පැනයට පිළිතුර බයිබලයෙන්
විනිශ්චය දවස කියන්නේ මොකක්ද?
විනිශ්චය දවස ප්‍රීතිමත් දවසක් වෙන්නේ ඇයි?
යෙහෝවා දෙවියන් අතීතයේදී ඔහුගේ සෙනඟට යුක්තිය ඉටු කරන්න විනිශ්චයකරුවන්ව යොදාගත්තා. (විනිශ්චයකරුවෝ 2:18) බයිබලයේ විනිශ්චය දවසක් ගැන කියනවා. ඒක යෙහෝවා දෙවියන් මේ පොළොවේ ඉන්න අයව විනිශ්චය කරන දවසයි. ඒක ප්‍රීතිමත් දවසක්. එදාට කාටවත් කිසිම අයුක්තියක් වෙන්නේ නැහැ.—ගීතාවලිය 96:12, 13; යෙසායා 26:9 කියවන්න.
ජීවත් වෙලා ඉන්න අයටත් මිය ගිය අයටත් යුක්තිය ඉටු කරන්න දෙවියන් පත් කරලා තියෙන්නේ යේසුස්වයි. (ක්‍රියා 10:42; 17:31) හුඟදෙනෙක් දෙවියන් ගැන නොදැන මිය ගිහින් තියෙනවා. විනිශ්චය දවසේදී යේසුස් ඔවුන්ව ආපහු ජීවත් කරවනවා. එතකොට ඔවුන්ට සැබෑ දෙවියන් ගැන ඉගෙනගන්නත් ඔහුට ප්‍රේම කරන්නත් අවස්ථාව ලැබෙනවා.—ක්‍රියා 24:15 කියවන්න.
විනිශ්චය දවස අවුරුදු දාහක් පුරා දිව යන්නේ ඇයි?
මිය ගිහින් ඉන්න අයව අවුරුදු දාහ ඇතුළතදී නැවත නැඟිටුවනවා. (එළිදරව් 20:4, 12) දෙවියන්ගේ ක්‍රියා ගැනත් ඔහුට කීකරු වෙන්නත් ඉගෙනගන්න ඔවුන්ට කාලය අවශ්‍යයි. මිය ගිය අයව විනිශ්චය කරන්නේ ඔවුන්ව නැවත නැඟිට්ටෙව්වාට පස්සේ ඔවුන් කරන ක්‍රියා අනුව කියලා බයිබලයේ සඳහන් වෙනවා.—රෝම 6:7 කියවන්න.
අවුරුදු දාහ පටන්ගන්න කලින්, හදිසියේම එන විනිශ්චය දවසක් ගැනත් බයිබලයේ කියනවා. මේ සඟරාවේ මුල් ලිපිවල පැහැදිලි කළා වගේ ඒ දවසට අවසානය කියලත් කියනවා. ඒ දවසේදී දෙවියන්ට කිසි ගෞරවයක් නොදක්වන සියලුම දුෂ්ට අයව දෙවියන් විනාශ කරනවා. (2 පේතෘස් 3:7) ඒ නිසා අපි දෙවියන්ට ප්‍රේම කරන අය කියලා ඔප්පු කරන්න අවශ්‍යයි.—2 පේතෘස් 3:9, 13 කියවන්න.