පරිශුද්ධ ප්රකාශයන්ට කන් යොමන්න
1 මිනිසෙක් කතා කරන විට ඔහු කියන සෑම දෙයකටම අපි විශේෂ අවධානයක් දිය යුතු නැහැ. එහෙත් දෙවි කතා කරන විට, ඊට ඇහුම්කන් දීමට වැදගත් හේතුවක් තිබෙනවා. (ද්වි. 28:1, 2) දේවානුභාවය ලත් ලේඛකයන් විසින් අපේ ප්‍රයෝජනය සඳහා ‘දෙවිගේ ප්‍රකාශයන්’ වාර්තා කර තිබීම ගැන අපිට සතුටු විය හැකියි. (රෝම 3:2) ඉදිරි දිස්ත්‍රික් සමුළුවේදී එම ප්‍රකාශයන් කියවා සාකච්ඡා කරන විට ඒවාට සවන් දීමට අපටත් අනර්ඝ ප්‍රස්තාවක් උදා වෙයි. ඒ සඳහා ඔබට විශේෂ අවධානයක් යොමු කළ හැක්කේ කෙසේද?
2 සෑම උදෑසනකම වේලාසනින් පැමිණෙන්න: ව්‍යවස්ථාවට ඇහුම්කන් දෙන්ට සීනයි කඳු පාමුලට රැස් වෙන්ට කියා ඉශ්රායෙල් සෙනඟට යෙහෝවා කී විට ඔවුන් තුළ ඇති වූවායයි සිතිය හැකි ප්‍රීතිමත් හැඟීම සලකා බලන්න! (නික්. 19:10, 11, 16-19) දිස්ත්‍රික් සමුළුවේදී යෙහෝවාගේ උපදෙස් ලැබීම සම්බන්ධයෙන් ඔබටත් ඒ හා සමානම ආකල්පයක් තිබෙනවා නම්, ඔබත් සෑම දවසකම වේලාසනින්ම පැමිණීමට කටයුතු සැලසුම් කරාවි. අපි ප්‍රමාද වී පැමිණ, ආසනයක් සොයමින් ඇවිදිනවා නම් අපිට සම්පූර්ණ වැඩසටහනටම ඇහුම්කන් දීමට නොහැකි වෙනවා පමණක් නොව අනිත් අයටද එය බාධාවක් වෙන්ට යනවා. සමුළුව පැවැත්වෙන ස්ථානයේ දොරටු විවෘත කරන්නේ පෙ.ව. 8ටයි. සෑම දිනකම වැඩසටහන ඇරඹෙන්නේ පෙ.ව. 9.30ටයි.
3 වේලපහින්ම පැමිණෙන සමහරුන් සැසිවාරය ආරම්භ කරද්දීත් ඔවුන්ගේ ආසනවලට පැමිණ සිටින්නේ නැහැ. එයට හේතුව ඔවුන් යහළුවන් සමඟ කතා කරමින්, තමන්ගේ ආසනවලට පැමිණීමට සභාපති ආරම්භක ගීතිකාව හඳුන්වා දෙන තුරු බලා සිටීමයි. සෑම සැසිවාරයකම ආරම්භයේදී මුල් ගීතිකාවට විනාඩි කිහිපයකට කලින්, එනම් රාජ්‍ය ගීතිකා සංගීතය වාදනය ආරම්භ වන විට සභාපති වේදිකාවේ අසුන් ගෙන සිටිනවා දකින්ට ලැබේවි. අපි අසුන් ගත යුතු වේලාව බවට සංඥාවයි ඒ! මද වේලාවකින් ඔහු ආරම්භක ගීතිකාව හඳුන්වා දෙනු ලබන අතර යෙහෝවාට ප්‍රශංසා ගීතිකා ගැයීමේ හවුල් වීමට අපිට හැකියි.
4 එක්සත් පවුලක් මෙන් ඇහුම්කන් දෙන්න: රැස්ව සිටි ඉශ්රායෙල්වරුන්ට පරිශුද්ධ ප්‍රකාශයන් කියවන විට, “බාලයන්” ඇතුළු පවුල් සාමාජිකයන්ට ඊට ඇහුම්කන් දී ඉගෙනගන්ට සිදු වුණා. (ද්වි. 31:12) අපේ සමුළුවලදී දරුවන්ව ඔවුන්ගේ ‘කැමැත්තට අත් නොහැරිය’ යුතුයි. (හිතෝ. 29:15) දෙමාපියෙනි, නහඹරයන් ඇතුළුව පවුලේ සියලුදෙනාම සමඟ එකට හිඳගැනීමට කටයුතු සැලසුම් කරන්න. සමහර දෙමාපියන් තම දරුවන්ව වැසිකිළියට ගෙන යෑමට ආරම්භක ගීතිකාව පටන්ගන්නා තුරු බලා සිටිනවා. එසේ කිරීම තුළින් අපේ නමස්කාරය තුළ ගීතිකාවටත් යාච්ඤාවටත් හිමි වටිනා ස්ථානය ගැන දරුවන්ට කිසිම අවබෝධයක් ලබා දෙන්ට යන්නේ නැහැ. ඒ නිසා, හැකි නම් වැසිකිළියට යෑම වැනි කාරණා සෑම සැසිවාරයක් ආරම්භ වීමට පෙර කිරීම මොනතරම් හොඳද!
5 අපි කලින් දා රාත්රියේදී හොඳ හැටි නිදාගන්නවා නම්, දිවා ආහාරය සඳහා බර ආහාර ගැනීමෙන් වළකිනවා නම්, ඇහුම්කන් දීමට එය උපකාරවත් වෙයි. මනසට එහෙ මෙහෙ දුවන්න ඉඩ නොදී කථිකයාගේ වචනවලට අවධානය දෙන්න. බයිබලය පෙරළන්න. කෙටි සටහන් ගන්න. එක් එක් කතාව දෙද්දී, කථිකයා කී දේ ගැන මනසින් පුනරීක්ෂණය කරන්න. ඒවා පෞද්ගලිකව අදාළ කරගත හැකි පැති ගැන සිතන්න. එදින නින්දට යෑමට පෙර පවුලක් වශයෙන් වැඩසටහන ගැන සාකච්ඡා කරන්න. උදාහරණයක් හැටියට එකිනෙකාගේ සිත්ගත් කරුණු මොනවාද? පවුලේ අය මේ තොරතුරු ප්‍රයෝජනයට ගන්ට යන්නේ කොහොමද? කියා සාකච්ඡා කරන්න.
6 දෙවිගේ වචනයට ගෞරවය පෙන්වන්න: මිතුරන් සමඟ කතාබහ කරන්ටත් ගොඩනංවනසුලු ඇසුරක් පවත්වන්ටත් සමුළු අපිට ප්‍රස්තාවක් ලබා දෙනවා. වේලාසනින් පැමිණීමෙන් වැඩසටහන ආරම්භ වීමට පෙර කතාබහ කිරීමට කාලය ලැබෙනවා. එහෙත්, සමහරු වැඩසටහන අතරතුරේදී කතාබහේ යෙදී සිටින අතර, මේ තරම් විශාල ශ්‍රවණාගාරයක අපේ කතාබහෙන් බාධාවක් ඇති වෙන්නේ කොහොමද කියලා ඔවුන් වරදවා සිතනවා. එවැනි විශාල ශ්‍රවණාගාරවල රැස්වීම් සැලසුම් කර තිබෙන්නේ අපේ ඇහුම්කන් දීම සඳහායි. එය හරියට අපි රාජ්‍ය ශාලාවක රැස් වෙනවා හා සමානයි. සෙල්‍යුලර් දුරකථන, පේජර් යන්ත්‍ර, වීඩියෝ කැමරා සහ කැමරා මගින් වැඩසටහනට බාධා නොපැමිණවිය යුතුයි.
7 යෙහෝවාගෙන් ව්‍යවස්ථාව ලබන අවස්ථාවේදී මෝසෙස් “කෑම නොකා වතුර නොබී” සිටියා. (නික්. 34:28) ඒ හා සමානව, සමුළු සැසිවාරය ක්‍රියාත්මක වන විට කෑම බීම ගැනීමෙන් වැළකී සිටීම වඩා සුදුසුයි. සෞඛ්‍ය ගැටලුවක් නැත්නම්, ඒ සඳහා “නියම කර ඇති වේලාව” එන තුරු සිටින්න.—දේශ. 3:1, NW.
8 දැන් දැන් සමහර සමුළුවල ගැටලුවක් මතු වෙමින් තිබෙනවා. එය නම් බොහෝ සහෝදර සහෝදරියන් පමණක් නොව බාලයන්ද සැසිවාර වේලාවන් තුළ තැන් තැන්වල රැස් වී කසුකුසුගාමින් සිටීමයි. එවැනි අයව ශ්‍රවණාගාරය තුළට යැවීමට පරිවාරකයන්ට දන්වා තිබෙනවා. ස්වේච්ඡා සේවකයන් තම තමන්ගේ අංශවල වැඩ අවසන් වූ වහාම සභාවේ අසුන් ගත යුතුයි. ස්වේච්ඡා සේවකයන්ට සැසිවාරය තුළදී කිරීමට විශේෂිත වගකීමක් පවරා නැත්නම් ඔවුන් අසුන් ගෙන වැඩසටහනට ඇහුම්කන් දෙමින් සිටිය යුතුයි. ඔවුන් තමන්ගේ අංශවල හෝ එකිනෙකාව හමු වෙවී කාලය කා නොදැමිය යුතුයි.
9 අපි කිසිදාක දේවවචනයට ‘ඇහුම්කන් දීමට මැළිව’ නොසිටිය යුතුයි. (හෙබ්‍රෙ. 5:11) එමනිසා, පැමිණෙන්නාවූ දිස්ත්‍රික් සමුළුවේදී යෙහෝවාගේ දිව්‍ය ප්‍රකාශන සාකච්ඡාවට භාජන කරද්දී සාවධානව ඇහුම්කන් දීම මගින් ඊට නිසි ගෞරවය දීමට අධිෂ්ඨාන කරගනිමු.