“රජ තුන් කට්ටුව” ඒ කවුරුන්ද?
සාමාන්‍යයෙන් ක්‍රිස්තුස්ගේ උපත හා බැඳි රඟ දැක්වීම්වලදී ගවඔරුවේ සිටින යේසු බිලිඳාව බැලීමට දිග ලෝගු ඇඳගත් මනුෂ්‍යයන් තුන්දෙනෙකු ඔටුවන් පිට එන ආකාරය නිරූපණය කරනවා. මෙම ගම්භීර ඇඳුම් කට්ටලයෙන් සැරසී එන අමුත්තන්ව පොදුවේ හඳුන්වන්නේ රජ තුන් කට්ටුව ලෙසයි. බයිබලයේ ඔවුන් සම්බන්ධව කියැවෙන්නේ කුමක්ද?
රජ තුන් කට්ටුවයයි හඳුන්වන මේ මනුෂ්‍යයන් බයිබලයේ වාර්තා වන විදියට “නැඟෙනහිර දිශාවෙන්”පැමිණි අතර ඔවුන් යේසුස්ගේ උපත දැනගත්තේ එහිදීයි. (මතෙව් 2:1, 2, 9, NW) මේ මනුෂ්‍යයන්ට යූදා දේශයට ළඟාවීමට සෑහෙන කාලයක් ගත වෙන්න ඇති. ඔවුන්ට යේසුස්ව හම්බ වෙන්නේ ගවමඩුවේදීවත්, බිලිඳෙකු ලෙසවත් නොවෙයි. ඒ වෙනුවට ඔවුන්ට මරියාව මුණගැසුණේ ඇය “කුඩා දරුවා” සමඟ නිවසක සිටින විටයි.—මතෙව් 2:11, NW.
බයිබලයේ මොවුන්ව හඳුන්වා ඇත්තේ “ශාස්ත්‍රඥයන්” නැතහොත් ජ්‍යෝති ශාස්ත්‍රඥයන් ලෙස වන අතර කීදෙනෙක් පැමිණියාද යන්න පිළිබඳව සඳහන් කර නැහැ. ද ඔක්ස්ෆර්ඩ් කම්පෑනියන් ටු ද බයිබල් නමැති ග්‍රන්ථයේ පැහැදිලි කරන්නේ මෙසේයි. “මෙම අමුත්තන් තාරකාවේ මඟ පෙන්වීම අනුව බෙත්ලෙහෙමට ගමන් කිරීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් නක්ෂත්‍ර විද්‍යාව හා මායාව කෙරෙහි දැඩිව ආකර්ෂණය වී තිබුණු බවයි.” සියලුම ආකාරයේ මායාව සහ බබිලෝනීය පුරුද්දක් වන තාරකාවලින් තොරතුරු රැස් කිරීම බයිබලයේ සම්පූර්ණයෙන්ම හෙළා දැක තිබෙනවා.—ද්විතීය කථාව 18:10-12; යෙසායා 47:13.
මෙම මනුෂ්‍යයන් තුන්දෙනාට ලැබුණු තොරතුරුවලින් යම් යහපතක් වුණාද? නැහැ. මෙයින් සිදු වූ දේ නම් දුෂ්ට හෙරොද් රජට මහත් ඊර්ෂ්‍යාසහගත කෝපයක් ඇතිවීමයි. මෙහි ප්‍රතිඵලය වූයේ යෝසෙප්, මරියා හා යේසුස්ට ඊජිප්තුවට පලා යෑමට සිදුවීම සහ බෙත්ලෙහෙමේ සිටි වයස ‘අවුරුදු දෙකක් හා ඊට අඩු දරුවන්’ ඝාතනය කරනු ලැබීමයි. මෙම ජ්‍යෝති ශාස්ත්‍රඥයන්ගෙන් ලත් තොරතුරුවලට අනුව යේසුස්ගේ උපත සිදු වන කාලය ඉතා හොඳින් නිර්ණය කිරීමට හෙරොද්ට හැකි විය. (මතෙව් 2:16) ඔවුන්ගේ බැහැදැකීමෙන් අනතුරුව සිදු වූ සියලුම කරදරවලට අනුව එළඹිය හැකි නිගමනය නම් ඔවුන් දුටු ඒ තරුව හා “යුදෙව්වරුන්ගේ රජව උපන් තැනැත්තා” පිළිබඳ පණිවිඩය ලැබුණේ යේසුස්ව මරණයට පත් කිරීමට වුවමනාවෙන් සිටි දෙවිගේ සතුරා වන සාතන් නමැති යක්ෂයාගෙන් බවයි.—මතෙව් 2:1, 2, NW.