අනතුරුදායක කලාපයෙන් ඉවත්ව සිටින්න!
ගිනි කන්දක් පිපිරීමට කලින් අනතුරු ඇඟවීම ගිනි කඳු පිළිබඳව හදාරන විද්‍යාඥයන්ගේ කර්තව්‍යයයි. ඊට පෙර ඔවුන් මනා නිරීක්ෂණයක යෙදී, පෙනෙන්න තිබෙන සාක්ෂි සලකා බලනවා. (ෆියුජෙන් කන්ද පුපුරා ගිය අවස්ථාවේදී, අනතුරුදායක කලාපයෙන් ජනයාව ඉවත් කර තැබීමට පොලිසියට සිදු වුණා.) එලෙසම, බයිබල් ශිෂ්‍යයන් “දේවල පිළිවෙළේ නිමාව” හා සම්බන්ධ ලකුණ නිරීක්ෂණය කර, අත ළඟම ඇති අනතුර පිළිබඳව අන්‍යයන්ව දැනුවත් කරනවා.—මතෙව් 24:3, NW.
බයිබලයේ එම පරිච්ඡේදයේම අත ළඟ තිබෙන සමස්ත ලෝක විපත්තියක් පිළිබඳව අනතුරු අඟවයි. විපත්තියට පෙර සිදු වන දේවල් පිළිබඳ විස්තරයක් අපට මෙසේ කියවීමට තිබෙනවා. “ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද සිදුවෙනවා ඇත. . . . නොයෙක් බොරු අනාගතවක්තෘවරු නැගිට බොහෝ දෙනෙකු මුළාකරන්නෝය. අධර්මිෂ්ඨකම බෝවෙන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හීනවන්නේය. . . . රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.”—මතෙව් 24:7-14.
මේ අනාවැකියේ වත්මන් ඉටුවීම වටහාගැනීමට අප විශේෂඥයන් විය යුතු නැහැ. විශේෂයෙන්ම අප ඒවා අද්දකිමින් සිටින්නේ 1914 පටන්මයි. මෙම සියවස තුළදී ලෝක යුද්ධ දෙකක්, සිවිල් යුද්ධ විශාල සංඛ්‍යාවක්, ප්‍රාදේශීය ගැටුම් මෙන්ම ජාතිවාදී හා ආගමික ගැටුම්ද ඇති වී තිබෙනවා. එවැනි යුද්ධ හේතුවෙන් මනුෂ්‍යවර්ගයා සාගතවලට මූණ දී තිබෙන්නේ ස්වාභාවික විපත් මගින් සිදු වූ ආපදාවන්ට අමතරවයි. එමෙන්ම භූමිකම්පා හේතුවෙන් බොහෝදෙනෙකුගේ ජීවිතද බිලි වී තිබෙනවා. තවත්, වැරදි චේතනාවන් ඇති නායකයන් හා උමතු අනුගාමිකයන්ගෙන් සමන්විත ලබ්ධීන්ද බිහි වී තිබෙනවා. ‘අධර්මිෂ්ඨකම වැඩිවීම’ හේතුවෙන් ජනයා ප්‍රේමය නොදැක්වීමට පෙලඹී ඇති අතර මිත්රශීලීබව තවදුරටත් පොදු ප්‍රතිපත්තිය වී නොමැත.
ලකුණේ තවත් අංගයක් වන ලෝක ව්‍යාප්ත දේශනා වැඩය ඇත්තෙන්ම සිදු වෙමින් පවතිනවා. මේ සඟරාවේ කවරයට හරවා බැලුවොත් තේමාවේ කොටසක් වශයෙන් “යෙහෝවාගේ රාජ්‍යය ප්‍රචාරය කරයි” යන වචන ඔබට දකින්ට ලැබේවි. මිලියන 22කට වැඩි සංඛ්‍යාවක් අතරේ බෙදාහැරෙන භාෂා 132කින් ප්‍රකාශිත මෙම මුරටැඹ සඟරාව, ජනාවාස පොළොව මුළුල්ලේ “රාජ්‍යයේ මේ ශුභාරංචිය” ප්‍රකාශ කරන්නන්හට බලවත් මෙවලමක් වී තිබෙනවා. විශ්වයේ මැවුම්කාර දෙවි වන යෙහෝවා, දුෂ්ට දේවල පිළිවෙළ විනාශ කර, මිහිපිට පාරාදීසයක් බිහි කිරීමට යන ස්වර්ගික රාජ්‍යයක් පිහිටුවා ඇති බවට වූ පණිවිඩයත් එම ශුභාරංචියට ඇතුළත් වෙනවා. ඇත්තවශයෙන්ම, මේ දේවල පිළිවෙළේ සිටින ජනයාගේ ජීවිත අනතුරේ තිබෙන බව අඟවමින්, ළඟදීම දෙවි ක්‍රියාමාර්ගයක් ගන්නා බවට ලකුණ දැන් පෙනෙන්න තිබෙනවා.—සසඳන්න 2 තිමෝති 3:1-5; 2 පේතෘස් 3:3, 4; එළිදරව් 6:1-8.
යෙහෝවාගේ ගරුබිය දනවන දවස
යෙහෝවාට තම විනිශ්චය ගෙන ඒමට යෝග්‍ය කාලය පැමිණෙන විට කුමක් සිදු වේවිද? එවිට සිදු වන්න යන දේ පිළිබඳව ඔහුගේම විචිත්‍රවත් විස්තරයට සවන් දෙන්න. “අහසෙහිත් පොළොවෙහිත් පුදුම එනම් ලේද ගිනිද දුම්-කණුද පෙන්වන්නෙමි. [යෙහෝවාගේ] මහත්වූ භයානකවූ දවස පැමිණෙන්ට පළමුවෙන් ඉර අඳුරුවන්නේය, හඳ ලේ වන්නේය.”—යෝවෙල් 2:30, 31.
එම දිනය සාමාන්‍ය ගිනි කඳු පිපිරීමකට හෝ භූමිකම්පාවකට වඩා බිහිසුණු හා විනාශකාරි එකකි. ඒ දවස අතළඟයි! ඒ සම්බන්ධයෙන් අනාගතවක්තෘ ශෙපනියා පවසන්නේ ‘යෙහෝවාගේ මහත් දවස ළංව තිබේ, ඒක ළංව ඉතා ඉක්මනට එන්නේය . . . ඔහුගේ ජ්වලිත ගින්නට මුළු දේශය විනාශ වන්නේය. මක්නිසාද ඔහු දේශයේ වසන සියල්ලන් පිටට අන්තිමයක්, එනම් භයානක අන්තිමයක් පමුණුවන්නේය’ කියායි. ‘යෙහෝවාගේ උදහස් දවසේදී ඔවුන්ගේ රිදී නිසාවත් ඔවුන්ගේ රන් නිසාවත් ඔවුන්ට ගැළවෙන්ට නුපුළුවන්’ වුවත් එම භය උපදවන දවසේදී ගැළවීමට මාර්ගයක් තිබෙනවා.—ශෙපනියා 1:14-18.
ඒ කෙසේද කියා ශෙපනියා මෙසේ පෙන්නුම් කරනවා. ‘යෙහෝවාගේ බලවත් උදහස නුඹලා පිටට පැමිණෙන්ට පළමුවෙන්ද, යෙහෝවාගේ උදහස් දවස නුඹලා පිටට පැමිණෙන්ට පළමුවෙන්ද . . . යෙහෝවාව සොයන්න; ධර්මිෂ්ඨකම සොයන්න, මොළොක් ගුණය සොයන්න. සමහරවිට නුඹලා යෙහෝවාගේ උදහස් දවසේදී සඟවනු ලබනවා ඇත.’ (ශෙපනියා 2:1-3) ‘යෙහෝවාව සෙවීමෙන් මෙන්ම ධර්මිෂ්ඨකම හා මොළොක් ගුණය සෙවීමෙන්’ අපට ආරක්ෂාව ලැබිය හැකියි. අදදින යෙහෝවාව සොයන්නේ කවුද?
යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේශනා වැඩයෙහි යෙදෙන නිසා “යෙහෝවා” යන වචනය ඔබ ඔවුන්ට සම්බන්ධ කරන බවට සැකයක් නැහැ. මේ සඟරාව ඔබට ලැබුණේ ඔවුන්ගේ කෙනෙක්ගෙන් විය හැකියි. ඔවුන් ප්‍රසිද්ධ වී තිබෙන්නේ අවංක ජීවිත ගත කරන හොඳ සදාචාර ගතිපැවතුම් ඇති පුරවැසියන් හැටියටයි. මොළොක්කම වර්ධනය කිරීම ඇතුළු ‘අලුත් පෞද්ගලිකත්වයක්’ [NW] පැළඳගැනීමට ඔවුන් වෑයම් කරමින් සිටිනවා. (කොලොස්සි 3:8-10) මෙය කළ හැකි වන්නේ පොළොව පුරා තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභා මගින් නියෝජනය කර ඇති යෙහෝවාගේ දෘශ්‍යමාන සංවිධානයෙන් දැනුම ලබාගැනීම මගිනුයි. ඔව්, ලොව පුරා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ‘මුළු සහෝදර සමාගමත්’ එක්කම ඔබට ආරක්ෂාවක් ලැබිය හැකියි.—1 පේතෘස් 5:9.
දැන් ආරක්ෂාව ලබාගන්න
යෙහෝවාව සෙවීම මගින් ආරක්ෂාව ලබාගැනීමට නම් අප ඔහුගේ මිත්‍රයන් වීම අවශ්‍යයි. එයට ඇතුළත් වන්නේ කුමක්ද? බයිබලය මෙසේ පිළිතුරු දෙයි. ‘ලෝකය සමඟ මිත්‍රකම දෙවිට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නුමුත් ලෝකයට මිත්‍ර වෙන්ට කැමැත්තේ නම්, ඔහු දෙවිට සතුරෙක් වන්නේය.’ (යාකොබ් 4:4) දෙවිගේ මිතුරන් වීම සඳහා, දෙවි කෙරෙහි කැරලිකාර ආකල්පයක් දක්වන වත්මන් දුෂ්ට ලෝකය සමඟ අපට චිත්තවේගීය ලෙස මොනයම් හෝ බැඳීමක් තිබේ නම් අපි ඒවායින් ඉවත් වීම අවශ්‍යයි.
බයිබලයේ අපට මෙසේ අවවාද දෙයි. ‘ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේම කෙරේ නම්, පියා කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත. මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාගෙන් නොව ලෝකයෙන් වේ. ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.’ (1 යොහන් 2:15-17) අදදින වැඩිදෙනෙක්, පාලනය කරගත නොහැකි කාමාශාව, මුදල සහ බලය වැනි මාංශික තෘෂ්ණා පසුපස වියරු ලෙස හඹායෑමට පෙලඹී සිටිනවා. නමුත් යෙහෝවාගේ පැත්තේ සිටීම සඳහා කෙනෙක් එම තෘෂ්ණාවලින් මිදිය යුතුයි.—කොලොස්සි 3:5-8.
කලින් කලට ඔබ මෙම සඟරාව කියවා තිබිය හැකි අතර, එහි බයිබල් අනාවැකි අදාළ කර ඇති ආකාරය සම්බන්ධයෙන් ඔබ එකඟ විය හැකියි. එහෙත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කිරීම සඳහා පියවරක් ඉදිරියට තැබීමට ඔබ පසුබට වෙනවා විය හැකියි. කෙසේවුවත්, අපි විපත්තියකට මුහුණ දී සිටිනවා නම් අනතුරු ඇඟවීමට සවන් දීම පමණක් ප්‍රමාණවත්ද? ෆියුජෙන් කන්ද පිපිරී ගිය අවස්ථාවේදී මෙන් අපි අනතුරු ඇඟවීමට අනුව ක්‍රියා කළ යුතුයි. අලුත්ම තොරතුරු සොයා ගිය පුවත්පත් වාර්තාකරුවන් හා කැමරා ශිල්පීන් 15දෙනෙකුගේවත් ජීවිත අඩුම තරමින් නැති වූ බව මතක තබාගන්න. ඇත්තවශයෙන්ම, එක් කැමරා ශිල්පියෙක් තම කැමරාවේ බොත්තම ක්‍රියා කරවද්දීම මියගියා. ගිනි කඳු පිළිබඳව හදාරන එක් විද්‍යාඥයෙකුගේ ආශාව වුණේ “කවදා හෝ දිනක ගිනි කන්දක් අසලදීම මියයෑමටයි.” ඔහු සිතූ පරිදිම එදා එය සිදු වුණා. ඔවුන් සියලුදෙනාම ඔවුන්ගේ වැඩයට හා ඔවුන් ලුහුබැන්ද දේ වෙනුවෙන් කැප වී වැඩ කළා. නමුත්, අනතුරු ඇඟවීම නොසලකා හැරීම නිසා ඔවුන්ගේ ජීවිත ඔවුන්ට අහිමි වුණා.
මෙම දුෂ්ට දේවල පිළිවෙළ විනාශ කිරීමට දෙවි තීරණය කර තිබීම සම්බන්ධයෙන් වූ පණිවිඩයට අදදින බොහෝදෙනෙක් සවන් දෙන අතර, අනතුරු ඇඟවීමෙන් පවසන දේ සත්‍යයක් බව යම් දුරකට අවබෝධ කරගන්නවා. සමහරු හේතු දක්වන්නේ ‘ඒක කවදහරි වෙයි’ හැබැයි ‘අද හෙටම නෙවෙයි’ කියායි. මේ ආකාරයෙන් ඔවුන් පහසුවෙන්ම යෙහෝවාගේ දිනය මනසින් කල් දමනවා. එසේ කරන්නේ ඔවුන්ට මේ මොහොතේදී වඩා වැදගත් ලෙස පෙනෙන දේවලින් ඉවත් නොවී සිටීමට එය හේතුවක් කරගත හැකි නිසයි.
බාරුක්ට එවැනි ගැටලුවක් තිබුණා. පුරාණ අනාගතවක්තෘ කෙනෙකු වූ යෙරෙමියාගේ ලේකම්වරයාව සිටි බාරුක් යෙරුසලමට පැමිණෙන්න යන විනාශය සම්බන්ධයෙන් ඉශ්රායෙල්වරුන්ට නිර්භීත ලෙස අනතුරු ඇඟවීමක් කළා. එහෙත්, ඔහු එක් අවස්ථාවකදී ඔහුගේ මෙහෙය සම්බන්ධයෙන් කලකිරීමකට පත් වුණා. ඒ අවස්ථාවේදී යෙහෝවා ඔහුව නිවැරදි කළා. “නුඹටම මහත් දේවල් ලබාගන්ට නුඹ සොයන්නෙහිද? එසේ නොසොයන්න.” ධනය, කීර්තිය හෝ ද්‍රව්‍යමය ආරක්ෂාව වැනි ‘මහත් දේවල් නොසොයන්න’ කියා බාරුක්ට පවසා තිබුණා. නමුත් ඔහු උනන්දු විය යුතුව තිබුණේ දෙවිගේ කැමැත්ත කිරීමටයි. එනම් දෙවිගේ පැත්තේ ස්ථිරව සිටීම සඳහා ජනයාට උපකාර කිරීමටයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහුට ‘ඔහුගේ ප්‍රාණය කොල්ලයක් කොට’ ලබාගැනීමට එනම් තම ජීවිතය ගළවාගැනීමට හැකියාව තිබුණා. (යෙරෙමියා 45:1-5) ඒ හා සමානව, අපි අප වෙනුවෙන් ‘මහත් දේවල් සොයනවා වෙනුවට’ අපේම ජීවිත ගළවාගැනීමට මඟ පෑදිය හැකි යෙහෝවාව සෙවිය යුතුයි.
අධික ලෙස රත් වී යමහල් ක්‍රියාකාරිත්වයෙන් පිටාර ගැලූ ද්‍රව්‍ය මගින් පහර ලැබූ අවස්ථාවේදී පොලිස්භටයන් හා ස්වේච්ඡා ගිනි නිවන්නන් විශාල පිරිසක් ෆියුජෙන් කන්ද අසල තම රාජකාරියෙහි නිරතව සිටියා. අනතුරට ලක් වූ ජනයාට උපකාර කිරීමට හා ඔවුන්ව ආරක්ෂා කිරීමට ඔවුන් වෙහෙස වෙමින් සිටියා. ඔවුන් මේ ලෝකයේ වැඩිදියුණුව සම්බන්ධයෙන් කැප වී වැඩ කරමින් සිටි පුරුෂයන් හා ස්ත්‍රීන් වැනි අය වුණා. ඔවුන්ගේ චේතනාවන් ඉතා උසස් ඒවා වුවත්, “ඇද දේ කෙළින්කරන්ට බැරි” බව ඔවුන්ට අමතක වෙනවා. (දේශනාකාරයා 1:15) ඇද වී තිබෙන දේවල පිළිවෙළ කෙළින් කළ නොහැකියි. තුරන් කිරීමට දෙවි තීරණය කර තිබෙන ලෝක පිළිවෙළ බේරාගැනීමට වෑයම් කරමින් කෙනෙක් ‘ලෝකයේ මිතුරෙක්’ බවට පත්වීම සාධාරණද?
ඉවත් වූ පසු, යළි ළං නොවන්න
අනතුරුදායක පිළිවෙළින් පලායෑම එක් දෙයක් වන නමුත් ‘සහෝදර සමාගමේ’ රැකවරණයෙහි ආරක්ෂාව ලබමින් රැඳී සිටීම ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. (1 පේතෘස් 2:17) පලාගිය නමුත් ෆියුජෙන් කන්ද අසල වූ තම කෙත් වතු සෝදිසි කිරීමට යළි එහි ගිය ගොවීන්ව අපි අමතක නොකරමු. සමහරවිට, ඔවුන් “සුපුරුදු” ජීවිතය යළිත් ගත කිරීමට ආශාවෙන් සිටින්න ඇති. නමුත් යළි එහි යෑමට ඔවුන් ගත් තීරණය අනුවණ ක්‍රියාවක් බව ඔබට වැටහෙයි. එය අනතුරුදායක කලාපයට ඇතුල් වෙන්න ඔවුන් දැරූ මුල් උත්සාහය නොවිය හැකියි. ඔවුන් කිසිම හානියකින් තොරව එම කලාපයට පියමන් කර ටික වෙලාවක් එහි රැඳෙන්න ඇති. ඊළඟ වතාවේදී, ඔවුන් ඊට වැඩි කාලයක් එහි රැඳුණත් කිසිදු හානියක් නොවන්න ඇති. මේ ආකාරයෙන්, වැඩි කල් නොගොස් ඔවුන් ආරක්ෂිත සීමාවෙන් ඉවත් වීමට පුරුදු වූ අතර අනතුරුදායක කලාපයේ දිගු කලක් ගැවසීමට තරම් එඩිතර වුණා.
“දේවල පිළිවෙළේ නිමාව” [NW] අතරතුරේදී හටගන්නාවූ එවැනිම තත්වයකට යේසුස් ක්‍රිස්තුස් යොමු දැක්වුවා. “ජලගැලීමට පළමු දවස්වලදී, නෝවා නැවට ඇතුල්වූ දවස දක්වා, ඔව්හු කමින් බොමින්, සරණපාවාගනිමින්, සරණපාවාදෙමින් සිටියෝය. ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔව්හු නොදැන සිටියෝය [ගණනකට නොගත්තෝය, NW]; මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය” කියා ඔහු පැවසුවා.—මතෙව් 24:3, 38, 39.
කමින්, බොමින්, සරණ පාවාගනිමින් කියා යේසුස් සඳහන් කළ බව සලකන්න. යෙහෝවා මේ එක දෙයක්වත් වරදක් හැටියට සලකන්නේ නැහැ. එසේ නම් වරද වුණේ කුමක්ද? වරද වුණේ, නෝවාගේ දවස්වල ජනයා ‘ගණනකට නොගෙන’ සුපුරුදු දිනචර්යාවේ නියැලී සිටීමයි. හදිසි අවස්ථාවකදී, කෙනෙකුට තම “සුපුරුදු” ජීවිතය ගත කරමින් සිටිය නොහැකියි. වත්මන් විනාශකාරි ලෝකයෙන් ඔබ ඉවත් වූ හෝ වෙන් වූ පසු, නෙළාගත හැකි යම් වාසියක් සඳහා යළිත් එහි යෑමට ආශාවක් ඇති වේ නම් ඊට එරෙහිව ඔබ සටන් කළ යුතුයි. (1 කොරින්ති 7:31) ආත්මික සුරක්ෂිතභාවය ඇති කලාපයෙන් පිටතට විත් සැරිසැරීමටත්, කිසිවෙකුගේ ග්‍රහණයට අසු නොවී නිරුපද්‍රිතව යළි පැමිණීමටත් ඔබට හැකි වේවි. කෙසේවුවත්, යළිත් ලෝකයට ගොස් එහි තවත් වැඩි කාලයක් ගත කිරීමට එය ඔබව නිර්භීත කරාවි. “අද හෙට අවසානය එන්නේ නැහැ” කියන ආකල්පය වැඩි කල් නොගොස් වර්ධනය විය හැකියි.
එමෙන්ම, ගිනි කන්ද පිපිරීමත් සමඟම බෑවුම දිගේ ලාවා වැනි ද්‍රව්‍ය ඇද හැළෙන විට පුවත්පත් වාර්තාකරුවන් හා කැමරා ශිල්පීන් එන තෙක් බලා සිටි කුලී රථ රියැදුරන්ව මරණයට පත් වූ ආකාරය ගැන සිතා බලන්න. ලෝකය තුළට ගමන් කිරීමට එඩිතර වූ අය සමඟ අදදින සමහරු ආශ්‍රය කරමින් සිටිනවා විය හැකියි. කාරණය කුමක් වුවත්, විනාශකාරි කලාපය තුළට යළි යෑම සඳහා මුළාවීමේ අවදානමට වැටීම ඇත්තෙන්ම නුවණක්කාර දෙයක් නොවන බව පැහැදිලියි.
ෆියුජෙන් කන්ද පුපුරා යද්දී ඊට ගොදුරු වූ සෑමදෙනාම ආරක්ෂිත සීමාවෙන් ඉවත් වී අනතුරුදායක කලාපයට ඇතුල් වී තිබුණා. කෙදිනක හෝ කන්ද පුපුරා යයි කියා ඔවුන් අපේක්ෂා කළත්, එදින එය සිදු වේවියයි කිසිවෙකු සිතුවේ නැත. දේවල පිළිවෙළේ නිමාව පිළිබඳ ලකුණ දකිද්දී, කවදාහරි යෙහෝවාගේ දිනය පැමිණෙයි හැබැයි දැන්මම නොවෙයි කියා බොහෝදෙනා කල්පනා කරනවා. එම දිනය “අද” විය නොහැකියි කියාත් සමහරුන්ට හැඟෙනවා. එවැනි ආකල්පයක් ඇත්තෙන්ම අවදානම් සහිතයි.
‘සොරෙකු මෙන් යෙහෝවාගේ දවස පැමිණෙන්නේය’ කියා ප්‍රේරිත පේතෘස් අනතුරු ඇඟෙව්වා. “කැලැල් රහිතව, නිදොස්ව, සමාදානයෙන් යුක්තව දකිනු ලබන පිණිස උත්සාහ” කරමින් ‘යෙහෝවාගේ දවස පැමිණීම බලාසිටිමින්ද ඒ ගැන උනන්දුව ක්‍රියා කරමින්ද [එය මනසෙහි ප්රමුඛව තබාගනිමින්ද, NW]’ අපි සාවධානව සිටිය යුතුයි. (2 පේතෘස් 3:10-14) වත්මන් දුෂ්ට දේවල පිළිවෙළේ විනාශයෙන් පසු, දේවරාජ්‍යය යටතේ පාරාදීස පොළොවක් ඇති වෙන්න යනවා. අපි ආපසු ලෝකය තුළට ගමන් කරන දවස යෙහෝවාගේ දිනය වීමට ඉඩ ඇති නිසා, අපේ මනසේ ඇඳෙන මොනම හේතුවක් නිසාවත් අනතුරුදායක කලාපය තුළ සැරිසැරීමට ආශාවක් අපි තුළ කෙදිනකවත් ඇති කර නොගනිමු.
යෙහෝවාගේ සෙනඟ සමඟ ආරක්ෂා වී, ඔවුන් සමඟම රැඳී සිටින්න.
[7වන පිටුවේ පින්තූර]
යෙහෝවාගේ සෙනඟ සමඟ ආරක්ෂා වී, ඔවුන් සමඟම රැඳී සිටින්න
[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Iwasa/Sipa Press