දිව්‍යාණ්ඩු සේවා පාසැලේ පුනරීක්ෂණය
මතු දැක්වෙන ප්‍රශ්න 2004 ඔක්තෝබර් 25වන දා සිට පටන්ගන්නා සතියේදී දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී වාචිකව සලකා බලනු ලැබේ. පාසැල් අවේක්ෂක විසින් 2004 සැප්තැම්බර් 6වන දා සිට ඔක්තෝබර් 25වන දා දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් මෙහෙයවනු ලබයි. [සැලකිල්ලට ගන්න: ප්‍රශ්නයෙන් පසු යොමුසටහනක් දක්වා නැති අවස්ථාවලදී, පිළිතුරු සෙවීම සඳහා පෞද්ගලිකව පර්යේෂණය කිරීමට ඔබට සිදු වේ.—සේවා පාසැල් පොතේ 36 සහ 37 පිටු බලන්න.]
කථික ගුණාංග
1. අපගේ ක්‍රිස්තියානි සේවයෙහි එක්තරා අංගයක් ගැන කතා කිරීමට සිදු වේ නම්, ගොඩනංවනසුලු ආකාරයකින් කතා කිරීමට හැක්කේ කෙසේද? [1, be 203 පි. 3-4 ඡේ.] සෙසු ඇදහිලිවන්තයන් යෙහෝවාට ප්‍රේම කරන බවත්, ඔහුව සතුටු කිරීමට ආශා කරන බවත් ඔබට නිසැක නම්, එම නිසැකකම ඔබ පවසන දෙයින් පිළිබිඹු වනු ඇත. (2 තෙස. 3:4, 5; ෆිලෙ. 21) ඇතැම් අවස්ථාවලදී නිවැරදි කරවන උපදෙස් දීමට සිදු වන විට කතා දිගටම ඒකාන්ත මුහුණුවරකින් ඉදිරිපත් කළ හැක. ඒ සඳහා වැරදි ක්‍රියාවලට සම්බන්ධ වීමෙන් වැළකී සිටිය හැකි අයුරු, දුෂ්කරතා ජයගත හැකි ආකාරය සහ යෙහෝවා බලාපොරොත්තු වන දේවල් අපට ආරක්ෂාවක් වන අන්දම මූලිකව අවධාරණය කළ යුතුය. (ගීතා. 119:9-11)
2. නැවත කීම වැදගත් වන්නේ මන්ද? [3, be 206 පි. 1-4 ඡේ.] අපගේ සවන්දෙන්නන් සිහියේ තබාගන්නවාට අප විශේෂයෙන්ම කැමති අදහස් නැවත කීම වැදගත්ය. මේ සම්බන්ධයෙන් යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් අපට ආදර්ශයක් තබා ඇත. (ද්වි. 6:5; 10:12; 11:13; මාක් 9:34-37; 10:35-45) අප පවසන දේ මතකයේ රඳවාගැනීමට අපගේ සවන්දෙන්නන්ට හැකි වේ නම්, එයින් ඔවුන් විශ්වාස කරන දේ හා ඔවුන් ජීවත් වන අයුරු කෙරෙහි එය බලපානු ඇත.
3. අපගේ කතාවල තේමාව අවධාරණය කිරීමට අපට හැක්කේ කෙලෙසද? [6, be 210 පි. 1-5 ඡේ., කොටුව] කතාවක් සූදානම් වෙද්දී තේමාව ගොඩනැංවීමට සැබවින්ම උපකාරවත් වන ප්‍රධාන කරුණු හා ආධාරක තොරතුරු තෝරාගන්න. කතාව ඉදිරිපත් කරන විට තේමාවට සම්බන්ධ ප්‍රධාන වචන හෝ අදහස් විටින් විට සඳහන් කරන්න.
4. අපට දී ඇති කතාවක මූලික කරුණු තීරණය කරන්නේ කෙලෙසද? [7, be 212 පි. 1-4 ඡේ.] මුලින්ම අපට සවන්දෙන්නන් විෂය ගැන දන්නා දේ සලකා බැලීමෙන් මූලික කරුණු තීරණය කිරීමට අපට පුළුවන. ඊළඟට එම සබයට කතා කරද්දී අපගේ පරමාර්ථය කුමක්ද යන්න අපගේ මනසෙහි පැහැදිලිව සනිටුහන් වී ඇද්දැයි බැලිය යුතුය. මෙම කාරණා දෙක සැලකිල්ලට ගනිමින් සොයාගත් තොරතුරුවලින් අදාළ වූ කරුණු පමණක් තේරිය හැක.
5. ඕනෑවට වඩා මූලික කරුණු යොදා නොගැනීමට අප වගබලා ගත යුත්තේ මන්ද? [8, be 213 පි. 2-4 ඡේ.] අපට සවන්දෙන අයට සෑම මූලික කරුණක්ම මනසෙහි පැළපදියම් කරගැනීම සඳහා ඒ එක් එක් කරුණ සලකා බැලීමට ප්‍රමාණවත් වේලාවක් දීම වැදගත්ය. අප ඉදිරිපත් කරන අදහස් ප්‍රධාන උපමාතෘකා ස්වල්පයක් යටතේ පැහැදිලිව දක්වා, ඒවා එකිනෙක වෙන වෙනම ගොඩනඟනවා නම්, කතාව තේරුම්ගැනීමටත් මතක තබාගැනීමටත් පහසුය.
පැවරුම් අංක 1
6. ජලගැල්මට කලින් ජීවත් වූ මිනිසුන්ට ඔවුන් අවට පැවති සෑම දෙයක්ම විනාශ වේයයි විශ්වාස කිරීමට අමාරු වූයේ කවර තත්වයන් නිසාද? [1, w02 3/1 5-6 පි.] ජලගැල්මට කලින් ජනයා කතා කළේ එක භාෂාවක් පමණි. (උත්. 11:1) මිනිසුන්ගේ ආයු කාලය අවුරුදු සිය ගණනක් වූ නිසා, සියවස් ගණනාවක් පුරා එක් රැස් කළ දැනුම් සම්භාරයෙන් තව තවත් දියුණුවක් ලබාගත හැකි විය. නුවරක් ගොඩනැඟීමට කායින්ට හැකි විය. (උත්. 4:17) කලා ක්ෂේත්රයෙහිද හොඳ දියුණුවක් දක්නට ලැබිණ. (උත්. 4:21) මිනිසා තාක්ෂණික අතින් දියුණු වූ නිසා, යම් කර්මාන්ත බිහි විය. (උත්. 4:22) මෙවැනි දියුණුවක් දක්නට තිබූ නිසාත්, මිනිසුන් ජීවිතය ගත කළ ආකාරය නිසාත් “ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු” නෝවා දේශනා කරමින් ඉදිරිපත් කළ පණිවිඩය ගැන තැකීමට ඔවුන්ට අසීරු විය. (මතෙ. 24:38, 39; 2 පේතෘ. 2:5)
7. යේසුස් සමඟ ඇසුරු කළ අය ඔහුට “සුවකරන්නා” හෙවත් “රෝග සුව කරන උතුමාණෙනි” ලෙස නොව “ගුරුතුමෙනි” ලෙස ආමන්ත්‍රණය කිරීම සිතෙහි තබාගැනීම වැදගත් වන්නේ මන්ද? (ලූක් 3:12; 7:40) [2, w02 5/1 4 පි. 3 ඡේ.; 6 පි. 5 ඡේ.] යේසුස් සෑම රෝගයක්ම හා ආබාධයක්ම සුව කළේය. ඉන් පැහැදිලිව ඔප්පු වූයේ ඔහු මෙසියස් වූ බවය. එමෙන්ම අනාගතයෙහි සියලුම ශාරීරික ආබාධ සුව කරන බවට දී තිබුණු පොරොන්දු විශ්වාස කිරීමට ඔහු කළ දේ පදනමක් විය. (යෙසා. 33:24) කෙසේවෙතත්, යේසුස්ගේ ප්‍රධාන කාර්යය වූයේ මිනිස් වර්ගයාගේ ගැටලුවලට ස්ථිරසාර විසඳුමක් අනාගතයෙහි ලබා දෙන දේවරාජ්‍යය ගැන ජනයාව දැනුවත් කිරීමය. (ලූක් 4:43)
8. ක්ෂේත්‍ර සේවයෙහි උපරිම ආකාරයකින් සහභාගි වීමේ වැදගත්කම හිතෝපදේශ 11:24, 25හි අවධාරණය කර ඇත්තේ කෙලෙසද? [3, w02 7/15 30 පි. 2-4 ඡේ.] ‘විසුරුවන කෙනෙක්’ දේශනා කිරීමෙන් හා ඉගැන්වීමෙන් දේවවචනය ගැන තම අවබෝධය සහ අගය වැඩි කරගනී. එනමුත්, තමා සතු දැනුම පාවිච්චි නොකරන තැනැත්තා එම දැනුම අහිමි කරගැනීමේ අවදානමක සිටියි. මේ අනුව අප දේවසේවයේදී උද්යෝගයෙන් කතා කරන විටත්, උගන්වන විටත් අප අන් අයට ප්‍රයෝජනයක් ගෙන දෙනවා පමණක් නොව, ඉන් අපටද ප්‍රයෝජන ලැබේ.
9. ඒදන් උයනෙහි සිදු වූ කැරැල්ල නිසා හරි වැරැද්ද සම්බන්ධයෙන් කවර ප්‍රශ්නයක් මතු වීද? (උත්. 3:1-6) [5, w02 10/1 6 පි. 1 සහ 3 ඡේ; 7 පි. 1 ඡේ.] ඉස්මතු කළ ප්රශ්නය වූයේ යෙහෝවා තම මැවිලි කෙරෙහි තම පාලනය නිසි ලෙස හෙබවූවාද නැද්ද යන්නයි. මිනිස් වර්ගයාගෙන් පූර්ණ කීකරුකමක් බලාපොරොත්තු වන්නට මැවුම්කරුට අයිතියක් තිබුණාද? මිනිසුන් ස්වාධීන වූවා නම් ඔවුන්ට වඩා හොඳ තත්වයක් උදා වේවිද? යෙහෝවාගේ පරමාධිපත්‍යයට විරුද්ධව කැරලි ගැසීමේ ප්‍රතිඵලය වී තිබෙන්නේ මිනිසුන් පාපය හා මරණය තුළට ඇද වැටීමයි. ප්‍රතිඵලයක් ලෙස මිනිස් ඉතිහාසය පුරාම යුද්ධ, අයුක්තිය, පීඩා සහ වධ හිංසා දක්නට ලැබේ.
10. යෙරුසලමෙහි සැබෑ නමස්කාරය යළිත් ආරම්භ කළ දිනය කුමක්ද කියා තීරණය කරන්නේ කෙලෙසද? [6, bsi04-SN 2 පි. 5 ඡේ.] සයිරස් රජු වශයෙන් අභිෂේක ලැබූ අවුරුද්ද ආරම්භ වූයේ ක්‍රි.පූ. 539දී බැබිලෝනිය යටපත් කිරීමෙන් අනතුරුවයි. රජු ලෙස ඔහු පාලනය කළ මුල් අවුරුද්දේදී (එනම් ක්‍රි.පූ. 538 නීසාන් මස සිට ක්‍රි.පූ. 537 නීසාන් මස දක්වා කාලයේදී) යුදෙව්වන් නිදහස් කරන ලෙස ඔහු නියෝග කළේය. (එස්රා 1:1-3) “හත්වෙනි මාසය” පැමිණි විට යුදෙව්වෝ නුවරවල වාසය කරමින් සිටියෝය. (එස්රා 3:1) ඉන් පැහැදිලි වන්නේ ගමන සඳහා සංවිධානය වී, ඉන් අනතුරුව ගමන යෑම සඳහා සෑහෙන කාලයක් ගත වන්නට ඇති බවය. මේ අනුව යෙරුසලමෙහි සැබෑ නමස්කාරය යළිත් ආරම්භ කළ දිනය ක්‍රි.පූ. 537 සරත් සමය බව පැහැදිලි වේ.
සතිපතා බයිබල් කියවීම
11. බාලාක් එවූ පුරුෂයන් සමඟ යෑමට යෙහෝවා බාලාම්ට අණ කර, ඔහු ඔවුන් සමඟ ගිය විට යෙහෝවා උදහස් වූයේ මන්ද? (ගණන්. 22:20-22) ඊශ්‍රායෙල් ජාතියට ශාප නොකළ යුතු බව යෙහෝවා බාලාම්ට අණ කළත්, ඒ ගිජු අනාගතවක්තෘවරයා එම පුරුෂයන් සමඟ ගියේ මෝවබ් ජාතික බාලාක් රජුගෙන් යම් ත්‍යාගයක් බලාපොරොත්තුවෙනි (2 පේතෘ. 2:15; යූද් 11) දෙවිගේ උදහස බාලාම්ට විරුද්ධව ඇවිළුණේ එම නිසාය. කායින් මෙන් බාලාම් හිතුවක්කාර ලෙස දෙවිගේ කැමැත්ත නොසලකාහැරීය. (උත්. 4:6-8 ) [1, wSN84 7/1 28 පි. 3 ඡේ.]
12. ක්‍රිස්තියානි ස්ත්‍රියක වූ භාරයක් අවලංගු කිරීමට ඇගේ පුරුෂයාට හැකිද? (ගණන්. 30:6-8) යේසුස්ගේ අනුගාමිකයන් නීතිය යටතේ නොසිටින බැවින් මෙය ඔවුන්ට අදාළ නොවේ. භාරයක් වීම සම්බන්ධයෙන් දැන් යෙහෝවා මිනිසුන් සමඟ පෞද්ගලික මට්ටමකින් කටයුතු කරයි. එමනිසා යම් භාරයක් අවලංගු කිරීමට හෝ එය තහනම් කිරීමට ක්‍රිස්තියානි පුරුෂයෙකුට අයිතියක් නැත. කෙසේවෙතත්, ක්‍රිස්තියානි භාර්යාවක් භාරයක් වන විට මතක තබාගත යුතු දෙයක් නම්, එය දේවවචනයට එකඟ විය යුතු බවත් ඇගේ පුරුෂයා සම්බන්ධයෙන් ඉටු කළයුතු ශුද්ධ ලියවිලිමය යුතුකම්වලට බාධාවක් නොවිය යුතු බවත්ය. (දේශ. 5:2-6) [3, wSN84 7/1 28 පි. 5 ඡේ.]
13. ‘ආරක්ෂා නුවරවල්වලින්’ අද දින නියෝජනය වන්නේ කුමක්ද? (ගණන්. 35:6) [4, w95 11/15 17 පි. 8 ඡේ.] ඒවා පොළොව මත පිහිටි යම් ආරක්ෂිත ස්ථානයක් නොවේ. අප රුධිරයේ පරිශුද්ධභාවය පිළිබඳ දෙවිගේ ආඥාව උල්ලංගනය කර ඇති නිසා ලැබිය යුතු මරණ දණ්ඩනයෙන් ආරක්ෂා වීමට දෙවි පිහිටුවා ඇති විධිවිධානය ඒවායින් නියෝජනය වේ. (උත්. 9:6)
14. ද්විතීය කතාව 6:6-9හි ‘දෙවිගේ නීතිය අත පිට ලකුණක් පිණිස බැඳගැනීමටත්, ඇස් අතරෙහි නළල් පටි පිණිස බැඳගැනීමටත්’ දී ඇති ආඥාව වචනානුසාරයෙන්ම ගත යුතුද? නැත. එම වාක්‍යය තනා ඇති අයුරින් පැහැදිලි වන්නේ එම වචනවලට සංකේතාත්මක අර්ථයක් ඇති බවය. (නික්. 13:9; හිතෝ. 7:2, 3) දෙවිගේ ආඥාවලට නිතරම අවධානය දීම ඊශ්‍රායෙල් ජනයාගෙන් බලාපොරොත්තු විය. එමනිසා දෙවිගේ නීතිය තම සිතෙහි රඳවාගෙන, තම දරුවන්ට උගන්වා, තමන්ගේ ක්‍රියාවලින් (එනම් අත්වලින් ඇඟවෙන පරිද්දෙන්) ඊට එකඟව ජීවත් වීම අවශ්‍ය විය. සියලුදෙනාටම පෙනෙන සේ යෙහෝවාගේ නීතිය තමන්ගේ ඇස් අතරෙහි බැඳගෙන සිටින්නාක් මෙන් ජනයා ඊට කීකරුව සිටින බව සැමෝටම පැහැදිලිව පෙනෙන්නට සැලැස්විය යුතු විය. [6, wSN84 9/1 29 පි. 2 ඡේ.]
15. “ඔබේ වස්ත්‍ර පරණ නොවීය” යන්නෙන් අදහස් වන්නේ ඊශ්‍රායෙල් ජාතියේ ඇඳුම් පමණක් පරණ නොවූ බවක්ද? (ද්වි. 8:4) නැත. ජනතාවට ලබා දුන් මන්නා දිනපතා දක්නට ලැබූ ආශ්චර්යයක් විය. එමෙන්ම පාළුකරයේ අවුරුදු 40ක් පුරා ඔවුන්ගේ වස්ත්‍ර පරණ නොවීමත් කකුල් නොඉදිමීමත් ආශ්චර්යයන් විය. අලුත් ඇඳුම් පැළඳුම් සපයා දුන්නා නම් එය ආශ්චර්යයක් නොවනු ඇත. [7, wSN84 9/1 29 පි. 3 ඡේ.]