උපකාර ඉල්ලන්න
1 අපි ජීවත් වෙන තීරණාත්මක කාලය “කටයුතු කිරීමට අසීරු” කාලයක් කියා දේවානුභාවය ලත් වදන් මැනවින් විස්තර කරනවා. (2 තිමෝ. 3:1, NW) මේ නිසා, මුහුණ දීමට තරම් ඔබට ශක්තියක් නැහැයි කියා හැඟෙන දුෂ්කර ආත්මික අභියෝගවලට මුහුණ දෙන විට ඔබට කුමක් කළ හැකිද?
2 ඔබේ සභාවේ සිටින ආත්මික මේරූ කෙනෙකු සමඟ කතා කරන්න ඔබ සූදානම්ද? සමහරු මෙය කරන්න පසුබට විය හැකියි. මෙයට හේතුව ලැජ්ජාසහගත හැඟීමක් ඇතිවීම, එම ගැටලු ගැන අනිත් අය එක්ක කතා කිරීම ඔවුන්ට කරදර කිරීමක් කියා හැඟීම හෝ ඇත්තෙන්ම තමන්ට උපකාර කරන්න පුළුවන් කෙනෙක් සිටිනවාද කියා දෙගිඩියාවෙන් සිටීම යනාදිය විය හැකියි. අපි පෞද්ගලිකව ඉසිලිය යුතු වගකීම් ඉටු කිරීමට හැකි උපරිමය කරන්න අපි මහත් වෑයමක් දැරිය යුතු බව ඇත්තයි. ඒත් අපේ ආත්මික ශුභසිද්ධියට කෙළින්ම බලපාන කාරණාවලදී උපකාරය ඉල්ලීමට අපි කිසිවිටකත් පසුබට නොවිය යුතුයි.—ගලා. 6:2, 5.
3 මුලින්ම යන්නේ කා ළඟටද? පොත් පාඩම් මෙහෙයවන්නා ළඟට ගොස් ඔහුත් සමඟ ක්ෂේත්‍ර සේවයේ එකට වැඩ කරන්න පුළුවන්ද කියා අසන්න. ආත්මිකව දියුණු වීමට ඔබට තිබෙන ආශාව ගැන ඔහු සමඟ කතා කරන්න මෙමගින් ඔබට අවස්ථාවක් ලැබෙනවා. ඔහු උපස්ථායක සේවකයෙකු නම්, ඔබට අවශ්‍ය ආත්මික උපකාරය ගැන ඔහුට පවසන්න. ඔබට උපකාර කරන්න කියා වැඩිමහල්ලන්ගෙන් ඉල්ලා සිටින්න ඔහුට හැකියි. එහෙම නැත්නම් ඔබට උපකාරය අවශ්‍ය කරන කාරණය ගැන ඕනෑම සභා වැඩිමහල්ලෙක් සමඟ කතා කරන්නත් පුළුවන්.
4 ඔබට අවශ්‍ය මොන වගේ උපකාරයක්ද? යම් හේතුවක් නිසා ආත්මික දේවල් සඳහා තිබෙන ඔබේ ජ්වලිතය අඩු වී ගොස් තිබෙනවාද? ඔබේ දරුවන්ව සත්‍යයෙහි දිගටම රඳවා තබාගැනීමට වෑයම් කරන තනි දෙමාපියෙක්ද ඔබ? ඔබ උපකාරය අවශ්‍ය කරන වයසක කෙනෙක්ද? එහෙම නැත්නම් ඇතැම් ගැටලු නිසා ඔබ අධෛර්යයට පත්ව සිටිනවාද? අපි ජීවත් වෙන මේ අර්බුදකාරි කාලයේදී සමහර තත්වයන් සමඟ කටයුතු කිරීම අමාරු දෙයක් විය හැකියි. ඒත් ඔබ කාගෙවත් උපකාරයක් නැතුව අසරණ වී නැහැ. ඔබට අවශ්‍ය උපකාරය ලබාගත හැකියි.
5 වැඩිමහල්ලන්ට උපකාර කළ හැකි අයුරු: වැඩිමහල්ලන් සභාවේ සිටින සහෝදර සහෝදරියන් කෙරෙහි අවංක සැලකිල්ලක් දක්වනවා. ඔබ මුහුණ දෙන ගැටලුවලට සවන් දීමට ඔවුන් සූදානමින් සිටිනවා. එවැනිම ගැටලුවලට වෙනත් ප්‍රචාරකයන්ද මුහුණ දෙනවා නම්, වැඩිමහල්ලන් එඬේර බැහැදැකීම් කරන විටත් සභාවේ උගන්වන විටත් ඒවා සැලකිල්ලට ගනියි. ‘රැළට ආදර්ශයක්’ වන ඔවුන් ප්‍රීතියෙන් ඔබ සමඟ සේවය කිරීමට සූදානමින් සිටිනවා. (1 පේතෘ. 5:3) අද්දැකීම් ලත් මෙම සහෝදරයන් බයිබල් ප්‍රතිපත්ති ඒත්තුගන්වනසුලු අයුරින් ගෙනහැර දක්වන විට හොඳින් සවන් දෙන්න. මෙය ඔබේ දේවසේවය දියුණු කරගැනීමට මෙන්ම ඔබේ පෞද්ගලික ජීවිතයටද උපකාරවත් විය හැකියි.—2 තිමෝ. 3:16.
6 යේසුස් අපිට “මනුෂ්‍යයන්ගෙන් සමන්විත තෑගි” බොහොමයක් දී තිබෙනවා. (එපී. 4:8, NW පාදසටහන) මෙයින් අදහස් කරන්නේ වැඩිමහල්ලන් සිටින්නේ ඔබට සේවය කරන්න කියායි. ඔබට උපකාර කරන්න ඔවුන් ඕනෑම වේලාවක සූදානම්. ඇත්තෙන්ම ඔවුන් ‘ඔබෙයි.’ (1 කොරි. 3:21-23) එනිසා කිසිම චකිතයක් ඇති කරගන්නේ නැතුව ඔවුන් සමඟ කතා කරන්න. ඔබට අවශ්‍ය උපකාරය ඉල්ලන්න.