ජීවිත කතාව
අපේ වෑයම යහපත් ආදර්ශ අනුකරණය කරන්නයි
“ඔයා දන්නවද මට වයස කීයද කියලා?” මං එහෙම ඇහුවේ සහෝදර ඉසැක් මරේ පැටර්සන්වල ඉඳලා මට කෝල් කරපු වෙලාවක. “මොකද නැත්තේ මං දන්නවා” කියලා එයා කිව්වා. එදා මං එහෙම ඇහුවේ ඇයි කියලා ඔයාලට කියන්නම්.
මං ඉපදුණේ 1936 දෙසැම්බර් 10වෙනිදා ඇමරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ විචිටා නගරේ. ළමයි 4දෙනෙක් හිටපු පවුලේ වැඩිමලා මමයි. මගේ අම්මායි තාත්තායි යෙහෝවා දෙවිට උද්‍යෝගයෙන් සේවය කරපු අය. තාත්තා තමයි අපේ සභාව රැකබලා ගන්න සහෝදරයා විදිහට සේවය කළේ. අම්මාට සත්‍යය ලැබුණේ ආච්චිගෙන්. එයාගේ නම එමා වැග්නර්. හුඟදෙනෙක්ට සත්‍යයට එන්න ආච්චි උදව් කරලා තියෙනවා. අවුරුදු ගාණක් පෝටෝ රිකෝවල මිෂනාරි සේවය කරපු සහෝදරි ගර්ටෘඩ් ස්ටීලි එක්ක පාඩම් කළෙත් අපේ ආච්චි. මට ආදර්ශයට ගන්න කොච්චර අය හිටියද!
මතකයේ රැඳුණු ආදර්ශ
තාත්තා පාරේ යන එන අයට පේන්න සඟරා අල්ලගෙන ඉන්නවා
මුළු රටම 2වෙනි ලෝක යුද්දෙට පැටලිලා හිටපු කාලේ දවසක් මායි තාත්තායි පාරේ යන එන අයට පේන්න සඟරා තියාගෙන හිටියා. එතකොට මට වයස 5යි. ඒ වෙලාවේ හොඳටම බීලා හිටපු දොස්තර කෙනෙක් තාත්තාට කෑගහන්න පටන්ගත්තා. එයා එහෙම බැන්නේ තාත්තා යුද්දෙට හවුල් වෙන්නේ නැති නිසයි. එයා තාත්තා ළඟටම ඇවිත් “බයගුල්ලා, පුළුවන් නම් මට එක පාරක් ගහලා පෙන්නපං” කියලා කිව්වා. මං ටිකක් බය වුණා. ඒත් තාත්තා ගැන මට පොඩි ආඩම්බරයකුත් දැනුණා. එයා කෑගැහුවා කියලා තාත්තා සේවය නතර කළේ නැහැ. ඒ වෙලාවේ එතනින් සොල්දාදුවෙක් ගියා. එතකොට දොස්තර කෑගහලා කිව්වා “මේ ද්‍රෝහියාට මොනවා හරි කරන්න” කියලා. “බිව්වා නම් ගෙදර යනවා, ප්‍රශ්න ඇති කරන්නේ නැතුව” කියලා සොල්දාදුවා එයාට කිව්වා. ඊටපස්සේ ඒ දෙන්නම එතනින් ගියා. ඒ දොස්තර තාත්තාව දන්න කෙනෙක්. එයා කොණ්ඩේ කැපුවේ තාත්තාට අයිති බාබර් සාප්පුවකින්. තාත්තාට විචිටාවල බාබර් සාප්පු 2ක්ම තිබුණා. නිර්භීතව ඉන්න එදා යෙහෝවා දෙවි තාත්තාට ශක්තිය දුන්න විදිහ මගේ හිතට තදින්ම කාවැදුණා.
1940 ගණන්වලදී විචිටාවල තිබුණ සමුළුවකට අම්මායි තාත්තායි එක්ක යන ගමන්
මට අවුරුදු 8දී අම්මලා අපේ ගෙදරයි, බාබර් සාප්පු 2යි විකුණලා තැනින් තැනට ඇදගෙන යන්න පුළුවන් පුංචි ගෙයක් හැදුවා. එහෙම කළේ ප්‍රචාරකයන් අඩු පැත්තකට ගිහින් සේවය කරන්න. අපි කොලරාඩොවල ග්‍රෑන්ඩ් ජන්ෂන් නගරේට ආවා. අම්මායි, තාත්තායි පුරෝගාමි සේවය කරන ගමන් සතියට දවස් කීපයක් ගොවිපොළවල්වල වැඩ කළා. වෙහෙස නොබලා එයාලා කරපු සේවයට දෙවි ආශීර්වාද කරපු නිසා එහේ සභාවක් පටන්ගන්න පුළුවන් වුණා. 1948 ජූනි 20වෙනිදා මං බව්තීස්ම වුණා. මාව බව්තීස්ම කළේ තාත්තා. එදා බව්තීස්ම වුණ අය අතරේ බිලී නිකලස් සහ එයාගේ නෝනාත් හිටියා. පස්සේ කාලෙක එයාලා චාරිකා සේවයත් කළා.
උද්‍යෝගයෙන් දෙවිට සේවය කරපු හුඟදෙනෙක්ව අපි කිට්ටුවෙන් ආශ්‍රය කළා. එයාලගේ ආශ්‍රය මට ලොකු දිරිගැන්වීමක් වුණා. විශේෂයෙන්ම ස්ටීලි පවුලේ අයගේ ආදර්ශය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ජීවිතේ අර්ථවත් වෙන්නේ යෙහෝවා දෙවිට මුල් තැන දුන්නොත් විතරයි කියන දේ මං ඉගෙනගත්තේ එයාලගෙන්.
සේවය කරන්න වෙන පැතිවලට ගියා
මට වයස 19ක් වෙද්දී යාළුවෙක් වුණ බඩ් හේස්ටි එයාත් එක්ක පුරෝගාමි සේවය කරන්න මටත් එන්න කිව්වා. චාරිකා සේවක අපෙන් ඇහුවා ලුසියානාවල රස්ටන් නගරේට ගිහින් සේවය කරන්න පුළුවන්ද කියලා. මොකද එහේ හිටපු සාක්ෂිකරුවන් හුඟදෙනෙක් අක්‍රියාශීලී වෙලයි හිටියේ. රැස්වීම්වලට කවුරු ආවත් නැතත් හැම රැස්වීමක්ම තියන්න කියලත් එයා අපිට කිව්වා. එහෙට ගියාම රැස්වීම් තියන්න හොඳ තැනක් අපි හොයාගත්තා. ඒත් මුලදී රැස්වීමේ හිටියේ අපි දෙන්නා විතරයි. අපි මාරුවෙන් මාරුවට කොටස් කළා. එයා කොටසක් කරද්දී මං උත්තර දුන්නා. මං කරද්දී එයා උත්තර දුන්නා. නිරූපණ කරන්න වෙද්දී අපි දෙන්නා වේදිකාවේ ඉඳන් ඒක කළත් බලන්න නම් කවුරුත් හිටියේ නැහැ. කාලයක් යද්දී වයසක සහෝදරියක් රැස්වීම් එන්න පටන්ගත්තා. ඊටපස්සේ ටිකෙන් ටික බයිබල් පාඩම්, අක්‍රියාශීලී වෙලා හිටපු අය රැස්වීම් ආවා. කාලයත් එක්කම සභාව පිරුණා.
දවසක් අපි දෙන්නට පූජකයෙක් හම්බ වුණා. මට එච්චර අවබෝධයක් තිබුණේ නැති බයිබල් පද ගැන එයා කතා කරද්දී මාව කරකෝලා අතහැරියා වගේ වුණා. එදා මං තේරුම්ගත්තා තවත් හොඳට බයිබලේ අධ්‍යයනය කරන්න ඕනෙ කියලා. මං සතියක්ම රෑ නිදි මරාගෙන එයා අහපු ප්‍රශ්නවලට උත්තර හෙව්වා. ඒකෙන් මට ස්ථිර වුණා මං විශ්වාස කළේ සත්‍ය ඉගැන්වීම් කියලා. ආයේ පූජකයෙක් හම්බ වෙන කල් මං බලාගෙන හිටියේ ආසාවෙන්.
ටික දවසකට පස්සේ චාරිකා සේවක මගෙන් ඇහුවා එල් ඩරාඩෝවල තියෙන සභාවේ සේවය කරන්න පුළුවන්ද කියලා. හමුදා සේවයට බඳවගන්න කාර්යාලයෙන් කීප සැරයක්ම මාව කැඳවපු නිසා එහේ ඉඳන් කොලරාඩොවලට නිතරම වගේ මට යන්න වුණා. දවසක් මායි තව පුරෝගාමි සහෝදරයෝ කීපදෙනෙකුයි එහේ යන මඟදී මගේ කාර් එක හැප්පුණා. ආයේ පාවිච්චි කරන්න පුළුවන් තත්වයක නෙමෙයි ඒක තිබුණේ. එහේ සහෝදරයෙක්ට අපි කෝල් කළාම එයා ඇවිත් අපිව එයාගේ ගෙදර එක්කගෙන ගියා. ඊටපස්සේ අපි රැස්වීමටත් ගියා. අපිට වෙච්ච කරදරේ ගැන රැස්වීමේදී නිවේදනය කළාම සභාවේ අය අපිට සල්ලි ටිකක් දුන්නා. සහෝදරයෙක් කාර් එක ඩොලර් 25කට විකුණලත් දුන්නා.
ඊටපස්සේ අපිට විචිටාවලට යන්න පුළුවන් වුණා. අපේ පවුලේ හිතවතෙක් වුණ මර්කාට්නි එහේ පුරෝගාමි සේවය කරකරයි හිටියේ. එයාගේ පුතාලා දෙන්නා ෆ්‍රෑන්ක් සහ ෆ්‍රැන්සිස් මගේ හොඳ යාළුවෝ. එයාලා ළඟ පරණ කාර් එකක් තිබුණා. ඒක ඩොලර් 25කට එයාලා මට දුන්නා. ඒක හරියටම මගේ හැප්පුණ කාර් එකට මට හම්බ වුණ ගාණමයි. දෙවිගේ දේට මුල් තැන දීලා වැඩ කරපු නිසා මට අවශ්‍ය දෙයක් දෙවි දීපු විදිහ එදා මං මුල් වතාවට අද්දැක්කා. එහෙදී මර්කාට්නි මට බෙතෙල් ක්‍රේන් කියන සහෝදරියව හඳුන්වලා දුන්නා. එයායි එයාගේ පවුලේ අයයි දෙවිට හුඟක් ළැදි අය. එයාගේ අම්මා වයස 90 ගණන් වෙන කල්ම පුරෝගාමි සේවය කළා. 1958දී ඒ කියන්නේ අවුරුද්දක් විතර ආශ්‍රය කළාට පස්සේ මායි බෙතෙලුයි බැන්දා. ඊටපස්සේ අපි එල් ඩරාඩෝවල පුරෝගාමි සේවය කළා.
ආරාධනයක්!
පොඩි කාලේ ඉඳලම අපිට ආදර්ශයක් වුණ අය වගේ වෙන්නයි අපිටත් ඕන වුණේ. ඒ නිසා දෙවිගේ සංවිධානයෙන් දෙන ඕනම පැවරුමක් භාරගන්න අපි හිටියේ සූදානමින්. එහෙම ඉද්දී වෝල්නට් රිජ්වල විශේෂ පුරෝගාමි සේවය කරන්න අපිට පැවරුමක් ලැබුණා. 1962දී ගිලියද් පාසැලේ 37වෙනි පන්තියට සහභාගි වෙන්න කියලා ආරාධනයක් ලැබුණම අපිට දැනුණේ කියාගන්න බැරි සතුටක්. මගේ යාළුවා ඩොන් ස්ටීලි හිටියෙත් ඒ පන්තියේමයි. ගිලියද් පුහුණුවෙන් පස්සේ මාවයි, බෙතෙල්වයි කෙන්යාවට යැව්වා. නිව් යෝර්ක්වලින් යද්දී අපිට දුකක් දැනුණත් අපිව පිළිගන්න නයිරෝබි එයාර්පෝට් එකට ඇවිත් හිටපු සහෝදරයන්ව දැක්කම අපේ දුක සතුටට පෙරළුණා.
මේරි සහ ක්‍රිස් කැනයියා එක්ක නයිරෝබිවල සේවයේ යද්දී
අපි ඉක්මනින්ම කෙන්යාවේ ජීවිතේට හුරු වුණා. එහේ සේවයත් නියමයි. අපිත් එක්ක පාඩම් කරපු අයගෙන් හොඳ දියුණුවක් පෙන්නපු මුල්ම දෙන්නා මේරි සහ ක්‍රිස් කැනයියා. එයාලා අදටත් කෙන්යාවේ පූර්ණකාලීන සේවය කරනවා. අවුරුද්දකට පස්සේ උගන්ඩාවේ කම්පාලා නගරේ සේවය කරන්න අපිට පැවරුමක් ලැබුණා. අපි දෙන්නා තමයි එහෙට ගිය මුල්ම මිෂනාරීන්. එහේ සේවය අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. බයිබලේ ගැන ඉගෙනගන්න එහේ අය හරිම ආසයි. එයාලගෙන් වැඩිදෙනෙක් සත්‍යයට ආවා. අවුරුදු 3 1/2ක් අප්‍රිකාවේ සේවය කළාට පස්සේ බෙතෙල්ට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා අපි දැනගත්තා. ඒ නිසා අපි ආයෙමත් ඇමරිකාවට ආවා. අපි අප්‍රිකාවෙන් පිට වුණේ නිව් යෝර්ක්වලින් එද්දී දැනුණට වඩා ලොකු දුකක් හිතේ තද කරගෙන. අප්‍රිකාවේ අය අපේම පවුලේ අය වගේ. ආයේ දවසක එයාලව බලන්න එන්න හිතාගෙන අපි එහෙන් පිට වුණා.
අපේ අලුත් පැවරුම
අපි පදිංචි වුණේ කොලරාඩොවල. අම්මලා හිටියෙත් ඒ කිට්ටුව. එහෙට ඇවිත් ටික දවසකින් අපේ දුව කිම්බර්ලි ඉපදුණා. අවුරුදු 1යි මාස 5කට පස්සේ පොඩි දුව ස්ටෙෆනි ඉපදුණා. අපේ මේ අලුත් පැවරුම බැරෑරුම් එකක් හැටියටයි අපි සැලකුවේ. ඒ නිසා පොඩි කාලේ ඉඳලම දුවලගේ හිතේ දෙවි ගැන ආදරයක් ඇති කරන්න අපි ලොකු වෑයමක් ගත්තා. අනිත් අයගේ ආදර්ශවලින් අපි ඉගෙනගත්ත දේවල් දුවලටත් දෙන්නයි අපිට ඕන වුණේ. හොඳ ආදර්ශයක් තිබ්බොත් දරුවන්ට හරි පාරේ යන්න ඒක උදව්වක් කියලා අපි දැනං හිටියා. ඒත් ආදර්ශය නිසාම දරුවෝ දෙවිට සේවය කරයි කියලා සහතික වෙන්න බැහැ. මගේ නංගියි, මල්ලියි කාලයක් යද්දී සත්‍යය අතහැරලා ගියා. පොඩි කාලේ ඉඳලා එයාලා දැක්ක ආදර්ශ ආයෙත් එයාලට මතක් වුණොත් කොච්චර දෙයක්ද!
දුවලා දෙන්නා එක්ක ගත කරපු කාලේ හරිම සුන්දරයි. අපි නිතරම උත්සාහ කළේ එයාලා එක්ක එකට දේවල් කරන්න. හිමේ ලිස්සලා යන ක්‍රීඩාව, කෑම්පින් වගේ දේවල් අපි පවුලක් විදිහට එකට කළා. දුවලා එක්ක නිදහසේ කතාබහ කරන්න, එයාලගේ හිතේ තිබුණ දේවල් දැනගන්න ඒක අපිට උදව් වුණා. ලොකු වුණාම එයාලා මොනවද කරන්නේ, බඳින්න කැමති කොයි වගේ කෙනෙක්වද වගේ දේවල් එයාලා පොඩි කාලේ ඉඳලා අපිත් එක්ක බය නැතුව කතා කළා. අපිට ලැබෙන හැම වෙලාවකම අපි උත්සාහ කළේ දෙවිගේ ප්‍රතිපත්ති එයාලගේ හිත්වලට කාවද්දන්නයි. පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න ඉලක්කයක් තියාගන්න අපි එයාලට උනන්දු කළා. විවාහ වෙන්න කෙනෙක්ව තෝරගද්දී ඒ ඉලක්කයම තියෙන කෙනෙක්ව තෝරගන්න එක කොච්චර වටිනවද කියලත් අපි එයාලට තේරුම් කරලා දුන්නා. පොඩි වයසේදීම විවාහ වෙන එක ඥානවන්ත දෙයක් නෙමෙයි කියලා තේරුම්ගන්නත් අපි උදව් කළා. අපි නිකම් විහිළුවට වගේ කිව්වේ 23ක් වෙන කල්වත් කාටවත් අහු වෙන්න එපා කියලයි.
අපේ දෙමාපියන් කළා වගේ අපිත් දුවලා දෙන්නා එක්ක රැස්වීම් යන එක, නිතිපතා සේවයේ යන එක වැරැද්දුවේ නැහැ. පූර්ණකාලීන සේවකයන්ට අපේ ගෙදරට ආරාධනා කරලා ඒ අය එක්ක අපි කාලේ ගත කළා. මිෂනාරි සේවය කරද්දී අපි ලබපු රසවත් අද්දැකීම් ගැන නිතරම දුවලා එක්ක කතා කළා. දවසක අපි හතරදෙනාම අප්‍රිකාවේ ට්‍රිප් එකක් යමු කියලා අපි කියද්දී දුවලා හුඟක් සතුටු වුණා.
පවුලේ පාඩම අපි අතපසු කළේ නැහැ. ඉස්කෝලෙදී වෙයි කියලා හිතෙන දේවල් අපි දුවලත් එක්ක එකතු වෙලා රඟපෑවා. සාක්ෂිකරුවගේ චරිතේ රඟපෑවේ එයාලා. බය නැතුව අපේ විශ්වාසයන් පැහැදිලි කරන්න ඒකෙන් එයාලා ඉගෙනගත්තා වගේම ලොකු සතුටකුත් අද්දැක්කා. යෞවන වයසට එද්දී පවුලේ පාඩම කරන්න බැහැ කියලා එයාලා නහයෙන් අඬපු වෙලාවලුත් තිබුණා. දවසක් මට තරහා ගිහින් කිව්වා “දෙන්නම යනවා කාමරවලට. ආයේ පාඩම කරන්නේ නෑ” කියලා. මං එහෙම කියයි කියලා හිතුවේ නැති නිසා එයාලා අඬඅඬ කිව්වා “එහෙම කරන්න එපා තාත්තේ. අපිට පාඩම ඕනෙ” කියලා. එයාලගේ පුංචි හිත්වල දෙවිගේ දේවල් ගැන අගයක් තියෙනවා කියලා එදා අපිට තේරුණා. පවුලේ පාඩමට කැමැත්තෙන් හවුල් වෙන්න එදායින් පස්සේ එයාලත් හිතට ගත්තා. හිතේ තියෙන දේවල් නිදහසේ කියන්න අපිත් එයාලට ඉඩ දුන්නා. බයිබලේ තියෙන සමහර දේවල් එක්ක එකඟ වෙන්න බැහැ කියලා එයාලා කියපු අවස්ථාත් තිබුණා. ඒ වෙලාවලදී අපිට ටිකක් දුක හිතුණත් එයාලගේ හිතේ තියෙන දේ තේරුම්ගන්න ඒක අපිට උදව් වුණා. හේතු එක්ක කාරණා තේරුම් කළාම යෙහෝවා දෙවි දේවල් කරන විදිහ තමයි හරි කියලා එයාලා පිළිගත්තා.
තවත් වෙනස්කම්
හිතුවට වඩා ඉක්මනින් කාලේ ගෙවිලා ගියා. දන්නෙම නැතුව දුවලා යෞවන වයසට ඇවිත්. දෙවි සංවිධානය මාර්ගයෙන් දුන්න මඟ පෙන්වීම්වලට කීකරු වුණ නිසා දුවලගේ හිතේ දෙවි ගැන ආදරයක් ඇති කරන්න අපිට පුළුවන් වුණා. ඉස්කෝලේ ගිහින් ඉවර වුණාට පස්සේ ඒ දෙන්නම පුරෝගාමි සේවය තෝරගත්තම අපිට දැනුණේ පුදුම සතුටක්. කාටවත් බරක් නොවී සේවය කරන්න පුළුවන් වෙන විදිහට එයාලා දෑතේ වැඩත් ඉගෙනගත්තා. පස්සේ ඒ දෙන්නා තව සහෝදරියන් දෙන්නෙක් එක්ක ප්‍රචාරකයන් අඩු පළාතක් වුණ ක්ලීව්ලන්ඩ්වල සේවය කරන්න ගියා. ඒ දෙන්නා නැති පාළුව අපිට තදින්ම දැනුණා. ඒත් එයාලා ගියේ සේවය කරන්න කියලා හිතද්දී ඒ පාළුව මැකිලා ගියා. අපිත් ආයේ පුරෝගාමි සේවය පටන්ගත්තා. විටින් විට චාරිකා සේවයේ යන්න, සමුළුවල එක එක අංශවල වැඩ කරන්න අපිට පුළුවන් වුණා.
ක්ලීව්ලන්ඩ්වලට යන්න කලින් දුවලා දෙන්නා එංගලන්තයේ ට්‍රිප් එකක් ගියා. ඒ ගමනෙදී එයාලා ලන්ඩන් බෙතෙල් එකටත් ගියා. එහෙදී ස්ටෙෆනිට පෝල් නෝටන්ව හම්බ වුණා. ඒ වෙද්දී ස්ටෙෆනිට වයස 19යි. ආයෙත් එයාලා ලන්ඩන් ගිය වෙලාවක ලොකු දුවට බ්‍රයන් ලෙවෙලින්ව මුණගැහුණා. එයා පෝල්ගේ හොඳ යාළුවෙක්. ස්ටෙෆනිට 23ක් වුණාට පස්සේ පෝලුයි එයායි බැන්දා. ඊළඟ අවුරුද්දේ ඒ කියන්නේ කිම්බර්ලිට වයස 25දී එයා බ්‍රයන් එක්ක විවාහ වුණා. විවාහ වෙන්න එයාලා තෝරගත්ත අය ගැන අපි හුඟක් සතුටු වුණා.
2002දී පෝලුයි, ස්ටෙෆනියි, කිම්බර්ලියි, බ්‍රයනුයි එක්ක මලාවි බෙතෙල් එකේ
‘නොකඩවා දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න’ කියලා යේසුස් කියපු දේට කීකරු වෙන්න අපි දෙන්නගෙයි, එයාලගේ ආච්චිලා සීයලාගෙයි ආදර්ශය උදව් වුණා කියලා දුවලා අපිට කිව්වා. (මතෙ. 6:33) ආර්ථික අමාරුකම් මැද වුණත් එයාලා රාජ්‍යයට මුල් තැන දුන්නා. 1998 අප්‍රියෙල් මාසේ පෝල්ටයි ස්ටෙෆනිටයි ගිලියද් පාසැලේ 105වෙනි පන්තියට සහභාගි වෙන්න ආරාධනයක් ලැබුණා. ඊටපස්සේ එයාලව මලාවිවලට යැව්වා. ඒ කාලෙදීම වගේ තමයි බ්‍රයන්ටයි, කිම්බර්ලිටයි ලන්ඩන් බෙතෙල් එකේ වැඩ කරන්න එන්න කිව්වේ. එහෙන් ඒ දෙන්නවත් මලාවි බෙතෙල් එකට යැව්වා. යෞවන කාලේ කරන්න පුළුවන් හොඳම සේවය එයාලා කරන එක ගැන අපි හිටියේ සතුටින්.
බලාපොරොත්තු නොවූ ආරාධනයක්!
මේ ලිපිය පටන්ගද්දී මං කිව්ව කෝල් එක ආවේ 2001 ජනවාරිවල. පරිවර්තනයට සහය දක්වන අංශය භාර සහෝදර මරේ මට කිව්වා ලෝකෙ පුරාම ඉන්න පරිවර්තකයන්ට ඉංග්‍රීසි පුහුණු පාඨමාලාවක් තියන්න එයාලා සැලසුම් කරනවා කියලා. ඒකේ උපදේශකයෙක් විදිහට වැඩ කරන්න මාව පුහුණු කරන්න එයාලා බලාපොරොත්තු වෙනවා කියලත් එයා කිව්වා. එතකොට මට වයස 64යි. අපි දෙන්නා මේ කාරණය ගැන දෙවිට යාච්ඤා කළා. අම්මලාගෙනුත් ඒ ගැන ඇහුවා. අපි කාලෙකට එයාලා ළඟ නැහැ කියලා දැනගෙන හිටියත් අම්මලා දෙන්නම කිව්වා ඒ පැවරුම භාරගන්න කියලා. ඒ නිසා මම සහෝදර මරේට කතා කරලා කිව්වා පැවරුම භාරගන්න අපි කැමතියි කියලා.
ඔය කාලෙදීම තමයි මගේ අම්මාට පිළිකාවක් තියෙනවා කියලා හොයාගත්තේ. පැටර්සන් යන්නේ නැතුව අම්මාව බලාගන්න නංගිට උදව් වෙන්නම් කියලා මං අම්මාට කිව්වා. එතකොට අම්මා කිව්වා “එහෙම කරන්න ඕනෙ නෑ. ඔයා ගියේ නැත්නම් මට ඊටත් වඩා දුක හිතෙයි” කියලා. නංගිට හැඟුණෙත් ඒ විදිහටමයි. අපේ පැවරුම කරන්න එයාලගෙනුත් සභාවේ අයගෙනුත් ලැබුණ සහය අපි අදටත් අගය කරනවා. අපි පැටර්සන් යන්න පිටත් වුණ දවසට පහුවදා නංගි කෝල් කරලා කිව්වා අම්මා නැති වුණා කියලා. අම්මා අපෙන් බලාපොරොත්තු වුණේ පැවරුමට මුල් තැන දෙන එකයි. ඒක අපි කළා.
පුහුණුවෙන් පස්සේ අපි මුලින්ම ගියේ මලාවි බෙතෙල් එකට. එදා අපිට දැනුණේ පුදුම සතුටක්. මොකද අපේ පවුලේ හැමෝම එකම තැනදී ආයෙත් හම්බ වුණා. මලාවිවලින් සිම්බාබ්වේවලට, ඊටපස්සේ සැම්බියාවට අපි ගියා. උපදේශකයෙක් හැටියට අවුරුදු 3 1/2ක් සේවය කළාට පස්සේ අපිට මලාවිවලට ආයෙත් පැවරුමක් ලැබුණා. දේශපාලන කටයුතුවලදී පැති ගත්තේ නැති නිසා පීඩාවලට මුහුණ දීපු එහේ ඉන්න සහෝදර සහෝදරියන්ගේ අද්දැකීම් ලේඛනගත කරන එකයි මගේ පැවරුම වුණේ.a
අපේ මිනිබිරියන් එක්ක සේවය යද්දී
2005දී අපි ආයෙත් කොලරාඩොවලට එන්න පිටත් වුණේ ලොකු දුකකින්. මායි, බෙතෙලුයි ආයෙත් පුරෝගාමි සේවය පටන්ගත්තා. 2006දී ලොකු දුවයි, බෑනයි එයාලගේ දුවලා දෙන්නත් එක්ක අපේ ගෙදරට එහා ගෙදරට ආවා. අපේ මිනිබිරියන් දෙන්නා මැකෙන්සි සහ එලිසබෙත්. පෝලුයි, ස්ටෙෆනියි තාම මලාවි බෙතෙල් එකේ සේවය කරනවා. පෝල් ශාඛා කමිටු සාමාජිකයෙක්. දැන් මට 80කට කිට්ටුයි. මාත් එක්ක වැඩ කරපු තරුණ අය දැන් වගකීම් කරට අරන් වැඩ කරනවා දකිද්දී මට හරිම සතුටුයි. අද අපි දෙන්නා මේ වගේ සතුටක් අද්දකින්නේ පොඩි කාලේ ඉඳන් දැකපු ආදර්ශ අනුකරණය කරපු නිසයි. ඒ ආදර්ශවලින් ඉගෙනගත්ත දේවල් අපේ දරු මුනුබුරන්ට කියලා දීපු නිසයි.
a උදාහරණෙකට 2015 අප්‍රියෙල් 15 ‘මුරටැඹ’ කලාපයේ 14-18 පිටුවල පළ වුණ ට්‍රෝෆිම් න්සෝම්බාගේ ජීවිත කතාව බලන්න.