ආත්මිකව ශක්තිමත් පවුල් ඇති වන්නේ කෙසේද?
1 ‘තමන්ගේ පවුල තුළ දේවභක්තිය ක්‍රියාවට නැඟීම’ ගැන ක්‍රිස්තියානි පවුල් ප්‍රශංසාව ලැබීමට වටී. (1 තිමෝ. 5:4, NW) කෙසේවෙතත්, අපේ ඇදහිල්ල දුර්වල කළ හැකි නරක බලපෑම් රැසකින් අප වට වී සිටින නිසා දිගටම ආත්මිකව ශක්තිමත්ව සිටීම සඳහා සෑම පවුලක්ම මහත් වෑයමක් දැරීම අත්‍යවශ්‍යයි. පවුලකට දිගටම ආත්මිකව ශක්තිමත්ව සිටිය හැක්කේ කෙසේද?
2 ක්‍රිස්තුස් මෙන් මූලිකත්වය මෙහෙයවන්න: තමන්ගේ පවුලේ අයව ශක්තිමත්ව තබාගැනීමේ තම වගකීම ඉටු කිරීමේදී පවුල් මූලිකයන් යේසුස් ක්‍රිස්තුස්ව අනුකරණය කිරීම අවශ්‍යයි. අප සඳහා ප්‍රේමය පෙන්වමින් යේසුස් ඔහුගේ ජීවිතය පූජා කළා. තමන්ගේ ප්‍රේමය එම ක්‍රියාවට පමණක් සීමා කර නොගෙන, ඔහු දිගටම සභාව ‘පෝෂණය කරමින් රක්ෂා කරයි.’ (එපී. 5:25-29) මෘදු මොළොක් සැලකිල්ල දැක්වීම සම්බන්ධයෙන් යේසුස්ගේ එම ආදර්ශය අනුකරණය කරන ප්‍රේමනීය දෙමාපියන් තමන්ගේ පවුලේ අයගේ එදිනෙදා ආත්මික අවශ්‍යතා සපුරාලනවා. මෙයට සතිපතා පවුලේ බයිබල් පාඩම කිරීම, හැකි සෑම අවස්ථාවකදීම පවුලේ අයට අදාළ ආත්මික කාරණා සාකච්ඡා කිරීම හා ගැටලු පැන නඟින අවස්ථාවලදී ඒවා හැසිරවීම යනාදිය ඇතුළත් වෙනවා.—ද්වි. 6:6, 7.
3 ක්ෂේත්‍ර සේවයේදී: යෙහෝවා ගැනත් ඔහුගේ අරමුණ ගැනත් අන් අයට සාක්ෂි දැරීම තම පවුලේ නමස්කාරයේ වැදගත් කොටසක් බව සියලුම පවුල් සාමාජිකයන් තේරුම්ගත යුතුයි. (යෙසා. 43:10-12) දෙමාපියෙනි, ඔබේ දරුවන් යෙහෝවාගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවන් වෙනවා දකින්න ඔබ කැමති නම්, කුඩා අවදියේ පටන්ම දේවසේවය සඳහා ඔවුන්ගේ හදවත සූදානම් කළ යුතුය. සේවයේදී ආත්ම පරිත්‍යාගශීලී වීමත් සෑම සතියකම සේවයේ හවුල් වීමත් අවශ්‍ය වන්නේ ඇයි කියා ඔවුන් සමඟ සාකච්ඡා කරන්න. (මතෙ. 22:37-39) ඉන්පසු ඔවුන් සමඟ නිතිපතා ක්ෂේත්‍ර සේවයේ හවුල් වීම සඳහා සැලසුම් යොදන්න.
4 බලපෑමෙන් යුක්තව සඟරා පොත් පත් ඉදිරිපත් කිරීම සඳහා සූදානම් වීමටත් පෙර පුහුණු වීම් කිරීමටත් සෑම සතියකම පවත්වන පවුලේ පාඩමෙන් යම් කාලයක් වෙන් කරන්න. මෙසේ කිරීමෙන් දේශනා සේවය සඳහා අගය කිරීමක් පවුලේ සාමාජිකයන් තුළ ඇති කළ හැකියි. ඔබේ දරුවන්ගේ වයසට හා හැකියාවන්ට අනුව දියුණු වීමට උපකාර කරමින් දේවසේවයේදී ඔවුන් එක් එක්කෙනාව වෙන වෙනම පුහුණු කරන්න. දරුවෙකු සමඟ ටික වේලාවක් එකට සේවයේ හවුල් වීමෙන් පසු යෙහෝවාගේ යහපත්කම දරුවා පෞද්ගලිකව අද්දුටු ආකාරය ගැන සාකච්ඡා කරන්න. ඇදහිල්ල ශක්තිමත් කරන අද්දැකීම් බෙදාගන්න. පවුල් හැටියට ‘ස්වාමීන් යහපත් බව රස බලා දැනගන්න’ තරමට ඔවුන් යෙහෝවාට තව තවත් ළං වෙනවා නිසැකයි. මෙය “සියලුම නපුරු දේවලට” [NW] එරෙහිව සිටීමට ඔවුන්ට ශක්තියක් වෙයි.—1 පේතෘ. 2:1-3.
5 රැස්වීම්වලදී: සෑම සභා රැස්වීමකටම යන්න පවුලේ සාමාජිකයන් එකිනෙකාට උදව් කරනවා නම්, එය මොනතරම් යහපත් දෙයක්ද! විශේෂයෙන්ම පවුලේ සාමාජිකයෙකුට මහත් විඩාවක් දැනෙන විට හෝ අධෛර්යයට පත්ව සිටින විට හෝ මානසික පීඩනයකට ලක්ව සිටින විට රැස්වීම්වලට යන්න උපකාර කිරීම යහපත් ක්‍රියාවකි. එක් තරුණ සහෝදරියක් මෙසේ පැවසුවා. “මගේ තාත්තා වැඩට ගිහිල්ලා ගෙදර එන්නේ හුඟාක් මහන්සි වෙලා. සවස තියෙන රැස්වීමේදී සාකච්ඡා කරන්න නියමිත හොඳ කරුණක් ගැන මම තාත්තාට විස්තර කරනවා. රැස්වීමට යන්න ඒක එයාට ලොකු දිරිගැන්වීමක්. මට මහන්සියි කියා හැඟෙන අවස්ථාවලදී රැස්වීමට යන්න තාත්තා මාව දිරිගන්වනවා.”—හෙබ්‍රෙ. 10:24, 25.
6 එකට දේවල් කරන්න: පවුලේ සාමාජිකයන් එකට දේවල් කළ යුතුයි. ඔවුන්ට පුළුවන් ගේ දොරේ වැඩකටයුතුවලදී එකිනෙකාට උදව් කරන්න. හොඳින් සිතා බලා තෝරාගත් විනෝදයන් සඳහාද කාලය වෙන් කළ යුතුයි. එක දවසේ විනෝද ගමනක් යෑම, සෙල්ලම් කිරීම, නෑදෑයන්ව හා මිතුරන්ව බලන්න යෑම වැනි දේවල් මගින් සතුටක් භුක්ති විඳින්න පුළුවන්. ඒ වගේම ඒ දේවල් පසු කාලයේදී පවා මතක් කරගැනීමෙන් රසයක් ලබන්න පුළුවන්.—දේශ. 3:4.
7 ශක්තිමත් ක්‍රිස්තියානි පවුල් තමන්ගේ ආත්මිකත්වයට දිනපතා ඇති වන බාධා සාර්ථකව ජයගන්නවා. යෙහෝවාට වඩ වඩා ළංවීමෙන් ඔහු සපයන ශක්තිය ඔවුන් අද්දකිනවා නිසැකයි.—එපී. 6:10.