ ගෙන තිබෙන ස්ථාවරයට වෙනත් කිසිම ආණ්ඩුවේ හෝ පුද්ගලික රෝහලක් ගරු කරන්නේ නැති අවස්ථාවක එසේ කරන එකම රෝහල ආගමික ස්ථානයකට සම්බන්ධයක් ඇති රෝහල විය හැකියි. ඔබ ප්‍රතිකාර ලබාගන්නේ කුමන රෝහලෙන්ද කියා තීරණය කිරීමේදී ඉහත දැක්වූ කරුණු සැලකිල්ලට ගත යුතු වෙනවා.
ආගමික සංවිධානයක් සමඟ සම්බන්ධයක් තිබෙන රෝහලකින් හෝ සාත්තු නිවාසයකින් ප්‍රතිකාර ලබාගැනීමට ඔබ තීරණය කරනවා නම් ඒ සඳහා කරන ගෙවීම් කරන්නේ එහිදී ලබා දෙන සේවය සඳහා බව ඔබට සැලකිය හැකියි. එමෙන්ම එම ආගමික සංවිධානය යම් ව්‍යාපාරයක යෙදී සිටින අතර ඔබ කරන්නේ එයින් සේවාවක් ලබාගැනීම පමණක් බවත් එසේ කිරීමෙන් අසත්‍ය නමස්කාරයට ඔබ දායක නොවන බවත් ඔබට සැලකිය හැකියි.
කෙසේවෙතත් ඔබ එවැනි ආගමික නාමයක් දරන රෝහලකින් සේවාවක් ලබාගන්නා විට අසත්‍ය ආගමට සම්බන්ධ කිසිම දෙයකට සහභාගි නොවී සිටීමට වගබලා ගත යුතුයි. එමෙන්ම එහි පැමිණෙන හෝ එහි සේවය කරන පැවිදි අයට “ෆාදර්” හෝ “සිස්ටර්” කියා ආමන්ත්‍රණය නොකළ යුතුයි. (මතෙ. 23:9) ඔබ කරන්නේ ඔවුන්ගෙන් යම් සේවාවක් ලබාගැනීම පමණයි. මෙය යම් ගණුදෙනුවකට සමාන කළ හැකියි. ඊට වඩා වැඩි යමකට ඔබ සම්බන්ධ වෙන්නේ නැහැ.
ඔබ රෝහල්ගත වන මොහොතේදීම ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියා හඳුන්වා දෙන්න. එමෙන්ම ඔබව බැලීමට සභාවේ වැඩිමහල්ලන් පැමිණෙන බවත් දන්වා සිටින්න. එවිට ඔබ එහි නතර වී සිටින කාලය තුළදී ඔබේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීමට ඔබට උපකාර ලැබෙයි.—1තෙස 5:14.
වයසක සහෝදරියක් හෝ සහෝදරයෙක් සාත්තු නිවාසයක සිටිනවා නම් සත්‍යයේ සිටින පවුලේ අය, වැඩිමහල්ලන් ඇතුළු සභාවේ අනිකුත් සාමාජිකයන් ඔහුගේ හෝ ඇයගේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීම සඳහා උපකාර කිරීමට බැඳී සිටිනවා. එවැනි වයසක කෙනෙක් ආගමික සංවිධානයක් මගින් පවත්වාගෙන යන රෝහලක හෝ සාත්තු නිවාසයක සිටිනවා නම් විශේෂයෙන්ම එම තැනැත්තා ගැන සැලකිලිමත් විය යුතුයි. එසේ කිරීමෙන් ඔවුන් මහත් දිරිගැන්වීමක් ලබනවා. එමෙන්ම එම ස්ථානයේ පවත්වන ආගමික උත්සව හෝ දෙවි අනුමත නොකරන වෙනත් උත්සවවලට නොදැනුවත්ව හෝ සහභාගි වීමෙන් වැළකී සිටීමටද ඔවුන්ට හැකි වෙනවා.
ඉහත සාකච්ඡා කළ සියලුම කරුණු සැලකිල්ලට ගෙන තමන් ප්‍රතිකාර ලබාගන්නේ කුමන රෝහලෙන්ද නැත්නම් සාත්තු නිවාසයෙන්ද කියා එක් එක් සාක්ෂිකරුවාට තීරණය කළ හැකියි.—ගලා 6:5.