වැඩ කරන්න පැසිපික් දූපත්වලට ගිය ගමනක්!
එදා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හා සිඩ්නි නගරවල පිහිටි ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් දෙකෙහි තිබුණේ අමුතුම තත්වයකි. වෙනදාට වඩා ඒවායෙහි යම් උද්යෝගිමත් ස්වභාවයක් ඇති බව ඕනෑම කෙනෙකුට හැඟිණ. ඊට හේතු වූයේ, හිරුගෙන් නැහැවුණු සැමෝවා දූපත්වලට ගමන්ගන්ට සූදානම්ව සිටි 46දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකි. ඔවුන් අත තිබූ බඩු මුට්ටුවලින් පැහැදිලි වූයේ ඔවුන් ගතට සිතට සනීපයක් සොයා මෙම චමත්කාරජනක පැසිපික් දූපතට ගමන්ගන්නා සාමාන්‍ය සංචාරක පිරිසක් නම් නොවූ බවයි. ඔවුන් ගෙන යමින් තිබූ මිටි, කියත් හා ඩ්‍රිල් කටු යනාදියෙන් කියාපෑවේ මොවුන්ට වෙනම ආකාරයේ වගකීමක් ඇති බවයි. තවද මෙම කණ්ඩායමට නවසීලන්තයෙන්, හවායිවලින් හා එක්සත් ජනපදයෙන් නියෝජිතයන් 39දෙනෙකු එක්වීමටද නියමිතව තිබිණ.
ඔවුන්, නිරතවීමට යන්නාවූ ව්‍යාපෘතියෙන් ඔවුහු කිසිම වැටුපක් බලාපොරොත්තු නොවෙති. එපමණක්ද නොව මේ ගමන සඳහා අවශ්‍ය සියලුම වියහියදම් දරන්නේද ඔවුන් විසින්මය. ඔවුන් සහභාගි වන සැමෝවා දූපත්වල කෙරෙන මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙහි ප්‍රාදේශීය ඉන්ජිනේරු අංශය විසිනි. පැසිපික් දූපත්වල රාජ්යශාලා, එක්රැස්වීම් ශාලා, මිෂනාරි නිවෙස් මෙන්ම ශාඛා කාර්යාල හා පරිවර්තන පහසුකම් සඳහා යොදාගැනෙන ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට ඉලක්ක කරගෙන ඇති මෙම ව්‍යාපෘතියට අවශ්‍ය අරමුදල් ස්වේච්ඡා සම්මාදම් මගින් ලැබේ. දැන් අපි තම තමන්ගේ රටවල දැනටමත් රාජ්යශාලා ඉදි කිරීමෙහි කටයුතුවලට සහභාගි වූ මෙම කණ්ඩායමෙන් කිහිපදෙනෙකුව දැන හඳුනාගනිමු.
මැක්ස් විශේෂ නිපුණත්වයක් දක්වන්නේ වහලවල් තැනීමටයි. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටි කව්රා ප්‍රදේශය ඔහුගේ ගමයි. ඔහු විවාහක පුද්ගලයෙකු වන අතර දරුවන් පස්දෙනෙකුගේ පියෙකි. රෝයි මේ කණ්ඩායමේ තවත් සාමාජිකයෙකි. ඔහු බිත්ති කපරාරු කිරීමෙහි හා තීන්ත ගෑමෙහි විශේෂ දස්කම් පායි. ඔහුගේ ගම නවසීලන්තයේ මවුන්ට් මැන්ගනුයි නම් ප්‍රදේශය වන අතර ඔහුත් විවාහකයෙකි. රෝයිට දරුවෝ සතර දෙනෙක් සිටිති. දැන් අපි හවායිවලින් පැමිණ සිටින ආනල්ඩ්ගේ පසුබිම සලකා බලමු. බිරිඳක් හා ළාබාල වයසේ පුතුන් දෙදෙනෙකු රැකබලා ගැනීමේ වගකීම ඇති මොහු පුරෝගාමියෙකු ලෙස පූර්ණ කාලීනව සේවය කරයි. මැක්ස් සහ රෝයි මෙන් ආනල්ඩ්ද වැඩිමහල්ලෙකු ලෙස සේවය කරයි. මොවුන්ගේ වත ගොත විමසද්දී පිළිබිඹු වන එක් දෙයක් ඇත. එනම් මොවුන් එදිනෙදා ජීවිතයේදී නිකරුණේ කාලය ගත කරන අය නොව නමුත් වගකීම් දරන, වෙහෙස මහන්සි වී වැඩ කරන්නාවූ අය බවයි. එහෙත් වෙනත් ප්‍රදේශවල යම් අවශ්‍යතා උද්ගත වූ විට ඔවුනුත් ඔවුන්ගේ පවුල්වල අයත් ඒවා සපුරාලීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙති.
ජාත්‍යන්තර සේවකයෝ හදිසි අවශ්‍යතාවක් පිරිමසති
මොවුන්ගේ දස්කම් දැක්විය හැකි කදිම ස්ථානයකි පැසිපික් සාගරයේ සැමෝවා දූපතේ වයඹ දිශාවෙන් පිහිටි සමකාසන්න ටුවාලු නම් රට. එය 10,500ක පමණ ජනගහනයකින් යුත් කුඩා දේශයක් වන අතර කොරල් දූපත් නවයකින් සමන්විතය. මෙහි එක් කොරල් දූපතකට දළ වශයෙන් වර්ග කිලෝමීටර් 2.5ක් තරම් කුඩා බිම් ප්‍රදේශයක් අයත් වෙයි. වර්ෂ 1994 වන විට එහි විසූ සාක්ෂිකරුවන් 61දෙනාට රාජ්යශාලාවක් හා පරිවර්තන කටයුතු සඳහා ගොඩනැඟිල්ලක හදිසි අවශ්‍යතාවක් පැනනැඟිණ.
පැසිපික් සාගරයේ පිහිටි මෙම දූපත් දරුණු කුණාටු හා සුළිසුළංවල බලපෑමට නිරන්තරයෙන් හසු වෙයි. ඒ නිසා ගොඩනැඟිල්ලක් නිර්මාණය කිරීමේදී හෝ ඉදි කිරීමේදී ඒවා එවැනි තත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයට සකස් කළ යුතු බව නිතරම සැලකිල්ලට ගත යුතුයි. එහෙත් තත්වයෙන් හා ගුණයෙන් උසස් අමුද්‍රව්‍ය මේ පළාත්වල දුර්ලභයි. එහෙයින් වහල සෙවිලි කිරීමට අවශ්‍ය වන දේ, කාප්ප, දොරජනෙල් රෙදි, වැසිකිළිවලට අවශ්‍ය සියලුම උපකරණ, ගෘහභාණ්ඩ, නානකාමරවලට සවි කරන වතුර මල් පවා ඕස්ට්‍රේලියාවෙන් නැව්ගත කරන ලදි.
එම භාණ්ඩ ලැබෙන තෙක් එම රටේම සහෝදරයන් කිහිපදෙනෙකුගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් විසින් පෙර සැලසුම් කිරීම්වල නිරත වූහ. ඉඩම සුද්ද පවිත්‍ර කිරීම හා අත්තිවාරම දැමීම මෙයට ඇතුළත් විය. ඉන් අනතුරුව පැමිණි ජාත්‍යන්තර සේවකයෝ ගොඩනැඟිල්ල ඉදි කර තීන්ත ගා, අවශ්‍ය උපාංගවලින් හා ගෘහ භාණ්ඩවලින් සැරසූහ.
ටුවාලුවල මෙම වැඩ කටයුතු සිදු වන බව ප්‍රදේශයේ පූජකයාට ඉව වැටිණ. ඒ ගැන කිපුණු ඔහු තදින්ම විරෝධය පාමින් සාක්ෂිකරුවන් ‘බාබෙල් කොතක්’ ඉදි කරනවායයි ගුවන් විදුලිය ඔස්සේ ප්‍රකාශ කළේය! එම චෝදනාවට එක් ස්වේච්ඡා සේවකයෙකු වන ග්‍රෙයම් මෙසේ පිළිතුරු දෙයි. “බයිබලයේ සඳහන් බාබෙල් කොත ඉදි කරන්නන්ගේ භාෂාව දෙවි ව්‍යාකූල කළ නිසා ඒ අයට එක එක්කෙනා කියන දේ තේරුම්ගන්න බැරි වුණා. ඊට පස්සේ ඒ කොත හදන්නේ නැතුව වැඩ අත්හැරලා ඒ අයට විසිරිලා යන්න සිද්ධ වුණා.” (උත්පත්ති 11:1-9) “යෙහෝවා දෙවිගේ අධීක්ෂණය යටතේ වැඩ කරන කොට තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. අපිට භාෂා හා සංස්කෘතික වෙනස්කම් තිබුණත් අපේ වැඩ නිතරම සාර්ථකයි.” ඔහුගේ කියමන සනාථ කරමින් මේ ව්‍යාපෘතිය සාර්ථක ලෙස නිම විය. එය කැප කිරීමේ අවස්ථාවට 163දෙනෙක් රැස්ව සිටියහ. ඔවුන් අතරෙහි එම රටේ අගමැතිතුමාගේ බිරිඳද විය.
ව්‍යාපෘතියේ අධීක්ෂකයා වූ ඩග් එම අද්දැකීම මතකයට නංවන්නේ ඉමහත් සතුටකිනි. “වෙනත් රටවලින් එන ස්වේච්ඡා සේවකයන් එක්ක වැඩ කිරීම ඇත්තෙන්ම කියා නිම කළ නොහැකි සන්තෝෂයක්. අපි එකිනෙකා දේවල් කරන හැටි හුඟාක් වෙනස්. උපකරණ හඳුන්වන්න අපි යොදාගන්න නම් වුණත් වෙනස්. මොකක් හරි මනින්න අවශ්‍ය වුණහමත් එක් එක්කෙනා යොදාගත්ත මිනුම් ක්‍රමත් වෙනස්. ඒත් මේ හැම දෙයක්ම වෙනස් වුණත් අපි අතරේ කිසිම ගැටලුවක් ඇති වුණේ නෑ.” ඉදි කිරීමේ ව්‍යාපෘති කිහිපයකට සහභාගි වී ඇති ඩග් තම අද්දැකීමෙන්ම මෙසේ පවසයි. “මේ සියල්ලෙන්ම මට පැහැදිලි වෙන්නේ යෙහෝවාගේ උපකාරය ඇතුව ඔහුගේ සෙනඟට මේ පොළොවේ දුෂ්කර හෝ දුර බැහැර හෝ ඕනෑම තැනක ගොඩනැඟිලි ඉදි කරන්න පුළුවන් බවයි. අපිට දක්ෂ වැඩකාරයන් සිටින එක ඇත්ත. ඒත් මේ වැඩ සාර්ථක වෙන්නේ යෙහෝවාගේ ආත්මය නිසා කියලා නම් කිසිම සැකයක් නෑ.”
එමෙන්ම මෙම දූපත්වල වාසය කරන සාක්ෂිකාර සහෝදර සහෝදරියෝ ආහාර හා නවාතැන් සැපයීමට ඉදිරිපත් වූහ. ඔවුන්ගේ ජීවන මට්ටම සලකා බලද්දී මෙවන් දෙයක් කිරීම බාධක ගණනාවක් ඉදිරියේ නොමසුරුව ඉටු කරන්නාවූ සැබෑ පරිත්‍යාගයක් වන අතර එය පිටුපස දෙවිගේ ශුද්ධාත්මය ඇති බව මනාව පැහැදිලි වෙයි. එම ත්‍යාගශීලිත්වය භුක්ති විඳින්නන් තුළ ඇති වන්නේද වචනයකින් දෙකකින් විස්තර කළ නොහැකි අගයෙන් පිරුණු හැඟීම්ය. කේන් ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බෝර්න් ප්රාන්තයෙහිය. ඉහත කී ආකාරයේ ව්‍යාපෘතියකට ඔහුත් සහභාගි වී ඇති අතර එය සිදු කෙරුණේ ප්‍රංශ පොලිනීසියානු දූපත්වලයි. කේන් ඔහුගේ හැඟීම් මෙසේ ප්‍රකාශ කරයි. “අපි ගියේ වහලුන් ලෙසයි. ඒත් අපිට සැලකුවේ රජවරුන්ට වගෙයි.” හැකි සෑම අවස්ථාවකම දේශීය සාක්ෂිකරුවෝද මෙම ඉදි කිරීමේ වැඩවලට හවුල් වූහ. සොලමන් දූපත්වල, ස්ත්‍රීහු කොන්ක්‍රීට් මිශ්‍ර කිරීමට ඉදිරිපත් වූහ. ඔවුන්ට මෙය කිරීම සඳහා යන්ත්‍රයක් නොතිබිණ. එහෙයින් ඔවුහු ඒ සඳහා යොදාගත්තේ සිය දෑත් පමණි. තෙත් බරිත උස් කඳු මුදුන්වලට ගොස් අවශ්‍ය දැව කපාගෙන පහළට ගෙන ඒමටත් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයෙන්ම සියදෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් වූහ. ඔවුහු දැව ටොන් 40ක් පමණ කපා ගෙනාවෝය. යෞවනයෝද මේ සඳහා සිය ශ්‍රමය කැප කළහ. “ඒ දූපතේ සිටි එක යෞවන සහෝදරයෙක් එක වරකට සිමෙන්ති කොට්ට දෙකතුනක් තනියම උස්ස ගෙන ආපු හැටි මට මතකයි. ඒ විතරක් නෙවෙයි ගිනි අව්වක් තිබුණත් තද වැස්සක් වැස්සත් මුළු දවසම එයා ගානක් නැතුව පස් ඇද්දා” කියා මේ ලිපියේ කලින් සඳහන් කළ රෝයි පවසයි.
දේශීය සහෝදරයන් මෙලෙස හවුල් වීමෙන් අද්දකින ප්‍රයෝජන කෙටි කාලයකට පමණක් සීමා නොවන බව වොච්ටවර් සමිතියේ සැමෝවා ශාඛා කාර්යාලය පවසයි. “අපේ සහෝදරයන් අත් කරගෙන ඇති වෘත්තිමය හැකියාවන් පසු කාලයක රාජ්යශාලා ඉදි කිරීම සඳහා අවශ්‍ය වුවහොත් යොදාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සුළි සුළංවලින් ගොඩනැඟිලිවලට හානි සිදු වූ විට අවශ්‍ය ප්‍රතිසංකරණ කටයුතු කිරීමටත් මොවුන්ව භාවිත කළ හැක. තවද රැකියා හිඟ මෙම සමාජයේ, ඔවුන්ට ජීවනෝපායක් කරගෙන යෑමට පවා මේ හැකියාවන් ප්‍රයෝජනවත් විය හැකියි.”
ඉදි කිරීමේ වැඩසටහන කදිම සාක්ෂියකි
සොලමන් දූපත්වල හොනියාරාහි සිටි සාක්ෂිකරුවෙකු නොවන කොලින් එහි එක්රැස්වීම් ශාලාව ඉදි කිරීම සියැසින්ම දුටුවේය. ඔහු ඇසූ දුටු දේ ඔහුගේ සිතට තදින් කාවැදුණු අතර, ඔහු තම රටේ ශාඛා කාර්යාලයට එම රටේ භාවිත වන පිජින් ඉංග්‍රීසි යනුවෙන් හඳුන්වන භාෂාවෙන් මෙසේ ලීවේය. “ඔක්කොමලා එකමුතුවෙන් තමයි වැඩ කළේ. කාටවත් තරහ යනවා නං මම කවදාවත් දැක්කේ නෑ. ඒගොල්ලෝ නිකං එක පවුලකට අයිති අය වගෙයි.” මේ සියල්ල දැකීමේ ප්‍රතිඵලයක් හැටියට ඔහු මෙම ශාලාව තැනූ ස්ථානයෙන් කිලෝමීටර් 40ක් ඈතින් තිබෙන අරුලීගෝ නම් ඔහුගේ ගමට නැවතත් ගොස් තම පවුලේ අයගේ සහය ඇතුව රාජ්යශාලාවක් ඉදි කළේය. ඉන්පසු ඔහු ශාඛා කාර්යාලයට මෙසේ ලිව්වේය. “අපේ රාජ්යශාලාව දැන් සූදානම්. වේදිකාවකුත් තියෙනවා. ඉතින් මෙතන රැස්වීම් පවත්වන්න පුළුවන්ද?” එහි රැස්වීම් පැවැත්වීමට ශාඛා කාර්යාලය වහාම පියවර ගත් අතර දැන් 60දෙනෙකුට අධික සංඛ්‍යාවක් එහි නිතිපතා පවත්වන රැස්වීම්වලට සහභාගි වෙති.
යුරෝපීය සංගමයේ එක් උපදේශකයෙක් ටුවාලුවල සිදු වූ ව්‍යාපෘතිය ගැන එයට සහභාගි වූ කෙනෙකුට අදහස් දැක්වූයේ මෙසේය. “මේක ප්රාතිහාර්යක් කියලා ඕගොල්ලන්ට හැම කෙනාම කියනවා වෙන්න පුළුවන්. මටත් කියන්න තියෙන්නේ ඒ ටිකමයි!” එම රටේ දුරකථන හුවමාරු මධ්‍යස්ථානයෙහි සේවිකාවක් තවත් ස්වේච්ඡා සේවකයෙකුගෙන් මෙසේ විමසුවාය. “ඕගොල්ලෝ මෙහෙම සතුටින් ඉන්නේ කොහොමද? මෙහේ රස්නේ නැද්ද?” මෙවැනි පුද්ගලයන් ක්‍රිස්තියානි ප්‍රතිපත්ති ගැන අසා තිබුණද ඒවා ත්‍යාගශීලීව ක්‍රියාත්මක වෙනවා මීට පෙර දැක නැත.
පසුතැවීමෙන් තොර පරිත්‍යාග
“නොමසුරුව වපුරන්නා නොමසුරුව කපාගන්නේය” කියා බයිබලයේ 2 කොරින්ති 9:6හි පෙන්වයි. ඉහත කී ස්වේච්ඡා සේවකයෝද, ඔවුන්ගේ පවුල්වල අයද, ඔවුන්ගේ සභාවල සහෝදර සහෝදරියෝද නොමසුරුව වපුරති. සිඩ්නි නුවර අසල කින්කම්බර් ප්‍රදේශයේ පිහිටි සභාවක සේවය කරන වැඩිමහල්ලෙක් වන රොස් මෙසේ කියයි. “මගේ සභාව මගේ ගමන් ගාස්තුවෙන් තුනෙන් එකක්ම මට එකතු කරලා දුන්නා. මාත් එක්කම ආපු මගේ මස්සිනා මගේ ගමන වෙනුවෙන් තවත් ඩොලර් 500ක් පරිත්‍යාග කළා.” තවත් ස්වේච්ඡා සේවකයෙකු තමාගේ වියදම පිරිමසාගැනීමට තම වාහනය විකුණූ අතර තවත් කෙනෙක් තමා සතු ඉඩමකින් කොටසක් විකුණුවේය. මේ අතර කෙවින්ට ඩොලර් 900ක අමතර මුදලක් සොයාගැනීමට කිසිදු මඟක් නොතිබිණ. මේ ගැන මදක් කල්පනා කළ ඔහු තමා සුරතලයට ඇති කළ අවුරුදු දෙකක් වයස් වූ පරෙවියන් 16දෙනා විකිණීමට තීරණය කළේය. දිනක් එම පරෙවියන් මිල දී ගැනීමට කැමති කෙනෙකු ඔහුට මුණ ගැසිණ. ඒ තැනැත්තා ගෙවීමට පොරොන්දු වූ මුදල හරියටම ඩොලර් 900කි.
ඩැනී සහ ෂෙරිල් ස්වේච්ඡාවෙන්ම මෙවන් ගමනකට සහභාගි වූ හෙයින් ඔවුන්ට පෞද්ගලිකව වියදම් වූ මුදල හා තම රැකියාවන් යම් කාලයකට නොකිරීම නිසා එතුළින් ඔවුන් වින්ද පාඩුව ඩොලර් 6000ක් පමණි. මේ ගැන ඔවුහු පසුතැවෙත්ද? කොහෙත්ම නැත. කිසිම පසුබට වීමකින් තොරව ඔවුන් එක්සිත්ව සතුටින් පවසන්නේ “අපිට වියදම් වුණ මුදලටත් වඩා දෙගුණයක් වියදම් කරන්න සිදු වුණත් ඒ ගමන හුඟාක් වටිනවා” කියාය. මොවුන්ගේ පිළිතුරට නවසීලන්තයේ නෙල්සන් ප්‍රදේශයෙන් පැමිණි ඇලන් පැවසූ දෙයද එක් කිරීම වටියි. “ටුවාලුවලට යන්න මට වැය වූ මුදල්වලින් මට නිවාඩුවක් ගත කරන්න යුරෝපයට යන්න තිබුණා. එහෙම කළා නම් මගේ මුදල් ඉතුරු වෙනවා. එතකොට මේ වගේ විවිධ පසුබිම්වලින් ආව සොහෝදරයන්ව හම්බ වෙන්නේ නෑ. ඒ වගේම මට ලැබුණු ආශීර්වාද සියල්ලත් අහිමි වෙන්න තිබුණා. ඒ විතරක් නෙවෙයි මං වෙනුවෙන්ම දේවල් කරගන්නවාට වඩා වෙනත් අය වෙනුවෙන් යමක් කරන්න මට තිබුණ අවස්ථාවත් ගිලිහී යන්න තිබුණා. නමුත් මම ඒ දූපත්වල හිටිය සහෝදරයන් වෙනුවෙන් කරපු දේවල් ගැන කල්පනා කළාම ඒ සහෝදරයන්ගෙන් ඒ වගේ දෙගුණයක් දේවල් ලැබුණා කියලා තමයි මට හිතෙන්නේ.”
මෙවන් ව්‍යාපෘතිවල සාර්ථකත්වයට බලපාන තවත් ඉතා වැදගත් කාරණයකි පවුලේ සෙසු සාමාජිකයන්ගෙන් ලැබෙන සහයෝගය. ඇතැම් භාර්යාවන්ට තම ස්වාමිපුරුෂයන් සමඟ වෙනත් රටවලට ගොස් ගොඩනැඟිලි ඉදි කිරීමේ වැඩවල සහභාගි වීමට හැකි වේ. මේ අතර තවත් සමහර සහෝදරියන්ට පාසැල් යන වියේ පසු වන දරුවන් සිටිය හැකියි. එසේ නැත්නම් ඔවුන්ට පවුලේ ව්‍යාපාරයේ වැඩ කටයුතු බලාකියා ගැනීමට සිදු විය හැකියි. මේ හේතූන් නිසා ඔවුනට මෙවැනි ගමනකට සහභාගි වීම අසීරු කාර්යයක් විය හැක. “මගේ භාර්යාව කිසිම පැකිළීමකින් තොරව දරුවන්ව හා ව්‍යාපාරය බලාගැනීමට ඉදිරිපත් වීම මම කරපු පරිත්‍යාගයටත් වඩා ලොකු පරිත්‍යාගයක්” කියා ක්ලේ කියයි. ඇත්තෙන්ම තමන් ගිය රටවලට තම භාර්යාවන්ව ගෙනයෑමට නොහැකි වූ සැමියන් සියලුදෙනාම ඒ වදන්වලට “අපි එකඟ වෙනවා” කියා එකහෙළා කියනවාට සැකයක් නැත.
ටුවාලුහි සිදු කෙරුණු ව්‍යාපෘතියට පසුව ස්වේච්ඡා සේවකයන් ෆිජී, ටොංගා, පැපුවා නිව් ගිනී, නව කැලිඩෝනියාව ඇතුළු තවත් රටවල් කිහිපයක රාජ්යශාලා, එක්රැස්වීම් ශාලා, මිෂනාරි නිවාස හා පරිවර්තන කටයතු සඳහා කාර්යාල ඉදි කර ඇත. ගිනිකොණදිග ආසියාව ඇතුළු තවත් රටවල තිබෙන අවශ්‍යතාව සපුරාලීමට ව්‍යාපෘති ගණනාවක් දියත් කිරීමට අදහස් කර ඇත. මේ සඳහාත් ස්වේච්ඡා සේවකයන් ඉදිරිපත් වෙයිද?
පෙනෙන ප්‍රකාරයට එය ගැටලුවක් නොවෙයි. “අපේ රටේ මෙවැනි ව්‍යාපෘතිවලට සහභාගි වූ සැමෝම අලුත් ව්‍යාපෘති දියත් කරන විට ඔවුන්ව අමතක නොකරන්න කියා අපෙන් ඉල්ලා සිටිනවා” කියා හවායි ශාඛා කාර්යාලය දැනුම් දෙයි. “එක් ව්‍යාපෘතියක් අවසන් කර පැමිණි විගසම ඊළඟ එක සඳහා අවශ්‍ය මුදල් එකතු කරන්න පටන්ගන්නවා.” මෙතරම් පරිත්‍යාගශීලී ස්ප්‍රීතුවක් සමඟ යෙහෝවාගේ ආශීර්වාදයත් මුසු වූ විට මෙම ව්‍යාපෘති තව තවත් සාර්ථක වීම පුදුමයක්ද!
[9වන පිටුවේ පින්තූරය]
ව්‍යාපෘතියට අවශ්‍ය අමු ද්‍රව්‍ය
[9වන පිටුවේ පින්තූර]
ඉදි කිරීමේ යෙදුණු සේවක පිරිස
[10වන පිටුවේ පින්තූර]
ව්‍යාපෘතිය අවසානයේදී, දෙවිගේ ආත්මය විසින් ඉටු කළ දෙය ගැන අපි ප්‍රීතිමත් වුණා