පැනමාවේ බාධක ජයගත් අයුරු
“පැනමාව ලෝකය යා කරන රටකි.” මධ්‍යම අමෙරිකාවේ පිහිටි මෙම රටේ ජනප්‍රිය ගුවන් විදුලි නාලිකාවක් ඔස්සේ සියවස් භාගයකට පෙර පැනමාව ගැන ප්‍රචාරය වූයේ එලෙසයි. අද මෙම රට ගැන බොහෝදෙනෙකුට හැඟෙන ආකාරය ඒ කියමනෙන් ප්‍රකාශ වෙනවා.
පැනමාව පිහිටා තිබෙන්නේ උතුරු සහ දකුණු අමෙරිකානු මහාද්වීප දෙක යා වෙන ස්ථානයේයි. පැනමාවේ තිබෙන සුප්‍රසිද්ධ ඉදි කිරීමක් වන්නේ පැනමා ඇළයි. ඉන්ජිනේරු තාක්ෂණයේ වික්‍රමයන් විදහා දක්වන පැනමා ඇළ අත්ලාන්තික් හා පැසිෆික් සාගර යා කරයි. ලෝකයේ නන් දෙසින් පැමිණෙන නැව්වලට පැය කිහිපයකින් එම සාගර දෙක හරහා ගමන් කිරීමට හැකි වී තිබෙන්නේ එම ඇළ නිසයි. මෙය නොතිබුණා නම් දවස් ගණනක් හෝ ඇතැම්විට සති ගණනක් එම ගමන සඳහා ගත වෙන්න ඉඩ තිබුණා. ඇත්තෙන්ම පැනමා ඇළ ලෝකයේ බොහෝ ප්‍රදේශ එකට යා කරන වැදගත් ස්ථානයක් කියා කිව හැකියි.
විවිධ ජන කොටස් එකට යා කරයි
ලෝකයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජන කොටස් පැනමාවේ ජීවත් වෙනවා. මොවුන් සමඟ තවත් බොහෝ ස්වදේශික ජන කොටස්ද මේ අලංකාර රට පුරා වාසය කරනවා. මේ නිසා සමාජීය, සංස්කෘතික, ආගමික හා භාෂා අතින් විවිධත්වයක් මේ රටේ දැකිය හැකියි. මෙවන් පසුබිමක් තුළ විවිධ ජන කොටස් අතර එක්සත්කමක් ඇති කිරීමට බයිබලයේ තිබෙන අනර්ඝ සත්‍ය ඉගැන්වීම්වලට හැකි වී තිබෙනවාද?
ඔව්, ඇත්තෙන්ම එක අරමුණක් තිබෙන, එකඟත්වයකින් ක්‍රියා කරන සුවිශේෂි කණ්ඩායමක් බිහි කිරීමට බයිබලයේ තිබෙන අනර්ඝ සත්‍ය ඉගැන්වීම්වලට හැකි වී තිබෙනවා. යුදෙව්වන්ගෙන් හා යුදෙව් නොවන ජාතිකයන්ගෙන් සමන්විත වූ මුල් සියවසේ ක්‍රිස්තියානීන් අතර එවන් තත්වයක් තිබූ බව පාවුල්ගේ වදන්වලින් පෙනී යනවා. එවැනි එක්සත්කමක් ඇතිවීම සඳහා පදනම දමනු ලැබුවේ යේසුස්ගේ ජීවිත පූජාවයි. පාවුල් මේ ගැන මෙසේ සඳහන් කළා. “ඔහු [යේසුස්] ඇවිත්, දුර සිටින ඔබට සමාදානයේ ශුභාරංචියද ළඟ සිටින අයට සමාදානයද ප්‍රකාශ කළේය. මන්ද ඔහු තුළින් අප දෙගොල්ලන්ටම එක ආත්මයක් මාර්ගයෙන් පියාණන් වෙත ළඟාවීමේ හැකියාව තිබේ.”—එෆීස 2:17, 18.
ඒ හා සමානව පැනමාවේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද විවිධ ආගමික පසුබිම්වලට අයත් අයට මෙන්ම බොහෝ දුර ප්‍රදේශවල සිටින අයට “සමාදානයේ ශුභාරංචිය” ප්‍රකාශ කරනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට යෙහෝවා දෙවි වෙත ‘ළඟා වන’ අය අතර එක්සත්කමක් දැකිය හැකියි. එමෙන්ම පැනමාවේ භාෂා හයකින් සභාවන් පිහිටුවා තිබෙනවා. එම භාෂා අතරට ස්පාඤ්ඤ භාෂාව, චීනයේ සමහර ප්‍රදේශවල කතා කරන කැන්ටනීස් භාෂාව, පැනමාවේ භාවිත කරන සංඥා භාෂාව, ඉංග්‍රීසි භාෂාව මෙන්ම කූන හා න්ගෝබෙරි (ග්වයිමී) යන ස්වදේශීය භාෂා දෙකද ඇතුළත් වෙයි. මෙම භාෂා කතා කරන අය එක්සත්ව යෙහෝවා දෙවිට නමස්කාර කරනවා දැකීම ඇත්තෙන්ම දිරිගන්වනසුලුයි.
කෝමාකාහි බාධක ජයගැනීම
පැනමාවේ වාසය කරන ස්වදේශික ජන කොටස් අටෙන් විශාලම ජන කොටස වන්නේ න්ගෝබෙ ජන කොටසයි. එක්ලක්ෂ හැත්තෑදහසක පමණ ජනගහනයකින් සමන්විත මේ ජන කොටසේ බහුතරයක් ජීවත් වන්නේ ඔවුන් සඳහා වෙන් කර දී තිබෙන කෝමාකා කියා හඳුන්වන ප්‍රදේශයේයි. මෙම ප්‍රදේශයෙන් වැඩි කොටසක් කඳු සහිත වනාන්තරවලින් සමන්විත වන අතර ඒ ප්‍රදේශයට යා හැක්කේ පයින් පමණයි. එම ප්‍රදේශයට අයත් අලංකාර වෙරළබඩ තීරයට මුහුදෙන් යා හැකියි. බොහෝ ජන කොටස් ගංගා හා වෙරළ අසබඩ නිවෙස් තනාගැනීමට වැඩි කැමැත්තක් දක්වන්නේ ප්‍රවාහන කටයුතු පහසු නිසයි. මේ ප්‍රදේශයේ වැඩිදෙනෙක් ජීවිතය අමාරුවෙන් ගැටගසා ගන්නේ කඳුකරයේ කෝපි වගා කිරීමෙන් හෝ මසුන් ඇල්ලීමෙන්. එහෙමත් නැත්නම් වෙනත් වගාවන් කිරීමෙනුයි. බොහෝදෙනෙක් අයත් වෙන්නේ ක්‍රිස්තියානි ආගම්වලටයි. මාමා ටාටා කියා හඳුන්වනු ලබන ස්වදේශික ආගමක් අදහන අයද එහි සිටිනවා. තවත් අය ලෙඩ රෝග සුව කරන හා භූතයන්ගේ හිරිහැරවලින් මිදීම ලබා දෙනවා කියා විශ්වාස කරන ආගම්වලට යොමු වී සිටිනවා. මේ ප්‍රදේශයේ බොහෝදෙනෙකුට ස්පාඤ්ඤ භාෂාව කතා කළ හැකි වුවද ඔවුන්ට හොඳින් තේරුම්ගන්න පුළුවන් න්ගෝබෙරි භාෂාවයි.
අවංක සිත් ඇත්තන්ව සොයමින්
මනසට පමණක් නොව සිතටද කාවදින ආකාරයෙන් ජනයාට සත්‍යය ඉගැන්වීමේ තිබෙන වැදගත්කම යෙහෝවාගේ සාක්ෂිකරුවන් තේරුම්ගෙන සිටිනවා. කෝමාකා ප්‍රදේශයේ ස්ථාන අටකට යවා තිබෙන විශේෂ පුරෝගාමීන් එම ප්‍රදේශවල සිටින සාක්ෂිකරුවන්ගේ උපකාරය ඇතිව න්ගෝබෙරි භාෂාව ඉගෙනගෙන තිබෙනවා. මෙසේ කරන විට අවංක සිත් තිබෙන ජනයා බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීම සඳහා අවශ්‍ය වෙනස්කම් කිරීමට පෙලඹෙනවා.
එම ප්‍රදේශයේ පිහිටුවා තිබෙන සභාවන් 14 තුළ මහත් වර්ධනයක් ඇති වෙයි කියා සිතිය හැකියි. මීට අවුරුදු කිහිපයකට කලින් දිමාස් සහ හිසෙලා යන පුරෝගාමි යුවළව මුහුදුබඩ ප්‍රදේශයක් වන තොබොබේ කියන ගමේ පිහිටි ප්‍රචාරකයන් 40කින් යුත් සභාවට යවා තිබෙනවා. අත්ලාන්තික් වෙරළබඩ තීරයේ වාසය කරන අවංක සිත් ඇති ජනයාව හමුවීම සඳහා ඔරුවක් පදවාගෙන යෑමට හුරුවීම ඔවුන්ට මුලින්ම ලෙහෙසි වුණේ නැහැ. නිසල සාගරය එකපාරටම රළු වන අවස්ථාවලට මුහුණ දීමට ඔවුන්ට සිදු වුණා. එක ගමක සිට තවත් ගමකට හබල් ගසමින් ඔරුව පදවාගෙන යෑම ලෙහෙසි වුණේ නැහැ. සමහර දවස්වල ඔවුන්ගේ අත් රිදෙන්න පටන්ගත්තා. ඔවුන්ට කොන්ද කැක්කුමත් ඇති වුණා. තවත් අමාරු දෙයක් වුණේ ඒ ප්‍රදේශයේ භාෂාව ඉගෙනගැනීමයි. කෙසේවෙතත් නොයෙකුත් කැප කිරීම් කරමින් ඔවුන් අත් නෑර දැරූ වෑයම්වලට ආශීර්වාද ලැබී තිබෙනවා. වර්ෂ 2001දී පැවැත්වූ ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට 552දෙනෙක් පැමිණ සිටීමෙන් ඒ බව පැහැදිලි වෙනවා.
තොබොබේහි පිහිටි මුහුදු බොක්කේ අනෙක් කෙළවරේ තිබෙන්නේ පුන්තා එස්කොදීදා නමැති ගමයි. කාලෙක සිට මේ ගමේ කුඩා ප්‍රචාරක කණ්ඩායමක් තොබොබේහි පවත්වන රැස්වීම්වලට ඔරුවකින් නිතිපතා පැමිණෙනවා. ඔවුන් රැස්වීම්වලට නොපැමිණෙන්නේ කාලගුණය අහිතකර අවස්ථාවලදී පමණයි. එම ප්‍රදේශයෙන් ලැබුණු වාර්තාවලින් පෙනී ගියේ එහි අලුත් සභාවක් පිහිටුවිය හැකි බවයි. මේ නිසා දිමාස් සහ හිසෙලාව පුන්තා එස්කොදීදාවලට යවා තිබෙනවා. මෙම ප්‍රදේශයේ පිහිටි කණ්ඩායම අවුරුදු දෙකකට වඩා අඩු කාලයකදී ප්‍රචාරකයන් 28කින් සමන්විත අලුත් සභාවක් ලෙස වර්ධනය වී තිබෙනවා. මෙහි සතිපතා පවත්වනු ලබන ප්‍රසිද්ධ කථාවට 114දෙනෙක් පැමිණෙනෙවා. වර්ෂ 2004දී පැවැත්වූ ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට 458දෙනෙක් පැමිණ සිටීම ගැන ඒ අලුත් සභාවේ අයට දැනුණේ ලොකු සතුටක්.
කියවීමේ නොහැකියාව ජයගැනීම
කියවීමේ හැකියාව නොතිබූ අවංක සිත් ඇති බොහෝදෙනෙක් ඒ හැකියාව අත් කරගෙන තිබෙන නිසා යෙහෝවා දෙවිට ළංවීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. කෝමාකා නමැති කඳුකර ප්‍රදේශයේ ජීවත් වන ෆමීනා නම් යෞවනියද ඔවුන්ගෙන් කෙනෙක්. ඇය ජීවත් වන දුෂ්කර ප්‍රදේශයේ සේවය කරමින් සිටි වෙනත් රටකින් පැමිණි සාක්ෂිකරුවන් දේශනා කළ දෙවිගේ රාජ්‍යය පිළිබඳ පණිවිඩයට ඇය හුඟාක් උනන්දුවෙන් සවන් දුන්නා. බයිබලය පාඩම් කරන්න කැමතිද කියා ඇගෙන් ඇසූ විට කැමතියි කියා ඇය පැවසුවා. ඒත් ගැටලුවක් තිබුණා. ඇයට ස්පාඤ්ඤ සහ න්ගෝබෙරි භාෂා දෙකම කතා කරන්න පුළුවන් වුණත් ඒ භාෂා දෙකෙන් එකක්වත් කියවන්න හෝ ලියන්න ඇයට පුළුවන් වුණේ නැහැ. කියවීමේ හා ලිවීමේ හැකියාව දියුණු කරගැනීම සඳහා ඇයට උගන්වන්න ඒ දේවසේවකයන් ඉදිරිපත් වුණා.a
ෆමීනා කියවන්න හා ලියන්න ඉගෙනගන්න තිබුණු උනන්දුව නිසා ඇය හැම පාඩමකටම හොඳින් සූදානම් වුණා. දුන්න ගෙදර වැඩ සියල්ලම කළා. දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!b කියන විවරණිකාව පාඩම් කළ හැකි තරමට දියුණුවක් ඇය අවුරුද්දක් ඇතුළත ලැබුවා. ඒ ප්‍රදේශයේ රැස්වීම් පැවැත්වීමට පටන්ගත් විට ඇයත් ඒවාට හවුල් වුණා. ඒ වුණත් ඇගේ දරුවන් සමඟ නිතිපතා රැස්වීම්වලට පැමිණීම සඳහා බස් ගාස්තු ගෙවීමට අවශ්‍ය තරම් මුදල් ඇයට තිබුණේ නැහැ. ෆමීනාගේ තත්වය දැනගත් එක් පුරෝගාමියෙක් න්ගෝබෙ කාන්තාවන් අඳින සම්ප්‍රදායික ඇඳුම් මසා විකුණන්න කියා ඇයට යෝජනා කළා. ෆමීනා ඒ යෝජනාව ක්‍රියාත්මක කළා. ඇයට වෙනත් දේවල් මිල දී ගන්න තිබුණත් ඇය ඇඳුම් මසා ලබාගත් මුදල් පාවිච්චි කළේ ක්‍රිස්තියානි රැස්වීම්වලට යන්න විතරයි. ඇයත් ඇගේ පවුලේ අයත් දැන් වෙනත් ප්‍රදේශයක පදිංචියට ගොස් සිටින අතර ඇය සත්‍යය තුළ හොඳ වර්ධනයක් ලබනවා. කියවීමේ හා ලිවීමේ හැකියාව දියුණු කරගන්න හැකිවීම ගැන ඇයත් ඇගේ පවුලේ අයත් සතුටු වෙනවා. ඒත් ඊටත් වඩා ඔවුන් හුඟාක් සතුටු වන්නේ යෙහෝවා දෙවිව දැනගන්න ලැබීම ගැනයි.
බිහිරි අයට දේශනා කිරීමේ අභියෝගය ජයගැනීම
පැනමාවේ බිහිරි අය සිටින බොහෝ පවුල්වල අයට ඒ ගැන දැනෙන්නේ ලැජ්ජාවක්. සමහර අවස්ථාවලදී බිහිරි අයට කිසිම ආකාරයක අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. ඔවුන් සමඟ අන් අය අදහස් හුවමාරු කර නොගන්න නිසා එවැනි අයට දැනෙන්නේ තමන් සමාජයේ කොන් වී සිටින බවයි.
මේ නිසා බිහිරි අයට ශුභාරංචිය දේශනා කිරීම සඳහා යම් දෙයක් කළ යුතු බව පෙනී ගියා. සංචාරක අවේක්ෂකයෙක් දුන් දිරිගැන්වීමකට අනුව පුරෝගාමි කණ්ඩායමක් තවත් පිරිසක් සමඟ එක් වී පැනමාවේ භාවිත කරන සංඥා භාෂාව ඉගෙනගන්න පටන්ගත්තා. ඔවුන් දැරූ ඒ වෑයමට හොඳ ප්‍රතිඵල අත් වුණා.
වර්ෂ 2001 අවසානභාගය වන විට පැනමා නගරයේ සංඥා භාෂාවෙන් රැස්වීම් පවත්වන කණ්ඩායමක් පිහිටෙව්වා. විසිදෙනෙක් පමණ රැස්වීම්වලට පැමිණියා. සංඥා භාෂාව හොඳින් ඉගෙනගත් සහෝදර සහෝදරියන්ට ප්‍රථම වතාවට බිහිරි අය බොහෝදෙනෙකුට ශුභාරංචිය ලබා දෙන්න හැකි වුණා. බිහිරි දරුවන් සිටින සාක්ෂිකාර දෙමාපියන් බොහෝදෙනෙක් තම දරුවන් සමඟ රැස්වීම්වලට පැමිණෙන්න පටන්ගත්තා. බයිබලයෙන් උගන්වන සත්‍යයන් තම බිහිරි දරුවන් පහසුවෙන් තේරුම්ගන්න බවත් සත්‍යය ගැන ඔවුන්ට ලොකු උනන්දුවක් තිබෙන බවත් ඒ දෙමාපියන් දුටුවා. දෙමාපියන්ද සංඥා භාෂාව ඉගෙනගත් නිසා තම බිහිරි දරුවන් සමඟ හොඳින් අදහස් හුවමාරු කරගන්න ඔවුන්ට හැකි වී තිබෙනවා. දෙවිට වඩ වඩා ළංවීමට තම දරුවන්ට උපකාර කිරීමට ඒ දෙමාපියන්ට හැකි වූ අතර පවුලේ අය අතර තිබෙන බැඳීමද ශක්තිමත් වුණා. මේ බව එල්ෂා සහ ඇගේ දියණිය වන ඉරීඩාගේ අද්දැකීමෙන් පැහැදිලි වෙනවා.
ඉරීඩා ගැන සංඥා භාෂා කණ්ඩායම සමඟ සේවය කරන සහෝදරියකට දැනගන්න ලැබුණා. ඇය ගොස් ඉරීඩාව හමු වී පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!c නමැති විවරණිකාව ඇයට දුන්නා. මේ විවරණිකාවේ පින්තූරුවලින් පාරාදීසය ගැන ඇයට ඉගෙනගන්න ලැබුණු දේවල් ගැන ඇය හුඟාක් සතුටු වුණා. ඒ විවරණිකාවෙන් ඇයත් සමඟ බයිබල් පාඩමක් පටන්ගත්තා. එය පාඩම් කර අවසන් වූ පසු දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?d නමැති විවරණිකාව පාඩම් කළා. මේ විවරණිකාව පාඩම් කරද්දී එයට සූදානම් වෙන්නත් එහි තිබෙන දේවල් තේරුම්ගන්නත් තමාට උපකාර කරන්න කියා ඇය මවගෙන් ඉල්ලා සිටියා.
තම දුවගේ ඉල්ලීම ඉටු කර දීමේදී එල්ෂාට ගැටලු දෙකකට මුහුණ දෙන්න සිදු වුණා. එකක් ඇය සාක්ෂිකාරියක් නොවූ නිසා බයිබලයේ සඳහන් සත්‍යය ගැන ඇය දැනගෙන සිටියේ නැහැ. අනෙක ඇයට සංඥා භාෂාවද තේරුම්ගන්න නොහැකි වුණා. ඇගේ දුවත් එක්ක සංඥා භාෂාවෙන් අදහස් හුවමාරු නොකර, ඇගේ දුවට කතා කරන්න ඉගෙනගන්න ඉඩහරින්න කියා ඇයට සමහර අය පවසා තිබුණා. මේ නිසා ඇයත් ඇගේ දුවත් අතර අදහස් හුවමාරුව බොහෝ දුරට ඇණහිට තිබුණා. තම දුවගේ ඉල්ලීම ඉටු කිරීම සඳහා තමන් සමඟ බයිබලය පාඩම් කරන්න කියා ඇය සාක්ෂිකාරියකගෙන් ඉල්ලා සිටියා. මේ ගැන ඇය මෙසේ පැවසුවා. “මගේ දුවට උදව් කරන්න ඕන හින්දයි මම මේ ඉල්ලීම කරන්නේ. බයිබලය ගැන ඉගෙනගන්න ඉරීඩා ඉන්නේ ලොකු ආශාවකින්. වෙන කිසිම දෙයකට නැති උනන්දුවක් බයිබලය ගැන ඉගෙනගන්න ඇයට තියෙනවා.” සාක්ෂිකාරියක් ඇගේ දුවත් එක්ක කරන බයිබල් පාඩමට එල්ෂාත් හවුල් වෙන්න පටන්ගෙන සංඥා භාෂාව ඉගෙනගත්තා. එල්ෂා ඇගේ දුවත් එකක් වැඩි කාලයක් ගත කළ නිසා දෙදෙනා අතර අදහස් හුවමාරුව වැඩි වුණා. ඉරීඩා මිත්‍රයන්ව ආශ්‍රය කිරීමේදී වෙනදාට වඩා වැඩියෙන් ඥානවන්තව ක්‍රියා කළා. ඇය වැඩියෙන් ප්‍රිය කළේ සභාවේ අයව ඇසුරු කරන්නයි. දැන් මවයි දුවයි දෙන්නම නිතිපතා රැස්වීම්වලට පැමිණෙනවා. එල්ෂා ළඟදී බව්තීස්ම වුණා. ඉරීඩාද ඒ ඉලක්කය අත් කරගන්න වෑයම් කරනවා. දැන් තමන්ගේ දුවව වඩාත් හොඳින් තේරුම්ගන්න තමාට හැකි වී තිබෙනවා කියා එල්ෂා පවසනවා. දැන් බොහෝ වැදගත් කාරණා ගැන අදහස් හුවමාරු කරගන්න ඔවුන් දෙදෙනාටම හැකි වී තිබෙනවා.
වර්ෂ 2003 අප්‍රියෙල් මාසයේදී සංඥා භාෂා කණ්ඩායම සභාවක් ලෙස පිහිටුවා තිබෙන අතර දැන් එහි ප්‍රචාරකයන් 50දෙනෙක් විතර සිටිනවා. රැස්වීම්වලට ඊට වඩා වැඩි පිරිසක් පැමිණෙනවා. මේ අයගෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් බිහිරි අයයි. පැනමා නගරය හැර තවත් නගර තුනක සංඥා භාෂා කණ්ඩායම් වර්ධනය වෙමින් තිබෙනවා. මේ ක්ෂේත්‍රයේ තවත් බොහෝ දේවල් කරන්න තිබුණත් අවංක සිත් ඇති බිහිරි අය සහ ඔවුන්ගේ ප්‍රේමණීය මැවුම්කරු වන යෙහෝවා දෙවි අතර මිත්‍රත්වයක් ඇති කිරීම සඳහා දැනටමත් මහත් වැඩ කොටසක් කර තිබෙනවා.
පැනමාව පුරා එවන් වර්ධනයක් සිදු වෙමින් පවතිනවා. ඔවුන් විවිධ සංස්කෘතිවලින්, භාෂාවලින් හා පසුබිම්වලින් පැමිණියත් ඔවුන් එක්සත්ව එකම සැබෑ දෙවිට නමස්කාර කරනවා. යෙහෝවා දෙවිගේ වචනය වන බයිබලයේ සඳහන් සත්‍යය නිසා මේ රටේ අදහස් හුවමාරු කරගැනීමට තිබෙන බාධක ජයගෙන තිබෙනවා.—එෆීස 4:4.
[පාදසටහන්වල]
a ඔවුන් මේ සඳහා යොදාගත්තේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පිළියෙළ කර තිබෙන Apply Yourself to Reading and Writing විවරණිකාවයි.
b යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.
c යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.
d යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.
[8වන පිටුවේ සිතියම්]
(මුද්‍රිත පිටපත බලන්න)
කැරිබියන් මුහුද
පැනමාව
තොබොබේ
පැසිෆික් සාගරය
පැනමා ඇළ
[8වන පිටුවේ පින්තූරය]
කූන ස්ත්‍රීන් දෙදෙනෙක්
[9වන පිටුවේ පින්තූරය]
වෙනත් රටකින් පැමිණි සාක්ෂිකාරියක් න්ගෝබෙ ස්ත්‍රියකට දේශනා කරමින්
[10වන පිටුවේ පින්තූරය]
විශේෂ එක් දින එක්රැස්වීමකට ඔරුවකින් යෑම සඳහා පිටත් වන සාක්ෂිකරුවන් පිරිසක්
[11වන පිටුවේ පින්තූර]
පැනමාවේ සංස්කෘතික හා භාෂාමය භාධක හමුවේ බයිබල් සත්‍යය ව්‍යප්ත වේ
[12වන පිටුවේ පින්තූරය]
සංඥා භාෂාවෙන් පවත්වනු ලබන “මුරටැඹ” පාඩම
[12වන පිටුවේ පින්තූරය]
එල්ෂා දැන් ඇගේ දුව ඉරීඩාත් සමඟ හොඳින් අදහස් හුවමාරු කරනවා
[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Ship and Kuna women: © William Floyd Holdman/Index Stock Imagery; village: © Timothy O’Keefe/Index Stock Imagery