දෙමාපියෙනි, පවුලක් ලෙස නමස්කාරයට මුල් තැන දෙන්න
1 දානියෙල් දශක ගණනාවක්ම ජීවත් වුණේ රූප වන්දනාවෙන් සහ විවිධාකාර දූෂණ බහුලව පැවති බබිලෝනියේ. නමුත් ඔහු යෙහෝවාට “නිතර” සේවය කළ කෙනෙක් බව කවුරුත් දැන සිටියා. (දානි. 6:16, 20) මෙලෙස ශක්තිමත් ඇදහිල්ලක් පවත්වාගන්නට දානියෙල්ට හැකි වුණේ කොහොමද? සැබෑ නමස්කාරය හා බැඳුණු දේවල් නිතිපතා පිළිවෙළකට ඔහු කළ බව බයිබලයේ පෙන්වනවා. ඔහු දවසකට තුන් වතාවක් ඔහුගේ ඉහළ මහලයේ කාමරයට වී යාච්ඤා කළා. (දානි. 6:10) ඒ වගේම දෙවිගේ වචනය කියවීම වැනි වෙනත් දේ සඳහාද ඔහුට යම් නිශ්චිත කාලසටහනක් තිබූ බවට කිසිම සැකයක් නැහැ. මෙසේ, ජීවිතය තර්ජනයට ලක් වූ පරීක්ෂාවලදී පවා ඔහු යෙහෝවා දෙවි කෙරෙහි නොසැලෙන භක්තියක් දැක්වුවා. මේ නිසාම ඔහුගේ ජීවිතය ආශ්චර්යවත් ලෙස ආරක්ෂා වුණා.—දානි. 6:4-22.
2 ඒ හා සමානව, අපත් ‘අවදිව සිටීමට’ නිතරම උත්සාහ කළ යුතුයි. (එෆී. 6:18) මන්ද අප ජීවත් වෙන්නේ ‘දුෂ්ටයාගේ බලයට යටත් ලෝකයකයි.’ (1 යොහ. 5:19) විරුද්ධවාදිකම් හෝ පරීක්ෂා මගින් අපේ ඇදහිල්ල හදිසියේම පරීක්ෂණයට ලක් වෙන්න පුළුවන්. මහත් පීඩාවේදී දෙවිගේ සෙනඟ මාගොග්හි ගොග් හෙවත් සාතන්ගේ ප්‍රහාරයේ මූලික ඉලක්කයක් වේවි. කිසිම ගැලවීමක් නැහැ කියා පෙනෙන්නටත් පුළුවනි. මේ නිසා තමයි අපට යෙහෝවා දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් අවශ්‍ය වෙන්නේ.—එස. 38:14-16.
3 මේ නිසා අවශ්‍යම දේ නම් පුරුද්දක් ලෙස පවුලක් හැටියට බයිබලය කියවීම, අධ්‍යයනය කිරීම හා ඒවා ගැන සාකච්ඡා කිරීමයි. මේ වගේ නිතිපතා ක්‍රමයකට බයිබලයේ තිබෙන දේවල් සාකච්ඡා කරනවා නම්, බයිබලය ජීවමාන පොතක් බවට පත් වී එය පවුලට විශාල බලපෑමක් කරනවා නිසැකයි. මේ වගේ සාකච්ඡාවලින් අපට දැනුම ලැබෙනවා. අපේ ඇදහිල්ල ශක්තිමත් කරනවා. එමෙන්ම පුරාණයේ විසූ ඇදහිලිවන්ත පුරුෂයන්ගේ හා කාන්තාවන්ගේ ආදර්ශ අපේ ජීවිතවලට විශාල බලපෑමක් කරනවා. මේ නිසා, පවුලක් හැටියට එක්ව නමස්කාර කරද්දී එය වඩාත් ගුණාත්මක අන්දමින් කළ හැකි ක්‍රම ගැනත් දෙමාපියන් සලකා බැලිය යුතුයි.
4 දිනපතා බයිබලය සාකච්ඡා කරන්න: පියවරුනි, ඔබ පුරුද්දක් හැටියට ඔබේ බිරිඳ සහ දරුවන් සමඟ දිනපදය සාකච්ඡා කරනවාද? මෙය ඉතා ප්‍රයෝජනදායකයි. මෙය උදෑසන කිරීම අමාරු නම්, සවස් වරුවේ කරන්නට පුළුවන්ද? “අපිට රාත්‍රි ආහාරය ගන්නා වෙලාවේදී මෙය කිරීම පහසු බව තේරුණා” යයි එක් පියෙක් පැවසුවා.
5 ඔබ දැනටමත් පවුලක් හැටියට දිනපදය සාකච්ඡා කරනවාද? එසේනම් ඔබට අපි ප්‍රශංසා කරමු. දිනපදය සාකච්ඡා කරන වෙලාවේදීම බයිබලයේ පරිච්ඡේදයක් කියවන්නටත් පුළුවන්. දිනපදය රැගෙන තිබෙන බයිබල් පරිච්ඡේදයම සම්පූර්ණයෙන් කියවීමත් සමහරුන් පුරුද්දක් කරගෙන තිබෙනවා. තවත් අය බයිබලයේ පොත් එකිනෙක පිළිවෙළකට කියවීම කරනවා. මෙසේ දිනපතා බයිබලය කියවනවා නම්, ඔබටත් ඔබේ පවුලටත් යෙහෝවා දෙවි කෙරෙහි ගෞරවාන්විත බියක්ද ඔහුගේ කැමැත්ත කිරීමට ලොකු ආශාවක්ද ඇති වෙනවා නියතයි.—ද්වි. 17:18-20.
6 පවුලේ බයිබල් කියවීමේදී හා දිනපදය සාකච්ඡා කිරීමේදී එහි තිබෙන ප්‍රායෝගික වටිනාකම ගැන සාකච්ඡා කිරීමට විනාඩි කිහිපයක් ගන්න. ඉන් ලැබෙන ප්‍රයෝජන අතිමහත්. දිව්‍යාණ්ඩු සේවා පාසැල් අත්පොතේ 60වන පිටුවේ මෙම යෝජනාව තිබෙනවා. “සතියට නියමිත බයිබල් කියවීමෙන් පද කිහිපයක් තෝරා, ඒවායේ තේරුම සාකච්ඡා කර මෙවැනි ප්‍රශ්න ඇසීමට ඔබට පුළුවන්. ‘මෙය අපට මඟ පෙන්වීමක් ලබා දෙන්නේ කෙසේද? මෙම බයිබල් පද ක්ෂේත්‍ර සේවයෙහි භාවිතා කළ හැක්කේ කෙසේද? යෙහෝවා ගැන හා ඔහු යම් දේවල් කරන ආකාරය ගැන ඒවායින් අපට එළිදරව් වන්නේ මොනවාද? ඔහු කෙරෙහි අපගේ අගය එයින් ගොඩනැඟෙන්නේ කෙසේද?’” මේ ආකාරයේ ප්‍රශ්න යොදාගෙන ගොඩනංවනසුලු සාකච්ඡාවන් කරනවා නම්, ඔබේ පවුලේ අයට ‘යෙහෝවාගේ කැමැත්ත කුමක්දැයි වටහාගෙන’ ජීවත් වීමට හැකි වෙනවා නිසැකයි.—එෆී. 5:17.
7 පවුලේ පාඩම: පවුලේ අය සමඟ සතිපතා බයිබල් පාඩමක් පැවැත්වීමද අතිශයින් වැදගත්. මෙය දෙවිට කරන නමස්කාරය පළමු තැනට ආ යුතු බව දරුවන්ට කාවද්දන තවත් ක්‍රමයක්. එක් යෞවනයෙක් තම මතකය අවදි කරන්නේ මෙසේයි. “සමහර වෙලාවලට තාත්තාට හරිම මහන්සියි. නමුත් තාත්තා ඒ ගැන බලන්නේ නැතිව පාඩම කළා. මේ නිසා පාඩමේ තිබෙන බැරෑරුම්කම අපි හොඳින් වටහාගත්තා.” දරුවන්ටත් හැකියි මීට හොඳින් දායක වීමට. දරුවන් නවදෙනෙකුගෙන් යුත් එක් පවුලක් පාන්දර 5ට නැඟිට පවුලේ පාඩම කළේ ඔවුන්ට වෙන කිසිම වේලාවක් ඒ සඳහා නැති නිසයි.
8 පවුලේ පාඩම සාර්ථක වෙන්න නම්, දෙමාපියෙනි, ඔබ ‘ඔබේ ඉගැන්වීම ගැන නිතරම අවධානයෙන් සිටිය’ යුතුයි. (1 තිමෝ. 4:16) දිව්‍යාණ්ඩු සේවා පාසැල් අත්පොතේ 32වන පිටුවේ මෙසේ සඳහන් වෙනවා. “පවුලේ පාඩමක් පැවැත්වීමේ කාර්යය ඵලදායී වන්නේ ඔබ ඔබේ පවුලේ තත්වය හොඳට අධ්‍යයනය කළොත් පමණි. . . . ඔබට යම් ප්‍රශ්න ඔබෙන්ම අසාගත හැක. ඔබේ පවුලේ සාමාජිකයන් ආත්මික ලෙස ලබන්නේ කෙබඳු ප්‍රගතියක්ද? . . . ඔබේ දරුවන් සමඟ ක්ෂේත්‍ර සේවයෙහි නිරත වන විට, ඔවුන්ගේ පාසැල් මිතුරු මිතුරියන් ඉදිරියෙහි තමන් යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු කියා හඳුන්වා දීමට අදිමදි කරනවාද? පවුලක් වශයෙන් බයිබලය කියවන විට හෝ අධ්‍යයනය කරන විට, ඔවුන් එයට සහභාගි වන්නේ සතුටින්ද? ඔවුන් ඇත්තටම ඔවුන්ගේ ජීවිත මාර්ගය යෙහෝවාගේ මාර්ගයන්ට අනුව සකස් කරමින් සිටිනවාද? මේ සම්බන්ධයෙන් හොඳ නිරීක්ෂකයෙකු වන්න. එවිට, පවුලේ සෑම සමාජිකයෙකු තුළම කවර ආත්මික ගුණාංග ඇති කළ යුතුද කියාත්, තවත් ගොඩනැඟිය යුත්තේ කුමන ඒවාද කියාත් ගෘහ මූලිකයෙකු ලෙස ඔබට පෙනී යාවි.”
9 සභා රැස්වීම්: සභා රැස්වීම්වලට සූදානම් වීමත් ඒවාට සහභාගි වීමත් පවුලක් හැටියට ඔබේ වැඩසටහනේ වැදගත් අංගයක් විය යුතුයි. (හෙබ්‍රෙ. 10:24, 25) ඇතැම්විට, සමහර රැස්වීම්වලට පවුලක් හැටියට සූදානම් විය හැකියි. අන්තිම මොහොත වෙන තුරු ඉන්නේ නැතිව, කලින්ම සූදානම් වීමට ඔබට පුළුවන්ද? මේ සඳහා ඔබට යම් සැලැස්මක් තිබෙනවා නම්, ඔබේ සූදානම් වීමේ ගුණාත්මකභාවයද ඔබ රැස්වීම්වලින් ගන්න ප්‍රයෝජනද වැඩි වෙනවා නියතයි.—හිතෝ. 21:5.
10 දෙවිගේ නමස්කාරය හා බැඳි සියලු දේවල් කිරීමේදී එහි ගුණාත්මකභාවය හා නිතිපතා ක්‍රමයකට ඒවා කිරීම යන දෙකම අතිශයින් වැදගත්. ඔබට රැස්වීම් සියල්ලටම සූදානම් වීමට බැරි තත්වයක් තිබෙනවාද? එසේනම්, දිව්‍යාණ්ඩු සේවා පාසැලේ 31වන පිටුවේ සඳහන් මේ යෝජනාව ගැන සිතා බලන්න. “කෙසේ හෝ සූදානම් කළා කියා කීමට ඒ තොරතුරු උඩින් පල්ලෙන් බැලීමේ උගුලට හසු වෙන්න එපා. එසේ නැතහොත් කාල වේලා නැති නිසා කොහොමටවත් අධ්‍යයනය නොකිරීමේ උගුලටද හසු වන්නේ එපා. ඒ වෙනුවට, ඔබට ඉඩ සැලසෙන හැටියට කොතරම් ප්‍රමාණයක් අධ්‍යයනය කළ හැකිදැයි තීරණය කොට, ඒ කොටස හොඳින් අධ්‍යයනය කරන්න. මෙය සතිපතාම කරන්න. කල් යත්ම, ඔබට අධ්‍යයනය කළ හැකි එම ප්‍රමාණයට වෙනත් රැස්වීම්වල කොටස්ද ඇතුළත් කරගැනීමට දැඩි ප්රයත්නයක් දරන්න.”
11 පවුලේ අය රැස්වීම්වලට වේලාසනින්ම පැමිණෙන විට, යෙහෝවාට ප්‍රශංසා කිරීමට හා ලැබෙන උපදෙස්වලින් නිසි ප්‍රයෝජන ගැනීමට හැකි හොඳ මානසිකත්වයකින් ඔවුන් සිටිනවා. ඔබේ පවුලේ අයට මේ පුරුද්ද තිබෙනවාද? හොඳින් සැලසුම් කිරීමත් පවුලේ සැමදෙනාගේම සහයෝගයත් මීට අවශ්‍යයි. රැස්වීම් තිබෙන දවස්වල ඔබේ පවුලේ අයගේ වැඩකටයුතු නිසා යම් පීඩනයකට හෝ වෙහෙසකට පත් වෙනවා නම්, දිනචර්යාවල යම් වෙනසක් ඇති කරන්නට පුළුවන්ද? යම් යම් දේවල් කලින්ම කරගන්න පුළුවන්ද? පවුලේ එක් සාමාජිකයෙකුට හුඟක් වැඩ තිබේ නම්, අනිත් අයට පුළුවන්ද උදව් කරන්න? හැමෝම රැස්වීමට යෑමට විනාඩි කිහිපයක් කලින්ම සූදානම් වෙනවා නම් හොඳ නැද්ද? දේවල් හොඳින් සැලසුම් කර පිළිවෙළකට කරනවා නම්, පවුලටත් සභාවටත් එය යහපතක් වෙයි.—1 කොරි. 14:33, 40.
12 ක්ෂේත්‍ර සේවය: ක්ෂේත්‍ර සේවයේ යෑමටත් වේලාවක් වෙන් කිරීම අවශ්‍යයි. ජේසන් නමැති එක් යෞවනයෙක් මෙසේ සිහිපත් කරනවා. “අපේ පවුලේ අය හැම සෙනසුරාදා උදෑසනකම ක්ෂේත්‍ර සේවයේ හවුල් වෙනවා. මේ විදිහට වැඩි වැඩියෙන් සේවයේ සහභාගි වෙද්දී මම ඒකෙන් ලොකු සතුටක් ලැබුවා.” සෑම සතියකම දේවසේවයේ සහභාගි වූ සාක්ෂිකාර පවුල්වල හැදී වැඩුණු බොහෝ දරුවන්ට මෙවැනිම අද්දැකීම් තිබෙනවා.
13 දේවසේවයේ පිළිවෙළකට යෙදෙන විට, වඩාත් ප්‍රීතියෙන් එය කිරීමටත්, බොහෝ පල දැරීමටත් හැකි වෙනවා. මෙසේ පිළිවෙළකට සේවයේ යෙදිය හැක්කේ කෙසේද? වර්ෂ 1999 ජූලි 1, මුරටැඹ කලාපයේ 21වන පිටුවේ මෙම යෝජනාව සඳහන් වුණා. “සතියේ ක්ෂේත්‍ර සේවයට සූදානම් වීම සඳහා ඔබේ පවුලේ සාමාජිකයන්ට උපකාර කරන්න ඔබේ පවුලේ පාඩමේදී ඔබ ඉඳ හිට කාලය ගන්නවාද? එසේ කිරීම බෙහෙවින් ප්‍රයෝජනදායක විය හැකියි. (2 තිමෝති 2:15) ඔවුන්ගේ සේවය අර්ථවත් මෙන්ම ඵලදායී එකක් කිරීමට එය දායක විය හැකියි. එලෙස සූදානම් වීම සඳහා පාඩමට නියමිත සම්පූර්ණ කාලයම වුණත් ඉඳ හිට යොදාගන්න පුළුවන්. නිතරම වුණත් කළ හැකි දෙයක් නම්, පවුලේ පාඩම අවසානයේදී හෝ සතියේ වෙනත් අවස්ථාවකදී කෙටි කාලයකට ක්ෂේත්‍ර සේවයේ විවිධ පැති ගැන නිතරම සාකච්ඡා කිරීමයි.” ඔබේ පවුලේ අය මෙම යෝජනා අත්හදා බලා තිබෙනවාද?
14 දිගටම වර්ධනය වෙන්න: මේ ලිපියේ කරුණු සලකා බලද්දී ඔබේ පවුලේ අය ඉතා හොඳින් කරමින් සිටින දේවල් ඔබ දකින්නට ඇති. ඒවා ගැන ඔවුන්ට ප්‍රශංසා කර, තවත් දියුණු වීමට දිරිගන්වන්න. දියුණු විය යුතු පැති දකින්නට තිබේ නම්, පළමුව එකක් හෝ දෙකක් තෝරාගන ඒවා ක්‍රියාත්මක කරන්න. ඒවා පුරුද්දක් හැටියට කරන විට, තවත් එකක් හෝ දෙකක් කිරීමට යෝජනා කරන්න. නිතරම ඔවුන් කරන දේ අගය කර, සාධාරණව දේවල් දෙස බලන්න. (ෆිලි. 4:4, 5) පවුලේ නමස්කාරය සඳහා හොඳ කාලසටහනක් තබාගෙන ක්‍රියාත්මක කිරීම ලෙහෙසි දෙයක් නොවෙයි. නමුත් උපරිමය කරද්දී යෙහෝවා දෙවිගේ ආශීර්වාද ඔබේ පවුලට ගලා එන බව සහතිකයි. යෙහෝවා දෙවිගේ පොරොන්දුව මෙයයි. “නිදොස්ව හැසිරෙන අයට දෙවිගේ ගැලවීම දක්වන්නෙමි.”—ගීතා. 50:23.