දෙවි පෙන්වන සැලකිල්ල ඔබ අගය කරනවද?
“යෙහෝවා දෙවි සෑම දෙයක්ම දකින්නේය. ඔහු යහපත් අය දෙසද අයහපත් අය දෙසද නෙත් යොමා සිටින්නේය.”—හිතෝ. 15:3.
1, 2. ආරක්ෂිත කැමරාවලට වඩා වෙනස්ව දෙවි අපි දිහා බලාගෙන ඉන්නේ මොන අරමුණින්ද?
සමහර ප්‍රධාන මංසන්ධිවල කැමරා සවි කරලා තියෙනවා කියලා ඔබ දන්නවද? රථ වාහන තදබදය ගැන දැනගන්න, අනතුරු ගැන වාර්තා තියාගන්න ඒවා උදව් වෙනවා. ඒ වගේම පදිකයන්ව අනතුරට ලක් කරලා පලා යන රියදුරන්ව අත්අඩංගුවට ගන්නත් ඒ කැමරා උදව් වෙනවා. ඒවා නිසා දැන් අපරාධකාරයන්ට ලේසියෙන් බේරිලා යන්න අමාරුයි.
2 ඒ කැමරාවලින් දකින දේට වඩා දෙයක් දකින්න යෙහෝවා දෙවිට පුළුවන්. ‘යෙහෝවා දෙවි සෑම දෙයක්ම දකිනවා’ කියලා බයිබලයේ කියනවා. (හිතෝ. 15:3) ඒ කියන්නේ අපි වැරදි කරනවද කියලා දැනගන්න දෙවි අපි දිහා බලාගෙන ඉන්නවා කියන එකද? අපිට දඬුවම් කරන්න බලාගෙන ඉන්නවා කියන එකද? (යෙරෙ. 16:17; හෙබ්‍රෙ. 4:13) කොහොමටවත් නැහැ! දෙවි අපි දිහා බලාගෙන ඉන්නේ අපිට තියෙන ආදරේ නිසයි. අපි සතුටින්, ආරක්ෂිතව ඉන්නවා දකින්න ඔහු කැමති නිසයි.—1 පේතෘ. 3:12.
3. දෙවි අපි ගැන සැලකිලිමත් කියලා ඔප්පු වෙන කාරණා පහ මොනවද?
3 යෙහෝවා දෙවි අපි ගැන සැලකිල්ලෙන් බලාගෙන ඉන්නේ අපිට තියෙන ආදරේ නිසා කියන දේ තේරුම්ගන්න උදව් වෙන කාරණා පහක් දැන් බලමු. (1) වරදක් කරන්න කලින් දෙවි අපිට අනතුරු අඟවනවා. (2) අපි අතින් වැරදි වෙද්දී අපිව නිවැරදි කරනවා. (3) බයිබල් ප්රතිපත්තිවලින් අපිට මඟ පෙන්නනවා. (4) ප්‍රශ්න ගැටලු එද්දී අපිට උදව් කරනවා. (5) හරි දේ කරද්දී අපිට ආශීර්වාද කරනවා.
දෙවි අපිට අනතුරු අඟවනවා
4. කායින් වරදක් කරන්න කලින් දෙවි ඔහුට අනතුරු ඇඟෙව්වේ ඇයි?
4 දෙවි අපි ගැන සෝදිසියෙන් ඉඳලා අපි අතින් වරදක් වෙන්න කලින් අනතුරු අඟවන්නේ කොහොමද කියලා මුලින්ම බලමු. (1 ලේක. 28:9) ඒ දේ කායින්ගේ සිද්ධියෙන් අපිට තේරුම්ගන්න පුළුවන්. දෙවිගේ අනුමැතිය තමන්ට නැහැ කියලා දැනගත්තම කායින්ට හුඟක් කේන්ති ගියා. (උත්පත්ති 4:3-7 කියවන්න.) ඔහු “යහමඟට හැරුණේ නැත්නම්” ඔහු අතින් වරදක් වෙන්න පුළුවන් කියලත් ‘පාපය ඔබව හසු කරගැනීමට දොරකඩ ළඟ මාන බලමින් සිටිනවා’ කියලත් දෙවි ඔහුට අනතුරු ඇඟෙව්වා. “ඔබ එයින් ජය ගන්නෙහිද” කියලත් “ඔබ යහමඟට හැරුණොත් මම ඔබව පිළිගන්නේ නැද්ද” කියලත් දෙවි ඔහුගෙන් ඇහුවේ කායින් ඒ අනතුරු ඇඟවීම්වලට සවන් දීලා ආයෙත් දෙවිගේ අනුමැතිය ලබාගන්නවා දකින්න දෙවි කැමති වුණ නිසයි. ඔහු එහෙම කළා නම් දෙවිත් එක්ක දිගටම හොඳ බැඳීමක් තියාගන්න ඔහුට පුළුවන්කම තිබුණා.
5. දෙවි අපිට අනතුරු අඟවන්නේ කොහොමද?
5 අපි ඇතුළතින්ම මොන වගේ අයද කියලා දකින්න දෙවිට පුළුවන්. අපේ හැඟීම්, ආශාවන් ගැන දෙවි දන්නවා. ඒවා ඔහුගෙන් හංගන්න අපිට බැහැ. දෙවි අපිට හුඟක් ආදරේ නිසා ඔහුට ඕනෙ කරන්නේ අපි හරි දේ කරනවා දකින්නයි. ඒත් එහෙම කරන්න කියලා අපිට බල කරන්නේ නැහැ. අපේ හිතේ නරක දෙයක් තියෙනවා දැක්කොත් ඔහු අපිට අනතුරු අඟවනවා. ඒ කොහොමද? නිතිපතා බයිබලය කියවද්දී, අපේ පොත් පත් කියවද්දී, රැස්වීම්වලට සහභාගි වෙද්දී දෙවි ඔබට අනතුරු අඟවනවා කියලා ඔබට දැනිලා නැද්ද? ඒ විදිහට ලැබුණ අනතුරු ඇඟවීමක් නිසා ඔබයි යෙහෝවා දෙවියි විතරක් දැනගෙන හිටපු ප්‍රශ්නයකින් ගොඩ එන්න ඔබට පුළුවන් වුණ අවස්ථාවක් මතකද? දෙවි අපිට අනතුරු ඇඟවීම් දෙන්නේ ඒවා අපිට ඕනම කරන වෙලාවටයි.
6, 7. (අ) දෙවි අපි එක් එක් කෙනා ගැන සැලකිලිමත් කියන දේට තියෙන සාක්ෂි මොනවද? (ආ) දෙවි පුද්ගලිකව ඔබ ගැන දක්වන සැලකිල්ලෙන් ප්‍රයෝජන ගන්න නම් ඔබ මොනවද කරන්න ඕනේ?
6 බයිබලයේ තියෙන හැම අනතුරු ඇඟවීමකින්ම ඔප්පු වෙන්නේ දෙවි අපි එක් එක් කෙනාට ආදරෙයි කියන එකයි. බයිබලයෙන්, අපේ පොත් පත්වලින්, රැස්වීම්වලින් මිලියන ගාණක්දෙනා අවුරුදු ගාණක් තිස්සේ ප්‍රයෝජන ලබලා තියෙනවා. ඒත් දෙවිට ඕනෙ පුද්ගලිකව ඔබ ඒවායින් ප්‍රයෝජන ලබනවටයි. ඔබ ඒ අනතුරු ඇඟවීම්වලට අවධානය දීලා හරි දේ කරනවටයි. දෙවි ඔබ ගැන පුද්ගලික සැලකිල්ලක් දක්වනවා කියලා ඒකෙන් තේරෙනවා නේද?
අනතුරුවලට හසු නොවී ඉන්න බයිබල් ප්‍රතිපත්ති මත පුහුණු කරපු හෘදය සාක්ෂිය අපිට උදව් වෙනවා (6 සහ 7 ඡේද බලන්න)
7 දෙවි දෙන අනතුරු ඇඟවීම්වලින් ප්‍රයෝජන ලබන්න නම් ඔහු ඒවා දෙන්නේ අපිට ආදරේ නිසා කියලා අපි තේරුම්ගන්න ඕනේ. ඊටපස්සේ ඒවා අපේ ජීවිතවලට අදාළ කරගන්න ඕනේ. දෙවි සතුටු වෙන්නේ නැති සිතුවිලි අපි තුළ තියෙනවා නම් ඒවා ඉක්මනින් අයින් කරගන්න ඕනේ. (යෙසායා 55:6, 7 කියවන්න.) එහෙම කරනවා නම් සිත් වේදනා මඟහරින්න අපිට පුළුවන් වෙනවා. ඒත් අපි ඒ අනතුරු ඇඟවීම්වලට සවන් දෙන්නේ නැතුව දෙවිට අකීකරු වුණොත්?
දෙවි පියාණන් අපිව නිවැරදි කරනවා
8, 9. කවුරු හරි අපිට බයිබලයෙන් උපදෙසක් දෙද්දී දෙවි අපි ගැන සැලකිලිමත් කියන දේට ඒක සාක්ෂියක් වෙන්නේ කොහොමද? උදාහරණයක් දෙන්න.
8 දෙවි අපි ගැන සැලකිලිමත් කියලා පෙන්නන තව විදිහක් තමයි අපි අතින් වරදක් වෙද්දී අපිව නිවැරදි කරන එක. (හෙබ්‍රෙව් 12:5, 6 කියවන්න.) ඇත්ත, උපදෙසක් ලැබුණම අපේ හිතට දුකක් දැනෙනවා. (හෙබ්‍රෙ. 12:11) ඒත් කවුරු හරි බයිබලයෙන් අපිට උපදෙසක් දෙද්දී එයා එහෙම කරන්නේ ඇයි කියලා තේරුම්ගන්න. එයා එහෙම කරන්නේ අපිට රිද්දන්න නෙමෙයි. දෙවි එක්ක අපිට තියෙන බැඳීම නැති වෙන විදිහේ දෙයක් අපි අතින් වෙනවා කියලා එයාට තේරෙන නිසයි. එයා කාලය, ශ්‍රමය වැය කරලා දෙවි එක්ක තියෙන බැඳීම ආයෙත් ශක්තිමත් කරගන්න උදව් වෙන උපදෙස් බයිබලයෙන් අපිට පෙන්නලා දෙද්දී අපි ඒවාට ගරු කරන්න ඕනේ. මොකද ඒ උපදෙස් එන්නේ යෙහෝවා දෙවිගෙන්.
9 එක සහෝදරයෙක් සත්‍යයට එන්න කලින් කාමුක දර්ශන බලන්න පුරුදු වෙලා හිටියා. බයිබලය පාඩම් කරන්න පටන්ගත්තට පස්සේ එයා ඒ පුරුද්දෙන් මිදුණත් අළු යට තිබුණ ගිනි වගේ ඒ ආශාව හිත යට තිබුණා. පස්සේ කාලෙක එයා මිල දී ගත්ත අලුත් ෆෝන් එක නිසා ආයෙත් ඉන්ටර්නෙට් එකෙන් කාමුක දර්ශන බලන්න පටන්ගත්තා. (යාකො. 1:14, 15) දවසක් ලිපින වගයක් හොයාගන්න එයා ඒ ෆෝන් එක වැඩිමහල්ලෙක්ට දුන්න වෙලාවකදී කාමුක දර්ශන ඇතුලත් වෙබ් අඩවියක් හදිස්සියේ දිස් වුණා. ඒ සම්බන්ධයෙන් වැඩිමහල්ලගෙන් ලැබුණ උපදෙස් පිළිගත්ත නිසා එයාට ඒ නරක පුරුද්දෙන් සම්පූර්ණයෙන්ම ගොඩ එන්න පුළුවන් වුණා. හැමෝටම හොරා අපි කරන වැරදි දකින්න යෙහෝවා දෙවිට පුළුවන්. ඒ වැරදි නිසා ඔහු එක්ක අපිට තියෙන කිට්ටු බැඳීම නැති වෙනවට ඔහු කැමති නැහැ. එහෙම වෙන්න කලින් ඔහු අපිව නිවැරදි කරනවා.
බයිබල් ප්රතිපත්තිවලින් මඟ පෙන්නනවා
10, 11. (අ) දෙවිගේ මඟ පෙන්වීම් “සිහි කරන්න” අපිට පුළුවන් කොහොමද? (ආ) දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගත්ත පවුලක් ලබපු අද්දැකීම කියන්න.
10 “ඔබ උපදෙස් දෙමින් මට මඟ පෙන්වන්නෙහිය” කියලා ගීතිකාකරු කිව්වා. (ගීතා. 73:24) යම් කාරණයක් ගැන අපිට මඟ පෙන්වීම් ඕනෙ කරන වෙලාවකදී බයිබලයේ ඒ ගැන තියෙන තොරතුරු හොයලා බලන එක වැදගත්. එතකොට අපි කරන්නේ යෙහෝවා ‘දෙවිව සිහි කරන’ එකයි. එහෙම කරද්දී දෙවි හිතන විදිහ තේරුම්ගන්නත් ඔහුගේ මඟ පෙන්වීම් පිළිපදින්නත් දෙවි එක්ක දිගටම කිට්ටු බැඳීමක් තියාගන්නත් අපිට පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගද්දී එදිනෙදා අවශ්‍යතා සපුරාගෙන සරලව ජීවත් වෙන්නත් අපිට පුළුවන්.—හිතෝ. 3:6.
11 පිලිපීනයේ යෙහෝවා දෙවිට නමස්කාර කරන පවුලක් හිටියා. ඒ අය ගොවිතැන් කළෙත් පදිංචි වෙලා හිටියෙත් කුලියට ගත්ත ඉඩමක. ඒ අම්මායි තාත්තායි වැඩ කරන අතරේම ස්ථාවර පුරෝගාමි සේවයත් කළා. දවසක් හදිස්සියේ ඉඩමේ අයිතිකරු ලිපියක් එවලා කිව්වා ඉක්මනටම ඒ ඉඩම ඔහුට භාර දෙන්න කියලා. එහෙම වෙලා තියෙන්නේ ඒ අය වංක විදිහට වැඩ කරනවා කියලා අයිතිකරුට කවුරු හරි බොරු කියලා තිබුණ නිසයි. ඉන්න හිටින්න තැනක් හොයාගන්නේ කොහොමද කියලා හිතේ කරදරෙන් හිටියත් ඒ සහෝදරයා මෙහෙම කිව්වා. “මොන දේ වුණත් යෙහෝවා දෙවි අපිව හැමදාම බලාගත්තා. මේ වෙලාවෙදීත් දෙවි අපිව බලාගනියි.” තමන් ගැන බොරු කියලා තිබුණත් ඒ පවුලේ අය කලබල වෙන්නේ නැතුව බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ගෞරවනීයව හැසිරුණා. ටික දවසකට පස්සේ ඉඩමේ අයිතිකරු ඇවිත් එයාලට කිව්වා ඉඩමෙන් යන්න එපා කියලා. ඒ පවුලේ අය හැසිරුණ විදිය ගැන ඔහුට කොච්චර පැහැදීමක් ඇති වුණාද කියනවා නම් දීලා තිබුණ ඉඩමට අමතරව වගා කරන්න තවත් ඉඩමක් දුන්නා. (1 පේතෘස් 2:12 කියවන්න.) අපි බයිබල් ප්‍රතිපත්තිවලට අනුව වැඩ කරනවා නම් අමාරු කාලවලදීත් දෙවි අපිව බලාගන්නවා කියන එක පැහැදිලියි නේද?
මිතුරෙක් වගේ උදව් කරනවා
12, 13. දෙවි අපි ගැන සැලකිලිමත් කියන කාරණය ගැන අවිශ්වාසයක් ඇති වෙන්න පුළුවන් මොන වගේ වෙලාවලදීද?
12 අපිට අසනීප, පීඩා, පවුලේ අයගේ විරුද්ධවාදිකම් වගේ හුඟක් ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා. සමහර ඒවා කාලයක් තිස්සේ විඳදරාගන්න වෙනවා. සභාවේ කෙනෙක් එක්ක අපිට බරපතළ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඒ හැම දේටම වඩා දරාගන්න අමාරුයි.
13 සහෝදරයෙක් ඔබේ හිත රිදෙන දෙයක් කිව්වා කියලා හිතන්න. ‘දෙවිගේ සංවිධානයේ මේ වගේ අයත් ඉන්නවද’ කියලා ඔබට හිතෙයි. ඒ සහෝදරයාට සභාවේ හුඟක් වගකීම් ලැබෙනවා. සභාවේ අයත් එයාට කැමතියි. ඒ වෙලාවට ‘මේ වෙන දෙවල් යෙහෝවා දෙවි දකින්නේ නැද්ද, දෙවි මේ ගැන මුකුත් කරන්නේ නැද්ද’ කියලා ඔබට හිතෙයි.—ගීතා. 13:1, 2; හබ. 1:2, 3.
14. අපිට තදින් උපදෙස් දෙන්න යෙහෝවා දෙවි සහෝදරයන්ට ඉඩහරින්නේ ඇයි?
14 යෙහෝවා දෙවි අපි දකින දේට වඩා දෙයක් දකිනවා කියලත් දෙවි සමහර දේවලට ඉඩ දෙන්නේ හොඳ හේතුවකට කියලත් අපි මතක තියාගමු. කවුරු හරි ඔබට උපදෙසක් දුන්නා කියලා හිතන්න. ඒත් ඔබට හිතෙයි ඔබ අතින් වරදක් වුණේ නැහැ කියලා. ඒ නිසා ඔබට ඒ ගැන දුකක් දැනෙයි. ඒත් දෙවි ඒ දිහා බලන්නේ වෙන විදිහකට වෙන්න පුළුවන්. ඒ උපදෙස ඇත්තටම ඔබට ප්‍රයෝජනවත් වෙන්න බැරිද? කාල් ක්ලයින් කියන සහෝදරයාට දවසක් සහෝදර රදෆර්ඩ් තදින් උපදෙස් දුන්නා. ඊට දවසකට විතර පස්සේ සහෝදර රදෆර්ඩ් ඇවිත් හරිම මිත්රශීලීව කාල් එක්ක කතා කළත් එයා රදෆර්ඩ්ව එච්චර ගණන්ගත්තේ නැහැ. තමන් දුන්න උපදෙස නිසා කාල්ගේ හිත රිදිලා කියලා රදෆර්ඩ්ට තේරුණා. එයා මෙහෙම කිව්වා. “පරෙස්සමින් කාල්, සාතන් ඔයාව අල්ලගන්න බලාගෙනයි ඉන්නේ.” ඒ උපදෙස කාල්ට හුඟක් ප්‍රයෝජනවත් වුණා. පස්සේ කාලෙක පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් විදිහට සේවය කරන අතරේ කාල් මෙහෙම කිව්වා. “අපිට උපදෙස් දෙන්න අයිතියක් තියෙන සහෝදරයෝ යම් උපදෙසක් දුන්නම අපි ඒ ගැන කේන්තියෙන් ඉන්නවා නම් ඒක හරියට අපිව අල්ලගන්න සාතන්ට ඉඩහැරලා බලාගෙන ඉන්නවා වගේ දෙයක්.”a
15. ප්‍රශ්නවලට මුහුණ දෙද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?
15 අපි කැමති අපිට තියෙන ප්‍රශ්න ඉක්මනටම ඉවර වෙනවටයි. ඒත් අපි ඉවසන්න ඉගෙනගන්න ඕනේ. ඔබ වාහනයක ගමනක් යද්දී වාහන තදබදයකට අහු වුණා කියලා හිතන්න. ඔබට පුළුවන් ඒ වාහන තදබදය අඩු වෙනකම් ටිකක් ඉවසීමෙන් බලාගෙන ඉන්න. එහෙම නැතුව හදිස්සි වෙලා වෙන පාරකට දාලා යන්න හැදුවොත් සමහරවිට ඔබ අතරමං වෙන්න පුළුවන්. යන්න ඕනෙ තැනට යන්න හිතුවට වඩා කාලයක් ගත වෙන්නත් පුළුවන්. ඉවසීමෙන් ටික වෙලාවක් බලාගෙන හිටියා නම් යන්න ඕන තැනට වෙලාවට යන්න තිබුණා. ප්‍රශ්නවලට මුහුණ දෙද්දීත් වෙන්නේ ඒ වගේම දෙයක්. ඉවසීමෙන් බයිබල් ප්‍රතිපත්තිවලට අනුව වැඩ කරනවා නම් දෙවි අපිට උදව් කරනවා.
16. දෙවි අපිට ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න ඉඩහරින එක හේතුවක් මොකක්ද?
16 යෙහෝවා දෙවි ප්‍රශ්න, ගැටලුවලට මුහුණ දෙන්න අපිට ඉඩහරින්නේ ඒකෙන් අපි පුහුණුවක් ලබන නිසයි. (1 පේතෘස් 5:6-10 කියවන්න.) ඒත් ඒවා ගේන්නේ යෙහෝවා දෙවි කියලා නම් හිතන්න එපා. (යාකො. 1:13) හුඟක් ප්‍රශ්නවලට හේතුව ‘විරුද්ධකාරයා වන යක්ෂයායි.’ අපේ දුක දෙවි දකිනවා කියලත් ඔහු අපිට ආදරෙයි කියලත් මතක තියාගන්න. අපි මුහුණ දෙන ගැටලුව හැමදාටම තියෙන්න දෙවි ඉඩ දෙන්නේ නැහැ. ඒක තියෙන්නේ “කෙටි කලක්” විතරයි. “ඔහු ඔබ ගැන සැලකිලිමත්” කියලත් අවසානය දක්වා ශක්තිමත්ව ඉන්න ඔබට උදව් කරනවා කියලත් නිසැක වෙන්න.—2 කොරි. 4:7-9.
හරි දේ කරද්දී අපිට ආශීර්වාද කරනවා
17. දෙවි හැමෝගෙම සිත් සෝදිසි කරන්නේ ඇයි?
17 තමන්ට ආදරේ කරන්නේ කවුද කියලා දැනගන්න දෙවි හැම කෙනෙක්ගේම සිත් සෝදිසි කරලා බලනවා. “යෙහෝවා දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි.” (2 ලේක. 16:9) දෙවි ‘තම බලය ලබා දෙමින් ඔබට උපකාර කරනවා’ කියන්නේ ඔබව ආරක්ෂා කරලා ඔබට ආශීර්වාද කරනවා කියන එකයි.
18. අපි හරි දේ කරනවා නම් දෙවි අපිට ආශීර්වාද කරනවා කියලා ස්ථීර වෙන්න පුළුවන් ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
18 දෙවිට ඕනෙ අපිට ‘කරුණාව පෙන්වන්නයි.’ ඒ කියන්නේ අපිට ආශීර්වාද කරන්නයි. දෙවිගේ ආශීර්වාද ලබන්න නම් අපි ‘යහපත් දේට ඇලුම් කරන්න’ අවශ්‍යයි. ඒ වගේම “යහපත් දේ කළ යුතුයි.” (ආමො. 5:14, 15; 1 පේතෘ. 3:11, 12) ධර්මිෂ්ඨ අය කරන යහපත් දේවල් කවුරු දැක්කේ නැතත් දෙවි දකිනවා. දෙවි ඒ අයට ආශීර්වාද කරනවා. (ගීතා. 34:15) ඒ දේ අපිට මේ සිද්ධියෙන් තේරුම්ගන්න පුළුවන්. පාරාවෝ රජ ෂිප්රා සහ පුවා කියන වින්නඹුවන් දෙන්නට කිව්වා ඉපදෙන හැම ඊශ්‍රායෙල් පිරිමි දරුවෙක්වම මරලා දාන්න කියලා. ඒත් ඒ දෙන්නා දෙවිට කීකරු වෙන්න තීරණයක් අරන් ඒ දරුවන්ව ආරක්ෂා කළා. කරපු ඒ යහපත් දේ නිසා දෙවි ඒ දෙන්නාට ‘දරු සම්පත් ලබමින් සන්තෝෂවත් පවුල් ජීවිත ගත කරන්න’ ආශීර්වාද කළා. (නික්. 1:15-17, 20, 21) ‘අපි කරන හොඳ කවුරුවත් දකින්නේ නැහැනේ’ කියලා සමහර වෙලාවට අපිට හිතෙයි. ඒත් අපි කරන හැම යහපත් දෙයක්ම දෙවි දකිනවා විතරක් නෙමෙයි ඔහු අපිට ආශීර්වාදත් කරනවා.—මතෙ. 6:4, 6; 1 තිමෝ. 5:25; හෙබ්‍රෙ. 6:10.
19. තමන් දරපු වෙහෙස දෙවි දැක්කා කියලා අපේ සහෝදරියක් අද්දැක්කේ කොහොමද?
19 ඔස්ට්‍රියාවේ හිටපු හංගේරියානු ජාතික සහෝදරියකට එයාගේ භාෂාව කතා කරන කෙනෙක්ගේ ලිපිනයක් ලැබුණා. ඒ සහෝදරිය ලිපිනය තියෙන තැනට කීප සැරයක්ම ගියත් ගෙදර කවුරුවත් හිටියේ නැහැ. ඔය විදිහට ඇය අවුරුදු එකහමාරක්ම ඒ ගෙදරට ගියත් ඒ ගෙදර කෙනාව හම්බ වුණේ නැහැ. ඒත් යන හැම වතාවකම එයා අපේ සඟරා, ලිපියක් වගේම එයාගේ දුරකථන අංකයත් තියලා එනවා. සමහර දවස්වල ගෙදර කවුරු හරි ඉන්නවා වගේ දැනුනත් කවුරුවත් එළියට ආවේ නැහැ. ආයෙත් දවසක් එයා ඒ ගෙදරට ගියාම කාන්තාවක් සිනාමුසු මුහුණින් දොර ඇරලා “එන්න ඇතුළට. ඔයා මට තියලා ගිය හැම සඟරාවක්ම මම කියෙව්වවා. ඔයාත් එක්ක කතා කරන්න මම බලාගෙන හිටියේ” කියලා කිව්වා. පහුගිය කාලය පුරාම කීමෝතෙරපි කියන ප්‍රතිකාරය ලබාගත්ත නිසා කාවවත් හම්බ වෙන්න එයා කැමති වෙලා නැහැ. ඒ නිසයි එයා එළියට ඇවිත් නැත්තේ. පස්සේ එයා බයිබල් පාඩමක් කරන්නත් කැමති වුණා. දෙවි තමන්ගේ වෙහෙස දැකලා ඒකට ආශීර්වාද කළා කියලා ඒ සහෝදරියට එදා හිතුණා.
20. යෙහෝවා දෙවි පුද්ගලිකව ඔබ ගැන සැලකිල්ලක් දක්වන එක ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?
20 යෙහෝවා දෙවි අපේ සිත් සෝදිසි කරනවා කියලත් අපි දෙවි වෙනුවෙන් කරන හැම දෙයක්ම දෙවි දකිනවා කියලත් අපි මේ ලිපියෙන් ඉගෙනගත්තා. දෙවි අපේ වැරදි දිහා බලාගෙන ඉඳලා ඒවාවල ලැයිස්තුවක් තියාගන්නවා කියලා කවදාවත් හිතන්න එපා. ඒ වෙනුවට දෙවි අපි ගැන සැලකිල්ලෙන් ඉඳලා අපිට උදව් කරන්න බලාගෙන ඉන්නවා කියන දේ නිතරම මතක තියාගමු. දෙවිට ඕනෙ අපි කරන යහපත් දේවලට ආශීර්වාද කරන්නයි. අපේ දෙවි පියාණන්ට තවත් කිට්ටු වෙන්න කොයි තරම් හේතු තියෙනවද!
a සහෝදර කාල් ක්ලයින්ගේ ජීවිත කතාව 1985 සැප්තැම්බර් 1 ‘මුරටැඹ’ කලාපයේ පළ වුණා.