17වන පරිච්ඡේදය
යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම
එක්සත් සහෝදරත්වයක්
170 සිට 179 දක්වා පිටු
“දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය” කියා යාකොබ් සඳහන් කළා. (යාකො. 4:8) අපි පව්කාරයන් වූවද මුළු විශ්වයේම ශ්‍රේෂ්ඨතම තැනැත්තා වන යෙහෝවා දෙවි අපිට නුදුරුව සිටිමින් අපේ යාච්ඤාවලට සවන් දෙන්න කැමතියි. (ක්‍රියා 17:27) අපි දෙවිට ළං වෙනවා නම් ඔහුද අපිට ළං වෙයි. මේ සඳහා අපි අවංකව අපේ හැඟීම් යාච්ඤාවෙන් පවසමින් දෙවි සමඟ සමීප මිත්‍රත්වයක් ඇති කරගත යුතුයි. (ගීතා. 39:12) ඒ සඳහා බයිබලය නිතිපතා අධ්‍යයනය කිරීමද අවශ්‍යයි. බයිබලය ගැන නිවැරදි දැනුමක් හා අවබෝධයක් ලබාගැනීමෙන් දෙවිව හොඳින් දැන හඳුනාගැනීමටත් ඔහුගේ අරමුණු හා අප සඳහා වූ ඔහුගේ කැමැත්ත දැනගැනීමටත් හැකියි. (2 තිමෝ. 3:16, 17) එවිට අපි දෙවිට ප්‍රේම කිරීමටත් ඔහුව අසතුටු නොකිරීම සඳහා ගරු බියක් ඇති කරගැනීමටත් ඉගෙනගන්නවා.—ගීතා. 25:14.
යෙහෝවා දෙවිට ළං විය හැක්කේ ඔහුගේ පුත් යේසුස් මාර්ගයෙන් පමණයි. (යොහ. 17:3; රෝම 5:10) දෙවි ගැන අපිට කියා දෙන්න යේසුස්ට තරම් වෙන කිසිම කෙනෙකුට නොහැකියි. යේසුස්ට දෙවි සමඟ මොන තරම් සමීප මිත්‍රත්වයක් තිබෙනවාද කියනවා නම් මෙසේ පැවසීමට පවා ඔහුට හැකි වුණා. “මාගේ පියාණන් විසින් සියලු දේ මට භාර දී තිබේ. පියාණන් හැර අන් කිසිවෙකු පුත්‍රයා කවුදැයි හඳුනන්නේ නැත. පුත්‍රයා හැර අන් කිසිවෙකු පියාණන් කවුදැයි හඳුනන්නේ නැත. තවද පුත්‍රයා විසින් පියාව එළිදරව් කිරීමට කැමති යමෙකු වේද ඔහුත් හැර අන් කිසිවෙකු පියාණන් කවුදැයි හඳුනන්නේ නැත.” (ලූක් 10:22) යේසුස් දැරූ අදහස් හා ඔහුගේ හැඟීම් ගැන ශුභාරංචි පොත් හතරේ සඳහන් වෙනවා. ඒවා අධ්‍යයනය කරන විට අපි ඇත්තෙන්ම ඉගෙනගන්නේ යෙහෝවා දෙවි සිතන ආකාරය ගැනයි. මෙය දෙවිට තව තවත් ළං වෙන්න අපිට උපකාරයක් වෙයි.
දෙවිගේ කැමැත්ත කරන ආකාරය ගැන ඉගෙනගැනීමටත් දෙවි සමඟ මිත්‍රත්වයක් පවත්වාගැනීමටත් අපට උපකාර කරන යේසුස්ගේ මූලිකත්වය යටතේ ක්‍රියාත්මක වන මාධ්‍යයක් තිබෙනවා. ඒ ගැන යේසුස් මතෙව් 24:45-47හි සඳහන් කළා. ස්වාමියා වන යේසුස් ‘ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර දෙන පිණිස විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව’ පත් කර තිබෙනවා. පොළොවේ සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ඒ දාසයාට අයත් වෙනවා. මේ කාලයේ “දාසයා” බයිබලය අධ්‍යයනය කිරීමට උපකාරවත් වන පොත් පත් සඟරා මාර්ගයෙන් අපිව පෝෂණය කරනවා. දිනපතා බයිබලය කියවීමටත්, නිතිපතා ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීමටත්, ‘රාජ්‍යයේ ශුභාරංචිය’ දේශනා කිරීමේ හවුල් වීමටත් අවශ්‍ය උපදෙස් දෙවි දාස පන්තිය මාර්ගයෙන් අපිට සපයනවා. (මතෙ. 24:14; 28:19, 20; යෝෂු. 1:8; ගීතා. 1:1-3) මිනිසුන් දේවල් දෙස බලන ආකාරයට අපි දාස පන්තිය දෙස නොබැලිය යුතුයි. අපි එසේ කළොත් දෙවිගේ සංවිධානයට මඟ පෙන්වීම සපයන්නේ ඔහු බවට වූ කාරණය අමතක විය හැකියි. එහි ප්‍රතිඵලයක් හැටියට, දෙවි අපිව ළං කරගැනීමට දරන වෑයම් අපි ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. අපි කළ යුත්තේ දෙවිගේ සංවිධානයට සමීපව සිටිමින් එයින් ලබා දෙන මඟ පෙන්වීම්වලට කීකරු වීමයි. මෙසේ කරනවා නම් අපි දෙවිට තව තවත් ළං වන අතර එය පීඩාවලට මුහුණ දීමට ශක්තියක් මෙන්ම ආරක්ෂාවක්ද වෙයි.
පීඩා වැඩිවීමට හේතු
ඔබ සත්‍යය තුළ අවුරුදු ගණනාවක් සිටින කෙනෙක් නම් දෙවිට විශ්වාසවන්තව සිටීම හා සම්බන්ධ පරීක්ෂණ හමුවෙහි විඳදරාගැනීම ගැන අද්දැකීම් ඇති. ඔබ යෙහෝවා දෙවිව දැන හඳුනාගෙන ඔහුට නමස්කාර කරන සෙනඟ සමඟ ඇසුරු කරන්නේ මෑතක සිට වුණත්, දෙවිගේ පාලනයට යටත් වන ඕනෑම කෙනෙකුට යක්ෂයා විරුද්ධ වන බව ඔබම අද්දැක ඇති. (2 තිමෝ. 3:12) ඔබ විඳදරාගෙන තිබෙන පීඩාව සුළු එකක් වුණත් දරුණු එකක් වුණත් ඒ කුමන පීඩාවක් මැද වුණත් කිසිවිටකත් බියවීමට හෝ අධෛර්ය වීමට අවශ්‍ය නැහැ. මන්ද ඔබ විඳදරාගන්න විට ඔබව උසුලමින් ඔබට ආශීර්වාද කරන බවට දෙවි පොරොන්දු වී තිබෙනවා. වර්තමානයේ ගැලවෙන මාර්ගයක් සලසා දෙන්න හෝ ජීවිතය අහිමි වුණොත් එය අනාගතයේදී ලබා දෙන්න ඔහුට හැකියි.—හෙබ්‍රෙ. 13:5, 6; එළි. 2:10.
සාතන්ගේ දුෂ්ට සමාජ ක්‍රමයට ඉතිරිව තිබෙන කෙටි කාලයේදී අපි සෑම කෙනෙකුටම පීඩාවලට මුහුණ දීමට සිදු වෙනවා. වර්ෂ 1914දී දේවරාජ්‍යය පිහිටුවීමෙන් පසු ස්වර්ගයේ යුද්ධයක් ඇති වුණා. එදා පටන් සාතන්ට දෙවිගේ වාසස්ථානය වන ස්වර්ගයට යෑමට අවසර නැහැ. ඔහුවත් ඔහුගේ පැත්ත ගත් භූතයන්වත් එදා පටන් පොළොවට හෙළා තිබෙනවා. වර්ෂ 1914 පටන් පොළොවේ දුක් වේදනා වැඩි වී තිබෙන්නේ සාතන් උදහසට පත්ව සිටින නිසයි. ඔහු දෙවිගේ සේවකයන්ට ගෙනන පීඩාද එදා පටන් වැඩි කර තිබෙනවා. අද ලෝකයේ තිබෙන දුක් වේදනාවලින් පෙනී යන්නේ, අපි ජීවත් වන්නේ ඔහුගේ දුෂ්ට පාලනයේ අවසානභාගයේ බවයි.—එළි. 12:1-12.
තමන්ට තිබෙන්නේ කෙටි කාලයක් බව දන්නා සාතන් ඔහුගේ භූතයන්ගේද උපකාරය ඇතුව වෑයම් කරන්නේ දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යයට බාධා පමුණුවන්න හා අපේ එක්සත්කම බිඳ දමන්නයි. මේ නිසා අපට ඇදහිල්ල රැකගැනීම සඳහා යුද්ධයක නියැලීමට සිදු වී තිබෙනවා. එෆීස 6:12ට අනුව “අපට තිබෙන පොරබැදීම රුධිරයටවත් මාංසයටවත් විරුද්ධව නොව, ආණ්ඩුවලට විරුද්ධවය. අධිකාරවලට විරුද්ධවය. මේ අන්ධකාරයේ ලෝක පාලකයන්ට විරුද්ධවය. ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ට ආත්ම සමූහයන්ට විරුද්ධවය.” මේ යුද්ධය අවසන් වෙන්නේ මහත් පීඩාවේදීයි. මෙය සිදු වන කාලය වැඩි ඈතක නොවෙයි. යෙහෝවා දෙවිගේ පැත්ත ගෙන ජයග්‍රාහකයන් වීමට නම් මේ සටන අපි අත් නොහැරිය යුතුයි. අප පැළඳගෙන සිටිය යුතු ආයුධ කට්ටලය හොඳ තත්වයෙන් තබාගෙන, නිර්භයව සාතන්ගේ සියලුම දුෂ්ට උපායන්වලට විරුද්ධව සිටිය යුතුයි. (එෆී. 6:10-17) මින් පෙනී යන්නේ අපේ සේවය කරගෙන යන විට අපිට විඳදරාගැනීම අවශ්‍යය බවයි. විඳදරාගැනීම වර්ධනය කරගැනීමට කුමක් කළ යුතුද? එමෙන්ම විඳදරාගැනීමට හැක්කේ කෙසේද? මේ ගැන දැන් සලකා බලමු.
විඳදරාගැනීම වර්ධනය කරගැනීම
විඳදරාගැනීම යන්නෙන් අදහස් කරන්නේ “දුෂ්කරතා හා පීඩාකාරී තත්වයන් හමුවෙහි නොසැලී ඒවා දරාගැනීමට තිබෙන හැකියාවයි.” එමෙන්ම දුෂ්කරතා, විරුද්ධවාදිකම් හා පීඩා හමුවෙහි හරි දෙය කරමින් දෙවි කෙරෙහි තිබෙන අපේ ස්ථීර විශ්වාසය තබාගෙන සිටීමේ හැකියාවද ඉන් අදහස් කරනවා. ක්‍රිස්තියානීන් විඳදරාගැනීම වර්ධනය කරගත යුතුයි. මේ සඳහා කාලයක් යනවා. අපේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් කරගන්න විට විඳදරාගැනීමේ හැකියාවද අප තුළ වර්ධනය වෙයි. අපේ ඇදහිල්ල බිඳ හෙළීමට එල්ල වන කුඩා පරීක්ෂණ හමුවෙහි විඳදරා ගනිමින් අපේ කැපවීමට එකඟව ජීවත් වීමට ස්ථීර අධිෂ්ඨානයක් ගෙන තිබෙනවා නම් අපේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගත හැකියි. එවිට පසු කලෙක අනිවාර්යෙන්ම මුහුණ දීමට සිදු වන මුල් කාලයට වඩා දුෂ්කර පීඩා හමුවෙහි පවා විඳදරාගන්න අපිට හැකි වෙයි. දරුණු පීඩා පැමිණි පසු ඇදහිල්ලේ ස්ථීරව සිටීමට අධිෂ්ඨානයක් ගන්න පුළුවන් කියා අපි නොසිතිය යුතුයි. අපි ස්ථිර අධිෂ්ඨානයක් ගත යුත්තේ පීඩා හා පරීක්ෂා පැමිණෙන්න කලිනුයි. දෙවිව සතුටු කරන සෙසු ගුණාංග සමඟින් විඳදරාගැනීමද වර්ධනය කරගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් පේතෘස් මෙසේ සඳහන් කළා. “මීට ප්‍රතිචාරයක් වශයෙන් ඔබේ අවංක මුළු උත්සාහයෙන් ඔබේ ඇදහිල්ලට ගුණවන්තකම එකතු කරන්න. එසේම ඔබේ ගුණවන්තකමට දැනුමද, ඔබේ දැනුමට ආත්ම දමනයද, ඔබේ ආත්ම දමනයට විඳදරාගැනීමද, ඔබේ විඳදරාගැනීමට දේවභක්තියද, ඔබේ දේවභක්තියට සහෝදර ස්නේහයද, ඔබේ සහෝදර ස්නේහයට ප්‍රේමයද එකතු කරන්න.”—2 පේතෘ. 1:5-7; 1 තිමෝ. 6:11.
විඳදරාගැනීම වර්ධනය කරගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් යාකොබ් මෙසේ සඳහන් කළා. “මාගේ සහෝදරයෙනි, ඔබ විවිධාකාර පරීක්ෂාවලට මුහුණ දෙන කල, එය සැබවින්ම ප්‍රීතියක්යයි සලකන්න. මෙසේ ඔබේ ඇදහිල්ල පරීක්ෂාවට ලක්වීමෙන් විඳදරාගැනීම ඇති වන බව ඔබ දන්නහුය. නමුත් ඔබ කිසිවකින් අඩුව නොසිට, සම්පූර්ණව, සෑම ආකාරයකින්ම දෝෂ නැතිව සිටින පිණිස, විඳදරාගැනීමෙන් ඉටු වන කාර්යය සම්පූර්ණ වීමට ඉඩ දෙන්න.” (යාකො. 1:2-4) යාකොබ් පවසන්නේ විඳදරාගැනීම වර්ධනය කරගැනීමට පීඩා උපකාරවත් වන නිසා අපි ඒවා ප්‍රීතියෙන් පිළිගත යුතු බවයි. ඔබ පීඩා සලකන්නේ එලෙසද? අපේ ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය සම්පූර්ණ කරගැනීමටත් දෙවිගේ අනුමැතිය ලැබෙන පුද්ගලයෙකු වීමටත් විඳදරාගැනීම ඉවහල් වන බව යාකොබ් පෙන්වා දෙනවා. දවසින් දවස අපි ලොකු පොඩි සෑම පීඩාවකටම සාර්ථකව මුහුණ දෙන විට විඳදරාගැනීම අප තුළ වර්ධනය වෙයි. විඳදරාගන්න විට අප තුළ තවත් යහපත් ගුණාංග වර්ධනය වෙයි. සුළු සුළු පීඩා අපි විඳදරා ගන්නේ නැත්නම් අපේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් කරන වඩා විශාල පීඩාවලට මුහුණ දීමට අපිට නොහැකි විය හැකියි.—ලූක් 16:10.
අපි විඳදරාගන්නවා දකින විට දෙවි සතුටු වන අතර අපිට සදාකාල ජීවනය ලබා දීමටත් කැමති වෙයි. මේ නිසා විඳදරාගැනීම ගැන යාකොබ් තවදුරටත් මෙසේ සඳහන් කළා. “පරීක්ෂා විඳදරාගෙන සිටින මිනිසා සන්තෝෂවත්ය. මන්ද, අනුමැතිය ලැබූ කල ඔහුට ජීවනය නමැති ඔටුන්න ලැබෙන්නේය. එය තමාට දිගටම ප්‍රේම කරන අය සඳහා දීමට යෙහෝවා පොරොන්දු වී ඇත.” (යාකො. 1:12) අපි විඳදරාගන්නේ ජීවනය අපේක්ෂාවෙනුයි. විඳදරාගන්නේ නැතුව අපිට දිගටම සත්‍යයේ සිටිය නොහැකියි. ලෝකයේ පීඩනවලට අපි යට වෙනවා නම් ආපසු ලෝකයට යන්න ඉඩ තිබෙනවා. අපි විඳදරාගන්නේ නැත්නම් අපිට දෙවිගේ බලය ලැබෙන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් හැටියට ඒ බලයේ උපකාරයෙන් නිපදවන පල අප තුළ දකින්න නොතිබිය හැකියි.
මේ දුෂ්කර කාලයේ දිගටම විඳදරාගැනීමට නම් දුක් පීඩා විඳීම ගැන නිවැරදි ආකල්පයක් අප ඇති කරගත යුතුයි. “එය සැබවින්ම ප්‍රීතියක්යයි සලකන්න” කියා යාකොබ් පැවසූ බව මතක තබාගන්න. (යාකො. 1:2) ශාරීරිකව හා මානසිකව වේදනා අද්දකින විට විඳදරාගැනීම පහසු නොවන බව ඇත්තයි. එහෙත් අපේ අනාගත ජීවිතය රඳා පවතින්නේ විඳදරාගැනීම මතයි. අපි අද්දකින දුක් පීඩා හමුවෙහි අපිට ප්‍රීති විය හැකි ආකාරය තේරුම්ගැනීමට යේසුස්ගේ ගෝලයන් අද්දුටු දේවල් අපිට උපකාරවත් වෙනවා. ඔවුන් ගැන අපිට ක්‍රියා පොතේ මෙසේ කියවීමට තිබෙනවා. “ඔවුහු එය පිළිගෙන ප්‍රේරිතයන්ව කැඳවා, ඔවුන්ට තළා, මෙතැන් පටන් යේසුස්ගේ නාමයෙන් කතා නොකරන ලෙස ඔවුන්ට අණ කර, යන්න හැරියෝය. එවිට ඔවුහු, ඔහුගේ නාමය නිසා නින්දා විඳින්න තමුන් වටින්නෝයයි ගණන්ගනු ලැබූ හෙයින් ප්‍රීතියෙන් සැන්හෙඩ්රිනයෙන් පිටත්ව ගියෝය.” (ක්‍රියා 5:40, 41) තමන් පීඩා විඳින්නේ යේසුස්ගේ අණට කීකරු වීම නිසා බවත් දෙවිගේ අනුමැතිය තමන්ට ලැබෙන බවත් ඔවුන් තේරුම්ගත්තා. ඉන් අවුරුදු කිහිපයකට පසු පේතෘස් දේවානුභාවයෙන් ඔහුගේ පළමු ලිපිය ලියන විට ධර්මිෂ්ඨකම උදෙසා එලෙස දුක් පීඩා විඳීමේ වටිනාකම ගැන 1 පේතෘස් 4:12-16හි සඳහන් කළා. එය කියවා බලන්න.
පාවුල් හා සීලස්ගේ අද්දැකීමද සලකා බලන්න. ඔවුන් දෙදෙනා ෆිලිප්පියේ සේවය කරමින් සිටි විට ඔවුන්ව අත්අඩංගුවට ගෙන, නගරය කලඹනවා කියාත් නීති විරෝධි චාරිත්‍ර මිනිසුන්ට උගන්වනවා කියාත් බොරු චෝදනා නැඟුවා. පසුව ඔවුන්ට දරුණු ලෙස පහර දී සිරගත කළා. ඔවුන්ව සිරගත කළේ තුවාලවලට කිසිම ප්‍රතිකාරයක් නොකරයි. එහෙත් ඔවුන් සිරගතව සිටියදී “මධ්‍යම රාත්රියේදී පමණ, පාවුල් සහ සීලස් යාච්ඤා කරමින්ද දෙවිට ප්‍රශංසා ගී ගයමින්ද සිටියෝය. සිරකරුවන්ටද එය ඇසිණ” කියා බයිබල් වාර්තාවේ සඳහන් වෙනවා. (ක්‍රියා 16:16-25) යේසුස් වෙනුවෙන් දුක් පීඩා විඳීම සම්බන්ධයෙන් පාවුල් හා සීලස් නිවැරදි ආකල්පයක් තබාගෙන සිටියා. තමන් විඳි එම පීඩා, දෙවි කෙරෙහි තිබෙන තමන්ගේ විශ්වාසය ගැන සාක්ෂියක් වෙනවා පමණක් නොව ශුභාරංචියට සවන් දීමට කැමති අයට සත්‍යය දැනගැනීමට එය ප්‍රස්තාවක් විවෘත කරයි කියාද ඔවුන් සිතුවා. එයින් අන් අයටද ජීවනයේ මඟ විවෘත වුණා. පසුව සිරගෙයි භාරකරු හා ඔහුගේ ගෙවැසියන් ගෝලයන් බවට පත් වුණා. (ක්‍රියා 16:26-34) පාවුල් හා සීලස් තමන් විඳි දුක් පීඩාවලදී දෙවි සපයන බලය කෙරෙහි විශ්වාස කළා. එමෙන්ම තමන්ව ශක්තිමත් කිරීමට දෙවි කැමැත්තෙන් සිටින බවටත් ඔවුන් තුළ දැඩි විශ්වාසයක් තිබුණා. මේ නිසා ඔවුන්ගේ බලාපොරොත්තු කඩ වුණේ නැහැ.
පීඩාවලදී ශක්තිමත්ව සිටීම සඳහා අපට අවශ්‍ය සෑම දෙයක්ම දෙවි සපයා තිබෙනවා. ඔහු කැමති අපි විඳදරාගන්නවා දකින්නයි. දෙවි ඔහුගේ අරමුණ ගැන නිවැරදි දැනුමක් ලබාගැනීමට බයිබලය දී තිබෙනවා. අපේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගන්න එයින් ලැබෙන්නේ මහත් උපකාරයක්. සෙසු ඇදහිලිවන්තයන් සමඟ ඇසුරු කිරීමේද දේවවචනය අධ්‍යයනය කිරීමේ හා පරිශුද්ධ සේවය පිරිනැමීමේ ප්‍රස්තාවද අපිට තිබෙනවා. යාච්ඤාව මාර්ගයෙන් යෙහෝවා දෙවි සමඟ සමීප ඇසුරක් භුක්ති විඳීමේ වරප්‍රසාදයද අපිට තිබෙනවා. අපි ඔහුට පිරිනමන ප්රශංසාවලටද දිගටම ඔහුව ප්‍රසන්න කරන පුද්ගලයෙකු වීමට උපකාර කරන්න කියා අප කරන ඉල්ලීම්වලටද ඔහු සවන් දෙනවා. (ෆිලි. 4:13) අප ඉදිරියෙහි තබා තිබෙන බලාපොරොත්තුව ගැන ගැඹුරින් සිතීමෙන් ලැබෙන ශක්තියද සුළු කොට සැලකිය නොහැකියි.—මතෙ. 24:13; එළි. 21:1-4.
විවිධ පීඩා විඳදරාගැනීම
අද අපි මුහුණ දෙන පීඩා යේසුස්ගේ මුල් ගෝලයන් මුහුණ දුන් පීඩාවලට බොහෝදුරට සමානයි. මේ කාලයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වැරදි තොරතුරුවලින් නොමඟ ගොස් සිටින විරුද්ධවාදීන්ගේ වාචික හා ශාරීරික ප්‍රහාරවලට ලක් වී තිබෙනවා. මුල් ගෝලයන්ගේ කාලයේදී මෙන් විරුද්ධවාදීකම්වලින් බොහොමයක් ඇති කරන්නේ අන්තවාදී ආගමික මත දරන අයයි. ඔවුන් එසේ කරන්නේ රාජ්‍යයේ ශුභාරංචිය මගින් ඔවුන්ගේ බොරු ඉගැන්වීම් හා චාරිත්‍ර වාරිත්‍ර හෙළි වන නිසයි. (ක්‍රියා 17:5-9, 13) ඇතැම් අවස්ථාවලදී දෙවිගේ සෙනඟ තමන්ට තිබෙන නීතිමය අයිතිවාසිකම් දිනාගැනීමට පියවර ගෙන තිබෙනවා. (ක්‍රියා 22:25; 25:11) කෙසේවෙතත් අපේ සේවය සම්පූර්ණයෙන් නතර කර දැමීමට උත්සාහ දරන සමහර පාලකයන් තහංචි පනවනවා. (ගීතා. 2:1-3) මෙවැනි තත්වයන් මැද පවා අපි විශ්වාසවන්ත ගෝලයන්ගේ ආදර්ශය අනුගමනය කරමින් ‘මිනිසුන්ට නොව දෙවිට කීකරු වෙනවා.’—ක්‍රියා 5:29.
ලොව පුරා ජාතිවාදය වර්ධනය වෙමින් පවතින නිසා දෙවි දී තිබෙන ශුභාරංචිය දේශනා කිරීමේ පැවරුම ඉටු කිරීමේදී දේවසේවකයන් මහත් පීඩනයකට ලක් වී සිටිනවා. “වන මෘගයාටත් උගේ රූපයටත් නමස්කාර” කිරීම සම්බන්ධයෙන් එළිදරව් 14:9-12 දක්වා දී තිබෙන අනතුරු ඇඟවීම දෙවිගේ සේවකයන් හොඳින් තේරුම්ගෙන සිටිනවා. “දෙවිගේ ආඥාද යේසුස් කෙරෙහි වූ ඇදහිල්ලද රක්ෂා කරන්නන් වන ශුද්ධ තැනැත්තන්ට විඳදරාගැනීම අවශ්‍ය වන්නේ මෙහිදීය” කියා යොහන් පැවසූ වදන්වල වැදගත්කම අපි තේරුම්ගෙන සිටිනවා.
යුද්ධ, විප්ලව, දරුණු පීඩා හෝ තහංචි නිසා ඇති වන පරීක්ෂණ හමුවෙහි අපේ නමස්කාරය ප්‍රසිද්ධියේ කරගෙන යෑමට නොහැකි විය හැකියි. විශාල සභා රැස්වීම් පැවැත්වීමට නොහැකි තත්වයන් උද්ගත විය හැකියි. ශාඛා කාර්යාලය සමඟ අදහස් හුවමාරු කරගැනීමද තාවකාලිකව ඇණහිටින්න ඉඩ තිබෙනවා. චාරිකා අවේක්ෂකට සුපුරුදු පරිදි සභා බැහැදැකීමට නොහැකි වතාවරණයක් මතු විය හැකියි. අලුත් ප්‍රකාශන සභාවට නොලැබිය හැකියි. මේ දේවලින් එකක් හෝ සිදු වුණොත් ඔබ කළ යුත්තේ කුමක්ද?
එයට දිය හැකි පිළිතුර මෙයයි. එවැනි තත්වයන් යටතේ නිර්මල නමස්කාරයේ හවුල් වීම සඳහා ඔබට කළ හැකි කුමන දෙයක් හෝ වේවා ඒ දෙය හැකි උපරිමයෙන් කරන්න. පෞද්ගලික අධ්‍යයනය කළ හැකියි. නිවෙස්වල අධ්‍යයනය කිරීම සඳහා කුඩා කණ්ඩායම් ලෙස එක්රැස් විය හැකියි. මෙවැනි අවස්ථාවලදී සාකච්ඡා කිරීම සඳහා පසුගිය කාලයේ පාඩම් කළ ප්‍රකාශන හා බයිබලය යොදාගත හැකියි. බියට පත් වන්න හෝ අධෛර්යට පත් වන්න එපා. සාමාන්‍යයෙන් කෙටි කාලයක් ඇතුළත මූලිකත්වය ගන්න සහෝදරයන් සමඟ යම් ආකාරයකින් අදහස් හුවමාරු කරගැනීමට පාලක මණ්ඩලයට හැකි වේවි.
කිසිම සහෝදරයෙකුව ඇසුරු කිරීමට නොහැකි වන ලෙස ඔබ තනි වී සිටිනවා නම් යෙහෝවා දෙවි සහ ඔහුගේ පුත් යේසුස් ඔබ ළඟ සිටින බව අමතක කරන්න එපා. ඔබේ බලාපොරොත්තුව දිගටම ස්ථිරව තබාගන්න. මෙවැනි තත්වයක් මැද පවා ඔබ කරන යාච්ඤාවලට සවන් දෙන්න දෙවිට හැකියි. ඔහු තම බලය ලබා දීමෙන් ඔබව ශක්තිමත් කරනවා. සැමවිටම ඔහුගේ උපකාරය පතන්න. ඔබ යෙහෝවා දෙවිගේ සේවකයෙක් බවත් යේසුස්ගේ ගෝලයෙක් බවත් මතක තබාගන්න. මේ නිසා සාක්ෂි දැරීමට ලැබෙන ප්‍රස්තා ගිලිහී යන්න ඉඩ දෙන්න එපා. ඔබ දරන වෑයම්වලට දෙවි අනිවාර්යෙන්ම ආශීර්වාද කරනවා. වැඩි කලක් යන්න කලින් සෙසු සහෝදරයන්ව ඔබට හමු විය හැකියි.—ක්‍රියා 4:13-31; 5:27-42; ෆිලි. 1:27-30; 4:6, 7; 2 තිමෝ. 4:16-18.
මුල් ගෝලයන් හා වෙනත් අය මෙන් ඔබටත් මරණ තර්ජනවලට මුහුණ දෙන්න සිදු වුණත් ඔබේ දැඩි විශ්වාසය “මළවුන් නැගුටුවන්නාවූ දෙවි කෙරෙහි” තබන්න. (2 කොරි. 1:8-10) එවැනි දරුණුතම පීඩාවක් මැද වුණත් විඳදරාගැනීමට ඔබට විශාල ශක්තියක් ලබාගැනීමට නැවත නැඟිටීමේ බලාපොරොත්තුව කෙරෙහි පූර්ණ විශ්වාසය තබන්න. (ලූක් 21:19) යේසුස් අපිට ආදර්ශයක් තැබුවා. පරීක්ෂා මැද තමා දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය රැකගත්තොත් එය අන් අයට පීඩා මැද විඳදරාගනීමට ශක්තියක් වන බව යේසුස් දැන සිටියා. ඒ හා සමානව ඔබේ සහෝදරයන්ට ශක්තියක් සපයන පුද්ගලයෙක් වන්න ඔබට පුළුවන්.—යොහ. 16:33; හෙබ්‍රෙ. 12:2, 3; 1 පේතෘ. 2:21.
දේවසේවය කරගෙන යද්දී ඇති වන පීඩා හා විරුද්ධවාදිකම්වලට අමතරව ඔබට විඳදරාගැනීමට තවත් දුෂ්කර තත්වයන් තිබිය හැකියි. ප්‍රසිද්ධියේ දේශනා කිරීම සඳහා නිදහසක් තිබුණත් බලප්‍රදේශයේ සිටින ජනයාගේ උදාසීනකම නිසා සමහරුන් අධෛර්ය වී දෙවිට කරන සේවය නතර කර දමා තිබෙනවා. තවත් අයට ශාරීරික හා මානසික අසනීපවලට මුහුණ දීමට සිදු වී තිබෙනවා. තමන්ට ඇතැම් දේවල් කළ නොහැකි වීම නිසාත් විඳදරාගැනීමට සිදු වෙනවා. ඇතැම් අවස්ථාවලදී සේවය කරගෙන යෑම දුෂ්කර කරවන යම් ආකාරයක පීඩාවක්ද විඳදරාගැනීමට පාවුල්ට සිදු වුණා. (2 කොරි. 12:7) මුල් සියවසේ ෆිලිප්පියේ විසූ එපප්‍රොදිතස් ‘තමා ලෙඩින් සිටිය බව ඔහුගේ මිතුරන්ට දැනගන්න ලැබීම ගැන ඉතා කනගාටු වුණා.’ (ෆිලි. 2:25-27) පව්කාරකම නිසා තිබෙන අපේම දුර්වලකම් හා අන් අයගේ දුර්වලකම් නිසා ඇති වන ගැටලු විඳදරාගැනීම හුඟාක් දුෂ්කර විය හැකියි. අඩු පාඩු හා දුර්වලකම් නිසා සෙසු ක්‍රිස්තියානීන් සමඟ හිත් අමනාපකම් ඇති විය හැකියි. එහෙත් එවැනි බාධාවන්ද සාර්ථකව විඳදරාගන්න පුළුවන්. දේවවචනයේ දී තිබෙන උපදෙස් අදාළ කරගන්න අය ඒවා ජයගෙන තිබෙනවා.—එස. 2:3-5; 1 කොරි. 9:27; 13:8; කොලො. 3:12-14; 1 පේතෘ. 4:8.
සැමදා විශ්වාසවන්තව සිටීමට අදිටන් කරගනිමු
යෙහෝවා දෙවි සභාවේ නායකයා ලෙස පත් කර තිබෙන යේසුස්ට අපි සැමවිටම පක්ෂපාත විය යුතුයි. (කොලො. 2:18, 19) අපි “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” සහ අවේක්ෂයන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. (හෙබ්‍රෙ. 13:7, 17) දෙවිගේ සංවිධානයේ මඟ පෙන්වීම්වලට එකඟව ක්‍රියා කිරීමෙන් හා පෙරමුණ ගන්න අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් දෙවිගේ කැමැත්ත කිරීමට අපිට හොඳින් සංවිධානය වී සිටිය හැකියි. මහත් උනන්දුවෙන් යාච්ඤා කිරීමටද මෙහිදී අමතක නොකළ යුතුයි. අපේ ප්‍රේමණීය පියාට යාච්ඤාවෙන් කතා කිරීම නතර කරන්න හෝ සෙසු නමස්කාරකයන් සමඟ තිබෙන අපේ එක්සත්කම බිඳ දමන්න සිරගෙදරක බිත්ති හතරට නොහැකි බව අපි මතක තබාගනිමු.
නැවත නැඟිටුවනු ලැබූ යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙම පැවරුම ලබා දුන්නා. “එබැවින් ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න. පියාණන්ගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයෙන් ඔවුන්ව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න.” අධිෂ්ඨානයෙන් හා විඳදරාගැනීමෙන් යුතුව හැකි උපරිමයෙන් අපි ඒ පැවරුම ඉටු කරමු. (මතෙ. 28:19, 20) යේසුස් මෙන් විඳදරාගනිමු. රාජ්‍යයේ බලාපොරොත්තුවත් සදාකල් ජීවත් වීවේ අපේක්ෂාවත් පැහැදිලිවම අපි ඉදිරියෙහි තබාගනිමු. (හෙබ්‍රෙ. 12:2) ‘සමාජ ක්රමයේ අවසාන කාල පරිච්ඡේදයේ’ සිදු වන දෙයක් ගැන යේසුස් මෙසේ පුරෝකථනය කළා. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.” (මතෙ. 24:3, 14) බව්තීස්ම වී සිටින යේසුස්ගේ ගෝලයන් හැටියට එම අනාවැකිය ඉටුවීමේ කාර්යයට හවුල් වීමේ වරප්‍රසාදය අපිට තිබෙනවා. මේ කාලයේදී අපි එම කාර්යයේ මුළු හදින්ම නියැලෙනවා නම් දෙවි පොරොන්දු වී තිබෙන පාරාදීස පොළොවේ සදාකල් ජීවත් වීමේ ප්‍රීතිය අද්දකින්න අපිට හැකි වෙනවා නිසැකයි.