යාපන අර්ධද්වීපයේ රාජ්‍ය ශාලා හතරක් කැප කළා
“අපේ සිහිනය සැබෑ වුණා!” කියා එක වැඩිමහල්ලෙක් කිව්වා. තවත් සහෝදරියක් කිව්වේ “මේ වගේ ලස්සන රාජ්‍ය ශාලාවක් දැන් අපිට තිබීම ගැන විශ්වාස කරන්නත් අමාරුයි” කියායි. යාපනයේ රාජ්‍ය දේශනා කිරීමේ වැඩකටයුතු ආරම්භ වුණේ මීට අවුරුදු 50කට ආසන්න කාලයකට ඉහතදීයි. අලුතෙන් සාදන ලද රාජ්‍ය ශාලා හතරම පෙබරවාරි 9වනදා කැප කළා. අන්තර්ජාතික සහනාධාර සේවකයෙක් එක ශාලාවක් බලන්න ආවා. “මේ ගොඩනැඟිල්ලේ උසස් තත්වය හා හොඳ පහසුකම් තිබීම ගැන ඔයාලාට ප්‍රශංසා කරන්න වටිනවා” කියා ඔහු පැවසුවා.
මේ අලුත් රාජ්‍ය ශාලා සාදා තිබෙන්නේ හොඳ ශබ්ද විකාශන යන්ත්‍ර, විදුලි පංකා, විදුලි ආලෝකය, ආසන, දෙවන දිව්‍යාණ්ඩු සේවා පාසැලක්, පුස්තකාලයක් හා වැසිකිළි පහසුකම් ඇතුවයි. වසර ගණනාවක් තිස්සේ මේ සභාවන් රැස්වීම් පැවැත්වූයේ එක් එක්කෙනාගේ නිවෙස්වල හෝ කුලියට ගත් තැන්වලයි. නැත්නම් තාවකාලිකව සාදාගත් තැන්වලයි. සමහර අවස්ථාවලදී යුද්ධය නිසා රැස්වීම් පැවැත්වූ තැන් අතහැර යන්න සිද්ධ වුණා. එකට රැස් වෙන්න පුළුවන් ඕනෑම තැනක, ගස් යට පවා ඔවුන් රැස්වීම් තිබ්බා.
කැප කිරීම සඳහා දකුණෙන් ගිය ආරාධිත අමුත්තන් ගණනාවක්ද සිටියා. මේ අයගෙන් සමහර සහෝදර සහෝදරියන් ඒ සභාවල විශේෂ පුරෝගාමීන් හැටියට අවුරුදු ගණනාවක් සේවය කර තිබුණා. ඔවුන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡා මගින් වැඩසටහන තවත් රසගැන්වූනා. රාජ්‍ය ශාලා හතරේම කැප කිරීමේ වැඩසටහන එකම දවසේ කිරීම සඳහා කටයුතු හොඳින් සංවිධානය කර තිබුණා. මේ සභාවල ඉතිහාසය කෙටියෙන් විස්තර කළ අතර ඒ ප්‍රදේශවල සත්‍යයේ මුල් කාලයේ ඉඳන් සිටින සහෝදර සහෝදරියන් කිහිපදෙනෙක් ඔවුන්ගේ අද්දැකීම් ඉදිරිපත් කළා. අනතුරුව 1950 ගණන්වලදී යාපනයේ රාජ්‍ය දේශනා කිරීමේ වැඩ ආරම්භ කළ මිෂනාරීන්ගෙන් ලැබුණු ශුභ පැතුම්ද කියවනු ලැබුවා. ඉන් අනතුරුව කැප කිරීමේ කතාව ඉදිරිපත් කළා. එකම වේලාවේ පැවැත්වූ මේ වැඩසටහනට පැමිණි මුළු සංඛ්‍යාව 585යි.
අලුතෙන් කැප කළ මේ අලංකාර රාජ්‍ය ශාලා ලැබී තිබෙන සහෝදරයන්ගේ අධිෂ්ඨානය වන්නේ සුදුස්සන්ව සෙවීම සඳහා ජ්වලිතව ශුභාරංචිය දේශනා කරමින් ලෝක ව්‍යාප්ත සහෝදරත්වය සමඟ එක්සත්ව යෙහෝවාට නමස්කාර කිරීමයි.