වඩා යහපත් ලොවක් බිහි කිරීමට ඔබට හැකිද?
“සමාජය එක්සේසත් කරන්න දේශපාලනයට නොහැක. අතීතයේ පැවති සාරධර්ම නැවත ස්ථාපිත කිරීමට තරම් ශක්තියක් දේශපාලනයට නැත. මොනතරම් හොඳ සැලසුම් සකස් කළත්, පූර්ව විවාහ ඇසුර හෝ විවාහය පිළිබඳව එදා පැවති සාරධර්ම යළි පණගැන්වීමට හැකි වී නැත. වගකීම් නොපිරිහෙළා ඉටු කරන පියවරුන් බිහි කිරීමට නොහැකි වී ඇත. දුෂ්චරිතය සම්බන්ධයෙන් මිනිසාට වරෙක දැනුණු කම්පනය හෝ ලජ්ජාව යළිත් ඇති කරලීමට නුපුළුවන. . . . අපට මහත් පීඩාවක් වී තිබෙන සදාචාරය හා සම්බන්ධ ගැටලු කන්දරාව තුරන් කර දමන්න නීතිවලට නොහැක.”
එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය නිලධාරියෙකු පැවසූ එම වදන් සමඟ ඔබට එකඟ විය හැකිද? එකඟ විය හැකියි කියා ඔබ සිතන්නෙහි නම්, ගිජුකම, පවුල් සාමාජිකයන් අතර ජන්ම සෙනෙහස පිරිහී තිබීම, දුරාචාරය, නූගත්කම හා සමාජ ව්‍යූහය කා දමන වෙනත් සාධක නිසා අද ඇති වී තිබෙන ගැටලු කන්දරාවට තිබෙන විසඳුම කුමක්ද? කිසිම විසඳුමක් නැතැයි කියා සිතන සමහරු දෛනික කටයුතු සඳහා මුළු කාලයම යොදවති. මේ අතර, යම් දවසක මහත් බලයක් තිබෙන ශ්‍රේෂ්ඨ පාලකයෙක් නැඟී සිට ජනයාව හරි මාවතක ගෙනයයි කියා බලා සිටින පිරිසක්ද සිටියි.
මීට අවුරුදු දෙදහකට පමණ පෙර සිටි මිනිස්සු යේසුස් ක්‍රිස්තුස්ව තමන්ගේ රජ ලෙස පත් කරගැනීමට තැත් කළහ. ඔවුන් මෙසේ කළේ යේසුස් දෙවි විසින් එවා තිබෙන පුද්ගලයෙකු බවත් පාලකයෙකු සතු සුදුසුකම් සියල්ලම ඔහුට තිබෙන බවත් තේරුම්ගත් නිසාය. කෙසේවෙතත්, ඔවුන්ගේ චේතනා වටහාගත් යේසුස් විගස ඔවුන්ව මඟහැර ගියේය. (යොහන් 6:14, 15) ‘මාගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ නැත’ කියා පසු කලෙක ඔහු රෝම ආණ්ඩුකාරයෙකුට පැහැදිලි කළේය. (යොහන් 18:36) අදදින යේසුස්ගේ ස්ථාවරයේ සිටින්නේ ස්වල්පදෙනෙකි. තමන් යේසුස්ගේ අනුගාමිකයන්යයි කියා සිටින ආගමික නායකයන් අතර පවා ඔහුගේ ස්ථාවරයෙහි සිටින අයව සොයාගත නොහැක. සමහර ආගමික නායකයන් තම අභිමතාර්ථ ඉටු කරවාගැනීම සඳහා පාලකයන්ට බලපෑම් කිරීමෙන් හෝ දේශපාලනික නිලතල දැරීමෙන් මේ ලෝකය වඩාත් යහපත් තැනක් කිරීමට උත්සාහ කර තිබේ. එක්දහස් නවසිය හැට ගණන්වලදී හා හැත්තෑ ගණන්වලදී සිදු වූ දේවල් සලකා බැලීමෙන් මෙය පැහැදිලි වේ.
යහපත් ලොවක් බිහි කිරීමට ආගම් දරන වෑයම්
එක්දහස් නවසිය හැටගණන්වල අගභාගයේදී ලතින් අමෙරිකානු රටවල විසූ දේවධර්මාචාර්යවරු දිළිඳුකමින් හා වෙනත් ගැටලුවලින් පීඩා විඳි ජනතාවට උපකාර කිරීමේ වැඩපිළිවෙළක් දියත් කළහ. මෙය සාර්ථක කරගැනීම සඳහා විමුක්තිය ගෙන දෙන දේවධර්මය යනුවෙන් නව දර්ශනයක් හඳුන්වා දෙන ලදි. එහි යේසුස්ව හඳුන්වා තිබුණේ, තවදුරටත් බයිබලයෙහි පැහැදිලි කරන ආකාරයේ ගැළවුම්කරුවෙකු ලෙස පමණක් නොව, දේශපාලනමය හා ආර්ථිකමය පැත්තෙන්ද ගැළවුම්කරුවෙකු ලෙසය. සාරධර්ම පිරිහීම ගැන දැඩි කනස්සල්ලකින් පසු වූ එක්සත් ජනපදයේ ආගමික නායකයන් පිරිසක් එකතු වී සදාචාරයට පක්ෂ බහුතරය (Moral Majority) යනුවෙන් හැඳින්වූ සංවිධානයක් පිහිටුවාගත්හ. මෙහි අරමුණ වූයේ පවුල් කවය තුළ යහපත් සාරධර්ම ඇති කිරීමට බලපාන නීති අනුමත කරන අයව දේශපාලනික නිලතල සඳහා පත් කිරීමයි. මේ හා සමානව බොහෝ මුස්ලිම් රටවල් කුරානයේ සඳහන් දේවල් ක්‍රියාත්මක කිරීමෙන් දූෂණය හා නාස්තිය වැළැක්වීමට උත්සාහ කර තිබේ.
එවන් ප්රයත්නයන් මගින් ලෝකය වඩාත් යහපත් තැනක් කළ හැකියි කියා ඔබ විශ්වාස කරනවාද? ලොව පුරා සිදු වන දේවලින් පැහැදිලි වන්නේ සදාචාරය දිගටම පිරිහෙන බවයි. එපමණක්ද නොව, විමුක්තිය ගෙන දෙන දේවධර්මය ක්‍රියාත්මක වන රටවල් ඇතුළු බොහෝ රටවල ඇති නැති පරතරය තව තවත් පුළුල් වෙමින් පවතී.
සදාචාරයට පක්ෂ බහුතරය යනුවෙන් පිහිටුවා ගනු ලැබූ සංවිධානය එක්සත් ජනපදය තුළ එහි මූලික පරමාර්ථ පවා ඉටු කරගැනීමට අසමත් වූ නිසා එහි නිර්මාතෘ වූ ජෙරී ෆල්වෙල් 1989දී එය විසුරුවා හැරියේය. එහි කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම සඳහා වෙනත් සංවිධාන ඉදිරිපත් වී ඇත. කෙසේවෙතත්, “සදාචාරයට පක්ෂ බහුතරය” යන යෙදුම මුලින්ම භාවිත කළ පෝල් වේරිච් ක්‍රිස්ටියැනිටි ටුඩේ නමැති සඟරාවෙහි මෙසේ සඳහන් කළේය. “අපට හොඳයි කියා සිතන අයව දේශපාලනික තනතුරුවලට පත් කරන්න හැකි වුවත්, අප වැදගත්යයි කියා විශ්වාස කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවන්න ඔවුහු අසමත් වෙති.” ඔහු තවදුරටත් මෙසේ ලීවේය. “සංස්කෘතියක් බවට පත් වී තිබෙන මෙම තත්වය දිගටම පිරිහෙමින් පවතී. මින් පෙර නොවූ විරූ ලෙස සංස්කෘතිමය විනාශයකට අප මුහුණ පා සිටින අතර, එය මොනතරම් දරුණුද කියනවා නම්, දේශපාලනය පවා එයට ගොදුරු වී තිබේ.”
දේශපාලනය තුළින් සමාජය දියුණු කිරීමට වෑයම් කිරීමේදී මුහුණපාන මූලික ගැටලුවක් වශයෙන් තමන් සලකන දෙය ගැන කතුවරයෙකු වන කාල් තෝමස් මෙසේ අදහස් පළ කළේය. “අප මුහුණපාන ප්‍රධාන ගැටලු ආර්ථිකයට හා දේශපාලනයට නොව, සදාචාරයට හා අධ්‍යාත්මයට සම්බන්ධ වන බැවින් සැබෑ වෙනසක් සිදුවීම රඳාපවතින්නේ දේශපාලනික ජයග්‍රහණ මත නොව, එක් එක් පුද්ගලයා මතයි.”
ස්ථිර ප්‍රතිපත්ති නොමැති, හරි වැරැද්ද කුමක්ද කියා තමන් විසින්ම තීරණය කරන මිනිසුන් වෙසෙන ලොවක සදාචාරාත්මක හා අධ්‍යාත්මික ගැටලු විසඳිය හැක්කේ කෙසේද? ආගමික නායකයන් හෝ වේවා වෙනත් පුද්ගලයන් හෝ වේවා අවංක චේතනාවලින් කටයුතු කරන බලවත් පුද්ගලයන්ට මේ ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත් කරන්න නොහැකි නම්, එවැන්නක් කළ හැක්කේ කාටද? මෙයට පිළිතුරක් තිබෙන බව ඊළඟ ලිපිය සලකා බැලීමේදී ඔබට පෙනී යාවි. එම පිළිතුර, තම රාජ්‍යය මේ ලෝකයෙන් නොවේය කියා යේසුස් පැවසීමට බලපෑ හේතුව හා සම්බන්ධයි.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
COVER: Dirty water: WHO/UNICEF photo; globe: Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Children: UN photo; globe: Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.