අපේ සැලසුම්වලදී මුල් තැන හිමි විය යුත්තේ කුමකටද?
1 අපි සෑම කෙනෙක්ම අනාගතය ගැන සැලසුම් කිරීම සම්බන්ධයෙන් ටිකක් හෝ සිත යොමු කරනවා. භූමික බලාපොරොත්තුව තිබෙන අය දෙවිගේ ධර්මිෂ්ඨ නව ලෝකයේ සදාකල් ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. එම ප්‍රීතිමත් බලාපොරොත්තුව බිඳහෙළීමට හේතු වන විවිධ බලපෑම්වලට අප හසු විය හැකියි. මේ නිසා අපේ ජීවිතවල මුල් තැන රාජ්‍ය කටයුතුවලට දීමටත් මාංසයේ ආශාවන් මගින් අපව වෙනතකට යොමු කරවන දේවලින් වැළකී සිටීමටත් අවංක වෑයමක් දැරීම අවශ්‍යයි.—1 යොහ. 2:15-17.
2 ආත්මික දේ මුල් තැනට තබා කටයුතු කරන අය ලුහුබඳිමින් සිටින දේවල් තේරුම්ගන්න ලෝකයේ අයට බැහැ. (1 කොරි. 2:14) ලෝකයේ අය දැඩි වෙහෙසක් දරන්නේ ධනය, බලය හා ප්‍රසිද්ධිය යනාදි දේවල් ලබාගන්නයි. ඒත්, අපි මහත් පරිශ්‍රමයක් දරන්නේ ආත්මික වස්තු රැස් කරගන්නයි. (මතෙ. 6:19-21) ලෝකයේ අය අනාගතය දෙස බලන ආකාරයට බලන්න අපිත් උත්සාහ කරනවා නම්, අපේ ආත්මික ඉලක්ක අත් කරගන්න අපට පුළුවන් වේවිද? එසේ කළොත් වැඩි කල් යන්න පෙර ලෝකයේ දේවල් අපේ හදවත්වල මුල්බැස ගනීවි. මෙවන් තත්වයකට පත්වීමෙන් අපට වැළකී සිටින්න පුළුවන් කොහොමද?
3 ‘ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස්ව පැළඳගන්න’: අපේ අනාගතය අපි ගොඩනඟමින් සිටින්නේ රාජ්‍ය කාරණා වටාද කියා තීරණය කළ හැකි එක් ක්‍රමයක් වන්නේ අපි කතා බහ කරන දේවල් සෝදිසි කර බැලීමයි. අපි නිතරම කතා කරන්නේ ද්‍රව්‍යමය දේවල් ගැන හා ලෝකයේ මිනිසුන් ලුහුබඳින දේවල් ගැනද? එහෙමනම්, ආත්මික දේවලට හිමි විය යුතු තැන අපේ හදවතින් ටිකෙන් ටික ඉවත් වෙමින් තිබෙනවාද කියා අප පරීක්ෂා කර බැලිය යුතුයි. මේ සඳහා මාංසයේ ආශාවන්ට ඉඩ නොදෙමින් ‘ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස්ව පැළඳගැනීම’ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍ය විය හැකියි.—රෝම 13:14.
4 තමන් පූර්ණ කාලීන සේවය පටන්ගන්න දවස සිතෙහි තබාගෙන සැලසුම් කිරීමෙන් ‘ක්‍රිස්තුස්ව පැළඳගන්න’ යෞවනයන්ට පුළුවන්. එක් යෞවනයෙකුට ස්ථාවර පුරෝගාමි සේවය කරන්න ආශාවක් තිබුණා. ඔහු හැදී වැඩුණේ පුළුවන් තරම් මුදල් හම්බ කිරීම තරුණයන්ගේ ජීවිතයේ ප්‍රධාන දෙය හැටියට සැලකූ සමාජයකයි. එහි බලපෑමට හසු වූ ඔහු ව්‍යාපාරයක් ආරම්භ කර, ඒ වෙනුවෙන් විශාල කාලයක් හා ශ්‍රමයක් වැය කළා. ඔහු ව්‍යාපාර කටයුතුවල මොනතරම් ඇලී ගැලී සිටියාද කියනවා නම්, ඔහු රැස්වීම්වලට හා දේවසේවයේ ගියේ යන්නං වාලෙයි. කෙසේහෝ, පසුව, ඔහු මතෙව් 6:33හි යේසුස් පැවසූ වදන් කෙරෙහි දැඩි විශ්වාසයක් තබන්න පටන්ගත් විට, තමන්ගේ කාලය හා ශ්‍රමය බොහෝසෙයින් සොරාගත් ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වී, පූර්ණ කාලීන සේවය පටන්ගත්තා. දැන් ඔහු යහපත් හෘදය සාක්ෂියක් ඇතුව, ඔහුගේම වචනවලින් කියනවා නම්, ‘හැකි උපරිමයෙන්’ යෙහෝවාට සේවය කරමින් සිටිනවා.
5 අනාගතය සඳහා සැලසුම් කිරීම නැණවත් දෙයක් බව බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝ. 21:5) අනාගතය සම්බන්ධයෙන් සැලසුම් කිරීමේදී අපි සියලුදෙනාම දෙවිගේ කැමැත්ත කිරීමට මුල් තැන දෙමු.—එපී. 5:15-17.