ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 3/03 3 පි.
  • පාලක මණ්ඩලයෙන් ලිපියක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාලක මණ්ඩලයෙන් ලිපියක්
  • 2003 අපගේ රාජ්‍ය සේවාව
2003 අපගේ රාජ්‍ය සේවාව
km 3/03 3 පි.

පාලක මණ්ඩලයෙන් ලිපියක්

ආදරණීය සහෝදර සහෝදරියෙනි,

මෙම ලිපිය ඔබට ලිවීමට ලැබීම මොන තරම් සතුටක්ද! දිගටම ඔබ විදහාපෙන්වන ප්‍රේමයට හා ආත්ම-පරිත්‍යාගී ස්වභාවයට අපි උණුසුම් ලෙස ප්‍රශංසා කරමු. පසුගිය සේවා වසරේදී යහපත් දේවල් රාශියක් කිරීමට හැකි වූ බව වාර්ෂික පොත (සිංහලෙන් නොමැත) කියවද්දී ඔබට පෙනී යනු ඇති. යෙහෝවාට ළං වන්න කියා ජනයාට ඍජුවම දිරිගන්වමින් දේශනා කිරීමෙහි හා ඉගැන්වීමෙහි වැඩයෙහි අප නැවතත් පැය බිලියනයකට වඩා වැය කර තිබෙනවා. මෙසේ, අපගේ මහිමාන්විත දෙවි හා ස්වර්ගික පියාණන්ගේ හවුල් වැඩකරුවන් වීමට ලැබීම අපට ගෞරවයක් නොවේද?—1 කොරි. 3:9, NW.

ඉදිරියෙහි තිබෙන වැඩ කොටස දෙස බලද්දී, බයිබල් වාර්තාවෙහි විස්තර කර ඇති දෙවිගේ සේවකයන්ගේ ජ්වලිතය හා ඇදහිල්ල ඔබ නොකඩවා අනුකරණය කරනු ඇති බව අපට නිසැකයි. නිදසුනකට, රාජ්‍යයේ කටයුතුවල උන්නතිය තකා වැඩ කිරීමේදී ප්‍රේරිත පාවුල් උපරිම ප්‍රතිඵල නෙළාගැනීමට උත්සුක වුණා. පෙනෙන විදිහට ඔහු කොරින්තියේ විසූ ක්‍රිස්තියානි සභාවට තම පළමුවන ලිපිය ලිව්වේ එෆීසයේ සිටි අවසාන වසරේදීයි. ඔහුගේ කෙටි-කාලීන සැලසුම් ගැන ඔහු ලීවේ මෙලෙසයි. “පෙන්තකොස්ත මංගල්‍යය දක්වා මම එෆීසයේ නැවතී සිටිමි. මන්ද, ක්‍රියාකාරකම්වලට මඟ පාදන විශාල දොරක් මට විවෘත කර ඇත. එහෙත් විරුද්ධකාරයෝද බොහෝදෙනෙක් සිටිති.”—1 කොරි. 16:​8, 9, NW.

පාවුල් සැලසුම් කර තිබුණේ මැසිඩෝනියාවට හා කොරින්තියට ගමන් කරන්නටයි. එනමුත්, කලක් එෆීසයෙහි රැඳී සිටීමෙන් සාර්ථක සේවයක් කිරීමේ ප්‍රස්තාවක් විවෘත වී ඇති බව ඔහු තේරුම්ගත්තා. පාවුල් නම්‍යශීලී පුද්ගලයෙක්. තමා සිටි ස්ථානයෙහි රාජ්‍යයේ කටයුතුවල උන්නතියට දායක විය හැකි හිතකර තත්වයක් දුටු නිසා, තමාගේ සැලසුම් ඊට එකඟව වෙනස් කළා. ක්‍රියාකාරකම්වලට මඟ පාදන විශාල දොරක් ඔහු හට විවෘත වී තිබුණා. එමනිසා පාවුල් උත්සුක වුණේ ඇතුල්වීමේ ප්‍රස්තාවෙන් ප්‍රයෝජන ගැනීමටයි.

එසේ කිරීමට නම්, සෑහෙන වැඩ කොටසක් එෆීසයෙහි ඉටු කරන්න සිදු වෙනවා. එනම්, ශුභාරංචිය දේශනා කිරීම සහ සභාව ගොඩනැංවීමයි. එම නුවරේ පිහිටි සභාවෙහි වැඩිමහල්ලන්ට පාවුල් පසුව මෙසේ පැවසුවා. “ඔබට ප්‍රයෝජනවත් වන සියල්ල පැවසීමෙන්වත් ප්‍රසිද්ධියේ සහ ගෙයින් ගෙට ගොස් ඔබට ඉගැන්වීමෙන්වත් මම වැළකී නොසිටියෙමි. මම, දෙවි ඉදිරියෙහි පසුතැවිලි වීම ගැනත් අපේ ස්වාමීන් වන යේසුස් කෙරෙහි වූ ඇදහිල්ල ගැනත් යුදෙව්වරුන් සහ ග්‍රීකවරුන් යන දෙපිරිසටම සම්පූර්ණයෙන් සාක්ෂි දැරුවෙමි.”—ක්‍රියා 20:20, 21, NW.

මීට සමානව, ආදරණීය වූ සහෝදර සහෝදරියන් වන ඔබෙන් බොහෝදෙනෙක් ඔබහට විවෘත වී ඇති ප්‍රස්තාවලින් ප්‍රයෝජන ගෙන තිබෙනවා. පසුගිය සේවා වසරේදී, පුරෝගාමී සේවයෙහි යම් අංගයක හෝ සහභාගි වීම සඳහා තම පෞද්ගලික කටයුතු සැලසුම් කිරීමට සාමාන්‍යයෙන් 7,98,938දෙනෙක් සමත් වී තිබෙනවා. මිෂනාරිවරුන් ලෙස සේවය කිරීමට ඔබෙන් සමහරෙකු පොළොවේ ඈත කෙළවරවල්වලට ගමන් කර තිබෙනවා. ඔබ සැම ශුභාරංචිය ජ්වලිතව බෙදාහරිමින්, සභා ගොඩනැංවීමෙහි නිරත වෙමින් සිටිනවා. අප ළඟපාත සිටින විදේශ භාෂාවක් කතා කරන අයට උපකාර කරන්නට හැකි වන පරිද්දෙන් ඔබෙන් තවත් අය වෙනත් භාෂාවක් ඉගෙනගෙන තිබෙනවා. තවත් සමහරු තම පෞද්ගලික කටයුතු පවා සැලසුම් කර ඇත්තේ පවරා නැති බලප්‍රදේශවල වැඩ කිරීමට හෝ වැඩි අවශ්‍යතාවක් ඇති ප්‍රදේශවල සේවය කිරීමටයි. පාසැලේදී, රැකියාවේදී හෝ දුරකථනය තුළින් සාක්ෂි දැරීම වැනි පලදායී සාක්ෂියක් දිය හැකි වෙනත් අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීම මගින් තවත් සමහරුන්ට විශාල දොරටුවක් විවෘත වී තිබෙනවා. ජනයා කොතැනක සිටියත් ඔවුන්හට සත්‍යය පිළිබඳව දැනුම ලබා දීමට ලොව වටා සිටින දෙවිගේ ජනයා විසින් උද්‍යෝගයෙන් ප්‍රස්තාවන් සොයන බවට බාල වුවත්, මහලු වුවත් ඔවුන්ගෙන් ලැබී ඇති අද්දැකීම්වලින් කියාපායි.

ඔබ දරන වෑයම යෙහෝවා දකින බවත්, එයින් ඔහු ඉමහත් සතුටක් ලබන බවත් කිසිමදාක අමතක නොකරන්න. බයිබලයෙහි පවසන්නේ මෙලෙසයි. “ඔබේ වැඩද . . . ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට දෙවි අධර්මිෂ්ඨ නැත.” (හෙබ්‍රෙ. 6:​10, NW) පවිත්‍ර නමස්කාරයේ වැඩි දියුණුව සඳහා ඔබට විවෘත වන ප්‍රස්තා අල්ලාගැනීමට දිගටම අවදියෙන් සිටින්න. ඔබේ සේවය තවත් පුළුල් කරන්න ඔබෙන් සමහරදෙනෙකුට හැකියාව ඇති. එමෙන්ම අප සැමටම අපගේ සේවය තවත් පලදායී කරගැනීමට උත්සාහයක් දරන්න පුළුවන්.

දේශනා කිරීමට වූ අපගේ පැවරුම විරුද්ධවාදීකම් නැතුව ඉෂ්ට කරන්න නම් ලැබෙන්නේ නැහැ. තමාට ක්‍රියාකාරකම් සඳහා මඟ පාදන විශාල දොරටුවක් විවෘත වී ඇතැයි කීමෙන් පසු, “විරුද්ධකාරයෝද බොහෝදෙනෙක් සිටිති” කියා පාවුල් ලියූ බව මතක තබාගන්න. පාවුල්ට විරුද්ධ වූ අය අතර යුදෙව්වන් හා අන්‍යජාතිකයන් සිටියා. සමහරු ඔහුට විරුද්ධව එළිපිට ප්‍රහාර එල්ල කළා. තවත් සමහරු කපටි ලෙස ඔහුට විරුද්ධව කුමන්ත්‍රණ යෙදුවා.—ක්‍රියා 19:24-​28; 20:18, 19.

අද දින අපත් ඒ හා සමාන තත්වයකට මුහුණ දෙනවා. පවතින දුෂ්ට සමාජ ක්‍රමයේ විනාශයට ළං වෙත්ම, විරුද්ධවාදීකම් වැඩි වෙයි කියා අපි අපේක්ෂා කරමු. සාතන් ‘මහත් කෝපයකින් ’ පිපිරී සිටින අතර, ඒ කෝපය විශේෂයෙන්ම පිට කරන්නේ දෙවිට සේවය කරන අයට විරුද්ධවයි. (එළි. 12:12, NW) “ලෝකයේ පාලකයා” සාතන් බව කිසිදාක අමතක කරන්න එපා. යේසුස් තම ගෝලයන්ට පැවසුවේ මෙසේයි. “ඔබ ලෝකයේ කොටසක්ව සිටියා නම්, ඔබ ලෝකයට අයිති නිසා ලෝකය ඔබට ඇලුම් වනවා ඇත. නමුත් ඔබ ලෝකයේ කොටසක් නොවන නිසාත්, මා ඔබව ලෝකයෙන් වෙන් කොට තෝරාගෙන තිබෙන නිසාත්, ලෝකය ඔබට වෛර කරන්නේය.”—යොහ. 14:30; 15:19; NW.

දෙවි කෙරෙහි ඇති අපගේ ඇදහිල්ල දුර්වල කිරීමට හෝ අපගේ දේශනා වැඩය අඩාල කරන්න කිසිම කෙනෙකුට ඉඩ නොදීම අපගේ අධිෂ්ඨානයයි. අපට ප්‍රහාර එල්ල කරන හා අපට විරුද්ධව කුමන්ත්‍රණ යොදන අය දිගටම එසේ කරනු ඇති බව අපි දන්නවා. ඒ වුණත්, යෙහෝවාගේ නියමිත කාලයේදී යේසුස්, සාතන්ව හා ඔහුගේ සගයන්ව පොඩි කරන බවට නිසැක විශ්වාසය ඇතුව රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමට අපි අඛණ්ඩව උත්සාහ කරමු. ප්‍රේරිත පාවුල්ව නිශ්ශබ්ද කිරීමට විරුද්ධවාදීන්ට හැකි වුණේ නැහැ. අද දින යෙහෝවාගේ සේවකයන්වත් නිහඬ කරන්න ලැබෙන්නේ නැහැ. සාතන්ගේ කෝපය හා ලෝකයේ වෛරය මැද යෙහෝවාගේ ආත්මය ඔහුගේ සෙනඟ අතර ප්‍රබලව ක්‍රියාත්මක වෙනවා. ශුභාරංචිය ප්‍රකාශ කරන අයගේ සංඛ්‍යාව දැන් වාර්තාගත 63,04,645ක සංඛ්‍යාවක් දක්වා වැඩි වී ඇති බව දැනගන්න ලැබීම මොන තරම් ප්‍රීතියට හේතුවක්ද!

අප අවංකව යාච්ඤා කරන්නේ යෙහෝවාගේ මහිමාන්විත රාජ්‍යයේ කටයුතුවල වැඩි දියුණුව තකා වෙහෙසීමට ඔබට විවෘත වී ඇති ප්‍රස්තාවලින් ඔබ නොකඩවා ප්‍රයෝජන ගන්නා ලෙසයි. අප සැම “උරෙන් උර ගැටී” එකා මෙන් මහෝත්තම දෙවි යෙහෝවාගේ සේවයෙහි යෙදෙන මෙම කාලයේදී පෞද්ගලිකව ඔබ කෙරෙහි අපට දැනෙන ප්‍රේමණීය උනන්දුව ගැන නිසැක වන්න.—ශෙප. 3:9, NW.

ඔබේ සහෝදරයෝ

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න