විශේෂ එක්රැස්වීම් දවසේ වැඩසටහන
අපේ ඇස විශ්මය ජනක නිර්මාණයක්. (ගීතා. 139:14) එහෙත්, එය එක මොහොතක නාභි ගත කළ හැක්කේ එක දෙයක් කෙරෙහි පමණයි. ඒ හා සමානව අපේ සිත් නමැති ඇසත් යොමුව තිබිය යුත්තේ දේවකැමැත්ත කිරීම කෙරෙහියි. අද සාතන්ගේ ලෝකයෙන් අප වෙත එල්ලවෙන බාධා බොහොමයි. ඒ නිසා, “ඔබේ ඇස සරලව තබාගන්න” යන තේමාව 2006 සේවා වසර සඳහා අපේ විශේෂ එක්රැස්වීම් දවසේ වැඩසටහන වීම ගැන අප කොතරම් සතුටු විය යුතුද!—මතෙ. 6:22.
අපට යෙහෝවාගෙන් ආශීර්වාද ලැබිය හැක්කේ කොහොමද? (හිතෝ. 10:22) එම ප්රශ්නයට පිළිතුරු “සරල ඇසක් තබාගෙන ආශීර්වාද නෙළාගන්න” යන කතාවෙන් ගත හැකියි. බයිබල් ප්රතිපත්ති අදාළ කරගැනීමෙන් අපට ප්රයෝජන ලැබෙන සැටි සම්මුඛ සාකච්ඡාවල කාවද්දනවා ඇත. ආගන්තුක කථිකයාගේ පළමු කතාවේ තේමාව “දුෂ්ට ලෝකයක සරල ඇසක් තබාගැනීම” යන්නයි. අපේ ජීවිත සංකීර්ණ කර, දෙවි සමඟ අපේ සම්බන්ධතාව ටිකෙන් ටික දුර්වල කරන දේවල් ගැන අපට ඒ කතාවෙන් පෙන්වා දෙයි. එමෙන්ම ‘යහපත් කොටසට’ ඇතුළත් වන දේ ගැනද අපට ඉගෙන ගත හැකියි.—ලූක් 10:42.
දේවසේවයේ ඉලක්කවලට යෞවනයන්ව දිරිගැන්වීමට දෙමාපියන්ට හා සෙසු අයට හැක්කේ කොහොමද? මේ සම්බන්ධයෙන් “තම ඊතල ඉලක්කයට විදිනා දෙමාපියෝ” සහ “තම දේවසේවය තුළ තමන්ටම ඉලක්ක තබාගන්නා යෞවනයෝ” යන කතාවල දෙමාපියන්ගේ සහ යෞවනයන්ගේ අදහස් අපට ඇසේවි. (ගීතා. 127:4) ආගන්තුක කථිකයාගේ අන්තිම කතාවේදී අප පුද්ගලයන්, පවුල් හා සභාවක් ලෙස යෙහෝවාගේ සංවිධානය සමඟ ඉදිරියට යන ආකාරය ගැන දැනුවත් වෙනවා ඇති.
අප යෙහෝවාට ටික කලක් හෝ දිගු කලක් සේවය කළත්, ‘සරල ඇසක් තබාගැනීම’ අතිශයින් වැදගත් දෙයක්. මේ වැඩ සටහනෙන් අපට හරියටම උපකාර කරන්නේ ඒ දෙය කිරීමටයි.