දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
මතු දැක්වෙන ප්‍රශ්න 2005 ඔක්තෝබර් 31න් පටන්ගන්නා සතියේදී දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී වාචිකව සලකා බලනු ලැබේ. වර්ෂ 2005 සැප්තැම්බර් 5 සිට ඔක්තෝබර් 31 දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවනු ලබයි. [සැලකිල්ලට ගන්න: ප්‍රශ්නයෙන් පසු යොමු සටහනක් දක්වා නැති අවස්ථාවලදී පිළිතුරු සෙවීම සඳහා පෞද්ගලිකව පර්යේෂණය කිරීමට ඔබට සිදු වේ.—සේවා පාසැල් පොතේ 36 සහ 37 පිටු බලන්න.]
කථික ගුණාංග
1. අප දේවවචනයෙන් උගන්වන දේවල් මිනිසුන්ගේ සිත්වලට කාවදින බවට අපට නිසැක විය හැක්කේ කෙසේද? (මතෙ. 13:19) [1, be 258 පි. 1-2 ඡේද, කොටුව] අප උත්සාහ කළ යුත්තේ මිනිසුන්ගේ සිත්වලට කාවදින අන්දමින් කතා කිරීමටයි. යමෙකුගේ හැඟීම් සහ පෙලඹීම් නික්මෙන තැන සිතයි. ඔහු දෙවිට ළං වෙන්නේ මෙම හැඟීම් සහ පෙලඹීම් මගිනි. මේ සඳහා ඔහුගේ සිතේ දැනටමත් පැලපදියම් වී ඇති දේවල් මොනවාද කියා වටහාගත යුතුයි. ප්‍රේමය සහ දේවභය වැනි ගුණාංග යමෙකුගේ සිතට තදින් කාවැද්දවීමට අප උත්සාහ කළ යුතුයි. මෙසේ ජනයාගේ සිත්වලට කාවදින අන්දමින් ඉගැන්වීමෙන් යෙහෝවාට ප්‍රශංසා කිරීමට අපි ඔවුන්ට උදව් කරමු.
2. යමෙකුගේ සිතේ තිබෙන දේ දැනගැනීමට අපට උපකාරවත් වෙන්නේ කුමක්ද? නමුත් අප කුමක් සිහියේ තබා ගත යුතුද? [2, be 259 පි. 1-2 ඡේ.] “ඔබට . . . ගැන හැඟෙන්නේ කෙසේද? ” හෝ “ . . . යන්න ඔබට කාවැදුණේ කුමක් නිසාද? ” වැනි ප්‍රශ්න සිතිවිලි අවදි කරන අතර, ශිෂ්‍යයාගේ සිතේ තිබෙන දේ වටහාගැනීමට ගුරුවරයාට හැකි වේ. ප්‍රශ්න අසද්දී තමාට ප්‍රශ්න කන්දරාවකින් පහර ගසනවා වැනි හැඟීමක් ශිෂ්‍යයා තුළ ඇති නොවීමට ගුරුවරයා වග බලාගත යුතුයි. හොඳින් තේරුම්ගන්නා ගුරුවරයෙක් තම ශිෂ්‍යයා පවසන වචන පිටුපස ඇති හැඟීම තේරුම්ගැනීම පිණිස ඔහුට ඉතා ඕනෑකමින් සවන් දෙන අතර, ඉන්පසුව ඒ සම්බන්ධව බයිබලයේ සඳහන් තොරතුරු ගෙන හැර පායි. ශිෂ්‍යයා ඒ තොරතුරුවලට අනුව ක්‍රියා කිරීමට පෙලඹෙන්නේ එවිටය. (හිතෝ. 16:23)
3. අප උගන්වන විට, යෙහෝවාගේ පුදුමාකාර ගුණාංග ගැන අවධාරණය කිරීම ඉතා වැදගත් වෙන්නේ මන්ද? [3, be 260 පි. 1 ඡේ.] යහපත්කම, දයාව, මහත් කරුණාව වැනි යෙහෝවාගේ ගුණාංග ගැන අවධාරණය කිරීම මගින් යමෙකුගේ සිතිවිලි කලතා ඔහු තුළ දෙවි කෙරෙහි ප්‍රේමය ගොඩනැංවිය හැකියි. අපි අපට සවන් දෙන අයව යෙහෝවාගේ ගුණාංග ගැන සිතා බැලීමට පොලඹවන විට, ඔවුන් දෙවිට තවත් ළං වී ඔහු සමඟ වඩාත් ශක්තිමත් පෞද්ගලික සම්බන්ධතාවක් ඇති කරගැනීමට පෙලඹේ. අප දෙවිගේ ස්වරූපයට අනුව ඔහුගේ සමානත්වයෙන් මවා තිබෙන බැවින්, මෙවැනි අවංක සාකච්ඡාවක් කිරීම මගින් යෙහෝවාගේ පුදුමාකාර ගුණාංග පුද්ගලයෙකුගේ සිතේ අගය කිරීමක් වඩවා ඒවා ඔහුගේ සිතට කාවැද්දිය හැකියි. (උත්. 1:27)
4. අපේ බයිබල් ශිෂ්‍යයන් දියුණු විය යුතු පැති වටහාගැනීමට උපකාර කිරීමට අපට හැක්කේ කෙසේද? [5, be 260 පි. 4 ඡේදයේ– 261 පි. 1 ඡේ.] අපේ බයිබල් ශිෂ්‍යයන්ගේ පෞද්ගලික හැසිරීම ඉතා වැදගත් බව අපි ඔවුන්ට පැහැදිලි කළ යුතුයි. ඔවුන් හැසිරෙන විදිහ මගින් යෙහෝවාට දුකක් හෝ සතුටක් ගෙන ආ හැකිය. (ගීතා. 78:40-42; හිතෝ. 27:11) දෙවිගේ නීතියට කීකරු වීමෙන් ආශීර්වාද ලැබෙන බව තේරුම් ගැනීමටත්, කීකරු වීම බරක් නොව, යෙහෝවාට පෞද්ගලිකවම අප තුළ ඇති භක්තිය පෙන්වන ක්‍රමයක් බව දැකීමටත් අපි ඔවුන්ට උපකාර කරමු. (ගීතා. 19:11; යෙසා. 48:17)
5. තමන් කරන දේවල් පිටුපස ඇති චේතනා පරීක්ෂා කර බැලීමට අපේ බයිබල් ශිෂ්‍යයන්ට හෝ අපට සවන්දෙන අයට උපකාර කිරීමට අපට කුමක් කළ හැකිද? [7, be 262 පි. 1-2 ඡේ.] අප උගන්වන විට, තමන්ගෙන්ම මෙසේ අසා ගැනීමට අපේ ශිෂ්‍යයන්ට දිරිගැන්විය යුතුයි. ‘මේ දේ කරන්නට මට ආශාවක් තිබෙන්නේ මන්ද? යෙහෝවා මා වෙනුවෙන් කර ඇති සෑම දෙයක්ම මා අගය කරන බව යෙහෝවාට එයින් පැහැදිලිව දැකගැනීමට හැකි වේද? මම දේවනීති රකිනවා වෙන්න පුළුවනි. නමුත් මට ඒවා ගැන හැඟෙන්නේ කොහොමද? (ගීතා. 37:4) යෙහෝවාගේ නාමයට භය ඇති වන ආකාරයේ ඇදහිල්ලක් සහ ශක්තිය ඉල්ලා යාච්ඤා කිරීමට අපි අපේ ශිෂ්‍යයන්ට දිරිගැන්විය යුතුයි. (ගීතා. 86:11)
පැවරුම් අංක 1
6. යෙහෝවාව ‘ඕනෑකමින් සෙවීම’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? අප එසේ කරන බව පෙන්විය හැක්කේ කෙසේද? (හෙබ්‍රෙ. 11:6) [1, w03 8⁄15 25 පි. 2 ඡේ; 26 පි. 1-2 ඡේ; 27 පි. 2 ඡේ.] ‘ඕනෑකමින් සෙවීමට’ දැඩි උත්සාහයක් අවශ්‍යයි. එමෙන්ම දෙවිගේ කැමැත්තට එකඟව “එඩිතර අඛණ්ඩ උත්සාහය” පවා අවශ්‍ය වෙයි. (ලූක් 11:8; 1 යොහ. 5:14) අප යෙහෝවාගේ අනුමැතිය ඉතා ඕනෑකමින් සොයන බව පෙන්විය හැක්කේ අපේ නමස්කාරය හා සම්බන්ධව අපට ලැබෙන ඕනෑම පැවරුමක් ඉතා සතුටින් භාර ගෙන මුළු හදින් එය කිරීමෙනි. රැස්වීම්වලට හොඳින් සූදානම් වීම, අපේ දේවසේවයේ ගුණාත්මක බව දියුණු කිරීමට උත්සාහ කිරීම, වෙනත් සේවාවන් සඳහා කැමැත්තෙන් ඉදිරිපත් වීමද මීට ඇතුළත් වනු ඇත.
7. “සුවදායී වචනවල ආදර්ශය” යනු කුමක්ද? වැඩිමහල්ලන් එයට ඇලී සිටින බව පෙන්විය හැක්කේ කෙසේද? (2 තිමෝ. 1:13, 14) [3, w03 1⁄1 29 පි. 3 ඡේ සිට 30 පි. 1 ඡේ. දක්වා] පළමුවෙනි තිමෝති 6:3හි පාවුල් යොමු දැක්වූ “සුවදායී වචන” “අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ සුවදායී වචනයි.” යේසුස්ගේ වචන ‘ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, කාරණා හරිගැස්වීමත් දේවානුභාවයෙන් දී ඇති සියලු ලියවිලි’ සමඟ එකඟ නිසා, “සුවදායී වචන” සියලුම බයිබල් ඉගැන්වීම්ලටද අදාළ වෙයි. (2 තිමෝ. 3:16, 17) වැඩිමහල්ලන් සභාවේ උගන්වන විට දේවවචනයට ඇලී සිටිය යුතු අතර, මිනිස් ප්‍රඥාව හෝ පෞද්ගලික අදහස් ඉගැන්වීමෙන් වැළකී සිටිය යුතුයි. (2 තිමෝ. 4:2) සභාවෙන් බැහැරව උගන්වන විටද මෙම ප්රතිපත්තියම අදාළ වේ. (2 තිමෝ. 4:5)
8. “බයිබලයේ පිළිගත් ග්රන්ථ සමූහය” (Bible canon) යන යෙදුම භාවිත වන්නේ කුමකටද? බයිබල් පොතක් එම ග්රන්ථ සමූහයට අයත්ද කියා නිර්ණය කරන ඇතැම් සාධක මොනවාද? [4, si 299 පි. 5-6 ඡේ.] “බයිබලයේ පිළිගත් ග්රන්ථ සමූහය” යන යෙදුම භාවිත වන්නේ බයිබල් පොත්වල එකතුවකට හෝ ලැයිස්තුවකට වන අතර එය සත්‍යය වූද දෙවිගේ බලයෙන් ලියා ඇති බවද පිළිගැනේ. බයිබල් පොතක් පිළිගත් ග්රන්ථ සමූහයට ඇතුළත්ද කියා නිර්ණය කරන සාධක සමහරක් මේවායි: එහි යෙහෝවා පොළොව හා සම්බන්ධව කටයුතු කර ඇති ආකාරය ගැන සඳහන් විය යුතුයි. මිනිසුන්ව දෙවිගේ නමස්කාරයට හැරවිය යුතුයි. කියවන්නා තුළ දෙවිගේ නාමය කෙරෙහිද, දෙවිගේ මැවිලි කෙරෙහිද පොළොව සඳහා වූ දෙවිගේ අරමුණ කෙරෙහිද ගැඹුරු ගෞරවයක් ඒ මගින් ඇති කළ යුතුය. එය දෙවිගේ බලයෙන් ලියා ඇති බවට එම පොතෙන්ම සාක්ෂි දැකීමට හැකි විය යුතුයි. මිථ්‍යා අදහස් හෝ මැවිලිවලට වන්දනා කිරීමට කිසිම අනුග්‍රහයක් එම පොතෙන් නොදිය යුතු අතර, දෙවිට ප්‍රේම කිරීමට හා ඔහුට සේවය කිරීමට කියවන්නාව පෙලඹවිය යුතුයි.
9. ක්‍රිස්තු වර්ෂ දෙවෙනි සියවසේ අග භාගයට අයත් මුයිරටෝරියන් ලේඛන කණ්ඩය, ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිල්ලේ පිළිගත් ග්රන්ථ සමූහයට අයත් බව පෙන්වීමට වැදගත් සාධකයක් වන්නේ මන්ද? [6, si 302 පි. 19 ඡේ.] ලතින් භාෂාවෙන් පළ වී ඇති මෙම ලැයිස්තුව සැලකිල්ලට ගත් කල, ලූක් සුවිශේෂය තුන්වෙනි සුවිශේෂය ලෙසට නම් කරනු ලැබීමෙන් පෙනී යන්නේ මතෙව් සහ මාක් සුවිශේෂ එහි ඊට පළමුව ලැයිස්තු ගත කර තිබූ බවයි. තවද යොහන්ගේ ශුභාරංචිය “සුවිශේෂයේ හතරවෙනි පොත” යනුවෙන්ද එහි හඳුන්වා තිබේ. පාවුල් සභාවන්ට සහ පුද්ගලයන්ට ලියන ලද ලිපි ගැනද මෙම ලියවිලි ඛණ්ඩයේ සඳහන් වෙයි. අද දක්වා බයිබලයේ ග්රන්ථ සමූහයට පිළිගෙන තිබෙන වෙනත් පොත් ගැනද මෙහි සඳහන් වෙයි.
10. ශුද්ධ ලියවිලි, කවදා හෝ වෙනත් භාෂාවලට පරිවර්තනය වන බව ඒවායේම පෙන්වා ඇත්තේ කෙසේද? පුරාණ බයිබල් පරිවර්තනවලින් සිදු වී ඇති සේවය කුමක්ද? [8, si 307 පි. 9 ඡේ.] “අහෝ ජාතීනි, දෙවිගේ සෙනඟ සමඟ ප්‍රීති වෙන්න” යනුවෙන් දේවවචනය ඊශ්‍රායෙල් ජාතිය සම්බන්ධයෙන් කී දේද, මුළු ජනාවාස පොළොව පුරා රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කරනු ලැබේය යන යේසුස් කී අනාවැකිද දෙස බැලූ විට ඒ සඳහා බයිබලය පරිවර්තනය කිරීම අවශ්‍යම බව පෙනේ. (ද්වී. 32:43; මතෙ. 24:14) ඉපැරණි කාලවල අත්පිටපත් පරිවර්තනය කිරීමේදී මුල් හෙබ්‍රෙව් ලියවිල්ලට ඉතා ළඟින් ඇලී සිටි බව තහවුරු වේ.
සතියේ බයිබල් කියවීම
11. දෙවෙනි රාජාවලිය 13:21හි සඳහන් දෙයින් මිය ගිය කෙනෙකුගේ ශරීරයේ කොටසකට හෝ ඔහු භාවිත කළ යම් දෙයකට ගරුබුහුමන් දැක්වීමට අනුබල දෙනවාද? මෙහි සඳහන් වන්නේ දෙවිගේ අනාගතවක්තෘවරයෙකුගේ මළ මිනියේ ඇටකටු හා සම්බන්ධයෙන් කරන ලද ප්රාතිහාර්යයකි. මෙහිදී එලිෂා මිය ගොස් සිටි අතර, ඒ ප්රාතිහාර්ය සිදුවන අවස්ථාවේදී ඔහු ‘කිසිවක් දැන සිටියේ නැත.’ මේ නිසා, මෙම ප්රාතිහාර්ය සම්බන්ධයෙන් ගෞරවය යා යුත්තේ යෙහෝවා දෙවිටයි. එය කරනු ලැබුවේ ඔහුගේ ක්‍රියාකාරික බලයෙනි. (දේශනා. 9:5, 10) එලිෂාගේ ඇටකටුවලට කිසිම කෙනෙක් ගෞරව කළ බවක් බයිබලයේ නොකියන බවද අප මෙහිදී සැලකිල්ලට ගත යුතුය. [1, w05 8⁄1 “යෙහෝවාගේ වචනය ජීවමානය—දෙවෙනි රාජාවලිය පොතෙන් විශේෂාංග”]
12. හෙසකියා ඊජිප්තුව සමඟ ගිවිසුමක් කර තිබුණාද? (2 රාජා. 18:19-21, 25) නැත. රබ්ෂාකේගේ චෝදනාව බොරු එකකි. එය ඔහු විසින් ‘යෙහෝවා කීවේය’ කියා කී බොරුව වගේමය. ඇදහිලිවන්ත හෙසකියා සම්පූර්ණයෙන්ම විශ්වාසය තැබුවේ යෙහෝවා කෙරෙහිය. [2, w05 8⁄1 “යෙහෝවාගේ වචනය ජීවමානය—දෙවෙනි රාජාවලිය පොතෙන් විශේෂාංග”]
13. ඇසිරියානු ඉපැරණි ලිපි ලේඛනවල යෙහෝවා දෙවි සෙනකෙරිබ්ව ඉතා ප්‍රබල අන්දමින් පරාජය කළ බවක් විශේෂයෙන් සඳහන් නොවුණත්, ඔබේ උනන්දුවට භාජන වන්නේ එම වාර්තාවල සඳහන් වී ඇති කුමන දේවල්ද? (2 රාජා. 19:35, 36) ප්‍රාචීන දේශවලට අයත් ප්‍රිස්මවල සහ ටේලර් ප්‍රිස්මවල සඳහන් සෙනකෙරිබ්ගේ ඉපැරණි ලිපි ලේඛනවල මෙසේ කියවීමට තිබේ: “යුදෙව්වෙකු වූ හෙසකියා මාගේ වියගහට යටත් වූයේ නැත. මම ඔහුගේ බලවත් නුවරවල් 46ක්ද, පවුරුවලින් වට වූ කොටුද කුඩා ගම්මාන ගණනාවක්ද වට කර අල්ලාගතිමි. . . . මම ඔහුව ඔහු වාසය කළ යෙරුසලමේ, කුරුල්ලෙකුව කූඩුවක සිර කරනවා සේ සිරකර තැබුවෙමි” තමාගේ “තේජස්සම්පන්න රාජ උෂ්ණයෙන්” හෙසකියා භය වූ බව සෙනකරීබ් පැවසීය. එහෙත්,“බලවත් නුවරවල්” සහ “කුඩා ගම්මාන” ගැන කතා කළද, තමා හෙසකියාව අල්ලා ගත් බවක් හෝ යෙරුසලම පරාජය කළ බවක් ඔහු පැවසුවේ නැත. සෙනකෙරිබ්ගේ කීර්තිමත් හමුදා විනාශ වූ බවට බයිබලයේ සඳහන් වාර්තාවල සත්‍යයතාව මොහුගේ මේ වාර්තාවෙන් වක්‍රාකාරව තහවුරු කරයි. [3, w88 2⁄15 28 පි. 2 ඡේ.]
14. ෂෙයල්තියෙල්ගේ පියා කවරෙකු වීද? (1 ලේක. 3:16-18) මතෙව් 1:12ට අනුව, 1 ලේකම් 3:17න් අඟවන්නේ ෂෙයල්තියෙල්ගේ පියා යෙකොනියා (යෙහෝයාකිම් රජ) බවයි. නමුත් ලූක් ෂෙයල්තියෙල්ව හැඳින්වූයේ “නේරීගේ පුත්‍රයා” කියායි. (ලූක් 3:27) පෙනෙන විදිහට නේරී තමාගේ දියණියව ෂෙයල්තියෙල්ට විවාහ කර දුන්නා විය හැකියි. හෙබ්‍රෙව් නාම පෙලපත්වල, බෑණා කෙනෙකුව පුතෙකු ලෙසට හඳුන්වනු ලැබූ හෙයින්, ලූක් ෂෙයල්තියෙල්ව නේරීගේ පුත්‍රයා ලෙසට නම් කළා විය හැකියි. හේලී යෝසෙප්ගේ භාර්යාව වූ මරියාගේ පියා වුවද යෝසෙප් හෙලීගේ පුත්‍රයා යයි ලූක් විසින් හැඳින්වූයේ ඒ සමාන ආකාරයකටය. (ලූක් 3:23) [5, w92 7⁄15 5-6 පි.]
15. සාවුල්ගේ කාලයේදී, රූබෙන් පුත්‍රයන්, ගාද්වරුන් සහ මනස්සේ අර්ධ ගෝත්‍රය අද දින දේවසේවකයන්ට කදිම ආදර්ශයක් තබන්නේ කෙසේද? (1 ලේක. 5:18-22) තම ආදි පියා වූ ආදම්ට යෙහෝවා දෙන ලද පොරොන්දුවට අනුව, ගිලියද් දේශයේ සීමාවට එහායින් තවත් දේශයන් අල්ලා ගැනීම පිණිස ඔවුහු නිර්භීතව ඉදිරියට ගියහ. (උත්. 15:18) මේ නිසා ඔවුන්ට හග්රිවරුන් සමඟ සටන් කිරීමට සිදු වුවත්, එම ඊශ්‍රායෙලිතයෝ තම සතුරන්ට නිර්භීතව මුහුණ දුන්හ. ඔවුන්ගේ ගණන 44,760ක් විණි. නමුත් මේ සටනේදී ඔවුහු සතුරන් 1,00,000ක් වහල්භාවයට ගත්හ. මේ සංඛ්‍යාව හග්රිවරුන්ගේ මුළු ගණන නොවේ. මන්ද බයිබලය වාර්තා කරන්නේ, ඔවුන්ගෙන් ‘බොහෝදෙනා වැටී මැරුම් කෑ’ බවයි. රූබෙන් පුත්‍රයන්ට, ගාද්වරුන්ට සහ මනස්සේ අර්ධ ගෝත්‍රයට තමන්ගේම ශක්තියෙන් මෙම ජයග්රහණයන් ලබන්නට බැරි බව පැහැදිලිය. තවද ඔවුන් එසේ කරන්නට ගියේද නැත. පිහිට ඉල්ලා ඔවුහු යෙහෝවා දෙවිට කන්නලව් කළෝය.