අපි කවදාවත් විනාශ වන ලෙස පසුබසින්නෝ නොවෙමු!
“අපි විනාශ වන ලෙස පසුබසින්නෝ නොවන්නෙමු.”—හෙබ්‍රෙව් 10:39, NW.
1. ප්‍රේරිත පේතෘස් බියට පත්වීමට හේතු වූයේ කිනම් තත්වයන්ද?
ප්‍රේරිතයන් සියලුදෙනාම ඔවුන්ගේ ආදරයට පාත්‍ර වූ ස්වාමියා වන තමාව අත්හැර පලා යන බව යේසුස් පැවසූ අවස්ථාවේදී ඔවුන් කැලඹුණු බවට සැකයක් නැහැ. තම ස්වාමියාට ළඟින්ම සිටිය යුතු වේලාවක මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කොහොමද? පේතෘස් එකහෙළාම මෙසේ පැවසුවා: “සියලුදෙනාම බාධාවෙතත් මම නම් බාධා නොවෙමි.” පේතෘස් ඇත්තවශයෙන්ම නිර්භීත හා එඩිතර මනුෂ්‍යයෙක් වුණත්, යේසුස්ව පාවා දීම හා අත්අඩංගුවට ගැනීම සිදු වූ අවස්ථාවේදී පලාගිය ප්‍රේරිතයන් අතර ඔහුද සිටියා. පසුව, උත්තම පූජකයා වූ කායාඵස්ගේ නිවසෙහි යේසුස්ගෙන් ප්‍රශ්න කරමින් සිටියදී, පේතෘස් ඇතුල් මිදුලේ භයෙන් එහාට මෙහාට ඇවිදිමින් සිටියා. යේසුස්ව හා ඔහු සමඟ ඇසුරු කළ ඕනෑම කෙනෙකුව මරණයට නියම කරයිදෝ කියන හැඟීම නිසා, සීතල රාත්‍රිය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී පේතෘස්ගේ සිතට බයාදු ගතියක් දැනෙන්න ඇති. පේතෘස් අසල සිටි ඇතමෙක්, යේසුස් සමඟ කිට්ටුවෙන් ඇසුරු කළ කෙනෙකු හැටියට ඔහුව හඳුනාගනිද්දී, ඔහු බයේ ගැහෙන්න පටන්ගත්තා. තමා යේසුස් සමඟ ඇසුරු කළ බව ඔහු තුන්වතාවක්ම ප්‍රතික්ෂේප කළා. අඩුම තරමින් ඔහුව අඳුරනවා කියාවත් පේතෘස් පිළිගත්තේ නැහැ!—මාර්ක් 14:27-31, 66-72.
2. (අ) යේසුස්ව අත්අඩංගුවට ගත් රාත්රියේදී පේතෘස් බියට පත් වුණත් ඔහු ‘විනාශ වන ලෙස පසුබසින’ කෙනෙකු නොවන්නේ ඇයි? (ආ) අපේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?
2 එය පේතෘස්ගේ ජීවිතයේ පසුබෑමකට ලක් වූ අවස්ථාවක් වුණා; ඒ අවස්ථාවේදී කටයුතු කළ ආකාරය ගැන ඔහුගේ මුළු ජීවිත කාලය පුරාම ඔහු පසුතැවුණු බවට කිසිම සැකයක් නැහැ. නමුත් එදා රාත්‍රියේ පේතෘස් කටයුතු කළ ආකාරය නිසා ඔහු බියගුල්ලෙක් කියා කියන්න පුළුවන්ද? “අපි විනාශ වන ලෙස පසුබසින්නෝ නොවන්නෙමු” කියා ප්‍රේරිත පාවුල් පසු කලෙක ලියද්දී විස්තර කළ අයගේ ගණයට පේතෘස් අයත් වූ බව එයින් අදහස් කරනවාද? (හෙබ්‍රෙව් 10:39) පාවුල්ගේ වචන පේතෘස්ට අදාළ නොවන බවට බොහෝදෙනෙකු එකඟ වෙයි. එයට හේතුව කුමක්ද? පේතෘස්ගේ බිය තාවකාලික එකක් වීමයි; මෙය කැපීපෙනෙන ආකාරයේ ධෛර්යයක් හා ඇදහිල්ලක් විදහාපෙන්වූ ඔහුගේ ජීවිතයේ එක් මොහොතක සිදු වූ සුළු පසුබැසීමක් පමණයි. ඒ හා සමානව, යම් ලජ්ජාසහගත හැඟීමක් ඇති වන අවස්ථා හා අපි බියට පත් වී බලාපොරොත්තු වූ විදිහට සත්‍යය වෙනුවෙන් නිර්භීත ස්ථාවරයක සිටීමට නොහැකි වූ අවස්ථා අපගෙන් බොහෝදෙනෙක් අද්දැක තිබෙනවා. (රෝම 7:21-23 සසඳන්න.) එවන් තාවකාලික පසුබැසීම් නිසා අපිව විනාශ වන ලෙස පසුබසින කෙනෙකු හැටියට ගණන් නොගැනෙන බව අපිට නිසැක විය හැකියි. කෙසේවෙතත්, අපි කවදාවත් එවැනි කෙනෙකු නොවීමට අධිෂ්ඨාන කරගත යුතුයි. එසේ කළ යුත්තේ මන්ද? එවන් කෙනෙකු වීමෙන් වැළකී සිටින්න අපිට හැක්කේ කෙසේද?
විනාශ වන ලෙස පසුබැසීම යන්නෙහි අර්ථය
3. අනාගතවක්තෘ එලියා සහ යෝනා බියට පත් වූයේ කෙසේද?
3 පාවුල් ‘පසුබසින අය’ ගැන ලියන විට, ඔහු කතා කරමින් සිටියේ යම් මොහොතකට ධෛර්යය සම්පන්න ලෙස කටයුතු කරන්න අසමත් වන අය ගැන නොවෙයි. පේතෘස්ගේ අද්දැකීම මෙන්ම ඒ හා සමාන තත්වයන්වලට මුහුණු දුන් වෙනත් අය ගැන පාවුල් දැන සිටි බවට සැකයක් නැහැ. නිර්භීත මෙන්ම දේවල් ඍජු ලෙස ප්‍රකාශ කළ අනාගතවක්තෘවරයෙකු වූ එලියා දුෂ්ට යෙසෙබෙල් බිසවගේ මරණීය තර්ජන නිසා බියෙන් පලා ගියා. (1 රාජාවලිය 19:1-4) එක් අවස්ථාවක අනාගතවක්තෘ යෝනා දැඩි ලෙස බියට පත් වුණා. ප්‍රචණ්ඩත්වයට ප්‍රසිද්ධ වූ දුෂ්ට නගරයක් වන නිනිවයට යන්න කියා යෙහෝවා ඔහුට පැවසුවා. එයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් කිලෝමීටර් 3,500ක් ඈතින් පිහිටි තාර්ෂිෂ් බලා යන නැවකට ඔහු විගස ගොඩ වුණා. (යෝනා 1:1-3) ඒ වුණත්, මේ ඇදහිලිවන්ත අනාගතවක්තෲන් දෙදෙනාවත් ප්‍රේරිත පේතෘස්වත් පසුබසින අය හැටියට සලකන්න බැහැ. ඒ ඇයි?
4, 5. (අ) හෙබ්‍රෙව් 10:39හි සඳහන් ‘විනාශය’ යන්නෙන් පාවුල් අදහස් කළේ කුමක්ද කියා නිශ්චය කරගැනීමට අවට පද සම්බන්ධය අපිට උපකාර කරන්නේ කෙසේද? (ආ) “අපි විනාශ වන ලෙස පසුබසින්නෝ නොවන්නෙමු” කියා පවසද්දී පාවුල් අදහස් කළේ කුමක්ද?
4 පාවුල් යොදාගත් මෙම සම්පූර්ණ වාක්යඛණ්ඩයම සැලකිල්ලට ගන්න: “අපි විනාශ වන ලෙස පසුබසින්නෝ නොවන්නෙමු.” ‘විනාශය’ යන්නෙන් ඔහු අදහස් කළේ කුමක්ද? ඔහු භාවිත කළ ග්‍රීක් වචනය ඇතැම් අවස්ථාවලදී සදාකාලික විනාශයට යොමු දක්වනවා. මෙම අදහස අවට පද සම්බන්ධයට ගැළපෙනවා. පාවුල් වගන්ති කිහිපයකට කලින් මෙසේ අනතුරු අඟවා තිබුණා: “සැබෑව දැනගැනීම ලැබුවායින් පසු අපි කැමැත්තෙන්ම පව් කරමු නම්, විනිශ්චය ගැනත් විරුද්ධකාරයන් දවාදමන්ට යන උදහස් ගින්න ගැනත් භයානක බලාසිටීමක් මිස පව් ගැන තවත් පූජාවක් ඉතිරිව නැත.”—හෙබ්‍රෙව් 10:26, 27.
5 “අපි විනාශ වන ලෙස පසුබසින්නෝ නොවන්නෙමු” කියා පාවුල් තම සෙසු ඇදහිලිවන්තයන්ට පවසන විට, ඔහු අදහස් කළේ ඔහුත් ඔහුගේ ලිපිය කියවන ඇදහිලිවන්ත ක්‍රිස්තියානීනුත් කවදාවත් යෙහෝවාව අත්හැර ඔහුට සේවය කිරීම නතර නොකිරීමට අදිටන් කරගෙන සිටි බවයි. යෙහෝවාව අත්හැර ඔහුට සේවය කිරීම නතර කිරීමේ ප්‍රතිඵලය සදාකාලික විනාශයයි. එවන් විනාශයක් අත් වන ලෙස පසුබැස්ස අයට යූදස් ඉස්කාරියොත් මෙන්ම හිතාමතාම යෙහෝවාගේ ආත්මයට එරෙහිව කටයුතු කළ සත්‍යයේ අනිත් සතුරන්ද අයත් වෙනවා. (යොහන් 17:12; 2 තෙසලෝනික 2:3) එවන් පුද්ගලයන් සිටින්නේ සංකේතවත් ගිනි විලෙහි සදාකාලික විනාශය ලබන “භය ඇත්තන්” අතරයි. (එළිදරව් 21:8) ඇත්තෙන්ම අපි කවදාවත් එවැනි අයගේ ගණයට වැටෙන්න කැමති නැහැ!
6. සාතන් නමැති යක්ෂයා කැමති අපි කුමන විදිහට කටයුතු කරනවා දකින්නද?
6 සාතන් නමැති යක්ෂයා කැමති, අපි විනාශ වන ලෙස පසුබසිනවා දකින්නයි. බොහෝ අවස්ථාවලදී විනාශයට මඟ පාදන එවන් ක්‍රියාමාර්ගයක් ආරම්භ වන්නේ, කුඩා ආකාරයෙන් බව “කපටි උපායන්” ඇටවීමෙහි අතිදක්ෂයෙකු වන ඔහු දන්නවා. (එපීස 6:11, NW, පාදසටහන) කෙළින්ම පමුණුවන වධ හිංසා මගින් ඔහුගේ අරමුණු ඉටු කරගත නොහැකි නම්, සැබෑ ක්‍රිස්තියානීන්ගේ ඇදහිල්ල සෝදාපාළුවකට ලක් කරන්න ඔහු සූක්ෂ්ම ක්‍රම යොදාගන්නවා. යෙහෝවාගේ නිර්භීත හා ජ්වලිතවත් සාක්ෂිකරුවන් නිහඬව සිටිනවා දකින්න ඔහු කැමතියි. පාවුල් ඔහුගේ ලිපිය ලියූ හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ව වට්ටවන්න සාතන් යොදාගත් උපක්‍රම අපි සලකා බලමු.
ක්‍රිස්තියානීන්ව පසුබැසීමකට ලක් කිරීමට පීඩන එල්ල කළ ආකාරය
7. (අ) යෙරුසලමෙහි පිහිටි සභාවට තිබුණේ මොන වගේ ඉතිහාසයක්ද? (ආ) පාවුල්ගේ ලිපිය කියවන ඇතමුන්ගේ ආත්මික තත්වය කෙබඳු එකක් වූවාද?
7 පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ඔහුගේ ලිපිය ලිව්වේ පො.යු. 61දී පමණ බව සාක්ෂිවලින් පෙනී යනවා. යෙරුසලමෙහි පිහිටි සභාව කැලඹිලිසහගත තත්වයකට මුහුණ දී තිබුණා. යේසුස්ගේ මරණයෙන් පසු, දරුණු පීඩා රැල්ලක් හමා ගිය අතර, එහි ප්‍රතිඵලයක් හැටියට නගරයේ සිටි ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකුට තැන් තැන්වලට විසිරී යන්න සිද්ධ වුණා. කෙසේවෙතත්, පසුව සාමකාමී කාලපරිච්ඡේදයක් පැවති අතර, ඒ කාලයේදී ක්‍රිස්තියානීන්ගේ ගණන වැඩි වන්න පටන්ගත්තා. (ක්‍රියා 8:4; 9:31) කාලය ගෙවී යද්දී, විටින් විට වෙනත් ආකාරයේ හිංසා පීඩා හා දුෂ්කරතා ඇති වුණා. පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ඔහුගේ ලිපිය ලියන කාලයේදී, සභාව නැවතත් පෙරට වඩා සාමකාමී කාලපරිච්ඡේදයක් පසු කරමින් සිටි බව පෙනෙනවා. ඒ වුණත් පීඩන එල්ල වෙමින් තිබුණා. යෙරුසලමේ විනාශය ගැන යේසුස් පුරෝකථනය කර දශක තුනකට ආසන්න කාලයක් ගෙවී ගොස් තිබුණා. කිසිම සාධාරණ හේතුවක් නොමැතිව අවසානය ප්‍රමාද වෙමින් තිබෙන බවත් තමන්ගේ ජීවිත කාලය තුළ එය සිදු වන්නේ නැති බවත් හැඟුණ අය සිටින්න ඇති. තවත් අය, විශේෂයෙන්ම ඇදහිල්ලෙහි නවකයන් ඒ වන විටත් දැඩි හිංසා පීඩාවලින් පරීක්ෂාවට ලක්ව නොසිටි අතර, පරීක්ෂණ යටතේ විඳදරාගැනීමේ අවශ්‍යතාව ගැනද එතරම් දැනුමක් තිබුණේ නැහැ. (හෙබ්‍රෙව් 12:4) සාතන් මෙවන් තත්වයන්වලින් වාසි ප්‍රයෝජන ගැනීමට මාන බලමින් සිටි බවට සැකයක් නැහැ. ඔහු යොදාගත් “කපටි උපායන්” මොනවාද?
8. යුදෙව්වන් බොහෝදෙනෙක්, ළදරු අවධියේ පසු වූ ක්‍රිස්තියානි සභාව සැලකුවේ කෙසේද?
8 යෙරුසලමේ හා යුදයේ සිටිය යුදෙව් සමාජය ළදරු අවධියේ පසු වූ ක්‍රිස්තියානි සභාව දෙස බැලුවේ අවඥාසහගතවයි. පාවුල්ගේ ලිපිය පරීක්ෂා කර බැලීමෙන් උද්ධච්ච යුදෙව් ආගමික නායකයන් හා ඔවුන්ගේ අනුගාමිකයන් ක්‍රිස්තියානීන්ව අවමානයට ලක් කළ ආකාරය ගැන අපිට යම් ඉඟියක් ලබාගත හැකියි. ඔවුන් මෙසේ පවසන්න ඇති: ‘අවුරුදු සිය ගානක් තිස්සේ යෙරුසලමේ තියෙන උතුම් දේවමාළිගාව අපෙයි! සහායක පූජකයන් එක්ක පූජා ඔප්පු කරන වංශවත් උත්තම පූජකයෙක් ඉන්නෙත් අපිටයි. අපි දිනපතාම පූජා ඔප්පු කරනවා. දේවදූතයන් මාර්ගයෙන් සීනයි කන්දේදී ගරුබිය දනවන ලකුණු සමඟින් මෝසෙස්ට දුන්න ව්‍යවස්ථාව තිබෙන්නෙත් අපිටයි. යුදෙව් ආගමට ද්‍රෝහි වුණ මේ ක්‍රිස්තියානීන්ගේ හතු පිපෙන්නාක් මෙන් බිහි වුණු නිකායට මේ කිසිම දෙයක් නැහැ!’ නමුත් එවන් අවමන්සහගත ප්‍රකාශවලින් බලාපොරොත්තු වූ අරමුණ ඉටු වුණාද? ඇතැම් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් එම අපහාසාත්මක ප්‍රකාශවලින් කැලඹීමට පත් වූ බව පැහැදිලියි. පාවුල්ගේ ලිපිය ඔවුන්ට ලැබුණේ දැඩි අවශ්‍යතාවක් තිබූ එවන් අවස්ථාවකයි.
කවදාවත් විනාශ වන ලෙස පසුබසින්නෝ නොවීමට තිබූ හේතු
9. (අ) හෙබ්‍රෙව්වරුන්ට ලියන ලද ලිපිය පුරා දිවයන්නේ කිනම් තේමාවද? (ආ) ක්‍රිස්තියානීන් සේවය කරන දේවමාළිගාව යෙරුසලමෙහි තිබුණු දේවමාළිගාවට වඩා උතුම් වන්නේ කිනම් අර්ථයෙන්ද?
9 කවදාවත් විනාශ වන ලෙස පසු නොබැසීම සඳහා යුදයේ සිටි තම සහෝදර සහෝදරියන්ට පාවුල් දුන් හේතු දෙකක් අපි පරීක්ෂා කර බලමු. මින් පළමු එක වන ක්‍රිස්තියානි නමස්කාරයේ උත්තරීතරභාවය හෙබ්‍රෙව්වරුන්ට ලියූ ලිපිය පුරාම දැකිය හැකියි. පාවුල් ඔහුගේ ලිපිය පුරාම මෙම තේමාව මැනවින් ගොඩනඟා තිබෙනවා. යෙරුසලමෙහි පිහිටි දේවමාළිගාව, වඩා උතුම් වූ සැබෑ එක වන “අතින් නොසෑදුවාවූ” යෙහෝවාගේ ආත්මික දේවමාළිගාවේ ප්‍රතිරූපයක් පමණයි. (හෙබ්‍රෙව් 9:11) නිර්මල නමස්කාරය සඳහා පිහිටුවනු ලැබූ එම ආත්මික විධිවිධානයෙහි සේවය කිරීමේ වරප්‍රසාදය එදා සිටි ක්‍රිස්තියානීන්ට තිබුණා. ඔවුන් සේවය කළේ, බොහෝ කලකට පෙර පොරොන්දු කළ වඩා උතුම් ගිවිසුමක් යටතේයි; එහි මැදිහත්කරු වූ යේසුස් ක්‍රිස්තුස් මෝසෙස්ට වඩා උතුම් කෙනෙකි.—යෙරෙමියා 31:31-34.
10, 11. (අ) ආත්මික දේවමාළිගාවේ උත්තම පූජකයා ලෙස සේවය කිරීමට යේසුස් නුසුදුසු වීමට පෙළපත හේතුවක් නොවූයේ මන්ද? (ආ) යෙරුසලමෙහි දේවමාළිගාවේ සේවය කළ උත්තම පූජකයාට වඩා යේසුස් උතුම් වූයේ කිනම් ආකාරවලින්ද?
10 වඩා උතුම් වූ උත්තම පූජකයෙක්ද ඒ ක්‍රිස්තියානීන්ට සිටියා. ඔහු යේසුස් ක්‍රිස්තුස්ය. ඔහු ආරොන්ගෙන් පැවතෙන්නෙක් නොවෙයි. ඒ වෙනුවට ඔහු ‘මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව’ උත්තම පූජකයෙක් වුණා. (ගීතාවලිය 110:4) පෙළපත ගැන වාර්තා වී නොමැති මෙල්කිසදෙක් පුරාණ සාලෙම්හි රජ කෙනෙකු මෙන්ම උත්තම පූජකයෙක්ව සිටියා. මෙසේ ඔහු යෝග්‍ය ලෙස අනාවැකිමය අයුරින් යේසුස්ව පූර්වාදර්ශනය කළා; යේසුස් පූජක තන්ත්රයට පත් වූයේ කිසිම අසම්පූර්ණ මිනිස් මුතුන්මිත්තෙකුගෙන් පැවතෙන්නෙකු හැටියට නොව, ඊට වඩා උතුම් දෙයක් වන යෙහෝවා දෙවිගේම දිවුරම මතයි. මෙල්කිසදෙක් හා සමානව, යේසුස් උත්තම පූජකයෙක් හැටියට පමණක් නොව, රජ කෙනෙක් හැටියටද සේවය කරන අතර, කිසිදා මිය යන්නේද නැහැ.—හෙබ්‍රෙව් 7:11-21.
11 එපමණක්ද නොව, යෙරුසලමේ දේවමාළිගාවේ සේවය කළ උත්තම පූජකයා මෙන් නොව, යේසුස්ට අවුරුද්දක් අවුරුද්දක් පාසා පූජා ඔප්පු කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඔහු පූජා කළේ ඔහුගේම පරිපූර්ණ ජීවිතයයි; මෙය සැමදාටම සරිලන ලෙස එක් වරක් කළ පූජාවක්. (හෙබ්‍රෙව් 7:27) එදා දේවමාළිගාවේ ඔප්පු කළ සෑම පූජාවක්ම, යේසුස්ගේ පූජාවෙහි පෙර ඡායාවක් නැතහොත් සාදෘශ්‍යයක් පමණයි. ඔහුගේ පරිපූර්ණ පූජාව කෙරෙහි ඇදහිල්ල තැබූ සියලුදෙනාටම තමන්ගේ පාපවලට සැබෑ සමාවක් ලබාගැනීමේ හැකියාව එයින් උදා වුණා. මෙම උත්තම පූජකයා, යෙරුසලමෙහි ක්‍රිස්තියානීන් දැන සිටිය, කිසිදා වෙනස් නොවන යේසුස්ම බව පැහැදිලි කරමින් පාවුල් අදහස් දක්වන ආකාරය හද උණුසුම් කරවනසුලුයි. ඔහු නිහතමානී මෙන්ම කරුණාවන්තය; එමෙන්ම “අපේ දුර්වලකම් දෙස සානුකම්පිතව බැලිය, [NW]” හැකි කෙනෙකි. (හෙබ්‍රෙව් 4:15; 13:8) එම ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ අපේක්ෂාව වූයේ ක්‍රිස්තුස්ගේ සහයක පූජකයන් ලෙස සේවය කිරීමයි! ඒ නිසා පසුබැස, යුදෙව් ආගමේ “දුර්වලවූ නිෂ්ඵලවූ” දූෂිත දේවලට ආපසු හැරීම ගැන ඔවුන්ට සිතන්නවත් පුළුවන්ද?—ගලාති 4:9.
12, 13. (අ) පසු නොබැසීම සඳහා පාවුල් සැපයූ දෙවන හේතුව කුමක්ද? (ආ) විනාශ වන ලෙස පසු නොබැසීම සඳහා විඳදරාගැනීම පිළිබඳ ඔවුන්ගේ අතීත වාර්තාව හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට දිරිගැන්වීමක් වූයේ ඇයි?
12 ඒ විතරක් නොවෙයි, කවදාවත් විනාශ වන ලෙස පසු නොබැසීමට හෙබ්‍රෙව්වරුන්ට වැඩිමනත් සාක්ෂි සපයන දෙවන හේතුවක් පාවුල් සඳහන් කරනවා; එනම් විඳදරාගැනීම පිළිබඳ ඔවුන්ගේ වාර්තාවයි. ඔහු මෙසේ ලිව්වා: “නුඹලා ආලෝකකරනු ලැබුවාට පසු නුඹලා දුක් නැමති මහත් පොරබැදීමක් ඉසුලුවාවූ පළමු දවස් සිහිකරන්න.” “රඟහලක පෙනී සිටින අය මෙන්, [NW]” ඔවුන්ව නින්දා පීඩාවලට ලක් කර තිබුණා කියා පාවුල් ඔවුන්ට සිහිගැන්වුවා. සමහරුන් සිරගෙවල්වල දුක් පීඩා අද්දැක්කා; තවත් අය සිරකරුවන්ට අනුකම්පා කරමින් ඔවුන්ට උපකාර කළා. ඔව්, ඔවුන් ඇදහිල්ල හා විඳදරාගැනීම ගැන ආදර්ශයක් තබා තිබුණා. (හෙබ්‍රෙව් 10:32-34) ඒ වුණත්, එවන් කටුක අද්දැකීම් “සිහිකරන්න” කියා පාවුල් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ඇයි? එය අධෛර්යය වීමට හේතුවක් වන්නේ නැද්ද?
13 ඊට වෙනස්ව ‘පළමු දවස් සිහි කිරීම,’ පරීක්ෂා යටතේ යෙහෝවා ඔවුන්ව උසුලා තිබුණ ආකාරය මතකයට නැඟීම සඳහා උපකාරයක් වන්න ඇති. යෙහෝවාගේ උපකාරය ඇතුව ඔවුන් ඒ වන විටත් සාතන්ගේ ප්‍රහාර රැසකට සාර්ථකව මුහුණ දෙමින් සිටියා. පාවුල් මෙසේ ලිව්වා: “නුඹලාගේ වැඩයද නුඹලා ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් [දෙවිගේ] නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට [ඔහු] අධර්මිෂ්ඨ නැත.” (හෙබ්‍රෙව් 6:10) ඔව්, යෙහෝවා ඔවුන්ගේ සෑම ඇදහිලිවන්ත ක්‍රියාවක්ම ඔහුගේ අසීමිත මතක ශක්තියේ තැන්පත් කරගනිමින් ඒවා සිහි කළා. මෙයින් ස්වර්ගයේ වස්තු රැස් කරන්න කියා යේසුස් දුන් උපදේශය අපේ මතකයට නඟනවා. කිසිම සොරෙකුට මේ වස්තු සොරකම් කරන්න බැහැ; කාවෙකුටවත්, මළකඩවලටවත් බැහැ ඒවාට හානි කරන්න. (මතෙව් 6:19-21) මෙම වස්තු විනාශ විය හැක්කේ, ක්‍රිස්තියානියෙකු විනාශ වන ලෙස පසුබැසීමකට ලක් වුවහොත් පමණයි. එය හරියට ඔහු ස්වර්ගයෙහි රැස් කළ වස්තු නාස්ති කර දැමීමක් හා සමානයි. කවදාවත් ඒ වගේ අනුවණ විදිහට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පාවුල් හෙබ්‍රෙව්වරුන්ට දුන් හේතුව මොනතරම් බලපෑමෙන් යුක්ත එකක්ද! ඔවුන් ඇදහිලිවන්තව සේවය කළ කාලය නිකං ගඟට කැපූ ඉනි වගේ වෙන්න සලස්වන්නේ ඇයි? වඩාත් සුදුසු මෙන්ම හොඳ ක්‍රියා මාර්ගය වූයේ, දිගටම විඳදරාගැනීමයි.
විනාශ වන ලෙස කවදාවත් පසු නොබැසීමට අපට ඇති හේතු
14. අපි අද මුහුණ දෙන්නේ පළමු සියවසේ ක්‍රිස්තියානීන් මුහුණ දුන්නා හා සමාන කිනම් අභියෝගවලටද?
14 අදදින සැබෑ ක්‍රිස්තියානීන්ටද පසු නොබැසීම සඳහා ඒ හා සමානව ප්‍රබල හේතු තිබෙනවා. මුලින්ම, යෙහෝවා අපිට දී තිබෙන නිර්මල නමස්කාරය තුළ අපි භුක්ති විඳින ආශීර්වාද මොනතරම් අනර්ඝද කියා මතක් කරගනිමු. පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන් හා සමානව අපි ජීවත් වෙන්නෙත්, ජනප්‍රිය ආගම්වල සිටින අය ඔවුන්ගේ නෙත් සිත් ඇදගන්න ආගමික ගොඩනැඟිලි හා පුරාණයේ පටන් පැවතෙන සම්ප්‍රදායන් ගැන පුරසාරම් දොඩන මෙන්ම අපිව උපහාසයට ලක් කරන කාලයකයි. කොහොමවුණත්, අපේ නමස්කාර ක්‍රමය ඔහු අනුමත කරන බවට යෙහෝවා අපිට සහතික වෙනවා. ඇත්තෙන්ම අද අපි මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන්ට භුක්ති විඳින්න නොලැබුණු ආශීර්වාද භුක්ති විඳිනවා. ‘ඒ කොහොමද?’ කියා ඔබ කල්පනා කරන්න පුළුවන්. ඇත්තවශයෙන්ම ඔවුන් ජීවත් වූයේ ආත්මික දේවමාළිගාවේ ක්‍රියාකාරිත්වය ආරම්භ වූ කාලයකයි. ක්‍රිස්තුස් පො.යු. 29දී බව්තීස්ම වීමත් සමඟ එහි උත්තම පූජකයා බවට පත් වුණා. දෙවිගේ පුත්‍රයා සිදු කළ ප්රාතිහාර්යයන් ඔවුන්ගෙන් සමහරදෙනෙක් දැක තිබුණා. ඔහුගේ මරණින් පසුව පවා තවත් බොහෝ ප්රාතිහාර්යයන් සිදු වුණා. නමුත්, පුරෝකථනය කර තිබූ ආකාරයට පසු කලෙක එවන් දීමනා පහ වුණා.—1 කොරින්ති 13:8.
15. අද සැබෑ ක්‍රිස්තියානීන් ජීවත් වෙන්නේ කිනම් අනාවැකියක් ඉටු වන කාලයකද? එයින් අපිට අදහස් කරන්නේ කුමක්ද?
15 අපි ජීවත් වන්නේ එසකියෙල් 40-48 දක්වා පරිච්ඡේදවල සඳහන් අතිවිශාල දේවමාළිගාව පිළිබඳ අනාවැකිය ඉටු වන කාලයකයි.a මේ අනුව, නිර්මල නමස්කාරය හා සම්බන්ධ දෙවිගේ විධිවිධානය යළි පිහිටුවීම අපි දැක තිබෙනවා. මෙම ආත්මික දේවමාළිගාවෙන් ආගමික දූෂිත ක්‍රියා හා රූපවන්දනාවේ සියලුම අංග ඉවත් කර, එය පවිත්‍ර කර තිබෙනවා. (එසකියෙල් 43:9; මලාකී 3:1-5) එම පවිත්‍ර කිරීම මගින් අපි ලබා තිබෙන ප්‍රයෝජන ගැන සිතා බලන්න.
16. පළමු සියවසේ ක්‍රිස්තියානීන් මුහුණ දුන්නේ අධෛර්යය කරවනසුලු කිනම් නැඹුරුවාවටද?
16 පළමු සියවසේදී, සංවිධානාත්මක ව්‍යූහයකින් යුත් ක්‍රිස්තියානි සභාවේ අනාගතය අඳුරුසහගත තත්වයක තිබූ බව පෙනෙන්න තිබුණා. අලුතින් තිරිඟු වැපුරූ කෙතක, තිරිඟුවලට උඩින් කිරිඳි වපුරා, මේ දෙවර්ගය අතර වෙනස හඳුනාගැනීමට අසීරු තත්වයකට සමාන දෙයක් සිදු වන බව යේසුස් පුරෝකථනය කර තිබුණා. (මතෙව් 13:24-30) දේවල් සිදු වුණේ ඒ විදිහටමයි. පළමු සියවසේ අවසාන භාගය වන විට මහලු වියේ පසු වූ ප්‍රේරිත යොහන්, ආගමික දූෂණයට එරෙහිව අන්තිම වළක්වන්නා වශයෙන් සිටි කාලයේදී පවා ඇදහිල්ල අත්හැර යෑම සශ්‍රීකව වැඩෙමින් තිබුණා. (2 තෙසලෝනික 2:6; 1 යොහන් 2:18) ප්‍රේරිතවරුන් මිය ගොස් වැඩිකල් යන්න කලින්, රැළ තළා පෙළා දමන, විශේෂ ඇඳුම් කට්ටලයකින් සැරසුණු අනිත් අයගෙන් වෙන් වූ පූජක පන්තියක් බිහි වුණා. ඇදහිල්ල අත්හැර යෑම පිළිකාවක් මෙන් පැතිරුණා. ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ට එය මොනතරම් අධෛර්යය කරවනසුලු දෙයක් වන්න ඇද්ද! දූෂිත නමස්කාරයක් මගින් අලුත පිහිටුවනු ලැබූ නිර්මල නමස්කාරය යටපත් කළ ආකාරය ඔවුන් දුටුවා. මෙම තත්වය වර්ධනය වූයේ ක්‍රිස්තුස් සභාව පිහිටුවා සියවස් භාගයක්වත් යන්න කලිනුයි.
17. නවීන දින ක්‍රිස්තියානි සභාව පළමු සියවසේ පැවති එකට වඩා වැඩි කාලයක් පැවත තිබෙන්නේ කෙසේද?
17 දැන් වෙනස සලකා බලන්න. අද නිර්මල නමස්කාරය, ප්‍රේරිතවරුන්ගේ මරණය දක්වා පැවති කාලයට වඩා වැඩි කාලයක් දැනටමත් පැවත තිබෙනවා. මෙම සඟරාවේ ප්‍රථම කලාපය ප්‍රකාශයට පත් කළ 1879 තරම් බොහෝ කලකට පෙර සිටම ක්‍රමානුකූලව පවිත්‍ර කරන ලද නමස්කාරයේ නියැලීමට අපිට අවස්ථාව දීමෙන් යෙහෝවා අපිට ආශීර්වාද කර තිබෙනවා. යෙහෝවා සහ යේසුස් ක්‍රිස්තුස් ආත්මික දේවමාළිගාව පවිත්‍ර කිරීමේ අරමුණෙන් 1918දී එයට ඇතුල් වුණා. (මලාකී 3:1-5) යෙහෝවා දෙවිට නමස්කාර කිරීමේ විධිවිධානය 1919 සිට ප්රගතිශීලී ලෙස පවිත්‍ර කර තිබෙනවා. බයිබල් අනාවැකි සහ ප්‍රතිපත්ති පිළිබඳ අපේ අවබෝධය වඩාත් පැහැදිලි වී තිබෙනවා. (හිතෝපදේශ 4:18) ප්‍රශංසාව හිමි විය යුත්තේ කාටද? නිකම්ම අසම්පූර්ණ මිනිසුන්ට නොවෙයි. මෙම දූෂිත කාලවලදී තම සෙනඟව ආරක්ෂා කළ හැක්කේ, යෙහෝවාට සහ සභාවේ හිස වන ඔහුගේ පුත්‍රයාට පමණයි. එසේනම්, අදදින නිර්මල නමස්කාරයේ හවුල් වෙන්න අපිට අවස්ථාව සලසා දීම ගැන දෙවිට ස්තුතිවන්ත වෙන්න අපි කවදාවත් අමතක නොකරමු. එමෙන්ම, කවදාවත් විනාශ වන ලෙස පසු නොබැසීමට අපි දැඩි ලෙස අදිටන් කරගනිමු!
18. කවදාවත් විනාශ වන ලෙස පසු නොබැසීමට අපිට තිබෙන්නේ කිනම් හේතුවද?
18 බියට පත්ව පසුබැසීමෙන් වැළකීම සඳහා හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට මෙන් අපිට තිබෙන දෙවන හේතුව වන්නේ විඳදරාගැනීම පිළිබඳ අප සතු වාර්තාවයි. අපි යෙහෝවාට සේවය කිරීම ආරම්භ කර තිබෙන්නේ මෑතක සිට හෝ වේවා, දශක ගණනාවක සිට හෝ වේවා, අපි ක්‍රිස්තියානි ක්‍රියා සම්බන්ධයෙන් වාර්තාවක් ගොඩනඟාගෙන තිබෙනවා. අපගෙන් බොහෝදෙනෙක් සිරගත වීම්, තහංචි, අමානුෂික සැලකිලි හා දේපළ අහිමි වීම වැනි හිංසා පීඩාවලට ලක් වී තිබෙනවා. තවත් බොහෝදෙනෙක් පවුලේ අයගේ විරුද්ධවාදිකම්, නින්දා අපහාස හා උදාසීනත්වය යනාදියට මුහුණ දී තිබෙනවා. අපි හැමකෙනෙක්ම ජීවිතයේ අභියෝග හා පරීක්ෂණ මැද විඳදරාගනිමින් දිගටම යෙහෝවාට සේවය කරමින් සිටිනවා. මෙසේ කිරීමෙන් පසු නොබැසීම පිළිබඳ යෙහෝවා අමතක නොකරන වාර්තාවක් අපි ගොඩනඟාගෙන තිබෙනවා; ඔව් අප රැස් කර තිබෙන්නේ කවදාවත් පහ නොවන ස්වර්ගික වස්තු සම්භාරයක්. එසේනම්, පසුබැස, පසෙකට දැමූ මේ දූෂිත පරණ පිළිවෙළට ආපසු යෑමට අපට මෙය කාලය නොවෙයි! අපි වෙහෙස මහන්සි වී කළ දේවල් ගඟට කැපූ ඉනි මෙන් වෙන්න ඉඩහරින්නේ මොකටද? මෙය විශේෂයෙන් අදදින සත්‍යයක් වන්නේ “තව ඉතා ස්වල්ප කාලයකින්” අවසානය පැමිණෙන නිසයි.—හෙබ්‍රෙව් 10:37.
19. ඊළඟ ලිපියේ සාකච්ඡා කරන්නේ කුමක්ද?
19 ඔව්, ‘විනාශ වන ලෙස පසුබසින්නෝ නොවීමට’ අපි අදිටන් කරගනිමු! අපි පසුබසිනවා වෙනුවට, “ප්‍රාණය ගැළවෙන ලෙස ඇදහිල්ල ඇත්තෝ” වෙමු. (හෙබ්‍රෙව් 10:39, NW) අපි ඇදහිල්ල ඇත්තෝ බවට අපිට නිසැක විය හැක්කේ කෙසේද? එමෙන්ම ඇදහිල්ල ඇතුව සිටීමට සෙසු ක්‍රිස්තියානීන්ට උපකාර කරන්න අපිට හැක්කේ කෙසේද? මේ කාරණය ඊළඟ ලිපියෙහි සලකා බලන්න යනවා.
[පාදසටහන]
ඔබට මතකද?
◻ විනාශ වන ලෙස පසු නොබැසීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
◻ පාවුල් ඔහුගේ ලිපිය ලියූ හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් මතට එල්ල වූ පීඩන මොනවාද?
◻ විනාශ වන ලෙස පසු නොබැසීම සඳහා පාවුල් හෙබ්‍රෙව්වරුන්ට දුන් හේතු මොනවාද?
◻ විනාශ වන ලෙස පසු නොබැසීමට අදිටන් කරගැනීමට අපිට තිබෙන්නේ කුමන හේතුද?
[15වන පිටුවේ පින්තූර]
පේතෘස් තාවකාලිකව බියට පත්වීම නිසා, ඔහු ‘විනාශ වන ලෙස පසුබැස්ස’ කෙනෙකු වූයේ නැහැ