දුකේදී සරණ හා ශක්තිය
මෑතක ඇති වූ සුනාමි විපතේදී සහෝදරයන් බොහෝදෙනෙකුගේ දිවි ගැලවීම ගැන අප යෙහෝවාට ස්තුතිවන්ත වෙනවා. ඒවගේම මෙම තත්වයන් විඳදරාගන්නත් බලාපොරොත්තු අත් නෑර තබාගන්නත් අපට හැකි කර වූ යෙහෝවාගෙන් ලැබුණ ශක්තියටද අප ස්තුතිවන්ත වෙනවා. ගීතිකාකරු ලියුවේ “දෙවි අපේ සරණ හා ශක්තියද දුකේදී ඉතා ළං වූ පිහිටක්ද වන්නේය” කියායි. (ගීතා. 46:1) ඔහුගේ ශක්තිය ලැබුණේ සහෝදරයන් තුළින්. එනිසා ලොව පුරා සිටින අපගේ ප්‍රේමණීය සහෝදරයන් කළ යාච්ඤා මෙන්ම මුදලින් හා වෙනත් දේවලින් ඔවුන් කළ පරිත්‍යාග සඳහා අපි අගය ප්‍රකාශ කරන්නෙමු. එමගින් ශ්‍රී ලංකාවේ සුනාමියෙන් පහර ලැබූ සභා 11ට උපකාර කිරීමට ශාඛා කාර්යාලයට හැකි වුණා.
ක්‍රියාවට නැඟුණු ප්‍රේමය: සෑම සහෝදරයෙකුවම සෙවීමටත්, මූලික අවශ්‍යතා මෙන්ම ඉන්න හිටින්න තැනක් සපයා දීමටත් යෙහෝවාගේ සෙනඟ ක්‍රියා කළේ පවුලක් වගෙයි. එකිනෙකා සඳහා තිබෙන මෙම බලවත් ප්‍රේමය නිසා තම සහෝදරයන්ට උපකාර කිරීමට සාක්ෂිකරුවන් නොපමාව ක්‍රියා කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස යෝධ රළ බිඳීමෙන් දින හතරකට පසු විපතට පත් සියලු සහෝදරයන්ගේ මූලික අවශ්‍යතා සපයනු ලැබුවා.—යොහ. 13:35.
අවශ්‍යතා ඇති අයට විගස සහනයක් ලබා දීමට හැකි වූයේ සංවිධානය ක්‍රියාත්මක වූ නිසාම පමණක් නොව සහෝදරයන් අව්‍යාජ ප්‍රේමයක් පෙන්වූ නිසයි. මේ හා සමාන දෙයක් අනාගතයේ සිදු වුවහොත්, යෙහෝවාගේ සංවිධානයෙන් මඟ පෙන්වීම් දීමට නොහැකි වන අවස්ථාවක පවා, තමන්ගේම පවුලේ අයව රැකබලා ගන්නාක් මෙන් අප එකිනෙකාගේ අවශ්‍යතා සපුරාලන බව දැන සිටීම අපට ශක්තියක්. “මිත්‍රයෙක් සැම කල්ම ආදරේ වෙයි; සහෝදරයෙක්ද විපත්තියේදී ආධාර පිණිස උපදින්නේය” යන්න සැබෑවක් වුණා.—හිතෝ. 17:17.
සහෝදරයන් කිහිපදෙනෙකුගේ නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වී ගියා. සමහරෙකුගේ නිවෙස් මුළුමනින්ම කැඩී බිඳී නැතත් වතුරත් මඩත් ගසාගෙන ආ නිසා ඒවා පිරිසිදු කිරීමටත් අලුත් වැඩියා කිරීමටත් තිබෙනවා. සහෝදරයන් හුඟදෙනෙකුට තමන්ගේ මුළු සේසතම නැති වී ගියා. ඔවුන් සතුව තිබූ සංවිධානයේ ප්‍රකාශනත් දරුවන්ගේ පාසැල් පොත් සහ සෙල්ලම් බඩුත් යළි භාවිතයට ගත නොහැකි තත්වයකට පත් වුණා.
නිවෙස් හා වතු පිටි පිරිසිදු කිරීමටත්, මුහුදු ජලයෙන් සහ අපවිත්‍ර ජලයෙන් අපිරිසිදු වූ ළිං පවිත්‍ර කිරීමටත් විවිධ සභාවල ස්වේච්ඡා සේවකයන් ආපදාව සිදු වූ ස්ථානයට පිටත්ව ගියා. ඔවුන් වේදනාවෙන් සිටි අයට ඇදහිල්ලෙන් ස්ථිරව සිටීමට දිරිගැන්වීමද ලබා දුන්නා.
මුහුදු තීරයේ විසූ සමහර පවුල්වලට යළි තම නිවෙස් ඉදි කිරීමට හෝ අලුත් වැඩියා කිරීමට අවසර නොදෙන නිසා ඔවුන්ට ස්ථිර විසඳුමක් ලබා දීම සඳහා යම් කාලයක් ගත වේවි.
අපට කුමක් කළ හැකිද?: ලෝක ව්‍යාප්ත සේවය සඳහා අරමුදල වෙනුවෙන් රාජ්‍ය ශාලාවේ තිබෙන පෙට්ටිවලට සම්මාදම් දැමීමට අපට හැකියි. පාලක මණ්ඩලය විසින් සහන සේවා සඳහා එයින් යම් මුදලක් වෙන් කරයි.
දුකින් සිටින අයට ශක්තිය: දුකින් සිටින අයට දෙවිගේ වචනයෙන් සහනය සහ අස්වැසිල්ල අවශ්‍යයි. ක්ෂේත්‍රයේදී තමන්ගේ දුක පවසන අයට සවන් දීමට කාලය වැය කරන්න. ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන්ට සිදු වුණ දේ පවසන්නයි; ඒවගේම පවසන දේ අසා සිටින අයයි. හුඟාක් කතා කිරීමෙන් හෝ බයිබල් පද රාශියක් කියවීමෙන් හෝ වළකින්න. එක බයිබල් පදයකින් පමණක් ඔවුන්ට ශක්තියක් ලබා දිය හැකියි.
මිනිසුන්ගේ පව්කාරකම නිසා දෙවි දඬුවම් දෙනවා කියායි ආගමික නායකයන් කියා සිටින්නේ. බයිබලයේ අපට සහතික කරන්නේ යෙහෝවා ප්‍රේමණීය දෙවි කෙනෙක් වන අතර ඔහු නපුරු දෙයින් කිසිවෙකුව පරීක්ෂා කරන්නේ නැහැ කියායි. (යාකො. 1:13) දෙවි අර්මගෙදොන්වලදී දුෂ්ටයන්ව විනාශ කරන්නේ ඊට පෙර ප්‍රමාණවත් අනතුරු ඇඟවීමක් දීමෙන් පසුවයි. (ආමො. 37) භූමිකම්පා සහ සුනාමි ඇති වන්නේ පොළෝ පෘෂ්ඨයේ ඇති වන ස්වාභාවික චලනයන් නිසයි. මේවා ස්වාභාවික සිද්ධීන් මිසක දෙවිගේ කෝපය ප්‍රකාශ කිරීම් නොවෙයි. නව ලොවේ දී එවන් ස්වාභාවික සිදුවීම් මගින් ව්‍යසනයන් ඇති නොවෙයි. මන්දයත් අපගේ රජ වන යේසුස් ක්‍රිස්තුස්ට කුණාටු පවා නිශ්චල කළ හැකියි. (යොහ. 4:35-41) මේ නිසා යෙහෝවා දිගටම සරණ හා ශක්තිය සපයන බවට නිසැකයි.
අපේ සහෝදරයන්ට දිගටම අපේ ප්‍රේමය හා අත හිත ලැබීම අවශ්‍යයි. දුෂ්කර කාලයේදී බලාපොරොත්තුව හා සහනය මිනිසුන්ට ලබා දීමට තිබෙන සෑම අවස්ථාවකින්මද අපි ප්‍රයෝජන ගනිමු. ‘දුකේදී සරණ හා ශක්තිය’ ලබාගැනීම සඳහා යෙහෝවා වෙතට හැරෙන්න බොහෝදෙනෙකුට උපකාර කරන්න අපට හැකියි.