බයිබලයෙන් පිළිතුරු සොයමු
විනිශ්චය දවසේදී සිදු වන්නේ කුමක්ද?
මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්රශ්නෝත්තර ක්රමයටයි. ප්රශ්නවලට පිළිතුරු සොයාගැනීමට උපකාරවත් වන බයිබල් පදද මෙහි සඳහන් කර තිබෙනවා. මෙම ලිපියේ සඳහන් තොරතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.
1. විනිශ්චය දවස කියන්නේ මොකද්ද?
විනිශ්චය දවසේදී මිනිසුන්ව දෙවි ළඟට ගේනවා කියලත් ඒ අය කරලා තියෙන හොඳ නරක අනුව දෙවි ඒගොල්ලන්ව විනිශ්චය කරනවා කියලත් හුඟක් අය හිතනවා. හොඳ කරපු අයට ස්වර්ගයේ ජීවත් වෙන්නත් දුෂ්ට මිනිසුන්ට අපායක දුක් විඳින්නත් වෙනවා කියලා ඒ අය හිතනවා. ඒත් එහෙම දෙයක් බයිබලයේ නැහැ. බයිබලයේ තියෙන්නේ විනිශ්චය දවසේදී දෙවි හැම දුෂ්ටකමක්ම අයින් කරනවා කියලයි. (ගීතාවලිය 96:13) ඒක කරන්න දෙවි පත් කරලා තියෙන්නේ යේසුස්ව.—යෙසායා 11:1-5; ක්රියා 17:31 කියවන්න.
2. විනිශ්චය දවසේදී හැම දුෂ්ටකමක්ම අයින් කරන්නේ කොහොමද?
පළවෙනි මිනිසා වුණ ආදම් පව් කරපු නිසා එයාගෙන් පැවතෙන හැමෝටම පාපය උරුම වුණා. ඒ නිසයි හැමෝටම දුක් විඳලා මිය යන්න සිද්ධ වෙලා තියෙන්නේ. (රෝම 5:12) හැබැයි මිය ගිය බිලියන ගාණකට නැවත ජීවිතය දෙන්න යේසුස් පොරොන්දු වෙලා තියෙනවා. යේසුස් ඒක කරන්නේ තමන්ගේ පාලන කාලය තුළදියි. විනිශ්චය දවස කියලා හඳුන්වන ඒ කාලය අවුරුදු 1,000ක් පුරා දිව යනවා.—එළිදරව් 20:4, 11, 12 කියවන්න.
ඒකට විනිශ්චය දවස කියලා කියන්නේ නැවත නැඟිටින අයට ඒ කාලයේදී යම් විනිශ්චයකට මුහුණ දෙන්න සිද්ධ වෙන නිසයි. ඒත් ඒ අයව විනිශ්චය කරන්නේ මැරෙන්න කලින් එයාලා කරපු හොඳ නරක අනුව නෙමෙයි. ඒ වෙනුවට එළිදරව් 20වෙනි පරිච්ඡේදයේ කියන විදිහට අලුත් ලියවිලිවල තියෙන දේවලට ඒ අය කීකරු වෙනවද නැද්ද කියන එක මතයි. (රෝම 6:7) ‘ධර්මිෂ්ඨ අයට වගේම අධර්මිෂ්ඨ අයටත්’ දෙවි ගැන ඉගෙනගන්න ඒ කාලෙදී අවස්ථාව ලැබෙනවා.—ක්රියා 24:15 කියවන්න.
3. විනිශ්චය දවසේදී සිද්ධ වෙන්නේ මොනවද?
යෙහෝවා දෙවි ගැන දන්නේ නැතුව මැරුණ අයටත් දෙවි නැවත ජීවිතය ලබා දෙනවා. ඒ නිසා දෙවි කැමති විදිහට ජීවත් වෙනවාද නැද්ද කියලා තීරණය කරන්න ඒ අයට අවස්ථාව ලැබෙනවා. ඒ අය දෙවිට කීකරු වුණොත් සදාකාල ජීවිතයකට උරුමකම් කියන්න පුළුවන්. ඒක හරියට “ජීවනය සඳහා නැවත නැඟිටීමක්” ලබනවා වගෙයි. දෙවිට අකීකරු වෙන අයට විනිශ්චයකට මුහුණ දෙන්න වෙනවා. ඒක “විනිශ්චයක් සඳහා නැවත නැඟිටීමක්” කියලා කියන්න පුළුවන්.—යොහන් 5:28, 29; යෙසායා 26:10; 65:20 කියවන්න.
දහස් අවුරුදු පාලනය අවසන් වෙද්දී හැමෝම පරිපූර්ණ වෙනවා. (1 කොරින්ති 15:24-28) ඊටපස්සේ අවසන් පරීක්ෂණයට යෙහෝවා දෙවි සාතන්ව ආයෙත් නිදහස් කරනවා. ඒ පරීක්ෂණයේදී සාතන්ගේ පැත්ත ගන්නේ නැති අයට සදාකාලයටම ජීවත් වෙන්න පුළුවන්.—යෙසායා 25:8; එළිදරව් 20:7-9 කියවන්න.
4. බයිබලයේ සඳහන් තවත් විනිශ්චය දවසක් ගැන ඔයා දන්නවද?
මේ සමාජයේ අවසානයේදී දුෂ්ට මිනිස්සුන්ට සිද්ධ වෙන විනාශය ගැන විස්තර කරන්නත් බයිබලයේ ‘විනිශ්චය දවස’ කියන යෙදුම යොදාගෙන තියෙනවා. නෝවාගේ කාලයේ ඇති වුණ ජලගැල්ම වගේ ඒ දවසත් එන්නේ කිසි කෙනෙක් හිතන්නේ නැති වෙලාවක. දුෂ්ට මිනිස්සු විනාශ වුණාට පස්සේ ධර්මිෂ්ඨ මිනිසුන්ට සතුටින් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.—2 පේතෘස් 3:6, 7, 13 කියවන්න.