එබ්ලා කාලයේ වැලි තලාවට යටවී තිබූ නගරයක්
වර්ෂ 1962 ගිම්හාන සමයේ එක් දිනක ඉතාලි ජාතික පුරාවිද්‍යාඥයෙකු වූ පාඕලෝ මාතීයි සිරියාවේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි තැනිතලා බිම් නිරීක්ෂණය කරමින් සිටියේ තමන්ට පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන දෙයක් හමුවෙයි නැද්ද කියා නොදැනයි. සිරියාවේ මධ්‍යයම පිහිටි මේ ප්‍රදේශය සැලකුවේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් නැති ප්‍රදේශයක් ලෙසයි. කෙසේවෙතත් 1964දී අලෙප්ඕ නගරයට දකුණු දෙසින් කිලෝ මීටර් 60ක් ඈතින් පිහිටි ටෙල් මාඩික් නමැති ප්‍රදේශයේ කළ කැනීම්වලින් වැදගත් යමක් සොයාගනු ලැබුවා. මෙය 20වන සියවසේදී සොයාගත් වැදගත්ම පුරාවිද්‍යාත්මක සොයාගැනීම ලෙස බොහෝදෙනෙක් සලකනවා.
එබ්ලා නම් නගරයක් පැවති බවට ශිලා ලේඛනවල සඳහන් වී තිබුණා. කෙසේවෙතත් මේ නගරය යට වී තිබුණේ මැද පෙරදිග පුරා තැනින් තැන පිහිටි පස් කඳු අතරින් කුමන පස් කන්දේද කියා කිසිවෙක් දැන සිටියේ නැහැ. ආක්කාඩ්හි සර්ගොන් රජ “මාරි, යාමූටි හා එබ්ලා” නමැති නගර අත්පත් කරගත් බව එක් ශිලා ලේඛනයක සඳහන් වෙනවා. සුමේරියාවේ ගූඩා රජ ‘එබ්ලාහි කඳුකරයේ පිහිටි වනාන්තරවලින්’ වටිනා දැව ගෙන්වා ගත් බව තවත් එවැනි ලේඛනයක වාර්තා වෙනවා. ඊජිප්තුවේ කානාක් නගරයේ තුන්වන තුට්මොසා පාරාවෝ අත්පත් කරගත් පැරණි නගර ඇතුළත් ලැයිස්තුවේ එබ්ලා යන නමද සඳහන් වෙනවා. පුරාවිද්‍යාඥයන් එබ්ලා නගරය පිළිබඳ තොරතුරු සොයන්න වෑයම් කළේ ඇයි දැයි ඔබට දැන් පැහැදිලි ඇති.
පසුව කළ කැනීම්වලින් පැරණි එබ්ලා නගරය ගැන තවත් වැදගත් තොරතුරු සොයාගැනීමට හැකි වුණා. වර්ෂ 1968දී, එබ්ලාහි රජ වූ ඉබිට් ලිම්ගේ පිළිරුවක කොටස් සොයාගනු ලැබුවා. එහි අක්කාඩියානු භාෂාවෙන් ප්‍රතිඥාවක් ලියා තිබුණා. එහි සඳහන් වූයේ “එබ්ලාහි කීර්තිමත්” ඉෂ්තාර් නමැති දේවතාවියට එය කැප කර තිබූ බවයි. මෙම පුරාවිද්‍යාත්මක සොයාගැනීම් නිසා “නව භාෂාවක්, නව ඉතිහාසයක් හා නව සංස්කෘතියක්” මිනිසුන් දැනගන්න පටන්ගත්තා.
ටෙල් මාඩික් නගරය පැරණි එබ්ලා නගරයට සමාන බව 1974 හා 1975 කාලවකවානුවේදී සොයාගත් උල් හැඩැති අකුරින් ලියන ලද මැටි පුවරුවලින් සොයාගනු ලැබුවා. එබ්ලා නගරය එක් කාලයකදී විනාශ වී තිබූ බවත් පසු කලෙක එය නැවත ගොඩනඟා තිබූ බවත් කැනීම්වලින් පෙනී යනවා. එය යළි ගොඩ නැඟුවත් නැවත වතාවක් එය සතුරන් විනාශ කර දැම්මා. අවසාන විනාශයත් සමඟ එබ්ලා නගරය සියවස් ගණනාවක් පුරා මිනිසුන්ගේ මතකයෙන් ඈත් වී තිබුණා.
ඉතිහාස රැසක් හිමි නගරයක්
පැරණි නගර බොහොමයක් ඉදි කරනු ලැබුවේ ටයිග්‍රීස් හා යුප්‍රටීස් වැනි ගංගා අසල පිහිටි සාරවත් තැනිතලා භූමිවලයි. බයිබලයේ මුල් කොටස්වල සඳහන් නගර පිහිටා තිබුණේ මෙසපොතේමියාවෙයි. (උත්පත්ති 10:10) එබ්ලා නගරය පිහිටි භූමි භාගය යට හුණුගල් තට්ටුවක් තිබූ නිසා එබ්ලා යන නමට “ධවල ගල” නමැති අර්ථය දී තිබූ බව පෙනෙනවා. නගරයක් ඉදි කිරීමට එම භූමි භාගය තෝරා ගන්න ඇත්තේ එම හුණුගල් තට්ටුව හරා පහසුවෙන් ජලය ලබාගැනීමට හැකි වූ නිසා විය හැකියි. එම නගරය විශාල ගංගාවලින් දුරස්ව පිහිටා තිබූ නිසා එලෙස ජලය ලබාගත හැකි ක්‍රමයක් තිබීම ප්‍රයෝජනවත් වුණා.
එබ්ලා නගරය පිහිටි ප්‍රදේශයට ලැබුණු වර්ෂාපතනය ප්‍රමාණවත් වුණේ ධාන්‍ය වර්ග, මිදි හා ඕලිව් වැනි දෑ වගා කිරීමට පමණයි. එමෙන්ම සතුන් ඇති කිරීම සඳහාද යෝග්‍ය වූ ඒ ප්‍රදේශයේ බහුලව ඇති කරනු ලැබුවේ බැටළුවන්වයි. එබ්ලා නගරයේ පිහිටීම වෙළෙඳ කටයුතුවලට පහසු මඟක් වුණා. මෙය මෙසපොතේමියානු තැනිතලාව සහ මධ්‍යධරණි මුහුදු තීරය අතර පිහිටා තිබූ නිසා එහි දැව, වටිනා ගල් වර්ග හා වානේ අලෙවිය බහුලව සිදු වුණා. මෙම නගරය 2,00,000 පමණ ජනගහනයක් විසූ ප්‍රදේශයක් පුරා එහි අණසක පතුරුවා තිබුණා. එම ජනගහනයෙන් සියයට දහයකට ආසන්න ගණනක් ජීවත් වුණේ අගනුවරයි.
කැනීම්වලින් සොයාගත් සුවිසල් රාජ මන්දිරයක නටඹුන්වලින් පෙනී යන්නේ එබ්ලා නගරයේ දියුණු ශිෂ්ටාචාරයක් පැවති බවයි. රජ මාළිගාවට යෑම සඳහා මීටර් 12ත් 15ත් අතර උස ගේට්ටුවකින් ඇතුල් විය යුතු වුණා. කලක් යන විට නගරයේ පරිපාලනය කටයුතු වැඩි වූ නිසා රජ මාළිගාව තවත් විශාල කරන්න අවශ්‍ය වුණා. විවිධ නිලතල හෙබ වූ නිලධාරීන් රැසක් එහි සේවය කළා. පාලන කටයුතුවලදී රජුට හා බිසවට උපකාර කරන්න ස්වාමිවරුන් හා ආණ්ඩුකාරයන් සිටියා.
මේ ප්‍රදේශයේ තිබී මැටි පුවරු හා ඒවායේ කොටස් 17,000කට වැඩි ගණනක් සොයාගෙන තිබෙනවා. කැඩී බිඳී නොගිය එවැනි පුවරු 4 000කට වැඩි ප්‍රමාණයක් මුල් කාලයේ ලී රාක්කවල අහුරා තිබුණා කියා සිතිය හැකියි. එබ්ලා නගරයේ ව්‍යාපාර කටයුතු බහුලව සිදු වූ බවට සාක්ෂි එම පුවරුවලින් කියාපානවා. ඊජිප්තුවේ පාරාවෝවරුන් දෙදෙනෙකු භාවිත කළ රාජකීය බඩු බාහිරාදිවලින් පෙනී යන්නේ එබ්ලා නගරය ඊජිප්තුව සමඟ වෙළෙඳාම් කර තිබෙන බවයි. එම පුවරුවල ලිවීමට වැඩියෙන්ම යොදාගෙන තිබෙන්නේ උල් හැඩැති සුමේරියානු අකුරුයි. එහෙත් සමහර පුවරුවල එබ්ලාහි භාවිත කළ භාෂාවද යොදාගෙන තිබෙනවා. ඉපැරණි සෙමටික් භාෂාවක් වන එය තේරුම්ගැනීමට හැකි වී තිබෙන්නේ ඉහත කී පුවරුවල ආධාරයෙනුයි. එතරම් පැරණි සෙමටික් භාෂාවක් සොයාගැනීම ගැන නැඟෙනහිර ආසියාවේ භාෂාව හා සංස්කෘතිය ගැන අධ්‍යයනය කරන බටහිර ජාතිකයන් පුදුමයට පත් වෙනවා. ඇතැම් මැටි පුවරුවල සුමේරියානු හා එබ්ලායිට් භාෂා දෙකෙන්ම යම් වචන ඇතුළත් ලැයිස්තු දැකිය හැකියි. මේවා “පැරණිතම ශබ්දකෝෂ” කියා එක් පොතක සඳහන් වෙනවා.—Ebla—Alle origini della civiltà urbana.
එබ්ලාවල සිටි සොල්දාදුවන් ඔවුන්ගේ සතුරන්ගේ හිස ගසා දමන ආකාරය චිත්‍රයට නඟා තිබූ කැටයම්වලින් පෙනී යන්නේ එය යුද්ධමය අතින්ද ශක්තිමත් නගරයක් වූ බවයි. කෙසේවෙතත් ඇසිරියාව හා බැබිලෝනිය ප්‍රබල බලවතුන් වීමෙන් පසු එබ්ලාවල තිබූ තේජස පහව ගියා. ඒ කාලයේ සිදු වූ සටන් පිළිබඳ නිවැරදිම තොරතුරු සොයාගැනීම දුෂ්කරයි. එහෙත් පළමුවන සර්ගොන් (මොහු යෙසායා 20:1හි සඳහන් සර්ගොන් නොවෙයි) හා පසුව ඔහුගේ මුණුපුරා වූ නාරාම්සින් එබ්ලාවලට එරෙහිව සටන් කළ බව පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් පෙනී යනවා. ඔවුන් අතර පැවති සටන් ඉතා දරුණු බවත් ඔවුන් කළ ආක්‍රමණ අතිශය කුරිරු බවත් පෙනී යනවා.
කෙසේවෙතත් කලින් සඳහන් කළ පරිදි එබ්ලා නගරය නැවතත් ගොඩනඟනු ලැබුවා. අවට ප්‍රදේශ අතර තිබූ වැදගත් නගරයක් බවට එය යළිත් වතාවක් පත් වුණා. නිශ්චිත සැලසුමක් අනුව නව නගරය ඉඳි කරනු ලැබුවේ කලින් තිබුණාටත් වඩා වැඩි තේජශ්‍රීයක් ඇතිවයි. නගරයට පහළින් තිබූ ප්‍රදේශය පරිශුද්ධ භූමියක් ලෙස සලකා ඉෂ්තාර් දේවතාවියට කැප කරනු ලැබුවා. මේ දේවතාවියව බැබිලෝනිවරුන් සැලකුවේ සාරවත්කම ලබා දෙන දේවතාවිය ලෙසයි. බැබිලෝනියේ නටඹුන් අතර තිබී සොයාගෙන තිබෙන ඉෂ්තාර් දොරටුව ගැන සමහරවිට ඔබ අසා ඇති. එබ්ලාහි පිහිටි අලංකාර ගොඩනැඟිල්ලක් සිංහයන්ගේ වාසය සඳහා යොදාගත් බවට සාක්ෂි හමු වී තිබෙනවා. මේ සිංහයන්ව සලකනු ලැබුවේ ඉෂ්තාර් දේවතාවියට කැප කළ පරිශුද්ධ සතුන් ලෙසයි. මෙයින් එම නගරයේ පැවති ආගම ගැන අපිට යමක් දැනගත හැකියි.
එබ්ලාහි වැසියන් ඇදහූ ආගම
දෙවිවරුන් රාශියක්ව ඇදහීම ඉපැරණි පෙරදිග දේශවල බහුලව දක්නට තිබුණා. එබ්ලා නගරයේද එය දැකිය හැකි වුණා. බාල්, හදද් හා දාගොන් එම දෙවිවරුන් කිහිපදෙනෙක්. (හදද් යන නම ඇතැම් සිරියානු රජවරුන්ගේ නමට එකතු කරනු ලැබුවා) (1 රාජාවලිය 11:23; 15:18; 2 රාජාවලිය 17:16) එබ්ලාහි වැසියන් ඒ සියලුම දෙවිවරුන්ව මහත් ගෞරවෙයන් යුතුව සැලකුවා. ඒ විතරක් නොවෙයි වෙනත් ජනයා ඇදහූ දෙවිවරුන්ටද ගරු කළා. රජ පවුලේ මිය ගිය මුතුන්මිත්තන්ව ක්‍රිස්තු පූර්ව දෙවන සහස්‍රයේදී දෙවිවරුන් ලෙස සැලකූ බව පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලින් පෙනී යනවා.
එබ්ලාහි වැසියන් ඔවුන් ඇදහූ දෙවිවරුන් කෙරෙහි පූර්ණ විශ්වාසය තැබුවේ නැහැ. යළි ඉදි කරන ලද නව එබ්ලා නගරය පවුරු දෙකකින් වට වී තිබුණා. ඒ නගරය බලවත් බව සතුරන් ඒ පවුරුවලින් තේරුම්ගන්න ඇති. පිටතින් තිබූ පවුරේ වටප්රමාණය කිලෝ මීටර් 3ක් වුණා. එවැනි පවුරු තිබූ බවට සාක්ෂි තවමත් ඉතිරි වී තිබෙනවා.
යළිත් ගොඩනඟන ලද නව එල්බා නගරය පවා විනාශ වුණා. කලක් බලවත් නගරයක්ව තිබූ මෙය ක්‍රි.පූ. 1600දී පමණ හිත්තිවරුන් විසින් අවසන්වරට පරාජය කරනු ලැබුවා. එබ්ලා නගරය “මැටි බඳුනක් බිම වැටී කෑලි කෑලිවලට කැඩී යන්නාක් මෙන්” විනාශ වී ගිය බව එක් පැරණි කවියක සඳහන් වෙනවා. එය ඉතිහාසයෙන් මැකී යෑමට වැඩි කලක් ගත වුණේ නැහැ. කුරුස යුද්ධයට හවුල් වූ සොල්දාදුවන් 1098දී යෙරුසලම දක්වා ගමන් කළ අතර ඔවුන් ලියූ ලිපියක එල්බා නගරය පැවති ස්ථානය ගැන සඳහන් වෙනවා. ඔවුන් පවසා තිබෙන්නේ මාඩික් යන නම ලැබී තිබෙන එම ස්ථානය සිරියාවේ ඈත කෙළවරක පිහිටි පාළු භූමියක් කියායි. කාලයේ වැලි තලාවට යටව තිබූ එබ්ලා නගරය යළි සොයාගනු ලැබුවේ සියවස් ගණනාවකට පසුවයි.
[14වන පිටුවේ කොටුව]
එබ්ලා සහ බයිබලය
බයිබලයේ සඳහන් තොරතුරු ගවේෂණයට ලක් කරන විද්වතුන්ගේ කුතුහලය දනවන ලිපියක් 1976දී එක් සඟරාවක පළ වුණා. (Biblical Archeologist) එබ්ලාහි කළ කැනීම්වලින් සොයාගත් මැටි පුවරුවල සඳහන් පුද්ගලයන්ගේ හා ස්ථානවල නම් සියවස් ගණනාවකට පසුව බයිබලයේ සඳහන් වී තිබෙන බවට එම පුවරුවල අර්ථය පහදා දෙන අය අදහස් පළ කරනවා. කලින් සඳහන් ලිපියේ පල කළ අදහස් ඉක්මවා යන ඇතැම් විද්වතුන් එබ්ලා නගරයෙන් සොයාගත් දේවල් උත්පත්ති වාර්තාවේ නිරවද්‍යතාව තහවුරු කරන පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට අනුබල දෙන බව පවසනවා.a “[එබ්ලාහි තිබී සොයාගත්] මැටි පුවරුවල සඳහන් දේවල් නිසා බයිබලයේ තේරුම්ගැනීමට අමාරු වූ දේවල් දැන් තේරුම්ගත හැකියි” කියා ජේසු නිකායේ මිචල් ඩේහුඩ් පවසනවා. “පැරණි ඊශ්‍රායෙල් ජනයා ඇදහූ දෙවිගේ නම මුලින්ම භාවිත කළ කාලය පිළිබඳ ගැටලු” නිරාකරණය කරගැනීමට උපකාරවත් වන තොරතුරු එම මැටි පුවරුවලින් සොයාගත හැකියි කියා ඔහු විශ්වාස කරනවා.
සාධාරණ නිගමනයකට එලඹිය හැකි අයුරින් දැන් එම මැටි පුවරු පරීක්ෂණයට ලක් කරනු ලබනවා. හෙබ්‍රෙව් භාෂාව මෙන්ම එබ්ලාහි වැසියන් භාවිත කළ භාෂාවද සෙමිටික භාෂාවන් වන නිසා එම පුවරුවල සඳහන් ඇතැම් නගරවල හා පුද්ගලයන්ගේ නම් බයිබලයේ සඳහන් නගර හා පුද්ගලයන්ගේ නම්වලට සමාන විය හැකියි. නමුත් එකම ස්ථානයට හෝ එකම පුද්ගලයාට එම නම් අදාළ වන බව එයින් තහවුරු වන්නේ නැහැ. එබ්ලාහි කැනීම්වලින් කළ සොයාගැනීම් බයිබලය කෙරෙහි කොතරම් බලපෑම් කරයිද කියා දැනගත හැක්කේ අනාගතයේදීයි. දෙවිගේ නම ගැන යමක් එම මැටි පුවරුවලින් හෙළි කරයිද? “යාහ්වේ” කියා එබ්ලාහි මැටි පුවරුවල සඳහන් වූ බවක් තමන් සඳහන් කළේ නැහැ කියා කලින් සඳහන් කළ සඟරාවේ ලේඛකයා පවසනවා. උල් හැඩැති අකුරුවලින් ලියූ එම පුවරුවල එක් අක්ෂරයක අර්ථය වන්නේ ජා යන්නයි. මේ අක්ෂරය ගැන මත දෙකක් පළ වී තිබෙනවා. එක් මතයක් වන්නේ එබ්ලාහි වැසියන් ඇදහූ දෙවිවරුන් රාශියෙන් එක් අයෙකුගේ නමක් එයින් අදහස් කරන බවයි. අනිත් මතය පළ කරන විද්වතුන් පවසන්නේ ඒ අක්ෂරය හුදෙක් ව්‍යාකරණවලට අයත් සංකේතයක් පමණක් බවයි. කෙසේවෙතත් ඒ අක්ෂරය සැබෑ දෙවි වන යෙහෝවාව හැඳින්වීමට යොදාගත් අක්ෂරයක් නොවෙයි.—ද්විතීය කතාව 4:35; යෙසායා 45:5.
[පාදසටහන]
a පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලින් බයිබලයේ සඳහන් තොරතුරු තහවුරු වන ආකාරය ගැන විස්තර දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන The Bible—God’s Word or Man’s? නමැති පොතේ 4වන පරිච්ඡේදය බලන්න.
[12වන පිටුවේ සිතියම⁄පින්තූරය]
(මුද්‍රිත පිටපත බලන්න)
මධ්‍යධරණි මුහුද
කානාන්
සිරියාව
අලෙප්ඕ
එබ්ලා (ටෙල් මාඩික්)
යුප්‍රටීස් ගඟ
[හිමිකම් විස්තර]
Archaeologist: Missione Archeologica Italiana a Ebla-Università degli Studi di Roma ‘La Sapienza’
[12, 13වන පිටුවේ පින්තූරය]
ක්‍රි.පූ. 1750දී පමණ සාදන ලද රන් මාලයක්
[13වන පිටුවේ පින්තූරය]
සුවිසල් රජ මැදුරක නටඹුන්
[13වන පිටුවේ පින්තූරය]
ඉපැරණි මැටි පුවරු තැන්පත් කර තිබෙන කුටියක චිත්‍රයක්
[13වන පිටුවේ පින්තූරය]
උල් හැඩැති අකුරු සහිත මැටි පුවරුවක්
[13වන පිටුවේ පින්තූරය]
ඊජිප්තුවේ රජවරුන් භාවිත කළ යෂ්ටියක් (ක්‍රි.පූ. 1750-1700)
[13වන පිටුවේ පින්තූරය]
සතුරන්ගේ හිස ගසා දමා තිබෙන එබ්ලාහි සොල්දාදුවෙක්
[14වන පිටුවේ පින්තූරය]
ඉෂ්තාර් දේවතාවියට කැප කළ ගල් කණුවක්
[හිමිකම් විස්තර]
Missione Archeologica Italiana a Ebla-Università degli Studi di Roma ‘La Sapienza’
[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
All images (except palace remains): Missione Archeologica Italiana a Ebla-Università degli Studi di Roma ‘La Sapienza’