යෙහෝවා සමඟ කුලුපග මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීම
1. ක්‍රිස්තියානි සහෝදරියක් ඇය නිතිපතා නිරත වන ආත්මික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තේරුම්ගත්තේ කුමක්ද?
1 “මම අවුරුදු 20ක විතර වගේ කාලයක ඉඳන් සත්‍යයේ ඔහේ ඉන්නවා කියලා කියන්න පුළුවන්. මම රැස්වීම්වලටයි ක්ෂේත්‍ර සේවයෙයි ගියේ ඇත්තටම උනන්දුවකින් නම් නෙමෙයි. මේ දේවල් කරන්නං වාලේ කළා කියලයි මට හැඟුණේ” කියා ක්‍රිස්තියානි සහෝදරියක් පැවසුවාය. කෙසේවෙතත්, “මේ දේවල් ඇත්තටම වැදගත් වුණත්, අමාරු තත්වයන්ට මුහුණ දෙනකොට, එම තත්වයන්ට හොඳින් මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය ඒ දේවල් කිරීමෙන් විතරක් ලැබෙන්නේ නැති බව මම තේරුම් අරං තියෙනවා. . . . මම සිතන ආකාරය සකස් කරගන්නත් පෞද්ගලික අධ්‍යයනය හොඳින් කරන්නත් අවශ්‍ය බව මම දැන් තේරුම් අරං ඉන්නේ. මෙහෙම කරද්දී මට යෙහෝවාව තව වඩාත් හොඳින් දැනහඳුනා ගන්නත් ඔහුට ප්‍රේම කරන්නත් ඔහුගේ පුත්‍රයා අපට දීලා තියෙන දේවලට ස්තුතිය වැඩියෙන් පෙන්වන්නත් පුළුවන්.”
2. යෙහෝවා සමඟ කුලුපග මිත්‍රත්වයක් වර්ධනය කරගැනීම වැදගත් වන්නේ මන්ද?
2 යෙහෝවා සමඟ කිට්ටු සබඳතාවක් ගොඩනඟා ගැනීම සඳහා වෑයම අවශ්‍යයි. පුරුද්දක් ලෙස යම් ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල නියැලීමට වඩා වැඩි යමක් ඒ සඳහා අවශ්‍ය කෙරේ. යෙහෝවාට නිතිපතා යාච්ඤා කිරීමට අපට නොහැකි වුණොත්, කාලයක් කිට්ටු මිත්‍රත්වයක් ඇතුව සිටියත් පසු කාලයක අදහස් හුවමාරුව අත්හැර තිබෙන මිතුරෙකුගේ තත්වයට කලක් යන විට ඔහුද පත් විය හැකියි. (එළි. 2:4) යෙහෝවා සමඟ කුලුපග මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීම සඳහා පෞද්ගලික බයිබල් අධ්‍යයනය හා යාච්ඤාව අපට උපකාරවත් වන ආකාරය දැන් අපි සලකා බලමු.—ගීතා. 25:14.
3. දෙවිට තව තවත් ළංවීම සඳහා අපේ පෞද්ගලික අධ්‍යයනය අප කළ යුත්තේ කෙසේද?
3 යාච්ඤාව සහ මෙනෙහි කිරීම අත්‍යවශ්‍යයි: සිත පෝෂණය කරවන ආකාරයේ පෞද්ගලික අධ්‍යයනයක නිතර වීමේදී පාඩම් කරන ලිපියක මූලික කරුණු යටින් ඉරි ඇඳීමට හා සඳහන් කර තිබෙන ශුද්ධ ලියවිලි පාඨ බැලීමට වඩා වැඩි යමක් කළ යුතු වේ. පාඩම් කරන තොරතුරු මගින් යෙහෝවාගේ මාර්ග, ප්‍රමිති හා පෞද්ගලිකත්වය ගැන හෙළි කරන දේවල් ගැන මෙනෙහි කිරීම පෞද්ගලික අධ්‍යයනයේදී කළ යුතුයි. (නික්. 33:13) ආත්මික කාරණා හොඳින් තේරුම්ගන්න විට ඒවා අපේ හැඟීම්වලට බලපාන අතර අපේ ජීවිත ගැන කල්පනා කර බලන්න අප තුළ පෙලඹීමක්ද ඇති කරවයි. (ගීතා. 119:35, 111) පෞද්ගලික අධ්‍යයනය කළ යුත්තේ යෙහෝවාට තව තවත් ළංවීමේ අරමුණ ඇතුවයි. (යාකො. 4:8) හොඳින් අධ්‍යයනය කිරීමට කාලය වගේම සුදුසු පරිසරයක්ද අවශ්‍ය වේ. නිතිපතා අධ්‍යයනය කිරීම සඳහා තමන්ව හික්මවාගැනීමද අවශ්‍යයි. (දානි. 6:10) ඔබ කොතරම් කාර්යබහුල වුණත් යෙහෝවාගේ උතුම් ගුණාංග ගැන මෙනෙහි කිරීමට සෑම දවසකම ඔබ කාලය වෙන් කරනවාද?—ගීතා. 119:147, 148; 143:5.
4. පෞද්ගලික අධ්‍යයනයේදී යාච්ඤා කිරීම, යෙහෝවා සමඟ කුලුපග මිත්‍රත්වයක් වර්ධනය කරගැනීමට අපට උපකාරවත් වන්නේ කෙසේද?
4 හොඳින් කරන පෞද්ගලික අධ්‍යයනයකදී අත්‍යවශ්‍ය දෙයකි, හෘදයාංගම යාච්ඤාව. බයිබල් සත්‍යයන්ට අපේ සිත්වල හැඟීම් පුබුදුවාලීමට හා “දේවභයෙන් සහ ගරුබියෙන් යුක්තව දෙවිට පිළිගත හැකි වූ පරිශුද්ධ සේවයක් පිරිනැමීමට” අප තුළ පෙලඹවීමක් ඇති කිරීමට නම් අපට දෙවිගේ ශුද්ධාත්මය අවශ්‍යයි. (හෙබ්‍රෙ. 12:28, NW) මේ නිසා අප අධ්‍යයනය කිරීම පටන්ගත යුත්තේ යෙහෝවාගේ ආත්මය ඉල්ලමින් ඔහුට කන්නලව් කරමිනි. (මතෙ. 5:3, NW) ශුද්ධ ලියවිලි පාඨ ගැන අප කල්පනා කරන විටත් යෙහෝවාගේ සංවිධානය මගින් සපයා තිබෙන අධ්‍යයන ආධාරක පොත් පත් භාවිත කරන විටත් අපේ සිත් අපි යෙහෝවා ඉදිරියෙහි විවෘත කරන්නෙමු. (ගීතා. 62:8) මේ ආකාරයට අධ්‍යයනය කිරීම නමස්කාරයේ කොටසකි. මෙහිදී අපි යෙහෝවා කෙරෙහි තිබෙන භක්තිය පෙන්වන්නෙමු. එමෙන්ම ඔහු සමඟ තිබෙන අපේ බැඳීම තවත් ශක්තිමත් කරගන්නෙමු.—යූද් 20, 21.
5. අප සෑම දවසකම දේවවචනය මත මෙනෙහි කිරීම වැදගත් වන්නේ මන්ද?
5 අප පවත්වන සියලුම සබඳතා සම්බන්ධයෙන් සැබෑ වන්නාක් මෙන් යෙහෝවා සමඟ පවත්වන සබඳතාවද අපේ ජීවිත කාලය පුරා අඛණ්ඩව තබාගැනීමට නම් එය දවසක් දවසක් පාසා සවිමත් කළ යුතුයි. අප දෙවිට ළං වන විට ඔහුද අපට ළං වන බව අපි දනිමු. එනිසා ඔහුට වඩ වඩා ළංවීම සඳහා සෑම දවසකින්ම ප්‍රයෝජන ගැනීමට අදිටන් කරගනිමු.—ගීතා. 1:2, 3; එෆී. 5:15, 16, NW.