දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
මතු දැක්වෙන ප්‍රශ්න 2004 අප්‍රියෙල් 26වන දා සිට පටන්ගන්නා සතියේදී දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී වාචිකව සලකා බලනු ලැබේ. පාසැල් අවේක්ෂක විසින් 2004 මාර්තු 1වන දා සිට අප්‍රියෙල් 26වන දා දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් මෙහෙයවනු ලබයි. [සැලකිල්ලට ගන්න: ප්‍රශ්නයෙන් යොමුසටහනක් දක්වා නැති අවස්ථාවලදී, පිළිතුරු සෙවීම සඳහා පෞද්ගලිකව පර්යේෂණ කිරීමට ඔබට සිදු වේ.—සේවා පාසැල් පොත 36-7 දක්වා පිටු බලන්න.]
කථික ගුණාංග
1. කතාවක් ඉදිරිපත් කරන විට, ලේඛනයකින් කියවනවාට වඩා දළසටහනක් ඇසුරෙන් කතා කිරීම යෝග්‍ය වන්නේ මන්ද? [1, be 166 පි. 3 ඡේ.] දළසටහනක් ඇසුරෙන් කතා කරන විට, සංවාදශීලී විලාසයක් අනුගමනය කිරීමටත්, අපගේ හද පත්ලෙන්ම කතා කිරීමටත් වඩාත් පහසු වේ. අපගේ අවධානය සබය වෙතට යොමු වී තිබෙන විට, අප ඇත්තටම ඔවුන් ගැන සිතන බවත්, ඔවුන්ගේ තත්වයන්ට ගැළපෙන සේ තොරතුරු සකස් කර ඉදිරිපත් කරන බවත් ඔවුන්ට දැනේ.
2. ක්ෂේත්‍ර සේවය සඳහා සූදානම් වෙද්දී අපගේ අදහස් මනසේ පෙළගැස්විය හැක්කේ කෙලෙසද? [2, be 167 පි. 3 ඡේ.] සමාජයේ වැඩිදෙනාගේ සැලකිල්ලට බඳුන් වී ඇති යමක් සිතේ තබාගන්න. එම විෂයටම අදාළ වූ සුවිශේෂ අදහස් කිහිපයක් ගැන සිතා බලන්න. ඊට ශුද්ධ ලියවිලි පදයක් හෝ දෙකක් ඇතුළත් කරන්න. සහනය සැලසෙනු ඇත්තේ යේසුස් ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ පවතින යෙහෝවාගේ රාජ්‍යය නමැති ආණ්ඩුව මගින් බව අවධාරණය කිරීමට සෑදී පැහැදී සිටින්න. සාකච්ඡා කළ දේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඔබට සවන් දෙන්නාව දිරිගන්වන්න.
3. ක්‍රියා 13:16-41 සහ ක්‍රියා 17:2, 3 භාවිත කරමින් පාවුල් ‘යේසුස් යනු ක්‍රිස්තුස්යයි තර්කානුකූලව ඔප්පු’ කළ අන්දම පැහැදිලි කරන්න. (ක්‍රියා 9:22, NW) [4, be 170 පි. 2 ඡේ.] මුලින්ම පාවුල් පොදු අඩිතාලමක් දමමින් පැවසුවේ යුදෙව්වන් මෙසියස් ගැන හෙබ්‍රෙව් ලියවිලිවල සඳහන් දේ පිළිගන්නවා යන්නයි. ඊළඟට ඔහු මෙසියස්ගේ ජීවිතය හා දේවසේවය ගැන සාකච්ඡා කළ කොටස් ශුද්ධ ලියවිල්ලෙන් තෝරාගෙන, ඒවා යේසුස් සම්බන්ධයෙන් සිදු වූ දේවල් හා සැසඳීය. අනතුරුව, ඔහු යේසුස් යනු ක්‍රිස්තුස් හෙවත් මෙසියස්ය යන නිගමනයට එළඹීමට තමාට සවන් දුන් අයට උපකාර කළේය.
4. හිටිවන කතා ඉදිරිපත් කරන විට, නෙළාගත හැකි ඇතැම් ප්‍රයෝජන මොනවාද? [7, be 175 පි. 2-4 ඡේ.] (1) ඔබ වඩාත් ප්‍රාණවත්ව හා තාත්වික ආකාරයකින් කතා කරන අතර, සවන් දෙන්නන්ගේ අවධානය හොඳින් ලබාගැනීමටද හැකි වේ. (2) සබය සමඟ වඩාත් හොඳ දෘෂ්ටි සම්බන්ධයක් පවත්වාගැනීමට ඔබට හැකි වේ. (3) ඔබ කතා කරන විෂය ගැන ඔබට මනා දැනුමක් ඇති බවත්, ඔබ කියන දේ ගැන ඔබට අවංක විශ්වාසයක් තිබෙන බවත් හැඟීමට සවන් දෙන්නන් තුළ වැඩි නැඹුරුවාවක් ඇති වේ. (4) ඔබේ ඉදිරිපත් කිරීම වඩාත් නම්‍යශීලී මුහුණුවරකින් සිදු කෙරේ. එවිට අවශ්‍ය වූවොත් යම් සකස් වීම් කිරීමටද ඔබට හැකි වේ. (5) ඔබ තුළද පෙලඹීමක් ඇති වේ. ප්‍රතිඵලයක් ලෙස ඔබට පහසුවක් දැනෙන අතර, ඇතැම් අදහස් තවදුරටත් විස්තර කිරීමට හෝ අවධාරණය කිරීමට හෝ පුළුවන.
5. හිටිවන කතා දීමේදී තිබිය හැකි උගුල් මොනවාද? ඒවා මඟහැරීමට අපට කුමක් උපකාරවත් විය හැකිද? [8, be 176 පි. 1-4 ඡේ.] කතාවේ එක් එක් කොටසට නියම කර ඇති වේලාව දළසටහනේ ඒ ඒ ස්ථානවල සලකුණු කිරීමෙන් නියමිත කාලය ඉක්මවා යෑමේ නැඹුරුවාව මඟහරවා ගත හැක. අපගේ උදාර උපදේශකයාණන්ගේ අධ්‍යාපන වැඩසටහනට සහභාගි වීමේ වරප්‍රසාදය සඳහා ගැඹුරු අගයක් ඇති කරගැනීමෙන් හා යටහත් පහත්කම ඇති කරගැනීමෙන් පමණට වඩා ආත්ම-විශ්වාසයකින් යුතුව සිටීමේ නැඹුරුවාව මඟහරවා ගත හැක. හොඳ සූදානමකින් සිටීම හා දෙවිගේ ආත්මය මත රඳා සිටීම මගින්, කීමට අදහස් කරන දේ අමතක වේය යන බියෙන් ජයගත හැකියි. (යෙසා. 30:20; රෝම 12:6-8)
පැවරුම් අංක 1
6. උත්පත්ති 32:24-32හි සඳහන් වාර්තාවට අනුව 97 හැවිරිදි යාකොබ් යෙහෝවාගේ ආශීර්වාද ලබාගැනීම සඳහා කළේ කුමක්ද? මින් අප ඉගෙනගන්නා පාඩම කුමක්ද? [3, w02 8/1 29-31 පි.] යාකොබ් සම්පූර්ණ අවධානය දුන්නේ යෙහෝවාගේ කැමැත්තටයි. එමෙන්ම ඔහු තම උරුමයද මහත් ආදරයකින් රැකගත්තේය. දෙවිගේ ආශීර්වාදය ලැබීම සඳහා ඔහු මහත් උනන්දුවකින් යාච්ඤා කළේය. එමෙන්ම දෙවිගේ කැමැත්තට එකඟව ඔහු ධනාත්මක ලෙස පියවර ගත්තේය. අපගේ වයස කුමක් වෙතත්, අප යෙහෝවාට කොතරම් කාලයක් සේවය කර ඇතත්, යාකොබ් දැරූ අවංක උත්සාහය අනුකරණය කිරීමෙන් අප සැමටම ප්‍රයෝජන ලබාගත හැකි බව මෙම වාර්තාවෙන් අපට ඉගෙනගත හැක. යෙහෝවාට මුළු සිතින් සේවය කරන්නට අප පොරබදමින් දරන උත්සාහය අප කිසිවිටෙකත් අත් නොහැරිය යුතුය.
7. “කල්පනා ශක්තිය” හෙවත් සිහිකල්පනාව යනු කුමක්ද? අපගේ සමබරතාව නැති වීමෙන් හා අනවශ්‍ය ලෙස යම් වේදනා විඳීමෙන් අපව ආරක්ෂා කිරීමට එය අපට උපකාරවත් විය හැක්කේ කෙලෙසද? (හිතෝ. 1:4) [5, w02 8/15 21-2 පි.] “කල්පනා ශක්තිය” ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනය රැගෙන තිබෙන්නේ “සැලසුම් කිරීම හෙවත් උපක්‍රම යෙදීම” යන අර්ථය ඇති මූලික වචනයකිනි. මින් පෙනී යන්නේ කල්පනා ශක්තිය පාවිච්චි කර ක්‍රියා කරන කෙනෙකු දුර දිග බලා, ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින් තම ක්‍රියාවන්ගෙන් අත් විය හැකි ප්‍රතිවිපාක සැලකිල්ලට ගන්නා බවයි. ‘පව් නොකරන මනුෂ්‍යයෙක් නැති’ නිසා ක්‍රිස්තියානි සහෝදරයෙකු අපගේ සිත් පෑරීම හෝ අපව අමනාප කිරීම ගැන අප පුදුම විය යුතු නැත. මෙවැනි දෙයක් සිදු විය හැකි බව දන්නා නිසා අපට ඒ සඳහා සූදානම් විය හැකි අතර, අප ඊට ප්‍රතික්‍රියා කළ යුත්තේ කෙසේදැයි යන්න ගැන මෙනෙහි කිරීමටද හැක. එවිට කුපිත කරවන දෙයක් සිදු වන අවස්ථාවක, ආවේගයෙන් ප්‍රතික්‍රියා කිරීමෙන් වැළකීමට අපට හැකි වේ. (1 රාජා. 8:46)
8. ප්‍රසිද්ධියේ කතා දෙන අය ශුද්ධ ලියවිලි පද තම කතාවලට පදනම වශයෙන් යොදාගත හැක්කේ කෙසේද? [6, be 52 පි. 6 ඡේ.–53 පි. 5 ඡේ.] කථිකයෙකුගේ කාර්යය නිකම්ම යම් දේවල් පවසා තොරතුරු සැපයීමට සීමා නොවිය යුතුය. ඒ වෙනුවට සාකච්ඡා කරනු ලබන සත්‍යය ශුද්ධ ලියවිල්ල මත පදනම්ව ඇති අයුරු පෙන්වීමට වෑයම් දැරිය යුතුය. තෝරාගත් බයිබල් පද පරීක්ෂා කර, අවට පාඨ සම්බන්ධයට අනුව ඒවා පැහැදිලි කර, නිදසුන් මගින් ඒවා විස්තර කර ඒවා අදාළ කළ යුතුය. බයිබලය තේරුම්ගැනීමට හා දිව්‍ය කැමැත්තට එකඟව කළ යුතු දේ කුමක්ද කියා වටහාගැනීමට සබයට උපකාර කිරීම ප්‍රසිද්ධියේ කතා දෙන අයගේ වෑයම විය යුතුය.
9. කතාවක දළසටහනක් ශුද්ධ ලියවිල්ල මත පදනම් වූ හරවත් පැහැදිලි කිරීමක් බවට පරිවර්තනය කිරීම සඳහා කථිකයෙකු ගත යුතු තීරණ මොනවාද? [7, be 54 පි. 2-4 ඡේ.] එක් එක් උප කරුණු ගොඩනැංවීම සඳහා කොතරම් වේලාවක් ගත කරනවාද යන්න කථිකයා විසින් තීරණය කළ යුතු වේ. දේවවචනය අවධාරණය කිරීමට, යෙහෝවා සහ ඔහු සපයන දේවල් සඳහා කෘතඥතාවක් ගොඩනැංවීමට, කතාවේ ප්‍රධාන අදහස් ඉස්මතු කර දැක්වීමට සහ සබයට වඩාත්ම ප්‍රයෝජනවත් වන්නේ කවර කරුණුද යන්න සලකා බැලීමට ඔහුට සිදු වේ.
10. යෙහෝවා සතියක් සතියක් පාසා, මාසයක් මාසයක් පාසා පාළුකරයේදී ඊශ්‍රායෙලිතයන්ව මන්නාවලින් පෝෂණය කළේ මන්ද? අපට මෙයින් උගත හැක්කේ කුමක්ද? (ද්වි. 8:16) [8, w02 9/1 30 පි. 3-4 ඡේ.] මෙම ආහාරය දිගටම අනුභව කිරීම ගැන ඇතමුන් සෑහීමට පත් නොවුවද, යටහත් පහත්කම සහ යෙහෝවා මත රඳා සිටීම ගැන ඉගැන්වීම සඳහා යෙහෝවා එය ඔවුන්ට පරීක්ෂණයක් ලෙස සැපයූ බව පෙනේ. (ද්වි. 8:3) සංවිධානයේ යම් සකස් කිරීම් සිදු වෙද්දී, “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මාර්ගයෙන් යෙහෝවා බයිබල් සත්‍යතාවන් පිළිබඳව යම් පැහැදිලි කිරීම් සපයද්දී අපගේ යටහත් පහත්කමද ඒ හා සමානව පරීක්ෂාවට ලක් විය හැක. (මතෙ. 24:45-47)
සතිපතා බයිබල් කියවීම
11. උත්පත්ති 37:12-17හි දැක්වෙන පරිද්දෙන්, යෝසෙප් ගත් ක්‍රියාමාර්ගය සහ යේසුස් ගත් ක්‍රියාමාර්ගය අතර අප දකින්නේ කවර සමාන්තරයද? [1, wSN88 4/1 9 පි. 12 ඡේ.] යෝසෙප්ගේ සහෝදරයන් ඔහුට විරුද්ධව කෝපයෙන් නැඟී සිටියද, ඔවුන්ට උපකාර කිරීම සඳහා ඔහු වහාම පියවර ගත්තේය. (උත්. 37:5-11) ඒ හා සමානව, ඉමහත් දුකක් විඳීමට සිදු වුවද, යේසුස් ඉතා කැමැත්තෙන්ම යෙහෝවා ඔහුට මිහිපිට දුන් පැවරුම භාරගත්තේය.
12. උත්පත්ති 42:25-35 දක්වා වාර්තාවෙන් දැකිය හැකි පරිදි, යෝසෙප් පෙන්වූ අනුකම්පාව යේසුස් පෙන්වන අනුකම්පාව හා සැසඳෙන්නේ කෙසේද? [2, wSN88 4/1 14 පි. 10 ඡේ.; 15 පි. 17 ඡේ.] තම අර්ධ සහෝදරයන් පසුතැවිලි වී ඇති බව හොඳින් තේරුම්ගත්තායින් පසු, යෝසෙප් ඔවුන් සමඟ දයාන්විතව කටයුතු කළේ, ධාන්‍යවලින් ඔවුන්ගේ මළු පිරවීමෙන්, ඔවුන් දුන් මුදල් ඔවුන්ට යළිත් දීමෙන් හා ඔවුන්ගේ ගමනට අවශ්‍ය දෑ සැපයීමෙනි. ඒ හා සමානව අද දින පසුතැවිල්ලෙන් සිටින ‘වෙනත් බැටළුවන් ’ වෙතට යේසුස් දයාව පෙන්වමින් ඔවුන්ගේ අවශ්‍යතා සපයයි. (යොහ. 10:16)
13. අද දින විශ්වාසවන්ත දාසයා සපයන දෑ යෝසෙප්ගේ කාලයේදී ධාන්‍ය බෙදාහරිනු ලැබූ අන්දම හා සැසඳෙන්නේ කෙලෙසද? (උත්. 47:21-25) යෙහෝවාගේ කැප වූ සාක්ෂිකරුවන්ට හා උනන්දුව දක්වන අයට ජීවනදායක ආත්මික ආහාර සැපයීම සඳහා වඩා ශ්‍රේෂ්ඨ වූ යෝසෙප් වන යේසුස්ගේ මඟ පෙන්වීම යටතේ දාස පංතිය ශුද්ධ ලියවිල්ලට එකඟව හැකි සෑම අයුරකින්ම වෑයම් දරයි. මීට අමතරව දාසයා සභාවන් සංවිධානය කර ඇති අතර, ඒවාට අයත් බලප්‍රදේශ තුළ බෙදාහැරීම සඳහා බයිබලය මත පදනම් වූ පොත් පත් බහුලව සපයා ඇත. [4, wSN88 4/1 12 පි. 3-4 ඡේ.]
14. ‘මා යම් සේ සිටිම්ද එසේම සිටිමි’ යයි පැවසීමෙන් යෙහෝවා තම නාමය සම්බන්ධයෙන් එළිදරව් කරමින් සිටියේ කුමක්ද? (නික්. 3:14, 15) යෙහෝවා තම නාමය සමඟ බැඳී තිබුණු අර්ථය හා වැදගත්කම එළිදරව් කළේය. මෙම ප්‍රකාශයෙන් අදහස් වූයේ තම අරමුණු ඉටු කිරීම සඳහා යෙහෝවා මොනයම් ආකාරයකට හෝ සකස් වන බවය. ඊශ්‍රායෙලිතයන්ගේ ආදි පියවරුන් කිසි ලෙසකින්වත් නොදැන සිටි අන්දමකින් ඔහු පොරොන්දු ඉටු කරන්නා ලෙස ප්‍රසිද්ධ වූයේය. (නික්. 6:2, 2) [5, w95 3/1 10 පි. 6 ඡේ.]
15. නික්මයාම 16:2, 3හි සඳහන් පරිදි පැමිණිලි කිරීමේදී හෝ මැසිවිලි නැඟීමේදී අනිවාර්යයෙන්ම සිදු විය හැකි අන්තරාවන් මොනවාද? [8, w93 3/15 20-1 පි.] මුලින්ම මැසිවිලි නැඟීම බෝවනසුලුය. දෙවනුව, මැසිවිලි නැඟීමෙන් බොහෝදුරට සිදු වන්නේ ගැටලුව තිබෙන තත්වයටත් වඩා විශාල කිරීමය. ඊශ්‍රායෙලිතයන් කියා සිටියේ ඊජිප්තුවේදී තමන්ට කැමති පරිද්දෙන් රොටි හා මස් අනුභව කළ හැකි නිසා ඔවුන්ට වඩාත් තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි බවයි. තමන්ව පාළුකරයට ගෙනැවිත් තිබුණේ හාමතෙන් මිය යෑමටය කියාද ඔවුහු පැමිණිලි කළෝය.