ලෝක අවසානයෙන් ඔබට ගැළවිය හැක්කේ කෙසේද?
බයිබලය දැන් පවතින ක්රමයේ අවසානය විස්තර කරන්නේ “ඒ දවස වනාහි උදහස් දවසක්ය. දුක්ඛිත වූ විපත්ති දවසක්ය. නාස්ති වීමේ හා සුනත් වීමේ දවසක්ය. අන්ධකාර වූ කළුවර වූ දවසක්ය. වලාපටලද ඝනාන්ධකාරයද ඇති දවසක්ය” කියාය. (ශෙපනියා 1:15) ඉදිරියේදී මේ ආකාරයේ දවසක් එන තෙක් ඔබ බලා නොසිටින බවට නම් කිසිම සැකයක් නැහැ. එහෙත්, ප්‍රේරිත පේතෘස් සෙසු ක්‍රිස්තියානීන්ට අවවාද කළේ මෙසේය. “[යෙහෝවාගේ] දවස පැමිණීම බලා සිටිමින්ද ඒ ගැන උනන්දුව ක්‍රියා කරමින්ද [මනසෙහි ප්රමුඛව තබාගනිමින්ද, NW]” සිටින්න. තවදුරටත් ඔහු පැවසුවේ, “අහස ගිනි ඇවිළී නාස්ති වෙනවා ඇත, මහා භූතයෝද දාලා උණු වී යන්නෝය. එහෙත් ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද ඔහුගේ පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමු” කියාය.—2 පේතෘස් 3:11-13.
පේතෘස් මෙහිදී පැහැදිලි කරමින් සිටියේ අහස සහ පොළොව පදගතාර්ථයෙන්ම විනාශ වී යන බවක් නොවේ. පේතෘස් විසින් අහස සහ පොළොව යනුවෙන් සංකේතාත්මකව යොමු දක්වා ඇත්තේ, මෙම දූෂිත වූ මිනිස් ආණ්ඩු සහ අභක්තික මිනිස් සමාජයට බව මෙම පාඨ සම්බන්ධය බලන කල පෙනී යයි. ‘යෙහෝවාගේ දවසේදී’ පොළොව විනාශ නොකරන නමුත් “දේශය පාළු කර එහි සිටින පව්කාරයන් එයින් නැති කර” දමනු ලබයි. (යෙසායා 13:9) වත්මන් දුෂ්ට මිනිස් සමාජය “තුළ කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලා කෙඳිරිගාන” අයහට යෙහෝවාගේ දවස ගැළවීමේ දවසක් වනු ඇති.—එසකියෙල් 9:4.
එසේ නම්, ‘යෙහෝවාගේ මහත් වූ භයානක වූ දවසෙන්’ බේරීමට යමෙකුට හැක්කේ කොහොමද? එම ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ අනාගතවක්තෘවරයෙකුහට හෙළි කරන ලද ‘යෙහෝවාගේ වචනයි’. ‘යෙහෝවා යන නම කියා යාච්ඤා කරන [අයදින, NW] කවුරු නුමුත් ගැළවෙනවා ඇත.’ (යෝවෙල් 1:1; 2:31, 32) යෙහෝවාගේ නාමයට අයැදීම යන්නෙන් අදහස් කරන දෙය ඔබට කියා දීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතුටෙන් සිටිනවා.