ප්‍රශ්න පෙට්ටිය
◼ විදේශීය රැකියාවක් කිරීමට හෝ වෙනත් රටක පදිංචියට යෑමට කලින් ක්‍රිස්තියානියෙකු සලකා බැලිය යුතු කරුණු මොනවාද? (2 කොටස)
මේ ලෝකය පුරා පැතිර පවතින අයුක්තිය හේතුවෙන්, ඇතැම් රටවල ජනයාට වෙනත් රටවල් කරා යන විට, අවශ්‍ය විදේශ සංචාරක ලියකියවිලි සකස් කරගැනීමේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වේ. විශේෂයෙන් ඉතා දිළිඳු ජාතීන් වෙනත් ධනවත් රටවල් කරා ඇදී යන විට මෙය සත්‍යයකි. මේ නිසා ඇතමුන් මේ දේවල් නීති විරෝධි ආකාරවලින් කරගැනීමට පෙලඹෙති. තවද අවශ්‍ය කරන නීතිමය ලියකියවිලි නොමැතිව වෙනත් රටකට යෑම පිණිස ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර යම් මිලකට සකස් කර දෙන වංචනික ඒජන්සි කාරයෝද සිටිති. ඇතැම් අය වීසා අවශ්‍ය නොවන ළඟ පාත රටකට ගොස් එතැන් සිට ධනවත් රටකට ඇතුල් වීම සඳහා හොර ලියකියවිලි සකස් කරගනිති.
ද්‍රව්‍යමය දේවල් ලබාගැනීම සඳහා වෙනත් රටකට ඇතුල් වීමට නීති විරෝධි ක්‍රම අනුගමනය කිරීම ක්‍රිස්තියානියෙකුට සුදුසු නොවේ. (මතෙ. 22:21; රෝම 13:1) එවන් දෙයක් කරන ක්‍රිස්තියානියෙකු සභාවේ වගකීම් දැරීමට හෝ වෙනත් වරප්‍රසාද භුක්ති විඳීමට සුදුසුකම් ලබන්නේ නැත. සැබවින්ම ඔහුට කතාවේ නිදහසවත් ‘අවංක හෘදය සාක්ෂියක්වත්’ ඇත්තේ නැත.—හෙබ්‍රෙ. 13:18, NW.
සහතිකවම, විදේශ රැකියාවක් කරනවාද නැද්ද යන්න තීරණය කිරීම පහසු දෙයක් නොවේ. පාවුල් මෙසේ ලීවේය. “තවද කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටු වන්නෙමුව.” (1 තිමෝ. 6:8) එමනිසා, ස්ථිර ලෙස හෝ තාවකාලිකව විදේශගත වීමට තීරණය කිරීමට පෙර, ක්‍රිස්තියානියෙකු සියලුම සාධක පරෙස්සමින් සලකා බලා, සමබර තීරණයක් ගත යුතුයි. ඔබගෙන්ම මෙසේ අසන්න. ‘ඇත්තටම මම විදේශගත විය යුතුමද, මගේ පවුලට ඇත්තටම කන්න අඳින්න නැද්ද? මේ සඳහා කළ හැකි වෙනත් දෙයක් තිබේද? අපට නිවසේදී යම් සකස් කිරීම් කරගන්ට පුළුවන්ද? වෙනත් රටකට ඇදී යෑම ඇත්තෙන්ම වටිනවාද? එය මගේ ආත්මික ශුභසිද්ධියට දායක වෙයිද? මගේ පවුලේ අය ආත්මිකව ප්‍රයෝජන ලබාවිද? මම කරන දෙයින් කායිසර්ගේ නීති උල්ලංගනය වේවිද?’ මෙම ප්‍රශ්නවලට පිළිතුරු සලකා බැලීමේදී මේරූ ක්‍රිස්තියානි අවේක්ෂකයෙකුට කතා කිරීමෙන්ද ඔබට ප්‍රයෝජන ලබාගත හැකි වන්ට පිළිවන.
දෙවිගේ සේවකයන්, ලෝක ආර්ථික තත්වයන් පිරිහෙද්දී දෙවි තමන්ව අත්හැර දමාවිය යන භයෙන් නොසිටිය යුතු බව මතක තබාගෙන සිටීම යහපති. යේසුස් මෙසේ පැවසුවේය. ‘කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙන්න. මක්නිසාද මේ සියල්ල අන්‍යජාතීහු සොයති. මේ සියල්ල ඔබට ඕනෑ බව ඔබේ ස්වර්ගීය පියාණන් දනී. නුමුත් පළමුකොට ඔහුගේ රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද සොයන්න. මේ සියල්ලත් ඔබට දෙනු ලබන්නේය.’—මතෙ. 6:31-33.
බොහෝ රටවල ආර්ථික තත්වයන් නිසා ක්‍රිස්තියානීන්ටද දරුණු දුෂ්කරතා ඇති විය හැකියි. මෙසේ, සියලු සාධක සලකා බැලුවායින් පසු, යම් පවුලක් වෙනත් රටකට යෑමට තීරණය කරන්නේ නම්, නැතහොත් විදේශීය රැකියාවක කොන්ත්‍රාත්තුවක් භාරගැනීමට තීරණය කරයි නම්, වෙනත් අයට ඒ පිළිබඳව විවේචනය කිරීමට කිසිදු හේතුවක් නැත. (ගලා. 6:5) තමන්ගේ රට තුළ රැඳී සිටීමට තීරණය කරන අයට මේ පිළිවෙළින් තමන් මතට එල්ල වන දුෂ්කරතා විඳදරාගැනීමට යෙහෝවාගේ උපකාර ඉල්ලා දිගටම යාච්ඤා කළ හැකි අතර, දෙවි ඔවුන්ට දෙන ආත්මික ආශීර්වාද ගැන සන්තෝෂ විය හැකියි. මෙය මතක තබාගන්න. එනම් ළඟදීම, මේ ලෝකයේ අයුක්තිය සහ අසමානතාවයන් දෙවිගේ රාජ්‍යය යටතේ විසඳෙනවා ඇත. එවිට ගීතිකාකරු ලීවාක් මෙන් සිදු වනු ඇත. “ඔබ [යෙහෝවා] ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ [කරන්නේය].” —ගීතා. 145:16.