දිගටම රාජ්‍යයට මුල් තැන දෙන්න
1 ආර්ථික ගැටලු ඇතුළු වෙනත් ගැටලුවලට අප මුහුණ දෙන විට ජීවිතයේ මුල් තැන දිගටම දෙවිගේ රාජ්‍යයට දීම ලෙහෙසි දෙයක් නොවේ. දුෂ්කරතා උද්ගත වන විට පවා දිගටම රාජ්‍යයට මුල් තැන දෙන්නේ කෙසේද? අපට රැස්වීම් අතපසු වෙන විදිහේ හෝ ක්ෂේත්‍ර සේවයට බාධාවක් වන ආකාරයේ රැකියාවක් ලැබුණොත් අප කරන්නේ කුමක්ද? මෙවැනි අවස්ථාවකදී රාජ්‍යයට හිමි විය යුත්තේ දෙවන තැනද?
2 ශක්තිමත් ඇදහිල්ලක් අවශ්‍යයි: මෙවැනි තත්වයන්වලදී අපේ ඇදහිල්ල පරීක්ෂණයට ලක් වෙයි. අප මුලින්ම රාජ්‍යය සොයනවා නම් අපට උපකාර කරන බවට යෙහෝවා දී තිබෙන පොරොන්දුව හා දෙවි අපව උසුලන බවට යේසුස් දුන් සහතිකය අප එවන් අවස්ථාවලදී අමතක නොකළ යුතුයි. (ගීතා. 37:25; මතෙ. 6:31-34) ලෝකයේ බලපෑම් හා පීඩන, අපේ දෘෂ්ටිය බොඳ කළ හැකි අතර රාජ්‍යයට ප්‍රමුඛත්වය දීමෙන් අපව වළක්වයි. සමහර අය රැකියාවේ ඉහළ තනතුරුවලට හා මූල්‍යමය වාසි ප්‍රයෝජන ලබාගැනීමේ අවස්ථාවලට තමන්ගේ ජීවිතයේ ප්‍රධාන තැන දී තිබෙනවා. කෙසේවෙතත්, පාවුල් මෙන් අපද ඇත්තෙන්ම ජීවිතයේ වැදගත්ම දෙය කුමක්ද කියා නිවැරදිව ඇගයීමකට ලක් කළ යුතුයි.—පිලි. 3:7, 8.
3 සකස් කිරීම් අවශ්‍යද? ප්‍රචාරකයෙක් මෙසේ පැවසුවා. “මගේ සිත වැඩියෙන්ම යොමු වුණේ මගේ ව්‍යාපාරයටයි. මම වැඩියෙන්ම උනන්දු වුණේ ව්‍යාපාරය ගැනයි. මගේ ව්‍යාපාරයට වැඩි කාලයක් යොදවන අතරතුර දිගටම සාක්ෂිකාරයෙකු හැටියට ඉන්න පුළුවන් කියලා මට හැඟුණා.” ඒ වුණත්, යෙහෝවාට තව වැඩියෙන් සේවය කරන්න තමන්ට පුළුවන් කියන සිතුවිල්ල ඇයට නිතර නිතර වද දුන්නා. කලකට පසු ඇය තමන්ගේ ආත්මික දියුණුවට බාධාවක් වූ ව්‍යාපාරය අත්හැර දැමුවා. රාජ්‍යය හා සම්බන්ධ කටයුතුවලදී තමාගේ හැකි උපරිමය කරද්දී මෙසේ පැවසීමට ඇයට හැකි වුණා. “යෙහෝවාගේ ඇස් ඉදිරියෙහි මගේ ජීවිතය සාර්ථක බව මට දැනුයි හැඟෙන්නේ. ඇත්තෙන්ම වඩාත්ම වැදගත් දෙය ඒකයි.”
4 හුඟදෙනෙක් රැකියාවන් හා මූල්‍යමය අතින් බොහෝ වාසි ප්‍රයෝජන ලබන්න තිබූ ප්‍රස්තා අත්හැර ඔවුන්ගේ ජීවිත සරල කරගැනීමෙන් පසු පූර්ණ කාලීන සේවයට ඇතුල් වී තිබෙනවා. ඇත්තෙන්ම මෙය පැසසිය යුතු දෙයක්. දේවසේවා පුහුණු පාසැලට ගොස් සිටින යෞවන තනිකඩ සභා සේවකයන් හා වැඩිමහල්ලන් මෙය කර තිබෙන අතර, ඔවුන් කදිම සේවා ප්‍රස්තා භුක්ති විඳිනවා. පාවුල්ගේ කැපීපෙනෙන ආදර්ශය අනුකරණය කරමින් ඔවුන් තමන්ගේ මූලික අවශ්‍යතා සපුරාගැනීමෙන් සැබෑ තෘප්තියක් අද්දකිනවා.—1 කොරි. 11:1; 1 තිමෝ. 6:6-8; හෙබ්‍රෙ. 13:5.
5 අප ජීවිතය දෙස බලන ආකාරය ලෝකයේ මිනිසුන් උපහාසයට ලක් කරන්න පුළුවන්. ඒ වුණත් අපට යෙහෝවාගේ ආශීර්වාද තියෙනවා. (1 කොරි. 1:26-31) යෙහෝවා ඔහුගේ සේවය සඳහා අපව පූර්ණ ලෙස යොදාගන්න බවත් ඒ සඳහා අපට උපකාර කරන බවත් දැන සිටීම දිරිගන්වනසුලු දෙයක් නොවේද? දැනටමත් පිහිටුවා තිබෙන දෙවිගේ රාජ්‍යය ගැන ප්‍රකාශ කරන්න අපට ලැබී තිබෙන මෙම ප්‍රස්තාව නැවත කවදාවත් ලැබෙන්නේ නැහැ. එනිසා අපේ ජීවිතයේ මුල් තැන දිගටම රාජ්‍යයට දීමට කාලය මෙයයි.