“දැන් ඔයාට රිදෙන්න පුළුවන්”
එවන් වදනක් ඔබ කවදා හෝ අසා තිබෙනවාද? සමහරවිට වෛද්‍යවරයෙක් හෝ හෙදියක් යම් ප්‍රතිකාරයක් දීමට පෙර මෙවැන්නක් පැවසීමට පුළුවන.
අත් විඳින්න සිදු වන වේදනාව මඟහැරීමට ඔබ ප්‍රතිකාර ලබාගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නැත. සුවයක් ලබාගැනීමේ අටියෙන් ඔබ මොනයම් වේදනාවක් වුවද දරාගනියි. යම් අවස්ථාවලදී දරුණු වේදනාවක් අද්දකින්න සිදු වන ප්‍රතිකර්මයක් පිළිගැනීම හෝ නොපිළිගැනීම ජීවිතයත් මරණයත් අතර කෙරෙන තේරීමක් විය හැකියි.
තුන්සිය හැටපස් දවසේම අපහට වෛද්‍යවරයෙකුගේ අනුදැනුම අවශ්‍ය නොවන්න පුළුවන්. නමුත් අසම්පූර්ණ මිනිසුන් වශයෙන් අපට හික්මවීමක් එසේ නැතහොත් නිවැරදි කිරීමක් නැතුව නම් බැරිය. සමහර අවස්ථාවල මෙය වේදනාකාරි යමක් විය හැකියි. (යෙරෙමියා 10:23) විශේෂයෙන් දරුවන්ට මෙය කොතරම් අවශ්‍යදැයි බයිබලයෙහි පෙන්වා තිබේ. එහි පවසන්නේ, “මෝඩකම ළමයෙකුගේ සිතට බැඳී තිබේ. දඬුවම් කිරීමේ ඉපල එය ඔහුගෙන් දුරු කරයි” යනුවෙනි.—හිතෝපදේශ 22:15.
මෙහිදී ඉපල නැතහොත් කෝටුවෙන් සංකේතවත් කරන්නේ මාපියන් සතු අධිකාරියයි. හික්මවනවාට කැමැත්තක් දක්වන්නේ සුළු දරු පිරිසක් බව ඇත්ත. එසේම හික්මවීමට යම් ආකාරයක දඬුවමක් අයත් වූ විට ඔවුන් අමනාපයක් පවා ඇති කරගනී. අමනාපය කෙසේවෙතත් ඥානවන්ත සහ ප්‍රේමනීය මාපියන් බලන්නේ දරුවාගේ අනාගතික ශුභසිද්ධියයි. දෙවිගේ වචනයෙහි සඳහන් මෙම වදන්, එනම් “කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය” යන්න පරම සත්‍යයක් බව ක්‍රිස්තියානි මාපියන් මනා කොට දනී.—හෙබ්‍රෙව් 12:11; හිතෝපදේශ 13:24.
දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද හික්මවීම අවශ්‍ය බව නොකිවමනාය. “ගුරුකම [හික්මවීම, NW] තදින් අල්ලාගෙන, අත්නෑර, එය තබාගන්න. මක්නිසාද එය නුඹේ ජීවනයය” යනුවෙන් බයිබලයේ පවසන්නේ වැඩිහිටියන්ටය. (හිතෝපදේශ 4:13) ඔව්, බුද්ධිමත්ව සිතනවා නම් ලොකු කුඩා කවුරු නමුත් දෙවිගේ වචනය වන බයිබලයේ අන්තර්ගත හික්මවීම අගයකින් යුතුව භාරගන්නා බව නිසැකයි. මන්ද එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ඔවුන්ගේ දිවිය සුරක්ෂිත වීමය.