ක්ලෝවිස්ගේ බව්තීස්මය හා බැඳි ප්‍රංශයේ වසර 1,500ක කතෝලික ඉතිහාසය
“පාප්ගේ නාමයෙන්, ඩෝං!!” යන පණිවිඩය රැගත්, නිවසක සාදන ලද බෝම්බයක් ප්‍රංශයේ පල්ලියක තිබී සොයාගන්නා ලදි. එය සාදන ලද්දේ IIවන ජුවාම් පාවුලු පාප් ප්‍රංශයට පැමිණෙන පස්වන වතාව සම්බන්ධයෙන් දැඩි විරෝධය ප්‍රකාශ කිරීමටයි. ඔහු එම පල්ලියට පැමිණීමට නියමිතව තිබුණේ 1996 සැප්තැම්බර් මාසයේදීය. කෙසේවෙතත්, එම වසරේ, ප්‍රංශයේ නගරයක් වන රීම්ස් වෙත 2,00,000ක පමණ ජනකායක් එක් රොක් වූහ. මෙලෙස ඔවුන් එක් රොක් වූයේ ෆ්රෑන්ක් ජාතිකයෙකු වූ ක්ලෝවිස් රජ කතෝලික ධර්මයට හැරී අවුරුදු 1,500ක් ගත වීම නිමිත්තෙන් පවත්වන සංවත්සරය සඳහා පාප්වරයා සමඟ හවුල් වීමටයි. එම රජුගේ බව්තීස්මය ප්‍රංශයේ බව්තීස්මය ලෙසින් හැඳින්විය. ඔහු කවුද? තවද එම අනුස්මරණය ඉමහත් මතභේදයකට තුඩු දුන්නේ මන්ද?
පිරිහෙන අධිරාජ්‍යය
සාලියන් ෆ්රෑන්ක්වරුන්ගේ රජු වූ 1වන චිල්ඩරික්ගේ පුත් ක්ලෝවිස් උපන්නේ පො. යු. 466දී පමණය. රෝමවරුන් අතින් පො. යු. 358දී පරාජයට ලක් වූ මෙම ජර්මානු ගෝත්‍රිකයන්ට දැන් බෙල්ජියම ලෙසින් හැඳින්වෙන රටේ පදිංචි වීමට ඉඩහරිනු ලැබීය. ඔවුන්ට එම අවසරය ලැබුණේ දේශ සීමාව ආරක්ෂා කිරීමට සහ රෝම හමුදාව සඳහා සොල්දාදුවන් සැපයීමට එකඟ වීමේ කොන්දේසිය මතයි. මේ අයුරින් ප්‍රංශ-රෝමානු ජනයා සමඟ සමීප ඇසුරක් පැවැත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන්, මෙම ෆ්‍රෑන්ක්වරුන්ට ක්‍රම ක්‍රමයෙන් රෝමානු වැසියන් වීමේ ප්‍රස්තාව ලැබිණ. පළමුවන චිල්ඩරික් රෝමානු හමුදාව සමඟ මිත්‍ර සන්ධානයක් ඇති කරගත්තේ විසිගොත්වරුන් හා සැක්සන්වරුන් වැනි අනෙක් ජර්මානු ගෝත්‍රිකයන්ගේ ආක්රමණයන්ට එරෙහිව සටන් කිරීමටයි. මේ හේතුවෙන් ඔහු ප්‍රංශ-රෝමානු ජනතාවගේ කෘතඥතාව දිනාගත්තේය.
රෝමානු පළාතක් වූ ගොවුල්වරුන්ගේ දේශය, උතුරෙන් රයින් නදියේ සිට දකුණෙන් පිරනීස් දක්වා දිවගියේය. කෙසේවුවද, පො. යු. 454දී රෝමානු ජෙනරාල් ඊෂස් මියගිය පසු එම පළාත භාරව පාලකයෙකු සිටියේ නැත. එපමණක්ද නොව, රෝමයේ අවසාන අධිරාජයා වූ රොම්යුලස් ඔගස්ෂලස් පො. යු. 476දී වැටී යෑමත් සමඟම රෝමානු අධිරාජ්‍යයේ බටහිර කොටසේ පාලනයද ඇනහිටීම හේතුවෙන් මුළු පළාතේම මහත් දේශපාලනික අස්ථාවරයක් ඇති විය. ප්‍රතිඵලයක් වශයෙන්, ගොවුල් දේශය එහි සීමාවන් අසල පදිංචිව සිටි ඕනෑම ගෝත්‍රයකට පහසුවෙන්ම නෙළාගත හැකිව තිබූ ඉදුණු අත්තික්කා ගෙඩියක් මෙන් විය. ක්ලෝවිස් සිය පියාගෙන් පසු පාලනයට පැමිණි විට ඔහුගේ රාජධානියේ දේශසීමා පුළුල් කිරීමට ක්‍රම යෙදීම පුදුමයක් නොවේ. ඔහු පො. යු. 486දී ස්වාසෝන් නගරය අසලදී කළ සටනකින් ගොවුල්හි පාලනයේ සිටි රෝම නියෝජිතයාව පරාජයට පත් කළේය. මෙම විජයග්‍රහණය නිසා උතුරෙන් සෝම් නදියේ සිට මධ්‍යම සහ බටහිර ගොවුල් අතරින් දිව යන ල්වාර් නදිය දක්වා මුළු ප්‍රදේශයේම පාලන බලය අතට ගැනීමට ඔහුට හැකි විය.
රජ වූ හෙතෙම
වෙනත් ජර්මානු ගෝත්‍රිකයන් මෙන් නොව මෙම ෆ්රෑන්ක්වරු දිගටම මිථ්‍යා දෙවිවරුන් අදහමින් සිටියහ. කෙසේවුවද, ක්ලෝවිස් විසින් බර්ගන්ඩියන් කුමරියක විවාහ කරගැනීම ඔහුගේ ජීවිතයට ප්‍රබල බලපෑමක් විය. තද කතෝලිකයෙකු වූ ක්ලොටිල්ඩා තම ස්වාමිපුරුෂයාව සිය ආගමට හරවාගැනීමට නොමද උත්සාහයක් දැරුවාය. ටුවාහි ග්‍රෙගරි පො. යු. හයවන සියවසේදී වාර්තා කළ ඉතිහාසයට අනුව, ක්ලොටිල්ඩාගේ දෙවි තමාට ජයග්‍රහණය ලබා දෙතොත් මිථ්‍යා නමස්කාරයන්ගෙන් ඈත් වන බවට ක්ලෝවිස් පොරොන්දු වූයේ, පො. යු. 496දී අලෙමනි ගෝත්‍රයට එරෙහිව දියත් කර තිබූ ටෝබිඇක් (ජර්මනියේ ට්සුල්පික්හි) සටන පැවති සමයේදීය. ක්ලෝවිස්ගේ හමුදා පරාජය අද්දර සිටියදී අලෙමනි රජුව ඝාතනය කළ අතර ඔහුගේ හමුදාව යටත් විය. ක්ලෝවිස්ගේ අදහස වූයේ ක්ලොටිල්ඩාගේ දෙවි තමාට ජයග්‍රහණය දුන් බවය. සම්ප්‍රදායට අනුව රීම්ස්හි දෙව් මැදුරේදී “ශාන්ත” රෙමිජියස් විසින් පො. යු. 496 දෙසැම්බර් 25වනදා ක්ලෝවිස්ව බව්තීස්ම කරනු ලැබීය. කෙසේනමුත්, සමහරු විශ්වාස කරන්නේ එම දිනය පො. යු. 498/9යේ දිනයක් වූවා විය හැකියි කියාය.
බර්ගන්ඩි රාජ්‍යය ගිනිකොනදිගට ඈඳාගැනීමට ක්ලෝවිස් දැරූ උත්සාහය ව්‍යර්ථ වුවත් විසිගොත්වරුන්ට එරෙහිව ඔහු දියත් කළ වැඩ පිළිවෙළ සාර්ථක විය. පොදු යුගයේ 507, පෝටියේ අසල පිහිටි වූයේහිදී ඔහු ඔවුන්ව පරාජය කළේය. එම ජයග්රහණයෙන් ඔහුට නිරිතදිග ගොවුල්හි වැඩි කොටසක පාලනය නතු කරගත හැකි විය. ඔහුගේ මෙම ජයග්‍රහණය පිළිගත් පෙරදිග රෝමානු අධිරාජ්‍යයේ අධිරාජවරයා වූ ඇනස්ටේෂස් විසින් ක්ලෝවිස්ට ගරු කොන්සල් ධුරය පිරිනැමීය. මේ නිසා අනෙක් බටහිර රජවරුන් සියලුදෙනාට වඩා ඔහුට ඉහළ තනතුරක් තිබූ අතර ප්‍රංශ-රෝමානු ජනයා ඉදිරියේ ඔහුගේ පාලකත්වය ස්ථිර කරනු ලැබීය.
රයින් නදිය ආශ්රිත පෙරදිග ප්‍රදේශයේ පදිංචිව සිටි ෆ්රෑන්ක්වරුන්ව පාලනය කිරීමේ බලය නතු කරගත් ක්ලෝවිස් පැරිස් නුවර ඔහුගේ අගනුවර කරගත්තේය. ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේදී ලෙක්ස් සලිකා නම් ලිඛිත නීති මාලාව ලබා දෙමින් සහ පල්ලිය හා රජය අතර සබඳතා පැහැදිලි කරගැනීමට ඕලියැංහි ක්‍රිස්තියානි සභා කවුන්සලයක් කැඳවමින් ඔහු තම රාජ්‍යය ශක්තිමත් කළේය. පොදු යුගයේ 511දී මියයන තෙක්ම ඔහු ගොවුල්හි හතරෙන් තුනක තනි පාලකයාව සිටියේය. සමහරවිට ඔහු මියයන්න ඇත්තේ නොවැම්බර් 27වනදා විය හැකියි.
ක්ලෝවිස් කතෝලික ධර්මය වැලඳගැනීම සම්බන්ධයෙන්, ද නියූ එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා පවසන්නේ එය “බටහිර යුරෝපා ඉතිහාසයේ තීරණාත්මක මොහොතක්” වූවා කියාය. මිථ්‍යා නමස්කාරයේ යෙදුණු මෙම රජුගේ හැරීම මෙතරම් වැදගත් වූයේ මන්ද? එය වැදගත් වූයේ, ඒරියන්වාදය වෙනුවට ඔහු කතෝලික ධර්මය තෝරාගත් නිසාය.
ඒරියන් මතභේදය
පොදු යුගයේ 320දී පමණ ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ පූජකයෙකු වූ ඒරියස් ත්‍රිත්වය සම්බන්ධයෙන් පෙරළියක් ඇති කරන මත පැතිරවීමට පටන්ගත්තේය. පියාණන් හා සමානවම පුත්රයාණන්ද දේවත්වයෙන් සිටින බව ඒරියස් ප්‍රතික්ෂේප කළේය. පුත්‍රයාණන්ට පටන්ගැන්මක් තිබූ බැවින් ඔහුට දෙවිවීමට හෝ පියාට සමාන වීමට හැකියාවක් නැත. (කොලොස්සි 1:15) ශුද්ධාත්මය පුද්ගලයෙකු වන නමුත් එය පියා සහ පුත්‍රයා යන දෙදෙනාටම වඩා පහත් බවයි ඒරියස්ගේ විශ්වාසය වූයේ. මෙම ඉගැන්වීම පුළුල් ලෙස ජනප්‍රිය වීමට පටන්ගත් හෙයින් ක්‍රිස්තියානි පල්ලිය දැඩි විරෝධයක් දක්වමින් නැඟී සිටියේය. නයිසීය කවුන්සලය මගින් පො. යු. 325දී ඒරියස්ව පිටුවහල් කළ අතර ඔහුගේ ඉගැන්වීම් හෙළාදක්නා ලදි.a
එහෙත්, එමගින් මතභේදය නවතාලීමට නොහැකි විය. මෙම මතවාද අර්බුදය වසර 60ක පමණ කාලයක් පුරා පැවති අතර කලින් කලට බලයට පත් වූ අධිරාජයෝ ඒ පැත්තට හෝ මේ පැත්තට පක්ෂ වෙමින් සිටියහ. අවසානයේදී, 1වන තියඩෝෂස් අධිරාජයා පො. යු. 392දී ත්‍රිත්ව ධර්මය ඇතුළු ඕතඩොක්ස් කතෝලික ධර්මය රෝමානු අධිරාජ්‍යයේ රාජ්‍ය ආගම බවට පත් කළේය. මේ අතරතුර ජර්මන් බිෂොප්වරයෙකු වූ උල්ෆලාස් විසින් ගොතික්වරුන්ව ඒරියන්වාදයට නම්මාගෙන තිබිණ. වෙනත් ජර්මානු ගෝත්‍රිකයෝද මෙම “ක්‍රිස්තියානි ධර්මය” වැලඳගැනීමට පසුබට නොවිණ.b
ක්ලෝවිස්ගේ කාලය වන විට ගොවුල්හි කතෝලික සභාව අර්බුදයකට ලක් විය. මියයන බිෂොප්වරුන් වෙනුවට තව අයව පත් කිරීමට ඉඩ නොදෙමින් කතෝලික ධර්මය වළලා දැමීමට ඒරියන් විසිගොත්වරු වෙර දැරූහ. එපමණක්ද නොව, පාප් ධුරය සම්බන්ධයෙන් රෝමයේ පූජකයන් එකිනෙකා ඇණකොටාගනිමින් කොටස් දෙකකට බෙදී සිටි බැවින් ක්‍රිස්තියානි සභාව තුළ ඝට්ටනයක් ඇති වී තිබිණ. ඇතැම් කතෝලික ලේඛකයන් පො. යු. 500වන වසරේදී ලෝකාන්තිමය සිදු වේයයි යන අදහස පළ කළ නිසා වියවුල් තත්වය තවත් උග්‍ර විය. මෙබැවින්, ෆ්රෑන්ක් ජාතික ජයග්‍රාහකයා කතෝලික ධර්මයට හැරීම “ශාන්තුවරයන්ගේ නව සහශ්‍රය” සම්බන්ධයෙන් රාජකීය නිවේදනයක් දීමට හොඳ අවස්ථාවක් මෙන් පෙනිණ.
එහෙත් ක්ලෝවිස්ගේ චේතනාව කුමක් වීද? ආගමික චේතනාවන් තිබූ නමුත් ඔහුගේ යටි හිතේ තිබුණේ දේශපාලනික අභිප්රායන්ය. කතෝලික ධර්මය වැලඳගැනීමෙන් කතෝලික ප්‍රංශ-රෝමානු ජනතාවගෙන් වැඩි පිරිසකගේ අනුග්‍රහය දිනාගත් ඔහු පල්ලියේ බලවත් පූජකයන්ගේ සහයද ලබාගත්තේය. සිය දේශපාලනික එදිරිවාදීන්ගෙන් ජයගැනීමට එය ඔහුට වාසියක් වූ බව නොඅනුමානය. ද නියූ එන්සයික්ලොපීඩියා බ්රිටෑනිකාහි පවසන්නේ “ඔහු ගොවුල් ජයගැනීම කතෝලික විශ්වාසයට පටහැනි මත දැරූ, වෛරයට පාත්‍ර වූ ජනතාවක් වන ඒරියන්වරුන්ගේ ග්රහණයෙන් මුදවාගැනීමේ සටනක් වූ බවය.”
ක්ලෝවිස්ගේ සැබෑ තත්වය කුමක්ද?
වර්ෂ 1996 අනුස්මරණයට පෙර දිනක රීම්ස්හි අගරදගුරු ෂෙරාර් ඩෙෆෝ විසින් ක්ලෝවිස්ව විස්තර කරනු ලැබුවේ “හොඳින් සැලසුම් කර, මනා විනිශ්චය කිරීමකින් පසුව හැරුණාවූ කෙනෙකු සඳහා කදිම ආදර්ශයක් වශයෙනි.” කෙසේවුවත්, ප්‍රංශ ඉතිහාසඥ අර්නස්ට් ලාවීස් මෙසේ ප්‍රකාශ කළේය. “ක්ලෝවිස් හැරුණා වුවත් ඔහුගේ චරිතයෙහි කිසිදු වෙනසක් නොවීය. සුවිශේෂවල ඇති කාරුණික හා සාමකාමී ඉගැන්වීම් ඔහුගේ හදවතට කාවැදුණේ නැත.” තවත් ඉතිහාසඥයෙක් මෙසේ පැවසීය. “ඕඩින්ගෙන් [ස්කැන්ඩිනේවියානු දෙවියෙක්] අයැදිනවා වෙනුවට ඔහු ජීවිතයේ කිසිදු වෙනසක් නොකරමින් ක්‍රිස්තුස්ගෙන් අයැදින්න පටන්ගත්තේය.” ක්‍රිස්තියානි ධර්මය වැලඳගත් පසු කොන්ස්ටන්ටයින්ගේ ක්‍රියාකලාපයට සමාන ක්රියාකලාපයක් අනුගමනය කරමින් ක්ලෝවිස් තම සිහසුනට එරෙහිව නැඟී සිටි සියල්ලන්වම ක්‍රමානුකූලව ඝාතනය කරමින් තම පාලනය ශක්තිමත් කරගැනීමට වැඩ පිළිවෙළක් දියත් කළේය. ඔහු “යන්තමින් හෝ නෑකම ගෑවී තිබූ අයගේ පටන් සියලුම නෑදෑයන්ව” මුළුමනින්ම විනාශ කර දැමීය.
ක්ලෝවිස් මියගියායින් පසු, කෲර රණකාමියෙකුගේ තත්වයේ සිට ශාන්තුවරයෙකුගේ තත්වය දක්වා ඔහුව උසස් කරන තරමටම මිථ්‍යා විශ්වාසයන් ගොඩනැඟීමේ ක්‍රියාවලියක් පටන්ගැනිණ. ඊට සියවසකට පමණ පසුව ලියැවුණු ටුවාහි ග්‍රෙගරිගේ වාර්තාවේ “කිතු දහම” වැලඳගත් ප්‍රථම රෝම අධිරාජයා වූ කොන්ස්ටන්ටයින් හා සම්බන්ධ කර ක්ලෝවිස්ව හඳුන්වා දීමට සෑහෙන වෙහෙසක් දරා තිබිණ. තවද ක්ලෝවිස් බව්තීස්ම වන විට ඔහුට වයස අවුරුදු 30ක් වූ බව පැවසීමෙන් ග්‍රෙගරි උත්සාහ කළේ ඔහුව ක්‍රිස්තුස්ට සමාන කිරීමටයි.—ලූක් 3:23.
රීම්ස්හි රදගුරු අන්ක්මා නවවන සියවසේදීත් මෙම ක්‍රියාදාමය දිගටම පවත්වාගෙන ගියේය. තරඟකාරිත්වයක් තිබූ දෙව් මැදුරුවලට වන්දනාකරුවන් ඇදී එන වකවානුවේදී ඔහු තමාට පෙර සිටි “ශාන්ත” රෙමිජියස්ගේ ජීවිත කතාව ලීවේ තම පල්ලියට ප්‍රසිද්ධත්වයක් ලබාගෙන, ධනය රැස් කිරීමට විය හැක. පැහැදිලිවම, ඔහු තම වාර්තාව තුළ, ක්ලෝවිස්ගේ බව්තීස්මයේදී ඔහුව ආලේප කිරීමට සුදු පරවියෙකු තෙල් කුලාවක් රැගෙන ආ බව සඳහන් කළේ යේසුස්ව ශුද්ධාත්මයෙන් ආලේප කිරීම හා මෙහි සම්බන්ධයක් තිබෙන බව පෙන්වීමටය. (මතෙව් 3:16) මෙලෙස ක්ලෝවිස්, රීම්ස් සහ අධිරාජ්‍යය අතර සම්බන්ධයක් තිබෙන බව පෙන්වමින් ක්ලෝවිස් ස්වාමීන්ගේ ආලේප ලත් තැනැත්තාය යන අදහස විශ්වාස කිරීමට සැලැස්විය.c
මතභේදයට තුඩු දුන් අනුස්මරණය
කලින් ප්‍රංශයේ ජනාධිපතිව සිටි චාල්ස් ඩි ගොවුල් මෙසේ පවසා තිබිණ. “මම හිතන විදිහට ප්‍රංශයේ ඉතිහාසය පටන්ගන්නේ ක්ලෝවිස්ගෙන්. ෆ්රෑන්ක් ගෝත්‍රිකයන් ඔහුව ප්‍රංශයේ රජ ලෙස තෝරගෙන ප්‍රංශයට නම තැබුවේ ඔවුන්ගේ නමෙනුයි.” කෙසේවෙතත්, සෑමදෙනාම ඒ අදහස දරන්නේ නැත. ක්ලෝවිස්ගේ බව්තීස්මයේ 1,500වන සංවත්සරය සැමරීම මතභේදයට ලක් විය. වර්ෂ 1905 සිට ක්‍රිස්තියානි සභාව සහ රජය නිල වශයෙන් බෙදී සිටි රටක, ආගමික අනුස්මරණයක් ලෙස සැලකෙන දෙයකට රජය සහභාගි වීම බොහෝදෙනෙකුගේ විවේචනයට පාත්‍ර විය. පාප්වරයාගේ බැහැදැකීමේදී භාවිත කරන වේදිකාව සඳහා ගෙවීමක් කිරීමට සැලසුම් කර තිබෙන බව රීම්ස්හි නාගරික කවුන්සලය නිවේදනය කළ විට, එක්තරා සංවිධානයක් නඩු මඟට බැස එය නීතිය උල්ලංගනය කිරීමක් බව පෙන්වා එම තීරණය වෙනස් කෙරෙව්වේය. අන් අයට හැඟුණේ කතෝලික සභාව යළිත් ආචාර ධර්ම හා ලෞකික දේ සම්බන්ධයෙන් ප්‍රංශය කෙරෙහි සිය බලය පෑමට වෑයම් කරන බවය. අනුස්මරණය තවදුරටත් ව්‍යාකූල එකක් වූයේ, රාජ්‍ය පාක්ෂික පොදු පෙරමුණ සහ මූලධර්මවාදී කතෝලික කණ්ඩායම්වල සංකේතයක් වශයෙන් ක්ලෝවිස්ව යොදාගැනීම නිසාය.
ඓතිහාසික කෝණයෙන් බලමින් වෙනත් අය අනුස්මරණය විවේචනයට ලක් කළහ. ඔවුන් පැවසුවේ ඒ වන විටත් කතෝලික ධර්මය ප්‍රංශ-රෝමානු ජනතාව තුළ තිර ලෙස පැලපදියම් වී තිබූ බැවින් ක්ලෝවිස්ගේ බව්තීස්මය හේතුවෙන් ප්‍රංශය කතෝලික ධර්මයට හැරුණා කියා කිව නොහැකි බවය. එමෙන්ම, ඔහුගේ බව්තීස්මයෙන් ප්‍රංශය ජාතියක් වශයෙන් බිහි වූ බව ප්‍රකාශ කළ නොහැකියි කියා ඔවුහු පැවසූහ. චාලිමේන්ගේ රාජ්‍යය පො. යු. 843දී බෙදුණු විට ක්ලෝවිස් නොව බෝල්ඩ් ලෙසින් නම් ලැබූ චාල්ස් ප්‍රංශයේ මුල්ම රජ බවට පත් වූ අවස්ථාවේදී ප්‍රංශය බිහි වූ බව සැලකීම වඩාත් සුදුසුය යන්න ඔවුන්ගේ අදහසයි.
කතෝලික ධර්මයේ වසර 1,500ක ඉතිහාසය
ප්‍රංශයේ “කිතුණු සභාවේ වැඩිමල් දියණිය” ලෙස වසර 1,500කට වඩා පැවත ඇති කතෝලික ධර්මයේ වත්මන් තත්වය කුමක්ද? වසර 1938 වන තෙක් ලොව පුරා බව්තීස්ම ලත් කතෝලිකයන්ගෙන් විශාලතම සංඛ්‍යාව සිටියේ ප්‍රංශයේය. දැන් එය හයවන ස්ථානයට පැමිණ පිලිපීනය හා එක්සත් ජනපදය වැනි රටවලට දෙවැනි වී ඇත. ප්‍රංශයේ කතෝලිකයන් මිලියන 45ක් සිටියත් දේවමෙහෙයට නිතිපතා පැමිණෙන්නේ මිලියන 6ක් පමණි. ප්‍රංශයේ කතෝලිකයන් පිළිබඳව මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ, “ලිංගික කාරණා පිළිබඳව ක්‍රිස්තියානි සභාව උගන්වන දේ සම්බන්ධයෙන් සියයට 65ක් සැලකිල්ලක් නොදක්වන” බවය. එමෙන්ම ඔවුන්ගෙන්ද සියයට 5කට යේසුස් යන පුද්ගලයා “වැදගැන්මකට නැති කෙනෙකි.” මෙවැනි නිෂේධාත්මක නැඹුරුවාවන් තිබෙන නිසා, 1980දී පාප්වරයා ප්‍රංශයට පැමිණි අවස්ථාවේදී “ප්‍රංශය, ඔබේ බව්තීස්මයේදී දෙනු ලැබූ පොරොන්දු ගැන ඔබ කළේ කුමක්ද” කියා ඇසීමට ඔහු පෙලඹුණේය.
[පාදසටහන්වල]
a 1984 අගෝස්තු 1 මුරටැඹෙහි 24වන පිටුව බලන්න. (සිංහලෙන් නොමැත.)
b 1994 මැයි 15 මුරටැඹෙහි 8-9 පිටු බලන්න.
c ලුවී යන නම පැමිණියේ ක්ලෝවිස්ගෙනි. ඉන්පසු එම නමින් ප්‍රංශ රජවරු 19දෙනෙක් (XVII ලුවී සහ ලුවී ෆිලිප් ඇතුළුව) පත් වූහ.
[27වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
සැක්සන්වරුන්
රයින් නදිය
සෝම් නදිය
ස්වාසෝන්
රීම්ස්
පැරිස්
ගොවුල්
ල්වාර් නදිය
වූයේ
පෝටියේ
පිරනීස්
විසිගොත්වරුන්
රෝමය
[26වන පිටුවේ පින්තූරය]
14වන සියවසේ සටහනක දැක්වූ ක්ලෝවිස්ගේ බව්තීස්මය
[හිමිකම් විස්තර]
© Cliché Bibliothèque nationale de France, Paris
[28වන පිටුවේ පින්තූරය]
ප්‍රංශයේ රීම්ස් දෙව්මැදුරේ පිටත පිහිටුවා ඇති ක්ලෝවිස්ගේ බව්තීස්මයේ ප්‍රතිමාව (මැද තිබෙන රූපය)
[29වන පිටුවේ පින්තූරය]
මතභේදයට හේතු වූ ක්ලෝවිස්ගේ බව්තීස්මයේ අනුස්මරණය සඳහා IIවන ජුවාම් පාවුලු ප්‍රංශයට පැමිණීම