ප්‍රශ්න පෙට්ටිය
◼ රාජ්‍ය ශාලාව පිරිසිදු කිරීමේ හා නඩත්තු කිරීමේ වගකීම දරන්නේ කවුද?
පිරිසිදු මෙන්ම අලංකාර රාජ්‍ය ශාලාවක් මගින් අපි දේශනා කරන පණිවිඩය පිළිබඳ හිතකර හැඟීමක් ඇති කරයි. (1 පේතෘස් 2:12 සසඳන්න.) ශාලාව පිළිවෙළකට හා ප්‍රසන්න පෙනුමකින් තබාගැනීම අත්‍යවශ්‍ය දෙයක් වන අතර, මේ සඳහා හැමකෙනෙකුටම හවුල් විය හැකියි. සම්පූර්ණ වගකීම ටිකදෙනෙක් පමණක් දැරිය යුතුයි කියා අපි නොසිතිය යුතුයි. සාමාන්‍යයෙන් පිරිසිදු කිරීම සඳහා කටයුතු පිළියෙළ කරන්නේ සභා පොත් පාඩම් කණ්ඩායම් අනුවයි. මෙහිදී පාඩම මෙහෙයවන්නා හෝ ඔහුගේ සහායක මූලිකත්වය ගත යුතුයි. සභා එකකට වැඩි ගණනක් පාවිච්චි කරන ශාලාවල වැඩිමහල්ලන් සියලුම සභාවලට ශාලාව පවිත්‍රව තබාගැනීමට හවුල් විය හැකි වන පරිදි කටයුතු සැලසුම් කරාවි.
මෙම වගකීම ඉතාමත් හොඳින් ඉටු කරන්න අපිට පුළුවන් කොහොමද? රාජ්‍ය ශාලාව පිරිසිදු කළ යුත්තේ නිතිපතා ක්‍රියාත්මක වන කාලසටහනකට අනුවයි. පිරිසිදු කිරීමට අවශ්‍ය කරන ද්‍රව්‍ය හා උපකරණ ශාලාවේ තිබිය යුතුයි. පිරිසිදු කරන අයට යම් මඟ පෙන්වීමක් ලබාගැනීම සඳහා කළ යුතු දේවල් ඇතුළත් ලැයිස්තුවක් පහසුවෙන් දැකගත හැකි තැනක ඇලවිය යුතුයි. සම්පූර්ණ පිරිසිදු කිරීමක් සඳහා පොත් පාඩම් මෙහෙයවන්නා තම කණ්ඩායමේ කාටත් පහසු දවසක් හා වේලාවක් සැලසුම් කළ යුතුයි. තණකොළ, මල් හා පඳුරු කෙරෙහි නිතරම අවධානයක් යොමු කළ යුතුයි. ඉවතලන දේවල් කිසිවක් ශාලාවෙන් පිටත නොතිබිය යුතුයි. කැඩී තිබෙන පුටු, ජල නළ පද්ධතියේ දෝෂ, දැවී ගිය විදුලි බුබුළු හා වෙනත් අඩු පාඩු තිබේද කියා සොයා බලා, ඒවා හැකි විගස රාජ්‍ය ශාලාව නඩත්තු කිරීම භාරව සිටින සහෝදරයන්ට දැන්විය යුතුයි.
අඩුම තරමින් වසරකට වතාවක් හෝ අවශ්‍යතාව අනුව කිහිප වතාවක් සම්පූර්ණ පිරිසිදු කිරීමක් හා නඩත්තු කළ යුතු දේවල් මොනවාද කියා සොයා බැලීමක් කළ යුතුයි. ජනෙල් හා බිත්ති සේදීම සහ ජනෙල් තිර අලුතින් දැමීම ආදි දේවල් එයට ඇතුළත් විය හැකියි. රාජ්‍ය ශාලාව හොඳ තත්වයෙන් තබාගැනීම සඳහා කිරීමට අවශ්‍ය කරන දෙය කුමක් වුවත්, එය කිරීමට සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වන අය මැලි වන්නේ නැහැ. (2 ලේක. 34:8) රාජ්‍ය ශාලාව හොඳ තත්වයෙන් තබාගැනීම අපේ පරිශුද්ධ සේවයේ කොටසක් වන නිසා, ඒ සඳහා කැමැත්තෙන්ම ඉදිරිපත් වන අය තමන් කරන වැඩ වෙනුවෙන් යම් ගෙවීමක් බලාපොරොත්තු වන්නේ නැහැ. එය ඔවුන් ගෙයින් ගෙට කරන සේවය, සභාවල ප්‍රසිද්ධ කතා ඉදිරිපත් කිරීම හෝ එක්රැස්වීම් හා සමුළුවල කරන වැඩ සඳහා ගෙවීමක් ඉල්ලා සිටින්නේ නැතුවාක් මෙනි.
ඉවතලන දේවල් ශාලාව ඇතුළත හෝ පිටත නොදැමීමෙන් පිරිසිදු කිරීමේ වැඩ අඩු කරගන්න අපි සියලුදෙනාටම පුළුවන්. සෑම කෙනෙක්ම වැසිකිළිය පාවිච්චි කිරීමෙන් පසු, ඊළඟට එය පාවිච්චි කරන තැනැත්තා සඳහා එය පිරිසිදුව තබා එන්න පුළුවන්. ශාලාවේ තිබෙන බඩු භාණ්ඩවලට හානි සිදු වන ආකාරයේ කිසිම දෙයක් නොකිරීමට පරෙස්සම් වන්න. අපි හැම කෙනෙක්ම අපේ කොටස කැමැත්තෙන්ම ඉටු කරමු. මෙය නමස්කාර ගෘහය ප්‍රසන්නව තබාගැනීමට දායක වෙයි. එමෙන්ම අපි යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන පවිත්‍ර සෙනඟක් බව එයින් වෙන් කොට හඳුන්වා දෙයි.—1 පේතෘ. 1:16.