ජීවිත කතාව
නිධාන සොයා ගිය ගමනක්
ඩොර්තියා ස්මිත් සහ ඩෝරා වෝඩ්
අපි සොයමින් ගියේ මොන වගේ නිධානයක්ද? “ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න” කියලා, යේසුස් දුන්න අණ ඉෂ්ට කරන්න තරුණියන් දෙන්නෙක් හැටියට අපිට ලොකු ආශාවක් තිබුණා. (මතෙව් 28:19) අපේ ඒ වෑයමට මොන තරම් වටිනා වස්තුවක් ලැබුණාද කියලා අපි කියන්නම්.
ඩොර්තියා: මම ඉපදුණේ 1915, පළමුවෙනි ලෝක මහා යුද්ධය පටන් අරගෙන ටික කාලයක් ගියාට පස්සෙයි. ළමයි තුන්දෙනෙක් හිටපු පවුලේ බාලයා මමයි. අපි ජීවත් වුණේ අමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් කියන ප්‍රාන්තයේ හෝවල් කියන නගරයේයි. මගේ තාත්තා එච්චර ආගම දහමට ලැදි කෙනෙක් නෙවෙයි. ඒත් මගේ අම්මා හරිම භක්තිවන්ත කෙනෙක්. අම්මා නිතරම කිව්වේ දස පනත පිළිපදින්න කියලයි. ඒත් මගේ අයියා විලිස්, අක්කා වයෝලාත් මමත් කිසිම පල්ලියකට සම්බන්ධ වෙලා හිටිය නැති එක ගැන අම්මා හිටියේ හුඟක් කනගාටුවෙනුයි.
කොහොමවුණත් මට අවුරුදු 12දී අම්මා මාව බව්තීස්ම කරන්න රෙපරමාදු පල්ලියට ගෙනිච්චා. ඒ දවස මට අද වගේ මතකයි. එදා තවත් අම්මලා දෙන්නෙක් ඒගොල්ලන්ගේ අත දරුවන් දෙන්නවත් බව්තීස්ම කරන්න ගෙනල්ලා තිබුණා. ඒ පොඩි ළමයි දෙන්නත් එක්ක මාව බව්තීස්ම කරන එක ගැන හිතද්දී මට දැනුණේ මහා ලජ්ජාවක්. ඒ පූජකයා මගේ ඔළුවට වතුර ටිකක් ඉහලා මොනවදෝ මිමිණුවා. හැබැයි මට නම් ඒ කිසිම දෙයක් තේරුණේ නැහැ. බව්තීස්මය ගැන මම දැනගෙන හිටියේ ඒ පොඩි අය දැනගෙන හිටිය තරම විතරයි!
මට මතකයි, 1932 එක දවසක අපේ ගේ ඉස්සරහා කාර් එකක් නැවැත්තුවා. අම්මා තමයි ගිහිල්ලා ඒ අයත් එක්ක කතා කළේ. එක්කෙනෙක් කිව්වා එයාගේ නම ඇල්බට් ෂ්රෝඩර් කියලා. ඒ තරුණයෝ දෙන්නා අපේ අම්මාට, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පොත් පත් වගයක් දුන්නා. අම්මාට සත්‍යය තේරුම් ගන්න ගොඩක් උදව් වුණේ ඒ ගත්ත පොත් ටිකයි.
නිධානය සෙවීමේ මුල් වෑයම
ටික කාලෙකට පස්සේ මම ඩිට්‍රෝයිට්වල ඉන්න මගේ අක්කා ළඟට ගියා. මගේ අක්කාට බයිබලය ගැන උගන්වන්න වයසක කාන්තාවක් එහෙට ආවා. එයා උගන්වපු දේවල් මම රේඩියෝ එකෙනුත් අහලා තිබුණා. විනාඩි 15කට විතර සීමා වෙච්ච ඒ කතා දුන්නේ, ඒ කාලේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර මූලිකත්වය අරගෙන කටයුතු කරපු ජේ.එෆ්.රදෆර්ඩ් විසිනුයි. ටික කාලයකට පස්සේ, ඒ කියන්නේ 1937දී, අපි ඩිට්‍රෝයිට්වල හිටපු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ ආශ්‍රය කරන්න පටන්ගත්තා. ඊළඟ අවුරුද්දේ මම බව්තීස්ම වුණා.
එක්දහස් නවසිය හතලිස් ගණන්වල මුල්භාගයේදී නිව් යෝක් නගරයේ දකුණු ලැන්සිංවල, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්, ගිලියද් කියලා පාසැලක් ආරම්භ කරන බව නිවේදනය කළා. ඒකෙ අරමුණ වුණේ විදේශ රටවල සේවය කරන්න සහෝදර සහෝදරියන්ව පුහුණු කිරීමයි කියලා මම දැනගත්තාම, ඒ පාසැලට යන්න මට ලොකු ආශාවක් ඇති වුණා. ඒ ඉලක්කය අත් කරගන්න මම උත්සාහ කළා. වෙනත් රටකට ගිහිල්ලා “නිධාන” සොයන්න, ඒ කියන්නේ යේසුස්ගේ ගෝලයන් වීමට කැමති අයව සොයාගැනීම මොන තරම් වරප්‍රසාදයක්ද!—හග්ගයි 2:6, 7.
මගේ අරමුණ කරා
වර්ෂ 1942දී මම රස්සාවෙන් අස් වෙලා ෆින්ඩ්ලේ ඔහයෝවල පූර්ණ කාලීන පුරෝගාමියෙක් හැටියට සේවය කරන්න පටන්ගත්තා. ඒ දවස්වල එහෙ හිටියේ සාක්ෂිකරුවන් පස්දෙනෙක් විතරක් නිසා එහෙ රැස්වීම් පැවැත්තුවෙත් නැහැ. ඒත් අපි දිරිගැන්වීමක් ලැබුවේ එකට එකතු වෙලා සංවිධානයේ ප්‍රකාශන කියවලයි. මම පුරෝගාමී සේවය පටන්ගත්ත මුල්ම මාසයේ පොත් 95ක් බෙදා දෙන්න මට පුළුවන් වුණා! ඊට අවුරුදු එකහමාරකට පස්සේ පෙන්සිල්වේනියාවේ චේම්බර්ස්බර්ග්වල විශේෂ පුරෝගාමී සේවය සඳහා මට පැවරුමක් ලැබුණා. එහිදී තවත් පුරෝගාමීන් පස්දෙනෙක් ඉන්න කණ්ඩායමකට එකතුවෙලා මම සේවය කළා. අයෝවාවල ඉඳලා ඇවිල්ලා හිටිය, පස්සේ මගේ විශ්වාසවන්ත මිතුරිය වුණු ඩෝරා වෝඩ්ද ඒ අතර වුණා. පසු කාලෙක මගේ පුරෝගාමී සහයක වුණෙත් ඇයයි. අපි බව්තීස්ම වෙලා තිබුණෙත් එකම අවුරුද්දෙයි. අපි දෙන්නාටම තිබුණේ එකම ආශාවයි. ඒ ගිලියද් පාසැලට සහභාගි වෙලා වෙනත් රටක සේවය කරන්නයි.
අපි පුල පුලා බලා සිටිය ඒ දවස 1944දී උදා වුණා! අපි දෙන්නාටම හතරවෙනි ගිලියද් පාසැලට සහභාගි වෙන්න ආරාධනයක් ලැබුණා. ඒ අවුරුද්දේම අගෝස්තු මාසයේ අපි ඒකට ඇතුල් වුණා. මෙතැන ඉඳලා ඩෝරා ඔබට කියයි මාත් එක්ක වටිනා නිධාන සොයන්න ඇය හවුල් වුණේ කොහොමද කියලා.
පුර්ණ කාලීන සේවය පටන්ගන්න නොඉවසිල්ලෙන්
ඩෝරා: දෙවිගේ වචනය තේරුම්ගන්න උදව් කරන්න කියලා මගේ අම්මා නිතරම දෙවිට යාච්ඤා කළා. එක ඉරිදා දවසක ජේ.එෆ්.රදෆර්ඩ් දුන්න කතාවක් මමයි අම්මායි රේඩියෝ එකෙන් අහගෙන හිටියා. කතාව ඉවර වෙන කොට අම්මා කිව්වා “මේක තමයි සත්‍යය!” කියලා. ඊට පස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක අපි බයිබලය පාඩම් කළා. වර්ෂ 1935දී අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් දීපු බව්තීස්ම කතාවකට සහභාගි වුණා. එතකොට මට වයස අවුරුදු 12යි. ඒ වෙලාවේ යෙහෝවා දෙවිට සේවය කරන්න මට ලොකු ආශාවක් ඇති වුණා. ඉන් අවුරුදු තුනකට පස්සේ මම බව්තීස්ම වුණා. මම පාසැල් ගිය ඉතිරි අවුරුදු තුන පුරා යෙහෝවා දෙවිට සේවය කිරීමේ මගේ ආශාව මනසේ දීප්තිමත්ව තියාගන්න පුළුවන් වුණේ ඔහුට කැප වී බව්තීස්ම වෙලා හිටිය නිසයි. පාසැල් ජීවිතය ඉවර වෙනකල් මම නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ පුරෝගාමී සේවය පටන්ගන්නයි.
ඒ කාලේ අපි අයෝවාවල ෆෝර්ට් ඩොජ්හි හිටිය සාක්ෂිකරුවන් එක්ක රැස්වීම්වලට සහබාගි වුණා. රැස්වීම් යන්න ගොඩක් මහන්සි වෙන්නත් සිද්ධ වුණා. ඒ වගේම ඒ දවස්වල මුරටැඹ පාඩම් ලිපිවල ප්‍රශ්න ඇතුළත් කරලා තිබුණේ නැහැ. ඒ නිසා මුරටැඹ පාඩම සඳහා ප්‍රශ්න සූදානම් කරන්න කියලා හැම ප්‍රචාරකයෙකුටම කිව්වා. අම්මාත් මමත් හැම සඳුදා රැයකම ඒ ප්‍රශ්න සූදානම් කරලා, ඒවා පාඩම මෙහෙයවන සහෝදරයාට දෙනවා. ඊට පස්සේ ඒ සහෝදරයා සුදුසු ප්‍රශ්න තෝරාගෙන සබයෙන් අහනවා.
සංචාරක අවේක්ෂකයෙක් කලින් කලට අපේ සභාව බැහැදකින්න ආවා. ඒ අය අතරින් ජෝන් බූත් එක්කෙනෙක්. මට අවුරුදු 12දී ගෙයින් ගෙට සේවය පටන්ගන්න උදව් කළෙත් ඔහුයි. පස්සේ මට වයස අවුරුදු 17දී පුරෝගාමී අයදුම්පත පුරවන්න උදව් කළෙත් ඔහුමයි. ජීවිතයේ පස්සේ කාලෙක ඒ සහෝදරයාව මට අයෙමත් මුණ ගැහුණා. දැන් ඔහු මගේ හොඳම හිතවතුන් අතර ඉන්නවා!
මට වඩා අවුරුදු 15කින් වැඩිමහල් ඩොර්ති ඇරොන්සන් කියන සහෝදරිය තමයි මා එක්ක බොහෝදුරට වැඩ කළේ. වර්ෂ 1943 පළමුවන ගිලියද් පාසැලට එන්න කියලා ඇයට ආරාධනාවක් ලැබෙන තුරුම අපි වැඩ කළේ එකටයි. ඊට පස්සේ මම සේවය කළේ තනිවමයි.
පීඩා මැද දිගටම
වර්ෂ 1940 ගණන්වල දෙවන ලෝක මහා යුද්ධයත් එක්කම පටන්ගත්ත ජාතිවාදී අරගල නිසා අපි ගොඩක් පීඩාවලට මුහුණ දුන්නා. සමහර දවස්වල අපි ගෙයින් ගෙට සේවයේ යද්දී කුණු බිත්තර, තක්කාලිවලින් විතරක් නෙවෙයි ගල් මුල්වලින් පවා අපිට ගැහුවා! නමුත් ලොකුම පරීක්ෂණය ආවේ අපි එක වීදියක මුරටැඹ සහ කන්සෝලේෂන් කියන සඟරා (දැන් පිබිදෙව්!) බෙදමින් ඉන්න කොටයි. ආගමික විරුද්ධවාදීන්ගේ බලපෑම මත එතැනට ආපු පොලිස් නිලධාරීන් අපිට තර්ජනය කළේ, අපි ආයෙත් ප්‍රසිද්ධියේ මේ වගේ දේශනා කළොත් අපිව හිරේ දානවා කියලයි.
අපි නතර කරන්නේ නැතුව දිගටම දේශනා කරපු නිසා අපිව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කළා. නිදහස් වුණාට පස්සේ අපි ආයෙත් එතනටම ඇවිල්ලා සඟරා බෙදන්න පටන්ගත්තා. එක සහෝදරයෙක්ගේ මඟ පෙන්වීම්වලට අනුව, අපි ඒ වගේ අවස්ථාවලදී අපේ සේවයේ අරමුණ මිනිසුන්ට පෙන්වන්න යෙසායා 61:1, 2 යොදා ගත්තා. එක දවසක් මම දේශනා කරද්දී තරුණ පොලිස් නිලධාරියෙක් මං ළඟට ආවා. එතකොට මට ටිකක් බය හිතුණා. ඒත් මම ඔහුටත් ඒ බයිබල් පද පෙන්නුවා. හිතාගන්නවත් බැරි විදිහට ඒ නිලධාරියා ආ පයින්ම හැරිලා යන්න ගියා! මට හිතුණේ දේවදූතයෙක් අපිව ආරක්ෂා කළා කියලයි.
අමතක නොවන දවසක්
ඒ කාලේම වගේ සාන්ත ලුයිස්, මිසූරිවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවක් පැවැත්වුණා. දින පහක ඒ සමුළුවට සහභාගි වීමෙන් මම ලොකු සතුටක් ලැබුවා. ඒ සමුළුව අතරේදී සහෝදර රදෆර්ඩ්, ඇවිල්ලා හිටිය වයස අවුරුදු පහත් දහ අටත් අතර ළමයින්ට කිව්වා, සමුළු භූමියේ ප්‍රධාන ශාලාවට එන්න කියලා. ළමයි දහස් ගණනක් එතන්ට රැස් වුණා. ඊට පස්සේ සහෝදර රදෆර්ඩ් එයාගේ ලේන්සුව වනලා අපිට ආචාර කළා. අපිත් ඒකට ප්‍රතිචාර දැක්වුවා. පැයක පමණ කතාවකින් පස්සේ ඔහු මෙහෙම කිව්වා. “දෙවිගේ කැමැත්ත කරමින් යේසුස් මගින් ඔහු පිහිටුවා තිබෙන රාජ්‍යයට පක්ෂපාතකම දක්වන්න කැමති දරුවන්ට නැඟිටින්න පුළුවන්ද?” එතකොට එතන හිටපු 15,000ක් විතර ළමයි එකරොත්තට නැඟිට්ටා. ඒ අතර මාත් හිටියා! සහෝදර රදෆර්ඩ් තවදුරටත් කිව්වේ, “ඔබේ උපරිමයෙන් දෙවි ගැනත් ඔහුගේ රාජ්‍යය මගින් ගෙනෙන්නා වූ ආශිර්වාද ගැනත් අන් අයට දැනුම් දෙන්න කැමති අය ඊට කැමැත්ත ප්‍රකාශ කරන්න” කියලයි. හැමෝම කන් අඩි පුපුරන සද්දෙකින් අත්පුඩි ගහලා අපි කැමතියි කියලා කිව්වා.
එදා තමයි දරුවන්a කියන පොතත් මුදා හැරියේ. ඒ හැම ළමයෙක්ම පෝලිමේ ගිහිල්ලා සහෝදර රදෆර්ඩ්ගෙන් ඒ පොත ලබාගත්තා. ඒ ගැන හැමදෙනාම හිටියේ පුදුම උනන්දුවකින්! එදා ඒ පොත අරගත්ත අයගෙන් වැඩිදෙනෙක් අදත් ඉතාමත් උනන්දුවෙන් යෙහෝවා දෙවිගේ රාජ්‍යය ගැනත් ඔහුගේ ධර්මිෂ්ඨකම ගැනත් ලෝකය පුරාම දේශනා කරනවා.—ගීතාවලිය 148:12, 13.
අවුරුදු තුනක් පුරා තනියෙන්ම සේවය කළාට පස්සේ විශේෂ පුරෝගාමියෙක් හැටියට චේම්බර්ස්බර්ග්වල සේවය කරන්න මට පැවරුමක් ලැබුණා. මම ඒ ගැන මොන තරම් සතුටු වුණාද! එහෙදි තමයි මට ඩොර්තියාව මුණ ගැහුණේ. ඊට පස්සේ අපි දෙන්නා ගොඩක් කිට්ටු යාළුවන් වුණා. අපි තරුණ නිසා දෙවිට සේවය කරන්න ලොකු උනන්දුවක් වගේම වෙහෙස වෙලා වැඩ කරන්න අවශ්‍ය ශක්තියත් තිබුණා. ඒ වගේම අපි කරමින් හිටපු සේවය තවත් වැඩි කරන්නත් පුදුම ආශාවකිනුයි හිටියේ. ඉතිං අපි දෙන්නම එකතු වෙලා ජීවිත කාලය පුරාවටම කරන්න පුළුවන් වැඩක් පටන්ගත්තා. ඒ කියන්නේ අපි නිධාන හොයන්න පටන්ගත්තා.—ගීතාවලිය 110:3.
විශේෂ පුරෝගාමී සේවය පටන් අරන් මාස කිහිපයකට පස්සේ අපිට, සහෝදර ඇල්බට් මෑන්ව මුණ ගැහුණා. එයා පළමුවෙනි ගිලියද් පාසැලට සහභාගි වුණ කෙනෙක්. ඒ වෙන කොට සහෝදර ඇල්බට් වෙනත් රටක අලුත් පැවරුමක් සඳහා පිටත් වෙන්න ලැහැස්තිවෙලයි හිටියේ. අපිටත් වෙනත් රටක කුමන හෝ පැවරුමක් ලැබුණොත් ඒක සතුටින් බාරගන්න කියලා ඔහු අපිව දිරිගැන්නුවා.
ගිලියද් පාසැලේදී
ඩෝරා සහ ඩොර්තියා: විදේශ රටක සේවය කරන්න අපි පුහුණු වෙද්දී අපිට දැනුණ සතුට මොන තරම්ද! මීට අවුරුදු 12කට ඉස්සර ඩොර්තියාගේ අම්මාට ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීම කියලා පොතක් දුන්න සහෝදර ෂ්රෝඩර් තමයි, අපේ නම් ගම් පාසැලට ඇතුළත් කළේ. සහෝදර ජෝන් බූත්ද එහෙ හිටියා. ඔහු සේවය කළේ එහෙ තිබුණු ගොවිපොළෙයි. අපේ පුහුණු පාසැල තිබුණෙත් ඒ ගොවිපොළ තිබූ ඉඩමෙමයි. පසු කාලයකදී මේ දෙන්නාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සේවය කළා.
ගිලියද් පාසැලේදී බයිබලයේ ඇති සත්‍යය ගැන අපි ගැඹුරින් අධ්‍යයනය කළා. ඒ ලැබුණු පුහුණුව නම් අපිට හරියට වටිනවා. පළමු වතාවට විදේශ රටකින්, ඒ කියන්නේ මෙක්සිකෝවෙන් ඇවිල්ලා හිටිය ශිෂ්‍යයා ඇතුළු ශිෂ්‍යයන් 104දෙනෙක් ඒ පන්තියට සහභාගි වුණා. මෙක්සිකෝවෙන් ඇවිල්ලා හිටිය සහෝදරයා ඔහුගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න උත්සාහ කරන කොට අපි ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගන්න උත්සාහ කළා. අපිට පැවරුම් ලබා දෙන දවස උදා වුණා. හැමෝම බලාගෙන හිටියේ හරිම නොඉවසිල්ලකින්! සහෝදර නේතන් එච්. නෝර් තමයි එදා අපිට අපේ පැවරුම් පිරිනැමුවේ. ගොඩක් ශිෂ්‍යයන් පැවරුම් ලැබුවේ මධ්‍යම සහ දකුණු අමෙරිකාවටයි. අපිට පැවරුම ලැබුණේ චිලී රටටයි.
චිලී රටේ නිධාන සොයමින්
චිලී රටට යන්න අපිට වීසා බලපත්‍රයක් ලබාගන්න සිද්ධ වුණා. නමුත් ඒකට ටික කාලයක් ගත වුණා. ඒ නිසා අපි 1945 ජනවාරි මාසයේ පැවරුම් ලැබුවාට පස්සේ වොෂිංටන් ඩී. සී නුවරේ විශේෂ පුරෝගාමීන් හැටියට අවුරුදු එකහමාරක් සේවය කළා. වීසා බලපත්‍ර ලැබුණාට පස්සේ, අපි පැවරුම් ලැබූ තවත් නවදෙනෙක් එක්ක චිලී රටට ගියා. ඒ අයගෙන් හත්දෙනෙක්ම කලින් ගිලියද් පාසැලට සහභාගි වෙලා හිටපු අයයි.
අපි චිලී රටේ අගනුවර වන සැන්ටියාගෝවලට එද්දී අපිව පිළිගන්න සහෝදරයන් කිහිපදෙනෙක්ම ඇවිල්ලා හිටියා. සහෝදර ඇල්බට් මෑන් ඒ අයගෙන් එක්කෙනෙක්. අවුරුදු කිහිපයකට කලින් අපේ පැවරුම් ගැන අපිව දිරිගැන්නුවේ මේ සහෝදරයා තමයි. මීට අවුරුද්දකට කලින් සහෝදර මෑන්, දෙවන ගිලියද් පාසැලෙන් පුහුණුව ලැබූ ජෝසෆ් ෆෙරාරි එක්ක චිලී රටට ඇවිල්ලා තිබුණා. අපි චිලී රටට යනකොට එහෙ ප්‍රචාරකයන් 100ක්වත් හිටියේ නැහැ. අපි ආශාවෙන් හිටියේ ඉක්මනින්ම මේ රටේ තියෙන නිධාන හොයන්නයි. ඒ කියන්නේ මෙහෙ ඉන්න සත්‍යයට උනන්දුව දක්වන අවංක හදවත් ඇති අයව හොයාගන්නයි.
එහෙදී, සැන්ටියාගෝවල සමිතියට අයිති ගෙයක වැඩ කරන්න අපිට ආරාධනයක් ලැබුණා. ඒ ගෙදර සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් හිටපු නිසා අපි දෙන්නට ඒක අලුත්ම අද්දැකීමක් වුණා. දේශනා සේවය සඳහා යම් නිශ්චිත පැය ගණනක් වෙන් කරන්න සිදු වුණාට අමතරව එහෙ හිටපු අය වෙනුවෙන් සතියට එක දවසක් උයන්නත් අපි සියලුදෙනාටම සිදු වුණා. එහෙ වෙච්ච සමහර දේවල් මතක් වෙන කොට අපිට තාමත් හිනා යනවා. එක දවසක් අපි මුළු පවුලටම උදේ කෑමට පොඩි කේක් හැදුවා. ඒවා අවන් එකට දාලා එළියට ගන්න කොට හරිම අමුතු ගඳක් ආවා. මොකද දන්නවාද වෙලා තිබුණේ? අපි කේක්වලට බේකින් පවුඩර් වෙනුවට දාලා තියෙන්නේ ආප්ප සෝඩායි! කවුරුහරි කෙනෙක් හිස් බේකින් පවුඩර් ටින් එකට වැරදිලා ආප්ප සෝඩා දාලා.
අපි ස්පාඤ්ඤ භාෂාව කතා කරන්න ඉගෙනගන්න කොට ඊටත් වඩා දේවලුත් සිද්ධ වුණා. අපි එක්ක බයිබලය පාඩම් කර කර හිටිය එක පවුලක් තව ටිකෙන් ඒ පාඩම නතර කරනවා. හේතුව අපි කියන දේ ඒ අයට තේරුණේ නැහැ. කොහොමවුණත් ඒගොල්ලන්ගෙම භාෂාවෙන් තියෙන බයිබලය පාවිච්චි කරලා උගන්වද්දී ඒ අය දිගටම පාඩම කරගෙන ගියා. ඊට පස්සේ ඒ පවුලේ පස්දෙනාම සාක්ෂිකරුවන් වුණා. ඒ දවස්වල, සේවය සඳහා විදේශ රටවලට යන අයට භාෂා පුහුණු පන්ති තිබුණේ නැහැ. ඉතින් අපි පැවරුම ලැබුණු ගමන්ම දේශනා කරන්න පටන්ගත්තා. අපි භාෂාව ඉගෙනගත්තේ සේවයේ යද්දී හමුවෙන මිනිස්සුන්ට කතා කරලාමයි.
අපිට ගොඩක් බයිබල් පාඩම් තිබුණා. සමහර ශිෂ්‍යයන් ඉක්මනින් දියුණු වුණාට, සමහර අයට නම් ටිකක් වැඩියෙන් කල් ගියා. ටෙරේසා ටෙලෝ කියන්නේ අපිට හමු වුණු තරුණ කාන්තාවක්. එක දවසක් එයා අපේ පණිවිඩයට හොඳින් ඇහුම්කන් දීලා මෙහෙම කිව්වා. “ඔයාලා ආයෙමත් එන්න. මම ආසයි ඔයාලාගෙන් මේ ගැන තවත් ඉගෙනගන්න.” එදා ඉඳලා එයාව බලන්න 12 වතාවක් අපි ගියත් හම්බ වුණේ නැහැ. ඔහොම අවුරුදු තුනක් පහු වුණා. දවසක් අපි සැන්ටියාගෝවල එක්රැස්වීමකට ගියා. එදා ඉරිදා අපි එක්රැස්වීම ඉවරවෙලා එද්දී කවුදෝ කෙනෙක් “සෙනෝරිටා ඩෝරා, සෙනෝරිටා ඩෝරා!” කියලා කතා කරනවා ඇහුණා. අපි හැරිලා බලද්දී ඒ ටෙරේසායි. එයා පාරේ අනිත් පැත්තේ හිටපු එයාගේ සහෝදරියව බලන්න ඇවිල්ලා තිබුණා. ඒ ගමන්ම ඇය මෙහෙටත් ඇවිල්ලා තියෙන්නේ මෙහෙ මොකද වෙන්නේ කියලා බලන්නයි. ඇයව නැවතත් දකින්න ලැබීම මොන තරම් සතුටක්ද! අපි ඉක්මනින්ම ඇයත් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. වැඩි කල් යන්න කලින් එයා බව්තීස්ම වුණා. පස්සේ ටෙරේසා විශේෂ පුරෝගාමී සේවය කරන්න පටන්ගත්තා. එදා ඉඳලා අවුරුදු 45ක් ගත වෙලා තිබුණත් ඇය තවමත් විශේෂ පූර්ණ කාලීන සේවයේ හවුල් වෙනවා.—දේශනාකාරයා 11:1.
“වැලි” අතරේ නිධාන
වර්ෂ 1959දී අපිව චිලී රටේ දකුණු කෙළවරට වෙන්න තිබෙන පුන්ටා ඇරිනාස් කියන ප්‍රදේශයට යැව්වා. ඒ නමේ තේරුම “වැලි තුඩුව” කියන එකයි. ඒක හරිම අමුතු ප්‍රදේශයක්. එහෙ පායන කාලෙට රෑ එකොළහමාර වෙනකල්ම එළිය තියෙනවා. ඒ නිසා අපිට වැඩිපුර සේවය කරන්න පුළුවන් වුණත් බාධාවකට තිබුණේ තදින් හමාගෙන ආපු දරුණු හුළඟයි. නමුත් අනික් අතට ශීත ඍතුවලදී දවල් කාලය හරිම අඩුයි.
මේ මොනවාවුණත් පුන්ටා ඇරිනාස්වලටම ආවේනික වුණු සුන්දරත්වය ගැනද නොකියාම බැහැ. පායන කාලෙට එක දිගටම හුළඟින් ගසාගෙන යන වැහි වලාකුළු බටහිර අහසේ හරිම සුලබ දර්ශනයක්. ඉඳලා හිටලා එකපාරටම වැටෙන වැස්සට කොයි වෙලාවෙ අහුවෙයිද කියලා නම් කියන්න බැහැ. හැබැයි ඒත් එක්කම එන හුළඟින් ඒ වතුර වේලෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඊට පස්සේ වළාකුළු අතරින් එන හිරු රැස් නිසා පායන දේදුන්න, විටින් විට පෙනී නොපෙනී යනවා. සමහරවිට ඒ දේදුන්න පැය ගණනාවක් තිස්සේ වුණත් දැක ගන්න පුළුවන්.—යෝබ් 37:14.
ඒ දවස්වල පුන්ටා ඇරිනාස්වල හිටියේ ප්‍රචාරකයන් අතලොස්සක් විතරයි. ඒ පොඩි සභාවේ රැස්වීම් මෙහෙයවන්න සිද්ධ වුණේ සහෝදරියන් වන අපිටයි. ඒ කොහොමවුණත් අපේ වෑයමට යෙහෝවා දෙවි ආශීර්වාද කළා. අවුරුදු 37කට පස්සේ අපි ආයෙමත් ඒ ප්‍රදේශය බලන්න ගියා. අපි දැක්කේ මොනවාද? සීඝ්රයෙන් වර්ධනය වෙන සභා හයකුත් ඉතා අලංකාර රාජ්‍ය ශාලා තුනකුත් අපිට දකින්න ලැබුණා. ඒ වැලි අතරේ තිබුණු නිධාන සොයාගන්න යෙහෝවා දෙවි අපිට ආශීර්වාද කිරීම ගැන අපි කොයි තරම් සතුටු වෙනවාද!—සෙකරියා 4:10.
තව තවත් නිධාන
පුන්ටා ඇරිනාස්වල අවුරුදු තුනහමාරක් විතර සේවය කළාට පස්සේ අපිට වැල්පරයිසෝ කියන නගරයට පැවරුමක් ලැබුණා. ඒක කඳු ගැට 41කින් සමන්විත ලොකු නගරයක්. අපි දේශනා කළේ ප්ලායා ආන්කා කියන කඳුකර ප්‍රදේශයෙයි. ඒ නමේ තේරුම “පළල් වෙරළ තීරය” කියන එකයි. එහෙ හිටිය අවුරුදු 16 පුරා අපි දැක්කා, සාක්ෂිකාර යෞවනයන් ඇදහිල්ලේ හොඳින් වර්ධනය වෙනවා. ඒ අයගෙන් සමහරදෙනෙක් දැන් සංචාරක අවේක්ෂකයන් සහ වැඩිමහල්ලන් හැටියට සේවය කරමින් ඉන්නවා.
ඊට පස්සේ අපිට වීනා ඩෙල් මා කියන නගරයේ සේවය කරන්න අලුත් පැවරුමක් ලැබුණා. එහෙ සිද්ධ වෙච්ච භූමිකම්පාවක් නිසා අපි පදිංචි වෙලා හිටපු ගෙටත් හානි වුණා. ඒ වෙනකල්ම අපි අවුරුදු තුනහමාරක් තිස්සේ සේවය කළේ එහෙයි. ඊට පස්සේ අවුරුදු 40කට කලින් අපි සේවය පටන්ගත්ත නගරය වන සැන්ටියාගෝවලට ආපහු ආවා. එහෙ ගොඩක් දේවල් වෙනස් වෙලා. අලුත් ශාඛා කාර්යාලයකුත් ඉඳි කරලා තිබුණා. විදේශ රටවලින් ඇවිත් සිටින සියලුම පූර්ණ කාලීන සේවකයන් නැවතිලා ඉන්නේ කලින් ශාඛා කාර්යාලයව තිබුණු ගොඩනැඟිල්ලෙයි. පස්සේ කාලෙක මේ ගොඩනැඟිල්ල සභා සේවකයන්ව පුහුණු කරන පාසැල පවත්වන්නත් යොදාගත්තා. මේ කාලයේදීම යෙහෝවා දෙවි අපිට තවත් විදිහකින් ආශීර්වාද කළා. බොහෝ කාලයක් පුරා පූර්ණ කාලීනව සේවය කරපු සහෝදර සහෝදරියන් පස්දෙනෙකුට බෙතෙල් සේවය සඳහා ඇරයුමක් ලැබුණා. අපි චිලීවල සේවය කරපු ඒ කාලය තුළ අපිට විවිධ පැවරුම් 15ක් විතර ලැබිලා තියෙනවා. ප්‍රචාරකයන් 100ක් විතර හිටපු මේ රටේ දැන් ප්‍රචාරකයන් 70,000ක් විතර ඉන්නවා! අවුරුදු 57ක් පුරා චිලී රටේ නිධාන සෙවීමෙන් අපි ලබපු ප්‍රීතිය මොන තරම්ද!
යෙහෝවා දෙවිට තවමත් පක්ෂපාතව සේවය කරන, නිධාන හා සමාන මිනිසුන්ව සොයාගන්න දෙවි අපි දෙන්නාව යොදාගැනීම ඇත්තෙන්ම අපි ලබපු ආශීර්වාදයක්. යෙහෝවා දෙවි වෙනුවෙන් අවුරුදු 60ක් පුරා අපි දෙන්නා එකට ඉඳලා කරපු සේවය දිහා හැරිලා බලද්දී, අපිට කියන්න තියෙන්නෙත් දාවිත් රජ කියපු මේ දෙයමයි. “ඔබ කෙරෙහි භය ඇත්තන්ට නිධාන කොට තැබුවාවූ . . . ඔබගේ යහපත්කම කොපමණ මහත්ද!”—ගීතාවලිය 31:19.
[පාදසටහන]
a යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කළ පොතකි. නමුත් දැන් මුද්‍රණය නොකෙරේ.
[9වන පිටුවේ පින්තූර]
වර්ෂ 2002දී ඩොර්තියා, 1943දී ඇය දේශනා සේවයේ යෙදෙමින්
[10වන පිටුවේ පින්තූර]
වර්ෂ 1942දී අයෝවා, ෆෝර්ට් ඩොජ්වල, වීදි සේවයේ යෙදෙමින්
[10වන පිටුවේ පින්තූරය]
වර්ෂ 2002දී ඩෝරා
[12වන පිටුවේ පින්තූරය]
ඩොර්තියා සහ ඩෝරා 1946දී චිලී රටේ සේවය සඳහා නැවතී සිටි නිවස අසල