ඔබේ ආත්මික අවශ්‍යතාව සපුරාගන්න
1 අපගේ ආත්මික අවශ්‍යතාව සපුරාගැනීමට මහඟු ප්‍රස්තාවක් මතු පැමිණෙන “ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෝ” දිස්ත්‍රික් සමුළුවේදී උදා වනු ඇත. පෝෂ්‍යදායී ආහාර වේලක් මෙන්, මෙම වැඩසටහන ‘ඇදහිල්ලේ වචනවලින්’ අපට ආත්මික පෝෂණයක් ලබා දෙයි කියා සහතිකවම බලාපොරොත්තු විය හැක. (1 තිමෝ. 4:6) එමගින් යෙහෝවාට තවත් ළං වන්නටද අවස්ථාව සැලසේ. අපගේ ජීවිතයේ ඉස්මතු වන නොයෙකුත් පරීක්ෂාවලට මුහුණ දීම සඳහා අවශ්‍ය උපදෙස් සහ දිරිගැන්වීම්ද අපේක්ෂා කරන්නට පුළුවන. යෙහෝවා අපට මෙසේ සහතික කරයි. “ඔබට උගන්වන්නෙමි. ඔබ විසින් යා යුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් [තීක්ෂ්ණ බුද්ධිය, NW] දෙන්නෙමි. මාගේ ඇස ඔබ කෙරේ යොමු කොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි.” (ගීතා. 32:8) අපගේ ජීවිත ගත කිරීම සඳහා ඔහුගේ ප්‍රේමනීය මඟ පෙන්වීම ලැබීම මොනතරම් ආශීර්වාදයක්ද! සමුළු වැඩසටහනෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට අපට ගත හැකි ප්‍රායෝගික පියවර කිහිපයක් සලකා බලන්න.
2 අපගේ හදවත සූදානම් කරගැනීම අවශ්‍යය: අප සෑම දෙනාටම සංකේතමය හදවත නොහොත් සිත ආරක්ෂා කරගැනීමට පෞද්ගලික වගකීමක් තිබේ. (හිතෝ. 4:23) මේ සඳහා ආත්ම-හික්මවීමක්ද, අප සමඟම අවංක වීමද අවශ්‍යය. යෙහෝවා සමඟ ඇති අපගේ සබඳතාව ගැන මෙනෙහි කිරීමටත්, ‘නිදහස්කමේ සම්පූර්ණ නීතිය දෙස බැලීමටත්’ සමුළුවෙන් අපට අවස්ථාවක් සැලසේ. එසේ නම්, ‘වචනය’ අපගේ හදවත් තුළ ‘පිහිටුවාගැනීමට’ අපගේ හදවත සූදානම් කරගත යුතුය. ඒ සඳහා අපව විමසා බලන ලෙසටත්, නිවැරදි කළ යුතු “නපුරු මාර්ගයක්” ඇත්නම් එය පෙන්වා දෙන ලෙසටත්, ‘සදාකාල මාර්ගයෙහි අපව ගෙන යන ලෙසටත්’ යෙහෝවාගේ උපකාරය අයැදීම අවශ්‍යය. —යාකො. 1:21, 25; ගීතා. 139:23, 24.
3 සවන් දී මෙනෙහි කරන්න: තම වචනවලට පූර්ණ අවධානයක් දුන් මරියාට ප්‍රශංසා කරමින්, යේසුස් මෙසේ පැවසීය. “මරියා යහපත් කොටස තෝරාගත්තාය. එය ඇගෙන් පැහැර ගනු නොලැබේ.” (ලූක් 10:39, 42, NW) අපටද ඒ හා සමාන මානසිකත්වයක් තිබෙනවා නම්, සුළු සුළු දේවලින් අප බාධාවට පත් නොවනු ඇත. මුළු වැඩසටහනේදීම අපගේ අසුන්වල සිට හොඳ අවධානයක් දීම අපගේ අදිටන වනවාට සැකයක් නොමැත. වැඩසටහන අතරතුරේදී කතා බහ කිරීමෙන්, අනවශ්‍ය ලෙස එහෙ මෙහෙ ගමන් කිරීමෙන් සහ ජංගම දූරකථන, පේජර්, කැමරා සහ කැම්කෝඩර් වැනි යන්ත්‍ර භාවිත කිරීමෙන් අන් අයව බාධාවට පත් නොකිරීමට අප වගබලා ගනු නියතය.
4 කතාවලට සවන් දෙන විට, අදාළ විෂය ගොඩනඟනු ලබන අන්දම විග්රහ කර බැලීමට අත්වැලක් ලෙස කෙටි සටහන් ගැනීම යහපති. ඉන්පසුව අපගේ සවනට වැකෙන දේ අප දැනටමත් දන්නා දේට සම්බන්ධ වන ආකාරය සලකා බැලිය යුතුය. එම තොරතුරු ග්‍රහණය කරගැනීමටත්, සිතෙහි ධාරණය කරගැනීමටත් එය පිටුවහලක් වේ. අපගේ සටහන් පුනරීක්ෂණය කරන විට, එසේ කළ යුත්තේ එම තොරතුරු අදාළ කරගැනීමේ පරමාර්ථය ඇතුවය. අපගෙන්ම මෙසේ අසාගැනීම යහපති. ‘මෙම තොරතුරු යෙහෝවා සමඟ ඇති මගේ සම්බන්ධයට බලපාන්නේ කෙසේද? මගේ ජීවිතයේ කවර වෙනස්කම් කළ යුතුද? අන් අය සමඟ කටයුතු කරන විට, මෙම තොරතුරු මට අදාළ කරගත හැක්කේ කෙසේද? දේවසේවයේදී මට ඒවා කෙසේ භාවිත කළ හැකිද?’ අප විශේෂයෙන් තෘප්තියක් ලබන කරුණු අන් අය සමඟ සාකච්ඡා කරන්නට අපට පුළුවන. එසේ කිරීම යෙහෝවාගේ කීම් ‘අපගේ සිත තුළ තබාගැනීමට’ රුකුලක් වනු ඇත.—හිතෝ. 4:20, 21.
5 ඉගෙනගන්නා දේ අදාළ කරගනිමු: දිස්ත්‍රික් සමුළුවකට සහභාගි වීමෙන් අනතුරුව එක් සහෝදරයෙක් මෙසේ පැවසීය. “මෙම වැඩසටහන මට හුඟක් පෞද්ගලිකව බලපාපු එකක්. පුද්ගලයෙකුට තමාගේ හෘද තත්වය සෝදිසි කර බැලීමටත්, තම පවුලේ සාමාජිකයන්ගේ හෘද තත්වය සෝදිසි කර බැලීමටත්, අවශ්‍යතාව පැනනඟින විට ශුද්ධ ලියවිල්ලෙන් ප්‍රේමනීයව උපකාර සැපයීමටත් සෑහෙන දිරිගැන්වීමක් මෙයින් ලැබුණා. සභාවට වැඩියෙන් උපකාර කිරීමට මට තිබෙන වගකීම ගැන මම තවත් දැනුවත් වුණා.” අපගෙන් බොහෝදෙනෙකුට ඒ හා සමාන හැඟීම් තිබෙන්නට පුළුවන. එනමුත්, සමුළුවෙන් පසු, යම් දිරිගැන්වීමක් සහ ප්රබෝධයක් ලැබුවා යන්න හැඟීම පමණක් මදිය. යේසුස් මෙසේ පැවසීය. “ඔබ මේ දේවල් දන්නෙහි නම්, ඒවා පවත්වනවා නම් ඔබ සන්තෝෂවත්ය.” (යොහ. 13:17, NW) අපට පෞද්ගලිකව අදාළ වන කරුණු ක්‍රියාත්මක කිරීමට අප විසින් නොමද උත්සාහයක් දැරිය යුතු වේ. (පිලි. 4:9) අපගේ ආත්මික අවශ්‍යතාව මුළුමනින්ම සපුරාගැනීමේ රහස මෙයයි.
[Box on page 5]
සවනට වැකෙන දේ ගැන මෙනෙහි කරමු:
■ යෙහෝවා සමඟ ඇති මගේ සබඳතාවට එය බලපාන්නේ කෙසේද?
■ අන් අය සමඟ කටයුතු කිරීමේදී එය බලපාන්නේ කෙසේද?
■ මගේ ජීවිතයෙහි සහ දේවසේවයෙහි එය අදාළ කරගත හැක්කේ කෙසේද?