යේසුස් ගැන දැනගත යුතු සියල්ල බයිබලයට ඇතුළත්ද?
ඇත්තටම යේසුස් මිය ගියාද? ඔහු මරියා මග්දලේනා සමඟ විවාහ වුණාද? ඔවුන්ට දාව දරුවන් සිටියාද? යේසුස් සියල්ල අත්හැර තාපසයෙකු මෙන් ජීවත් වුණාද? යේසුස් ඉගැන්වූ දේවල් බයිබලයේ නිවැරදිව වාර්තා වී තිබෙනවාද?
යේසුස්ගේ ජීවිතය අලළා ගෙතුණු මනඃකල්පිත චිත්‍රපටි සහ පොත් පත් බොහොමයක් තිබෙනවා. ඉහත සඳහන් ප්‍රශ්න ගැන මිනිසුන් සිතන්නේ ඒ නිසයි. ඊට අමතරව දෙවන සහ තුන්වන සියවසට අයත් ව්‍යාජ තොරතුරු ඇතුළත් ලියවිලි ආශ්රයෙන්ද යේසුස් සම්බන්ධයෙන් ඕනෑ තරම් ලිපි පළ වී තිබෙනවා. එමනිසා බොහෝදෙනා පවසන්නේ යේසුස් සම්බන්ධයෙන් බයිබලයෙන් ඉවත් කරන ලද තොරතුරු එම ලියවිලිවල සඳහන් වෙනවා කියායි. නමුත් ඔවුන් පවසන දේ සත්‍යයක්ද? යේසුස් ගැන අපි දැනගත යුතු සෑම තොරතුරක්ම බයිබලයේ සඳහන් වෙනවා කියා අපට සහතික විය හැකිද?
ඒ සම්බන්ධයෙන් දැනගැනීමට නම් පහත සඳහන් ප්‍රශ්නවලට අපි පිළිතුරු සොයා බැලිය යුතුයි. (1) යේසුස්ගේ ජීවිත කතාව බයිබලයට ඇතුළත් කළ ලේඛකයන් ගැන පැවසිය හැක්කේ කුමක්ද? ඔවුන් ඒවා ලිව්වේ කවදාද? (2) අලුත් ගිවිසුමට ඇතුළත් විය යුතු පොත් මොනවාද කියා තීරණය කළේ කවුද? ඒ කෙසේද? (3) බයිබලයට ඇතුළත් වී නැති ව්‍යාජ ලියවිලි ගැන පැවසිය හැක්කේ කුමක්ද? ඒවා බයිබලයේ තිබෙන අනික් පොත්වලට වඩා කොතරම් වෙනස්ද?
අලුත් ගිවිසුම ලිව්වේ කවුද, ඒ කවදාද?
ඇතැමුන් පවසන්නේ මතෙව් පොත ක්‍රිස්තු වර්ෂ 41දී පමණ එනම් යේසුස් මිය ගොස් වසර අටකට පමණ පසුව ලියැවුණා කියායි. නමුත් මතෙව් පොත ඊටපසු කාලයක ලියැවුණා කියා විශ්වාස කරන විශාරදයන් පිරිසක්ද සිටිනවා. ඒ කෙසේවෙතත් පොදු පිළිගැනීම වන්නේ මතෙව් පොත ඇතුළු අලුත් ගිවිසුමට අයත් සියලුම පොත් පළමුවන සියවසේදීම ලියා අවසන් වූ බවයි.
මතෙව්, මාක්, ලූක් සහ යොහන් යන පොත් ලියැවුණේ යේසුස්ව සියැසින් දුටු මිනිසුන් ජීවතුන් අතර සිටි කාලයේදීයි. එමනිසා ඒ පොත්වල සඳහන් තොරතුරු කොතරම්දුරට නිවැරදිද කියා සොයා බැලීමට ඔවුන්ට අවස්ථාව තිබුණා. ඒ සම්බන්ධයෙන් මහාචාර්යය එෆ්. එෆ්. බෲස් පැවසූ මේ දෙය සලකා බලන්න. “මුල් සියවසේ සිටි අයට යේසුස් ගැන මනා අවබෝධයක් තිබුණු බව එවකට සිටි ක්‍රිස්තියානීන් හොඳින්ම දැන සිටියා. ඒ නිසා ඒ ක්‍රිස්තියානීන් ඔවුන්ට යේසුස්ව හඳුන්වා දුන්නේ ‘ඔබ සියලුදෙනා හොඳින් දන්නා’ කෙනෙක් හැටියටයි (ක්‍රියා 2:22).”
අලුත් ගිවිසුමට අයත් පොත් ලියනු ලැබුවේ කවුද? යේසුස්ගේ ගෝලයන්ගෙන් කිහිපදෙනෙක් මෙන්ම යූද්, යාකොබ්, මාක් සහ පාවුල් වැනි අයත් ඊට හවුල් වුණා. ඒ සියලුදෙනාම යෙරුසලමේ සිටි වැඩිමහල්ලන්ගෙන් සහ යේසුස්ගේ නියෝජිතයන්ගෙන් සමන්විත වූ මුල් පාලක මණ්ඩලය සමඟ සහයෝගයෙන් වැඩ කළා.—ක්‍රියා 15:2, 6, 12-14, 22; ගලාති 2:7-10.
තමන් ආරම්භ කළ ශුභාරංචිය දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යය ඉදිරියටම කරගෙන යන්න කියා යේසුස් තම අනුගාමිකයන්ට අණ කළා. (මතෙව් 28:19, 20) “ඔබට සවන් දෙන කෙනෙක් මටත් සවන් දෙයි” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (ලූක් 10:16) එමෙන්ම දෙවිගේ බලයේ උපකාරය ලැබුණු විට ඔවුන්ට එම කාර්යය සාර්ථකව කිරීමට හැකි වන බවත් යේසුස් පැවසුවා. දෙවිගේ බලය අලුත් ගිවිසුමට අයත් පොත් ලියූ ලේඛකයන් තුළ ක්‍රියාත්මක වූ ආකාරය එදා සිටි ක්‍රිස්තියානීන් පැහැදිලිව දුටුවා. ඒ නිසා එම පොත් දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු බව ඔවුන් පිළිගත්තා.
ඇතැම් බයිබල් ලේඛකයන් අනික් බයිබල් ලේඛකයන් ගැන සඳහන් කරමින් ඒ අය දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් ඔවුන්ගේ පොත් ලියා තිබෙන බව වාර්තා කළා. උදාහරණයකට පාවුල් ලියූ ලිපි “ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වෙනත් තොරතුරුවලට” එකඟයි කියා පේතෘස් සඳහන් කළා. (2 පේතෘස් 3:15, 16) එමෙන්ම අලුත් ගිවිසුමට අයත් පොත් ලියූ ලේඛකයන් දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් ඒ පොත් ලියූ බව පාවුල්ද සඳහන් කළා.—එෆීස 3:5.
අපි මෙතෙක් සලකා බැලූ තොරතුරුවලින් පැහැදිලි වන්නේ මතෙව්, මාක්, ලූක් සහ යොහන් යන පොත්වල ඇති තොරතුරු ගෙතූ කතන්දර නොව සත්‍යය තොරතුරු බවයි. එමෙන්ම මෙම පොත් ලියා තිබෙන්නේ යේසුස් කළ කී දේවල් ඇසින් දුටු අයයි. ඔවුන් ඒ තොරතුරු හොඳින් සොයා බලා දෙවිගේ බලයේ උපකාරය ඇතුව ඒවා වාර්තා කර තිබෙනවා.
අලුත් ගිවිසුමට ඇතුළත් පොත් තීරණය කළේ කවුද?
අලුත් ගිවිසුමට ඇතුළත් විය යුතු පොත් මොනවාද කියා තීරණය කළේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාගේ බලයට යටත් වූ පල්ලිය කියා සමහර ලේඛකයන් පවසනවා. එසේ කර තිබෙන්නේ පළමු සියවසෙන් බොහෝ කාලයකට පසුව බවත් ඔවුන් පවසනවා. නමුත් එය සැබෑවක්ද? නැහැ.
ක්‍රිස්තියානි සභා ඉතිහාසය ගැන හදාරන මහාචාර්ය ඔස්කා ස්කාසවුන මෙවැනි දෙයක් පැවසුවා. “අලුත් ගිවිසුමට ඇතුළත් විය යුතු සහ නොවිය යුතු පොත් මොනවාද කියා තීරණය කළේ යම් පල්ලියකින්වත් යම් පුද්ගලයෙකුවත් නොවෙයි. අලුත් ගිවිසුමට අයිති ඒවා ලෙස පිළිගැනුණේ පළමු සියවසේදී යේසුස්ගේ ගෝලයන් සහ මුල් අනුගාමිකයන් අතින් ලියැවුණු පොත් පමණයි. නමුත් පසු කාලයකදී ලියැවුණු යේසුස්ගේ ජීවිතය හා සම්බන්ධ වෙනත් ලියවිලි සහ යේසුස්ගේ අනුගාමිකයන් ලියනු ලැබුවායැයි සැලකෙන ලියවිලි විශ්වසනීය ඒවා ලෙස පිළිගැනුණේ නැහැ. අලුත් ගිවිසුමට ඇතුළත් විය යුතු පොත් මොනවාද කියා තීරණය කර තිබෙන්නේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාගේ කාලයටත් බොහෝ ඉහතදීයි. එය තීරණය කළේ යේසුස් වෙනුවෙන් දිවි පිදූ ක්‍රිස්තියානීන් මිස පල්ලිය නොවෙයි.”
අලුත් ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කරන මහාචාර්ය කෙන් බර්ඩින් මෙසේ පැවසුවා. “තමන්ට කැමති විදිහට අලුත් ගිවිසුමට අයත් විය යුතු පොත් මොනවාද කියා තීරණය කළේ පල්ලිය නොවෙයි. ඒ වෙනුවට පල්ලියට සිදු වුණේ බොහෝ කාලයක් පුරා ක්‍රිස්තියානීන් දෙවිගේ බලයෙන් ලියැවුණා කියා පිළිගත් අලුත් ගිවිසුම එලෙසින්ම පිළිගැනීම පමණයි.”
නමුත් පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන් අලුත් ගිවිසුමට අයත් විය යුතු පොත් මොනවාද කියා තීරණය කළේ තමන් කැමති විදිහටද? නැහැ. එය තීරණය කිරීමට ඔවුන්ගේ කැමැත්තට වඩා බලවත් දෙයක් සම්බන්ධ වූ බව බයිබලයේ පෙන්නුම් කරනවා.
මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන්ට දෙවිගේ බලය මාර්ගයෙන් විවිධාකාර දීමනා ලැබුණා. එම දීමනා අතර ‘දෙවිගේ මඟ පෙන්වීමෙන් ප්‍රකාශ වී ඇති දේවල් වටහාගැනීමද’ ඇතුළත් වුණා. (1 කොරින්ති 12:4, 10) ඉන් අදහස් වෙන්නේ එදා සිටි සමහර ක්‍රිස්තියානීන්ට දෙවිගේ බලයෙන් ප්‍රකාශ වී ඇති දේවල් සහ දෙවිගේ බලයෙන් ප්‍රකාශ වී නැති දේවල් මොනවාද කියා තෝරා බේරා ගැනීමට හැකියාව තිබූ බවයි. ඒ අනුව ඔවුන් අලුත් ගිවිසුමට ඇතුළත් කර තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු පොත් පමණයි කියා අපට නිසැක විය හැකියි.
දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් පළමු සියවසේදීම අලුත් ගිවිසුමට අයත් විය යුතු පොත් මොනවාද කියා තීරණය වූ බව පෙනෙන්න තිබෙනවා. දෙවන සියවසේ අගභාගයෙන් පසුව සමහර ලේඛකයන් අලුත් ගිවිසුමට ඇතුළත් පොත් ගැන අදහස් ඉදිරිපත් කළා. නමුත් ඔවුන් කිසිම අවස්ථාවක අලුත් ගිවිසුමට අයත් විය යුතු පොත් මොනවාද කියා තීරණය කළේ නැහැ. ඒ වෙනුවට යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම ඇතුව මුල් ක්‍රිස්තියානීන් අලුත් ගිවිසුමට ඇතුළත් කළ පොත් ඔවුන් එලෙසින්ම පිළිගත්තා.
අද අපි භාවිත කරන අලුත් ගිවිසුම විශ්වසනීයයි කියා ඔප්පු කිරීමට පැරණි අත්පිටපත් උපකාරවත් වෙනවා. උදාහරණයකට ග්‍රීක භාෂාවෙන් ලියැවුණු පැරණි අත්පිටපත් 5,000කට වඩා සොයාගෙන තිබෙනවා. ඉන් සමහරක් දෙවන සහ තුන්වන සියවසට අයත් ඒවායි. මුල් සියවස්වලදී විශ්වසනීය පිටපත් ලෙස ගණන්ගැනුණේ ඒවායි. එමනිසා ඒවායෙහි අත්පිටපත් බොහොමයක් නිපදවනු ලැබූ අතර ඒවා බහුලව ව්‍යාප්ත වී තිබුණා. නමුත් ව්‍යාජ ලියවිලි එලෙස පිටපත් කෙරුණේවත් බහුලව ව්‍යාප්ත වී තිබුණේවත් නැහැ.
අලුත් ගිවිසුමේ විශ්වසනීයභාවයට ප්‍රබලම සාක්ෂිය වන්නේ එහි ඇති ඉගැන්වීම් සමස්ත බයිබලයේම ඇති ඉගැන්වීම් ‘රටාවට’ එකඟ වීමයි. (2 තිමෝති 1:13) එමෙන්ම ඒ සෑම පොතකින්ම අපට දිරිගන්වන්නේ දෙවිට ප්‍රේම කිරීමට, ඔහුට නමස්කාර කිරීමට සහ සේවය කිරීමටයි. අනික් අතට බොරු විශ්වාසයන්, භූතයන් හා සම්බන්ධ ක්‍රියා මෙන්ම බොරු නමස්කාරයෙන් වැළකී සිටින ලෙසටත් එම පොත්වල උපදෙස් දී තිබෙනවා. ඊට අමතරව ඒවායෙහි සඳහන් ඓතිහාසික තොරතුරු මෙන්ම අනාවැකිද ඉතා නිවැරදියි. එපමණක්ද නොව ඒ සෑම පොතකම අපට දිරිගන්වා තිබෙන්නේ සෙසු මිනිසුන්ට ප්‍රේම කරන්න කියායි. අලුත් ගිවිසුමට අයත් පොත්වල එවැනි සුවිශේෂී ලක්ෂණ රාශියක් තිබෙනවා. නමුත් ව්‍යාජ ලියවිලි ගැන පැවසිය හැක්කේ කුමක්ද?
ව්‍යාජ ලියවිලි සහ බයිබලය
ව්‍යාජ ලියවිලි සහ අලුත් ගිවිසුමට අයත් පොත් අතර වෙනස්කම් තිබෙනවා. උදාහරණයකට ව්‍යාජ ලියවිලි ලියා තිබෙන්නේ දෙවන සියවසේ මැද භාගයේදීයි. නමුත් අලුත් ගිවිසුමට අයත් පොත් ලියැවුණේ ඊටත් පෙරයි. එමෙන්ම ව්‍යාජ ලියවිලිවල යේසුස් ගැන සහ ක්‍රිස්තියානි ඉගැන්වීම් ගැන සඳහන් වන තොරතුරු බයිබලයට එකඟ නැහැ.
තෝමස්ගේ සුවිශේෂයේ සඳහන් තොරතුරු ගැන සලකා බලමු. එහි යේසුස් ගැන වෙනස්ම ආකාරයේ තොරතුරු සඳහන් වී තිබෙනවා. උදාහරණයකට මරියාව ස්වර්ගයට ගැනීම සඳහා ඇයව පුරුෂයෙකු බවට පත් කරනවා කියා යේසුස් පැවසූ බවත් අකීකරු දරුවෙකු වූ යේසුස් තවත් දරුවෙකුගේ මරණයට වග කිව යුතු බවත් එහි සඳහන් වෙනවා. ඊට අමතරව පාවුල් සහ පේතෘස් ගැන තොරතුරු සඳහන් වන එවැනිම තවත් ව්‍යාජ ලියවිල්ලක විවාහ යුවළක් ලිංගික සම්බන්ධකම් පැවැත්වීම වැරදි බව සඳහන් වෙනවා. එමනිසා භාර්යාවන් තම ස්වාමිපුරුෂයන්ගෙන් වෙන් වී සිටිය යුතුයි කියා වගකීම් දැරූ ක්‍රිස්තියානීන් උපදෙස් දෙන ආකාරයත් ඒවායෙහි සඳහන් වෙනවා. ඊට අමතරව යූදස්ගේ සුවිශේෂයේ, යේසුස්ගේ ගෝලයන් ආහාර වෙනුවෙන් දෙවිට යාච්ඤා කරන විට යේසුස් ඒ ගැන සිනාසුනා කියාත් සඳහන් වෙනවා. මේ සියල්ල අලුත් ගිවිසුමට අයත් අනික් පොත්වල තිබෙන තොරතුරුවලට කොහෙත්ම ගැළපෙන්නේ නැහැ.—මාක් 14:22; 1 කොරින්ති 7:3-5; ගලාති 3:28; හෙබ්‍රෙව් 7:26.
මෙම ව්‍යාජ ලියවිලිවල අන්තවාදී ආගමික ඉගැන්වීම් පවා ඇතුළත් වී තිබෙනවා. එවැනි අන්තවාදී ආගමික කණ්ඩායම් නැවත නැඟිටීම විශ්වාස කළේ නැහැ. එමෙන්ම විවාහය සහ දරුවන් බිහි කිරීමේ හැකියාව යක්ෂයාගෙන් ඇති වූ දෙයක් කියාත් ඔවුන් විශ්වාස කළා.
ඇතැම් ව්‍යාජ ලියවිලි බයිබලයේ සඳහන් වන සමහර පුද්ගලයන් විසින් ලියන ලද ඒවා බව පැවසුවත් එය සත්‍යයක් නොවෙයි. මේ ලියවිලි බයිබලයට ඇතුළත් වී නැත්තේ යම් කුමන්ත්රණකාරී පිරිසක් විසින් ඒවා බයිබලයෙන් ඉවත් කළ නිසාද? නැහැ. එම ව්‍යාජ ලියවිලි ගැන හදාරන පර්යේෂකයෙක් වන එම්.ආර්. ජේම්ස් මෙසේ පැවසුවා. “මේ පොත් බයිබලයට ඇතුළත් නොවීම ගැන අපි පුදුම වෙන්න අවශ්‍ය නැහැ. ඒවා බයිබලයට ඇතුළත් නොකළේ බයිබලයේ අනිකුත් පොත්වල තිබෙන තොරතුරුවලට ඒවා එකඟ නැති නිසයි.”
අනතුරු ඇඟවීමක්
සැබෑ ක්‍රිස්තියානීන්ව මුළා කරවන රවටන්නන් ගැන අලුත් ගිවිසුමේ අනතුරු ඇඟවීම් බොහොමයක් සඳහන් වෙනවා. පළමු සියවසේදීම මොවුන් ක්‍රිස්තියානීන්ව මුළා කිරීමට තැත් කරමින් සිටියා. නමුත් විශ්වාසවන්ත යේසුස්ගේ අනුගාමිකයන් නිසා ඔවුන්ට සාර්ථක වීමට හැකි වුණේ නැහැ. (ක්‍රියා 20:30; 2 තෙසලෝනික 2:3, 6, 7; 1 තිමෝති 4:1-3; 2 පේතෘස් 2:1; 1 යොහන් 2:18, 19; 4:1-3) කෙසේවෙතත් මුල් අනුගාමිකයන් මිය ගියාට පසුව ඔවුන් ක්‍රිස්තියානීන්ව රවටමින් යේසුස්ගේ ඉගැන්වීම්වලට පටහැනි ඉගැන්වීම් පතුරුවන්න පටන්ගත්තා.
එම ව්‍යාජ ලියවිලි ඉතා පැරණි නිසා සමහර විශාරදයන් සහ ඉතිහාසඥයන් ඒවා වටිනා ලියවිලි ලෙස සලකනවා. නමුත් මෙසේ සිතන්න. බොරු තොරතුරු ඇතුළත් කිසි වටිනාකමක් නැති ලිපි ලේඛන හෝ ආගමික අන්තවාදී තොරතුරු ඇතුළත් ලිපි එකතු කර වසර 1,700ක් පමණ සඟවා තබා ඒවා නැවත එළි දැක්වූවොත් තත්වය කුමක්ද? ඒ ලේඛන ඉතා පැරණි නිසාම ඒවා විශ්වාසවන්තයි කියා සැලකිය හැකිද? එමෙන්ම එම තොරතුරු වැදගත් කියා පැවසිය හැකිද? බැහැ. ඒවා ඉතා පැරණි නිසාම ඒවා විශ්වාසවන්ත වන්නේවත් ඊට කිසි වැදගත්කමක් හිමි වන්නේවත් නැහැ.
යේසුස් ගැන අසත්‍යය තොරතුරු ඇතුළත් ව්‍යාජ ලියවිලි ගැන පැවසිය හැක්කේත් එයමයි. ඇත්තටම සත්‍යය තොරතුරු ඇතුළත් බයිබලය අප සතුව තිබෙන නිසා ඒ ව්‍යාජ ලියවිලි සොයා බැලීම වැදගත් කියා ඔබ සිතනවාද? යේසුස් පිළිබඳව අප දැනගත යුතු සියල්ල යෙහෝවා දෙවි බයිබලයට ඇතුළත් කර තිබෙනවා. එමනිසා බයිබලය විශ්වාසවන්ත පොතක් කියා පැවසිය හැකියි.