3වන පරිච්ඡේදය
යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම
“විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” කෙරෙහි විශ්වාසය තබන්න
“විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද?” යේසුස් මෙම ප්රශ්නය නැඟුවේ ඉදිරියේදී විශේෂ අදාළ වීමක් අඩංගු උපමාවක් හඳුන්වා දීම සඳහාය. මෙම උපමාව “සමාජ ක්රමයේ අවසාන කාල පරිච්ඡේදය” සම්බන්ධයෙන් ඔහු දුන් ‘ලකුණේ’ කොටසක් වේ. (මතෙ. 24:3, 42-47) අවසාන කාල පරිච්ඡේදයේදී මේ “දාසයා” කඩිසරව නොයෙකුත් වැඩ කටයුතුවල යෙදී සිටින බවට යේසුස් පෙන්වා දුන්නේය. පොළොවෙහි දේවරාජ්‍යය හා සම්බන්ධ කටයුතු අධීක්ෂණය කිරීම බාර දෙනු ලබන්නේ ‘ඒ දාසයාටය.’ එමෙන්ම දෙවිගේ සෙනඟට “නියම වේලාවට” ආහාර සැපයීමේ බාරදූර වගකීමද පැවරී තිබෙන්නේ ඒ දාසයාටය. මේ සම්බන්ධයෙන් යේසුස් මෙසේ පැවසුවේය. “ඔහුගේ ස්වාමියා ආ කල, ඔහු එසේ කරනවා දකී නම්, ඒ දාසයා සන්තෝෂවත්ය! සැබවින්ම මම ඔබට කියමි, ඒ ස්වාමියා තමන් සන්තක සියල්ල කෙරෙහි ඔහුව පත් කරන්නේය.”
අපට සලකා බැලීම සඳහා වැදගත් ප්‍රශ්න කිහිපයක් එම උපමාව මගින් මතු කරයි. “ඒ දාසයා” කවුද? “සන්තක සියල්ල” කුමක්ද? ඉදිරියේදී අදාළ වන මෙම උපමාවේ සඳහන් විස්තරයට අනුව අපට පෞද්ගලිකව කිරීමට තිබෙන්නේ කුමක්ද? මෙම ප්‍රශ්නවලට උත්තර විමසා බැලීමට අප උනන්දු විය යුත්තේ නිකම්ම දැනුම වැඩි කරගැනීම සඳහාම නොවේ. මේ දේවල් හොඳින් අවබෝධ කරගෙන සිටීම හා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” කෙරෙහි විශ්වාසය තැබීම යෙහෝවා දෙවිගේ කැමැත්ත කිරීමටත් ඔහුගේ සංවිධානය සමඟ එක්සත්ව සේවය කිරීමටත් අපට උපකාරවත් වේ.
“විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” හඳුනාගනිමු
අවශ්‍ය කරන ආහාර සපයනු ලබන්නේ “දාසයා” විසින් බව යේසුස් එම උපමාවේ සඳහන් කළේය. යේසුස් පළමුවන සියවසේදී ඔහුගේ අනුගාමිකයන්ව පෝෂණය කිරීමට පත් කළේ කාවද? ඔහු 1914දී රජු ලෙස නැවත පැමිණි කාලය වන විටත් එම ආහාර සැපයීමේ කාර්යය විශ්වාසවන්තව ඉටු කරමින් සිටිනවා ඔහු දුටුවේ කාවද? කිසිම මිනිසෙකුට පළමුවන සියවසේ සිට 1914 දක්වා ජීවත් විය නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. එනිසා “නුවණ ඇති විශ්වාසවන්ත සේවකයා” මගින් නියෝජනය කළ යුත්තේ දෙවිගේ බලයෙන් අභිෂේක කළ යේසුස්ගේ අනුගාමිකයන්ගෙන් සමන්විත කණ්ඩායමයි. එම කණ්ඩායම පළමු සියවසේ සිට මේ දක්වා තම කාර්යය ඉටු කර ඇත. (ලූක් 12:42) බයිබල් අනාවැකිවල ඉටුවීම පැහැදිලි කරන තොරතුරු ප්‍රකාශයට පත් කිරීම සඳහාත් බයිබල් ප්‍රතිපත්ති අපේ දෛනික ජීවිතයට අදාළ වෙන ආකාරය පිළිබඳව කාලෝචිත මඟ පෙන්වීම් සැපයීම සඳහාත් යේසුස් එම කණ්ඩායම යොදාගනියි. මෙසේ මෙම කණ්ඩායම පිළියෙල කරන ආහාර යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලොව පුරා පිහිටි සභාවලට බෙදාහරිනු ලැබේ.—යෙසා. 43:10; ගලා. 6:16.
ස්වාමියා “සන්තක” දේවලට අයත් වන්නේ මොනවාද? ස්වර්ගයේ රජ හැටියට ක්‍රිස්තුස් සන්තක දේවල් වන්නේ ඔහුට අයිති සියලුම සම්පත් හා සියලුම පුද්ගලයන්ය. මේවාට ලොව පුරා තිබෙන ශාඛා කාර්යාල, රාජ්‍ය ශාලා හා එක්රැස්වීම් ශාලා ඇතුළුව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සියලුම දේවල් අයත් වේ. එපමණක්ද නොව, “රාජ්‍යයේ මේ ශුභාරංචිය” පොළොව පුරාම දේශනා කරන්න කියාද එය පිළිගන්න අයට උගන්වන්න කියාද දී තිබෙන ආඥාවද ස්වාමියා “සන්තක” දේවලට අයත් වේ. මේ “දාසයා” දෙවිගේ නියෝජිතයා ලෙස සේවය කරමින් විවිධ ජාතීන්ගෙන් සමන්විත ‘මහත් සමූහයව’ ක්‍රිස්තියානි සභාවට එක්රැස් කරයි. මහත් පීඩාවෙන් ගැලවෙන්නේ ඒ ‘මහත් සමූහයයි.’ (ලූක් 12:42-44; මතෙ. 24:14; එළි. 7:9-14) පොළොවේ සතර දිග් භාගය පුරා ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයෙන් විශාල කොටසක් ඉටු කරනු ලබන්නේ එම “මහත් සමූහය” විසිනි. යේසුස් ඉතා අනර්ඝ ලෙස සලකන ඔහු “සන්තක” දේවලට ඔවුන්ද අයත් වේ. මොවුන් උද්යෝගයෙන් පක්ෂපාතව තමන්ට ලබා දෙන සහයෝගය දාස පන්තිය බොහෝ සේ අගය කරයි.
පාලක මණ්ඩලයේ කාර්යභාරය
“විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” එක්සත්කම පවත්වාගැනීමටත් ‘සියල්ල විනීතවද පිළිවෙළකටද සිදු කිරීමටත්’ සෑහෙන වෑයමක් දරයි. (1 කොරි. 14:40) එම අරමුණ ඉටු කිරීම සඳහා පළමුවන සියවසේදී විශ්වාසවන්ත නුවණ ඇති දාසයා අතරින් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත කණ්ඩායමක් තෝරාගන්නා ලදි. මෙම කණ්ඩායම විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව නියෝජනය කරමින් කටයුතු කළ නිසා තීරණ ගැනීමට කලින් ලෝකයේ විවිධ ප්‍රදේශවල විසූ සියලුම අභිෂේක ලත් වැඩිමහල්ලන්ගෙන් අදහස් විමසුවේ නැත. එම කණ්ඩායම සිටියේ යෙරුසලමේ පිහිටි සභාවේය. එහි සිට එම පිරිස අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත මුළු සභාවම නියෝජනය කරන පාලක මණ්ඩලයක් හැටියට සේවය කළහ.
ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේ සිට, ස්වාමියා වන යේසුස් ක්‍රිස්තුස්ගේ විශ්වාසවන්ත ප්‍රේරිතයෝ අලුතින් පිහිටුවනු ලැබූ ක්‍රිස්තියානි සභාවට මඟ පෙන්වීම සපයමින් මූලිකත්වය ගෙන කටයුතු කළහ. (ක්‍රියා 4:33, 35, 37; 5:18, 29) ක්‍රිස්තු වර්ෂ 49 වන විට මෙම පාලක මණ්ඩලයට යේසුස්ගේ ප්‍රේරිතයන්ට අමතරව තවත් අයව ඇතුළත් කර තිබිණ. චර්මඡේදනය පිළිබඳව හටගත් මතභේදය නිරාකරණය කළ කාලයේදී එම මණ්ඩලයට ‘යෙරුසලමේ සිටි ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන්ද’ ඇතුළත් විය. (ක්‍රියා 15:1, 2) සෑම ප්‍රදේශයකම සිටි ක්‍රිස්තියානීන්ට බලපාන කාරණා ගැන සලකා බැලීම ඔවුන්ගේ වගකීම විය. ඔවුහු සභාවන් ශක්තිමත් කරන ලිපි හා නියෝග ඒ ඒ සභාවන්ට යැවූහ. මේනිසා මතභේදවලින් තොරව එක්සත්ව දේවල් කිරීමට සියලුම ක්‍රිස්තියානීන්ට හැකි විය. සියලුම සභාවන් ක්‍රියා කළේ පාලක මණ්ඩලයේ මඟ පෙන්වීම්වලට අනුවය. මෙහි ප්‍රතිඵලයක් හැටියට යෙහෝවා දෙවිගේ ආශීර්වාද සභාවලට ලැබී ඒවා වර්ධනය විය.—ක්‍රියා 8:1, 14, 15; 15:22-31; 16:4, 5.
පළමුවන සියවසේ ක්‍රියාත්මක වුණා හා සමාන සැලැස්මක් අද දිනත් දැකිය හැක. වර්තමානයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සේවය කරන අභිෂේක ලත් වැඩිමහල්ලෝ අවුරුදු ගණනාවක් පුරා බොහෝ අද්දැකීම් ලබමින් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කර ඇත. පළමුවන සියවසේ සිටි පාලක මණ්ඩලය කළාක් මෙන් ඔවුහුද යෙහෝවාගේ සෙනඟට අවශ්‍ය මඟ පෙන්වීම සපයති. දේශනා සේවය අධීක්ෂණය කිරීමේ වගකීම දරන්නේද මේ පාලක මණ්ඩලය විසිනි. එපමණක්ද නොව, බයිබලය අධ්‍යයනය කිරීමට යොදාගන්න පොත් පත් සඟරා පිළියෙල කිරීම හා සංවිධානයේ විවිධ කාර්යයන් ඉටු කිරීම සඳහා අවේක්ෂකයන්ව පත් කිරීමට සැලසුම් යෙදීම යනාදිය සිදු කරනු ලබන්නේද එම පාලක මණ්ඩලය විසිනි. මෙහි සඳහන් කළ දේවල් වර්තමානයේ රැක බලාගනු ලබන ක්‍රිස්තුස් “සන්තක” දේවලින් සමහරකි. මුල් කාලයේ සිටි ක්‍රිස්තියානීන් වගේ අපිත් මේ අද්දැකීම් ලත් සහෝදරයන් විසින් ලබා දෙන අපේ නමස්කාරයට අදාළ බයිබලය මත පදනම් මඟ පෙන්වීම් හා උපදෙස් සන්තෝෂයෙන් පිළිගන්නෙමු.
පළමුවන සියවසේ මෙන්ම වර්තමානයේ සිටින පාලක මණ්ඩලයේ සාමාජිකයෝද දුර්වලකම් ඇති මිනිස්සු වෙති. කෙසේවෙතත් දෙවි තම කැමැත්ත ඉටු කරගැනීම සඳහා අතීතයේ යොදාගත්තේත් දුර්වලකම් ඇති මිනිසුන්වයි. යෙහෝවා දෙවි නෝවාට නැවක් සාදන්න කියාද ඔහුගේ කාලයේ සිදුවීමට නියමිතව තිබූ විනාශය ගැන මිනිසුන්ට දේශනා කරන්න කියාද උපදෙස් දුන්නේය. (උත්. 6:13, 14, 22; 2 පේතෘ. 2:5) වහල්ව සිටි දෙවිගේ සෙනඟව ඊජීප්තුවෙන් මුදවාගැනීමට මෝසෙස්ව පත් කරන ලදි. (නික්. 3:10) බයිබලය ලිවීමට දෙවි මඟ පෙන්වීම් දුන්නේ දුර්වලකම් ඇති මිනිසුන්ටය. (2 තිමෝ. 3:16; 2 පේතෘ. 1:21) දේශනා කිරීමේ හා මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යයට මඟ පෙන්වීම ලබා දීම සඳහා යෙහෝවා දෙවි අදදිනත් යොදාගන්නේ දුර්වලකම් ඇති මිනිසුන්වය. මෙය ඔහුගේ සංවිධානය කෙරෙහි අපේ විශ්වාසය දුර්වල කරගැනීමට හේතුවක් වන්නේ නැත. ඇත්තෙන්ම එමගින් යෙහෝවා දෙවිගේ සංවිධානය කෙරෙහි අපේ විශ්වාසය ශක්තිමත් විය යුතුය. මන්ද දෙවිගේ උපකාරය නොමැතිව පාලක මණ්ඩලය කරන කිසිම දෙයක් කිරීමට ඔවුන්ට නොහැකි වන බව අප දන්න නිසාය.
“විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” කෙරෙහි විශ්වාසය තැබීමට හේතු
දාස පන්තිය කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබීමට හේතු බොහොමයක් තිබේ. මේ අතර ප්‍රධානතම හේතුව වන්නේ යේසුස් ඔහු “සන්තක” අතිවටිනා සියලුම සම්පත් බලාගැනීමට එම දාස පන්තිය පත් කර තිබීමය. (මතෙ. 24:47) මෙම පත් කිරීමෙන් පැහැදිලි වන්නේ යේසුස් දාස පන්තිය කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබා තිබෙන බවය.
දෙවන හේතුව වන්නේ මූලිකත්වය ගෙන සේවය කරන අය සමඟ සහයෝගයෙන් වැඩ කරන්න කියා දේවවචනය ක්‍රිස්තියානීන්ට උපදෙස් දී තිබීමය. එසේ කිරීම අපේම යහපතට හේතු වේ. ඒ කෙසේද? මේ බව හෙබ්‍රෙව් 13:17හි පාවුල් සඳහන් කළ මෙම වදන්වලින් පැහැදිලි වේ. “ඔබ අතරේ පෙරමුණ ගන්නාවූ අයට කීකරුව සිටින්න. යටත්ව සිටින්න. මන්ද ඔවුහු ඔබ ගැන ගණන් දිය යුතු අය හැටියට ඔබව රැකබලා ගන්නෝය. එවිට ඔවුන්ට එය සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් කිරීමට හැකි වන්නේය. මන්ද, ඔවුන් එය සුසුම්ලමින් කළොත් ඔබට හානිදායක වන්නේය.” අපේම ශුභසිද්ධිය හා ආරක්ෂාව සඳහා අවේක්ෂකයන් දෙන මඟ පෙන්වීම පිළිපැදිය යුතුය.
පාවුල් 1 කොරින්ති 16:14හි සඳහන් කළ පරිදි “ඔබ කරන සෑම කටයුත්තක්ම ප්‍රේමයෙන් කරනු ලැබේවා.” දෙවිගේ සෙනඟ වෙනුවෙන් තීරණ ගනු ලබන්නේ ප්‍රේමය නමැති උතුම් ගුණාංගය විශේෂයෙන් සැලකිල්ලට ගනිමිනි. ප්‍රේමය ගැන 1 කොරින්ති 13:4-8හි මෙසේ සඳහන් වේ. “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය. කරුණාවන්තය. ප්‍රේමය ඊර්ෂ්‍යා වන්නේ නැත. පුරසාරම් දොඩන්නේ නැත. අහංකාර වන්නේ නැත. අවිනීතව හැසිරෙන්නේ නැත. තමන්ගේම කාරණා සොයන්නේ නැත. ඉක්මනින් කෝප වන්නේ නැත. අමනාපයක් සිතේ තබාගන්නේ නැත. අධර්මිෂ්ඨකම ගැන ප්‍රීති නොවී සත්‍යය ගැන ප්‍රීති වන්නේය. සියල්ල දරාගන්නේය. සියල්ල විශ්වාස කරන්නේය. සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටින්නේය. සියල්ල විඳදරාගන්නේය. ප්‍රේමය කිසි කලක පහ වන්නේ නැත.” යෙහෝවා දෙවිට සේවය කරන අයගේ යහපත වෙනුවෙන් ගනු ලබන සියලුම තීරණවලට ප්‍රේමය මගින් සුවිශේෂි බලපෑමක් ඇති කරන නිසා අපට හැඟෙන්නේ එම තීරණ අපව නොයෙක් අනතුරුවලින් ආරක්ෂා කරන බවය. එපමණක්ද නොව, එම තීරණ යෙහෝවා ඔහුගේ සෙනඟට ප්‍රේම කරන බවටද සාක්ෂියකි.
දාස පන්තිය බොහෝ අද්දැකීම් ලබමින් දුෂ්කරතා විඳදරාගැනීමෙන් පෙනී යන්නේ දෙවිගේ බලය ඔවුන්ට තිබෙන බවය. යෙහෝවා දෙවි අදදින ඔහුගේ දෘශ්‍යමාන සංවිධානය මත බොහෝ ආශීර්වාද වගුරුවා තිබේ. මේ නිසා අපේ මුළු හදවතින්ම ඊට පූර්ණ සහයෝගය දක්වමු. දාස පන්තිය කෙරෙහි විශ්වාසය තබමු.
අපේ විශ්වාසය පෙන්විය හැකි අයුරු
සභාවේ වගකීම් දරන අය තමන්ගේ වගකීම් සතුටින් භාරගෙන ඒවා හොඳින් ඉටු කරමින් දාස පන්තිය කෙරෙහි තමන්ගේ විශ්වාසය පෙන්වති. (ක්‍රියා 20:28) දේවරාජ්‍යය පිළිබඳව ජනයාට ප්‍රකාශ කරන්නන් වශයෙන් අපි උද්යෝගයෙන් ගෙයින් ගෙට සේවයේ හවුල් වන්නෙමු. නැවත බැලීම් කරන්නෙමු. බයිබල් පාඩම් පවත්වන්නෙමු. (මතෙ. 24:14; 28:19, 20) “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” බහුල ලෙස බෙදාහරින ආහාරවලින් පූර්ණ ප්‍රයෝජන ගැනීම සඳහා අපි හොඳින් සූදානම් වී සියලුම ක්‍රිස්තියානි රැස්වීම්වලට යන්නෙමු. මෙම රැස්වීම්වලට සෑම වසරකම පවත්වනු ලබන චාරිකා එක්රැස්වීම් හා සමුළුද අයත් වේ. මෙවැනි හමු වීම්වලදී අපේ සහෝදර සහෝදරියන් සමඟ ඇසුරු කිරීමෙන් ලබන අන්‍යෝන්‍ය දිරිගැන්වීම මගින් අපි බොහෝ ප්‍රයෝජන ලබන්නෙමු.—හෙබ්‍රෙ. 10:24, 25.
අප සතු සැප සම්පත් සංවිධානයට පරිත්‍යාග කරමින් එහි වැඩකටයුතුවලට සහයෝගය දක්වන විට අප පෙන්වන්නේ ‘විශ්වාසවන්ත දාසයා’ කෙරෙහි අප විශ්වාසය තබා තිබෙන බවය. (හිතෝ. 3:9, 10) අපේ සහෝදරයන් හිඟකම්වලින් පෙළෙන බව දැනගන්නා විට, අපි ප්‍රමාද නොකර ඔවුන්ට අවශ්‍ය දේවල් ලබා දීමට පියවර ගන්නෙමු. (ගලා. 6:10; 1 තිමෝ. 6:18) අප මෙසේ කරන්නේ සැබෑ සහෝදර ප්‍රේමය අපව ඒ සඳහා පොලඹවන නිසාය. අප වෙනුවෙන් කර තිබෙන යහපත් දේවල් සඳහා යෙහෝවා දෙවිටත් ඔහුගේ සංවිධානයටත් අපේ ස්තුතිය පෙන්වීමට තිබෙන අවස්ථා ගැන අපි නිතරම විමසිලිමත්ව සිටින්නෙමු.—යොහ. 13:35.
දාස පන්තිය ගන්න තීරණවලට සහය දැක්වීම, අප ඔවුන් කෙරෙහි විශ්වාසය තබා තිබෙන බව පෙන්විය හැකි තවත් ආකාරයකි. ඔවුන් ගන්න ඇතැම් තීරණවලට බලපා තිබෙන හේතු සම්පූර්ණයෙන් වටහාගැනීමට අප අපොහොසත් විය හැක. එහෙත් ඒ තීරණවලට යටත් වීම අපේ දිගු කාලීන යහපතට හේතු වන බව අපි දනිමු. ක්‍රිස්තු වර්ෂ 49දී චර්මච්ඡේදනය පිළිබඳ මතභේදය මතු වූ අවස්ථාවේදී පළමුවන සියවසේ සිටි පාලක මණ්ඩලය ඒ කාරණය ගැන යාච්ඤා කර ශුද්ධ ලියවිල්ල මත පදනම් වූ තීරණයකට එලඹිණ. ඔවුන් ගත් තීරණය සභාවට ලිඛිතව දැනුම් දුන් විට සභාවන් ඔවුන්ගේ මඟ පෙන්වීමට කීකරු විය. එහි ප්‍රතිඵලය වූයේ ඒ සභාවන්ට දෙවිගේ මහඟු ආශීර්වාද භුක්ති විඳීමට ලැබීමය. (ක්‍රියා 15:6-15, 22-29; 16:4, 5) මෙය අදදිනත් දකින්නට තිබේ. විවිධ මතවලට තුඩු දිය හැකි වැදගත් කාරණා ගැන දාස පන්තිය විසින් ඇතැම් තොරතුරු පැහැදිලි කර දෙනු ලැබේ. අපි ඔවුන් ගන්න තීරණ එක සිතින් පිළිගන්නෙමු. මෙහි ප්‍රතිඵලයක් හැටියට, යෙහෝවා දෙවි අපට ආශීර්වාද කරයි. ඔහු මෙසේ කරන්නේ අප ඔහුගේ වචනයටත් දාස පන්තියටත් කීකරු වන නිසාය. එමෙන්ම අපි එසේ කිරීමෙන් ස්වාමියා වන යේසුස් ක්‍රිස්තුස්ට යටත් වන බවද පෙන්වන්නෙමු.
ඇත්තෙන්ම, “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” කෙරෙහි විශ්වාසය තැබීමට අපට ඕනෑ තරම් හේතු තිබේ. මේ සමාජ ක්රමයේ දෙවි වන සාතන් යෙහෝවා දෙවිගේ නාමයත් ඔහුගේ සංවිධානයත් අපකීර්තියට පත් කිරීම සඳහා ඔහුට කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටියි. (2 කොරි. 4:4) සාතන්ගේ කූට උපායන්වලට හසු වන්න එපා. (2 කොරි. 2:11) තමන්ව අවුරුදු 1,000කට අගාධයට දමා ක්‍රියා විරහිත කර තැබීමට තිබෙන්නේ තව කෙටි කාලයක් බව සාතන් දනියි. එනිසා ඔහු වෑයම් කරන්නේ යෙහෝවා දෙවිගේ සෙනඟ අතරින් හැකි තරම් පිරිසක්ව විනාශය කරා ඇදගෙන යෑමටය. (එළි. 12:12) මේ සඳහා සාතන් කොපමණ වෑයම් කළත් අපි වඩ වඩා දෙවිට ළංවීමට උපරිම උත්සාහය දරමු. අදදින යෙහෝවා ඔහුගේ සෙනඟට මඟ පෙන්වීම සඳහා යොදාගන්න දාස පන්තිය කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබමු. “යේසුස් ගැන සාක්ෂි දැරීමේ කාර්යය” විශ්වාසයෙන් යුතුව බාර දී තිබෙන දාස පන්තියේ “ඉතිරි අයට” විරුද්ධව සාතන් යුද්ධ කරමින් සිටියි. (එළි. 12:17) අපි යෙහෝවා දෙවි කෙරෙහිත් ඔහු යොදා තිබෙන සැලසුම් කෙරෙහිත් පූර්ණ විශ්වාසය තබන්නෙමු. මෙහි ප්‍රතිඵලය වන්නේ එක්සත් සහෝදරත්වයක් බිහිවීමයි.
4වන පරිච්ඡේදය
ක්‍රිස්තියානි සභාව සංවිධානය වී ඇති අයුරු
පාවුල් කොරින්තිවරුන්ට ලියූ ඔහුගේ පළමුවන ලිපියේදී දෙවි පිළිබඳව වැදගත් සත්‍යයක් ගැන මෙසේ සඳහන් කළේය. “දෙවි, අවුල්සහගත දෙවි කෙනෙකු නොව, සමාදානයේ දෙවි කෙනෙක්ය.” මෙම වචන පැවසීමෙන් පසු ඔහු සභා රැස්වීම් ගැන අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. “සියල්ල විනීතවද පිළිවෙළකටද සිදු වේවා!”—1 කොරි. 14:33, 40.
කොරින්ති සභාවේ බෙදීම් හටගෙන තිබූ බව පාවුල්ට දැනගන්නට ලැබී තිබිණ. ඔවුන්ට ලියූ ලිපියේ ආරම්භයේදීම ඔහු ඒ ගැන ඔවුන්ට උපදෙස් දුන්නේය. ‘එකඟතාවෙන් යුතුව කතා කරන’ ලෙසද “එකම මනසින් හා එකම ආකාරයට සිතීමෙන් නිසි ලෙස එක්සත් වන ලෙසද” පාවුල් ඔවුන්ගෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටියේය. (1 කොරි. 1:10, 11) අනතුරුව සභාවේ එක්සත්කමට අහිතකරව බලපා තිබූ විවිධ දේවල් ගැන ඔහුගෙන් උපදෙස් ලැබිණ. මිනිස් සිරුරක් පිළිබඳව උදාහරණයක් සපයමින් එක්සත්ව සහයෝගයෙන් සේවය කිරීමේ අවශ්‍යතාව ඔහු හොඳින් පැහැදිලි කර දුන්නේය. මෙහිදී ඔහු ක්‍රිස්තියානි සභාවේ සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටියේ තමන්ට පැවරී තිබෙන කාර්යය කුමක් වුවත් එකිනෙකා කෙරෙහි ප්‍රේමණීය සැලකිල්ලක් දක්වන ලෙසටය. (1 කොරි. 12:12-26) සභාවේ සාමාජිකයන් අතර එවන් එකමුතුකමක් හා සහයෝගයක් පවත්වාගැනීම සඳහා කළ උනන්දු කිරීමෙන් පෙනී යන්නේ සභාව තුළ සංවිධානාත්මක සැලැස්මක් තිබිය යුතු වීමය.
එහෙත් ක්‍රිස්තියානි සභාව සංවිධානය විය යුත්තේ කෙසේද? එය සංවිධානය කරන්නේ කවුරුන් විසින්ද? එහි සංවිධානාත්මක සැලැස්ම කුමන ආකාරයේ එකක්ද? එහි වගකීම් දැරීම සඳහා පත් කරනු ලබන්නේ කවුරුන්වද? බයිබලයේ උපකාරය ඇතුව මෙම ප්‍රශ්න සලකා බැලීමෙන් ඒවාට වඩාත් පැහැදිලි පිළිතුරු අපට සොයාගත හැක.—1 කොරි. 4:6.
දෙවිගේ අධීක්ෂණය යටතේයි
ක්‍රිස්තියානි සභාව පිහිටුවනු ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදීය. ඒ කාලයේ තිබූ සභාව ගැන අපට දැනගැනීමට තිබෙන්නේ මොනවාද? එම සභාව සංවිධානය වී තිබුණේ දෙවිගේ අධීක්ෂණය යටතේය. මීට අවුරුදු 2,000කට ආසන්න කාලයකට ඉහතදී යෙරුසලමේ ඒ සිද්ධිය පිළිබඳව දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියන ලද වාර්තාවෙන් පැහැදිලිව පෙනී යන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත වූ පළමුවන සියවසේ තිබූ සභාව පිහිටුවනු ලැබුවේ දෙවි විසින් බවය. (ක්‍රියා 2:1-47) එය ඔහුගේ ගොඩනැඟිල්ල හෙවත් ගෘහය විය. (1 කොරි. 3:9; එෆී. 2:19) වර්තමානයේ දෙවිගේ ක්‍රිස්තියානි සභාව තුළත් ක්‍රියාත්මක වන්නේද පළමුවන සියවසේදී ක්‍රියාත්මක වූ එම සංවිධානාත්මක සැලැස්මමයි. ක්‍රිස්තියානි සභාවට “මහත් සමූහය” එක්වීම නිසා අද එය විශාල වී තිබේ.—එළි. 7:9, 10.
මුල් ක්‍රිස්තියානි සභාව පටන්ගන්න විට සිටියේ සාමාජිකයන් 120දෙනෙකි. යෝවෙල් 2:28, 29හි සඳහන් අනාවැකිය ඉටු වෙමින් ඔවුන් කෙරෙහි දෙවිගේ බලය වගුරුවන ලදි. (ක්‍රියා 2:16-18) එහෙත් එදිනම වතුරෙන් බව්තීස්ම කරනු ලැබූ තවත් 3,000දෙනෙකුව දෙවිගේ බලයෙන් ජනිත වූ සභාවට එකතු කරන ලදි. ක්‍රිස්තුස් පිළිබඳව සවන් දෙන්න ලැබුණු වචනය පිළිගත් ඔවුහු “ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහි . . . නොකඩවා නියැලී සිටියෝය.” ඉන් පසුවද “යෙහෝවා . . . ගැලවූ අයව ඔවුන්ට දිනපතා එක් කරමින් සිටියේය.”—ක්‍රියා 2:41, 42, 47.
යෙරුසලමේ සභාව මොන තරම් වර්ධනය වූවාද කියනවා නම් ගෝලයන් ඔවුන්ගේ ඉගැන්වීමෙන් යෙරුසලම පුරවා තිබේ කියා පවසමින් යුදෙව් උත්තම පූජකයා චෝදනා කළේය. යෙරුසලමේදී අලුත් ගෝලයන් බවට පත් වූ අය අතර පූජකයන්ගෙන් මහත් සමූහයක්ද විය. ඔවුහුද සභාවේ සාමාජිකයෝ වූහ.—ක්‍රියා 5:28; 6:7.
යේසුස් මෙසේ පවසා තිබිණ. “ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වාද මා ගැන සාක්ෂිකරුවෝ වන්නහුය.” (ක්‍රියා 1:8) ස්තේපන්ගේ මරණින් පසු යෙරුසලමේ පීඩා වැඩි වූ අවස්ථාවේදී එහි විසූ ගෝලයෝ යුදයේ හා සමාරියේ පළාත් පුරා විසිරී ගියහ. යේසුස් පැවසූ ඉහත සඳහන් වදන් ඉටු වූයේ ඒ කාලයේදීය. ගෝලයෝ විසිරී ගිය සෑම ප්‍රදේශයකම ශුභාරංචිය ප්‍රකාශ කරමින් මිනිසුන්ට සත්‍යය ඉගැන්වූහ. මෙම නවක ගෝලයන් අතර සමරිතානුවන්ගෙන් සමහරදෙනෙක්ද විය. (ක්‍රියා 8:1-13) පසු කලෙක ශුභාරංචිය යුදෙව්වන් නොවූ අචර්මච්ඡේදිත ජාතීන් අතරද සාර්ථකව දේශනා කරන ලදි. (ක්‍රියා 10:1-48) දේශනා සේවය මෙලෙස ව්‍යාප්ත වීමෙන් හා බොහෝදෙනෙකු ක්‍රිස්තියානීන් බවට පත්වීමේ ප්‍රතිඵලයක් හැටියට යෙරුසලමෙන් පිට අලුත් සභා පිහිටුවන ලදි.—ක්‍රියා 11:19-21; 14:21-23.
මෙසේ අලුතින් පිහිටුවනු ලැබූ සෑම සභාවක්ම දෙවිගේ අධීක්ෂණය යටතේ සංවිධානය කරනු ලැබූ බවට සහතික වීම සඳහා පිළියෙල කළ සැලසුම් මොනවාද? දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය මගින් රැළ රැක බලාගැනීම සඳහා උපඑඬේරුන්ව පත් කිරීමේ සැලැස්මක් ඇති කරන ලදි. පාවුල් හා බානබස් ගිය පළමුවන මිෂනාරි ගමනේදී වැඩිමහල්ලන්ව පත් කළහ. (ක්‍රියා 14:23) පාවුල් එෆීස සභාවේ වැඩිමහල්ලන්ව හමු වූ අවස්ථාවේදී ඔවුන්ට පැවසූ දේවල් ගැන ක්‍රියා 20වන පරිච්ඡේදයේ සඳහන් වේ. මෙහි එක් වගන්තියක අපට මෙසේ කියවීමට තිබේ. “තමන් ගැනත් මුළු රැළ ගැනත් අවධානයෙන් සිටින්න. ශුද්ධාත්මය විසින් ඔබව ඔවුන් අතරේ අවේක්ෂකයන් ලෙස පත් කර තිබෙන්නේ, දෙවි තමාගේම පුත්‍රයාගේ ලෙයින් මිලට ගත් තමාගේ සභාව එඬේරෙකු මෙන් රැකබලා ගැනීමටය.” (ක්‍රියා 20:28) මොවුන්ව වැඩිමහල්ලන් කියා හඳුන්වනු ලබන්නේ ඔවුන් සත්‍යය තුළ ශක්තිමත්ව වැඩී තිබෙන නිසාය. සභාවේ වැඩකටයුතු බලා කියා ගැනීම සඳහා මොවුන්ව පත් කරනු ලැබීමට හේතුව ඔවුන් ශුද්ධ ලියවිල්ලේ සඳහන් සුදුසුකම් සපුරා තිබීමයි. (1 තිමෝ. 3:1-7) ක්‍රීට්හි පිහිටි සභාවේ වැඩිමහල්ලන්ව පත් කිරීම සඳහා පාවුල්ගේ හවුල් සේවකයෙකු වූ තීතස්ට බලතල ලැබී තිබිණ.—තීත. 1:5.
සභාවන් වැඩි වැඩියෙන් පිහිටුවනු ලබද්දී යෙරුසලමේ සිටි ප්‍රේරිතයෝ හා වැඩිමහල්ලෝ පළමුවන සියවසේදී ලොව පුරා ව්‍යාප්ත වූ සභාවේ ප්‍රධාන අවේක්ෂකයන් ලෙස සේවය කළහ. මුළු ක්‍රිස්තියානි සභාව සඳහා ක්‍රියාත්මක වන පාලක මණ්ඩලයක් ලෙස ඔවුහු සේවය කළහ.
දෙවිගේ මඟ පෙන්වීමට අනුව කටයුතු කිරීමෙන්, ක්‍රිස්තියානි සභාවේ ප්‍රධානියා වන යේසුස් ක්‍රිස්තුස්ට පක්ෂපාතව සිටින්නත් එක්සත්කම පවත්වාගැනීමටත් සභාවට හැකි බව පාවුල් සඳහන් කළේය. යටහත් පහත්කමින් ක්‍රියා කිරීමටද සභාවේ සියලුම සාමාජිකයන් සමඟ සාමකාමී ඇසුරක් භුක්ති විඳිමින් ඔවුන් අතර එකමුතුකම පවත්වාගන්න කියාද ඔහු එෆීසයේ සිටි ක්‍රිස්තියානීන්ට උනන්දු කළේය. (එෆී. 4:1-6) ඉන් අනතුරුව පාවුල් ගීතාවලිය 68:18 උපුටා දක්වා, එය යෙහෝවා දෙවි පිහිටුවා ඇති සැලැස්මට සම්බන්ධ වන ආකාරය පෙන්වා දුන්නේය. මෙම සැලැස්ම නම් ප්‍රේරිතවරුන්, අනාගතවක්තෘවරුන්, එවැන්ජලිස්තවරුන්, එඬේරුන් හා ගුරුවරුන් ලෙස සභාවේ සේවය කිරීම සඳහා ශුද්ධ ලියවිල්ලට අනුව සුදුසුකම් ලබා සිටින පුරුෂයන්ව පත් කිරීමය. යෙහෝවා දෙවි තෑගි වශයෙන් දී තිබෙන එම පුරුෂයන් මුළු සභාවේම වර්ධනය පිණිස සේවය කරනු ඇත. දෙවිව ප්‍රසන්න කරන අයුරින් සභාව ඇදහිල්ලෙන් පූර්ණත්වයට පත් කරනු ඇත.—එෆී. 4:7-16.
වර්තමාන සභාව අනුගමනය කරන්නේ ප්‍රේරිතයන්ගේ ආදර්ශයයි
පළමුවන සියවසේ ක්‍රිස්තියානි සභාවල අනුගමනය කළ ඉහත විස්තර කළ ක්‍රියා පිළිවෙත හා සමාන ක්‍රියා පිළිවෙතක් වර්තමානයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සියලුම සභාවලද අනුගමනය කෙරේ. මෙම සියලුම සභා එක කණ්ඩායමක් හැටියට එකතු වී ලෝක ව්‍යාප්ත එක්සත් සභාවක් ලෙස කටයුතු කරයි. මෙහි ප්‍රධානතම පිරිස වන්නේ දෙවිගේ බලයෙන් අභිෂේක කළ ක්‍රිස්තියානීන්ය. (සෙක. 8:23) මෙසේ ලෝක ව්‍යාප්තව එක්සත් සභාවක් පිහිටුවීමට හැකි වී තිබෙන්නේ යේසුස් පොරොන්දු වූ පරිදි ඔහුගේ අභිෂේක ලත් අනුගාමිකයන් සමඟ ‘සමාජ ක්රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා සැමදා සිටින’ නිසාය. වර්ධනය වෙමින් පවතින සභාවේ සාමාජිකයන් වී තිබෙන අය දෙවිගේ ශුභාරංචිය පිළිගෙන, යෙහෝවා දෙවිගේ කැමැත්ත කිරීමට කිසිම කොන්දේසියක් නැතිව ඔහුට කැප වී, යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන් වශයෙන් බව්තීස්ම වෙති. (මතෙ. 28:19, 20; මාක් 1:14; ක්‍රියා 2:41) “උතුම් එඬේරා” වන යේසුස් ක්‍රිස්තුස්ව සභාවේ අභිෂේක ලත් සාමාජිකයන්ගේ හිස නොහොත් ප්‍රධානියා හැටියට පමණක් නොව, ‘වෙනත් බැටළුවන්ද’ අයත් වන මුළු රැළේම ප්‍රධානියා හැටියට ඔවුහු ඔහුව පිළිගනිති. (යොහ. 10:14, 16; එෆී. 1:22, 23) මේ “එක රැළ” ක්‍රිස්තුස්ගේ නායකත්වයට පක්ෂපාත වෙමින්ද පොළොව මත දේවරාජ්‍යය හා සම්බන්ධ කටයුතු සංවිධානය කරන ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට’ යටත් වෙමින් දිගටම එක්සත්ව සේවය කරති. වර්තමානයේ සිටින මෙම විශ්වාසවන්ත දාසයා කෙරෙහි පූර්ණ විශ්වාසය තබමු.—මතෙ. 24:45.
නීත්‍යනුකූල ආගමික ආයතන යොදාගැනීම
වත්මන් දුෂ්ට සමාජ ක්රමයේ මේ අන්තිම දවස්වලදී ලොව පුරා ස්වාමියා සන්තක දේවල් බහුල ලෙස වර්ධනය වී තිබේ. මේ නිසා විශ්වාසවන්ත දාසයා මත මහත් වගකීම් සම්භාරයක් පැවරී තිබේ. නියම වේලාවට ආහාර සැපයීම සඳහා එම දාස පන්තියට පැවරී තිබෙන වගකීම ඉටු කිරීම සඳහාත් අවසානය පැමිණීමට කලින් රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය ඉටු කිරීම සඳහාත් නීත්‍යනුකූලව ආයතන කිහිපයක් පිහිටුවා ඇත. විවිධ රටවල නීතිය මගින් පිළිගෙන තිබෙන මෙම ආයතන පිහිටුවීමට දාස පන්තිය පියවර ගෙන තිබීම නැණවත් දෙයක් බව පෙනී යයි. ලොව පුරා සිදු කරනු ලබන දේවසේවයේදී භාවිත කිරීම සඳහා මෙම ආගමික ආයතන සතුව තිබෙන මුද්‍රණ යන්ත්‍ර යොදාගනිමින් බයිබල් හා බයිබලය මත පදනම් පොත් පත් සඟරා මුද්‍රණය කෙරේ.
මෙම ආයතනවල එකම අරමුණ ලොව පුරා සැබෑ නමස්කාරයේ වර්ධනයට පූර්ණ සහයෝගය දැක්වීමය. මෙම නීත්‍යනුකූල ආයතන සියල්ලම සහයෝගයෙන් වැඩ කරයි. මෙම ආයතන යොදාගනු ලබන්නේ ලෝක ව්‍යාප්තව ශුභාරංචිය දේශනා කිරීම සඳහාත් ලොව පුරා තිබෙන දෙවිගේ සියලුම සභාවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහාත්ය.
ශාඛා කාර්යාලවල සංවිධානාත්මක සැලැස්ම
යම් රටක ශාඛා කාර්යාලයක් පිහිටුවනු ලබන විට ශාඛා කමිටුවක් ලෙස සේවය කිරීම සඳහා වැඩිමහල්ලන් තුන්දෙනෙකුව හෝ ඊට වැඩිදෙනෙකුව පත් කෙරේ. මෙම කමිටුවේ ප්‍රධානතම වගකීම වන්නේ එම රටේ හෝ ඊට පවරා තිබෙන රටවල දේවරාජ්‍යය හා සම්බන්ධ කටයුතු බලා කියා ගැනීමය. එම කමිටුවේ එක් සාමාජිකයෙක් ශාඛා කමිටුවේ සංවිධායක ලෙස සේවය කරයි.
ශාඛා කාර්යාලයක් යටතේ තිබෙන සභා සියල්ල චාරිකා වශයෙන් සංවිධානය කර තිබේ. චාරිකා කිහිපයක් එකතු වී දිස්ත්‍රික්කයක් සෑදේ. චාරිකාවල හා දිස්ත්‍රික්කවල ප්‍රමාණය එකිනෙකට වෙනස් විය හැක. ඒවායේ ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ ශාඛා කාර්යාලයකට පවරා තිබෙන රටේ ප්‍රදේශ පිහිටා තිබෙන ආකාරය හා එහි සිටින ජනයා කතා කරන භාෂාව හා එම රටේ තිබෙන සභා ගණන මතය. සෑම චාරිකාවකටම අයත් සභාවල සේවය කිරීම සඳහා චාරිකා අවේක්ෂකයෙකුව පත් කර සිටී. විවිධ චාරිකා බැහැදකීමට දිස්ත්‍රික් අවේක්ෂකයෙකුව පත් කර ඇත. ඔහු චාරිකා එක්රැස්වීම්වලද වැදගත් කාර්යයක් ඉටු කරයි. ඔහු සති කිහිපයක් චාරිකා අවේක්ෂක සමඟ ඇතැම් සභාවල සේවය කරයි. සංචාරක අවේක්ෂකයන්ගේ වගකීම් ගැන තොරතුරු කලින් කලට අපගේ රාජ්‍ය සේවාවේ පළ වේ. එමෙන්ම ශාඛා කාර්යාලය මගින්ද ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේ ගැන ඔවුන්ට දැනුම් දෙනු ලැබේ.
දෙවිගේ සංවිධානයට අයත්ව සිටින සියලුමදෙනා ඔහුගේ සංවිධානාත්මක සැලැස්ම පිළිගනිති. සියලුම සභා කටයුතු කරන්නේ සංවිධානයේ සෑමදෙනාගේම ප්‍රයෝජනය සඳහා පිළියෙල කර තිබෙන සංවිධානාත්මක සැලසුම්වලට එකඟවය. ශාඛා කාර්යාලවල, දිස්ත්‍රික්කවල, චාරිකාවල හා සභාවල වැඩකටයුතුවලට මඟ පෙන්වීම ලබා දෙන වැඩිමහල්ලන්ගේ පත් කිරීම සියලුදෙනාම පිළිගනිති. නියම වේලාවට ආහාර ලබාගැනීම සඳහා ඔවුන් රඳා සිටින්නේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මතය. මෙම දාස පන්තිය ක්‍රිස්තුස්ගේ නායකත්වයට සම්පූර්ණයෙන්ම යටත් වෙති. බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව කටයුතු කරති. දෙවිගේ මඟ පෙන්වීමට කීකරු වෙති. සියලුදෙනාම එකට එක්සත්ව සේවය කරද්දී එහි ප්‍රතිඵල වන්නේ පළමුවන සියවසේ තිබූ සභා අද්දුටු ප්රතිඵලමය. මේ ගැන ක්‍රියා 16:5හි අපට මෙසේ කියවීමට තිබේ. “සභාවන් දිගටම ඇදහිල්ලේ ස්ථිර වන්නත් දිනෙන් දින ගණනින් වැඩි වන්නත් විය.”