අපගේ දේවසේවයේදී දයානුකම්පාව පෙන්වමු
1 යේසුස්ට සවන් දුන් බොහෝදෙනෙක් “එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටි” බව ඔහු දැක්කා. (මතෙ. 9:36) ඔවුන් කෙරෙහි යේසුස්ට තිබුණේ මහත් ස්නේහයක් හා අනුකම්පාවක්. ඒ නිසා, යේසුස් ඔවුන් කෙරෙහි මහත් දයානුකම්පාවකින් පෙලඹී යෙහෝවාගේ මාර්ග ගැන උගන්වා ඔවුන්ට මහත් සැනසීමක් ලබා දුන්නා. එසේම අපිත් යේසුස්ගේ ඉගැන්වීම් ක්‍රම දෙස හොඳින් බැලුවොත්, අපටත් දේවසේවයේදී දයානුකම්පාව දැක්වීමට පුළුවන්.
2 අසරණ මිනිසුන් සරණ පිහිට පතා යේසුස් කරා පැමිණි අවස්ථාවලදී යේසුස් ඊට ප්‍රතිචාර දැක්වූ අන්දම ගැන ටිකක් සිතා බලන්න. (ලූක් 5:12, 13; 8:43-48) යම් යම් විශේෂ අවශ්‍යතා තිබූ අය ගැන ඔහු දැක්වූයේ පුදුම සැලකිල්ලක්. (මාක් 7:31-35) එපමණක්ද නොවෙයි ඔවුන්ගේ හැඟීම්ද වටහාගත් ඔහුට පිටතින් පේන දේට වඩා දේවල් දකින්නට හැකි වුණා. (ලූක් 7:36-40) ඇත්තවශයෙන්ම, යේසුස් දෙවි දක්වන දයානුකම්පාව ඒ විදිහටම පෙන්නුවා.
3 “අනුකම්පාවෙන් පෙලඹී”: යේසුස් තම සේවය කළේ නිකම්ම කළ යුතු දෙයක් හැටියට නොවේ. ඔහු ජනතාව ගැන “අනුකම්පාවෙන් පෙලඹී” සේවය කළා. (මාක් 6:34) ඒ හා සමානව, අදත් අපි නිකම්ම පණිවුඩයක් ඉදිරිපත් කරනවා නොවේ. අපි උත්සාහ කරන්නේ වටිනා ජීවිත ගලවාගන්නයි. මිනිසුන් විවිධ විදිහට ප්‍රතිචාර දක්වන්නේ ඇයි කියා තේරුම්ගැනීමට උත්සාහ කරන්න. ඔවුන් කනස්සල්ලෙන් ඉන්නේ ඇයි? යම් දේවල් ගැන ඕනෑවට වඩා මනස බර කරගෙන තිබෙන්නේ ඇයි? බොරු ආගම්වල නායකයන් ඔවුන්ව නොසලකාහැරලාද? නැත්නම් මුළා කරලාද? මේ විදිහට අපි අන් අය ගැන අවංකවම උනන්දු වෙද්දී අපට පුළුවන් ඔවුන්ව පොලඹවන්න, ශුභාරංචියට කන් දීමට.—2 කොරි. 6:4, 6.
4 දයානුකම්පාව කියන දේ අනුන්ගේ හදවත්වලටම දැනෙන දෙයක්. එක් කාන්තාවකට ඇගේ මාස තුනක් වියැති බිලිඳු දැරිය අහිමි වුණා. සහෝදරියන් දෙදෙනෙක් ඇගේ නිවසට ගිය මොහොතේ, ඇය ඔවුන් දෙදෙනාට නිවස තුළට ආරාධනා කළේ වාද කිරීමේ අදහසින්. ඒ දෙවි දුක් වේදනාවන්ට ඉඩ දීමට හේතුව ගැන වාද කිරීමටයි. කෙසේවෙතත්, මේ කාන්තාව පසුව මෙසේ පැවසුවා. “ඔවුන් මට මහත් දයානුකම්පාවකින් යුතුව සවන් දුන්නා. ඔවුන් මාත් එක්ක කතා කරපු නිසා මගේ හිතට කොච්චර සැනසීමක් දැනුණාද කියනවා නම්, ආයෙත් එන්න කියලා මම ඔවුන්ට කිව්වා.” මෙසේ, ඔබත් ඔබට හමු වන සෑම කෙනෙක් ගැනම දයානුකම්පාව දක්වනවාද?
5 දයානුකම්පාව වර්ධනය කරගත්තොත් අපට හැකියි අනුන්ට සැබෑ සැනසීමක් දීමට. එසේ කිරීමෙන් අපි “දයානුකම්පාවේ පියාණන්” වන යෙහෝවා දෙවිව මහිමවත් කරමු.—2 කොරි. 1:3.