අපේ දෙමාපියන් දෙවිට ප්‍රේම කරන්න අපට ඉගැන්නුවා
එළිසබෙත් ට්‍රේසිගේ කතාව
එදින උදෑසන අපව වට කරගත් පිරිසක් ආයුධ අරගෙන ඇවිත් අම්මවයි, තාත්තවයි කාර් එකෙන් එළියට ඇදලා ගත්තා. අපේ දෙමාපියන්ව අපිට ආයි කවදාවත් දකින්න ලැබෙන එකක් නැද්ද කියලා කල්පනා කර කර අක්කයි මමයි පසු ආසනේ ඉඳගෙන හිටියා. වර්ෂ 1941දී අ.එ.ජ., ඇලබාමාහි සෙල්මා කිට්ටුව සිද්ධ වුණ මෙම තැතිගන්වන අද්දැකීමට හේතු වුණේ මොකක්ද? ඒ වගේම අපේ දෙමාපියන්ගෙන් අපි ලැබූ ඉගැන්වීම් ඒකට සම්බන්ධ වුණේ කොහොමද?
මගේ තාත්තා, ඩ්යූවී ෆෞන්ටන්; බිළිඳු අවදියේදීම ඔහුගේ දෙමාපියන් මියගිය නිසා ටෙක්සස්හි ගොවිපොළක හිටිය නෑදෑයෙක් ළඟයි ඔහු හැදී වැඩුණේ. පසුව ඔහු තෙල් ආකරයක වැඩ කරන්න ගියා. වර්ෂ 1922දී, ඔහුට වයස 23 වන විට, ඔහු ටෙක්සස් ජාතික ලස්සන ගෑනු ළමයෙකු වූ විනීව විවාහ කරගෙන එකලසක් වුණා.
ඔහු නැඟෙනහිර ටෙක්සස්හි කුඩා නගරයක් වන ගැරසන් අසල ගස්වලින් ගහන ප්‍රදේශයක නිවසක් තැනුවා. එහි ඔහු කපු සහ ඉරිඟු ඇතුළු විවිධ භෝග වගා කළා. ප්‍රයෝජනයක් ගත හැකි හැම ජාතියකම සත්තු ඇති කළා. කල් යද්දී අපි ඉපදුණා—1924 මැයිවලදී ඩ්යූවී කණිෂ්ඨ, 1925 දෙසැම්බර්වලදී එඩ්විනා සහ 1929 ජූනිවලදී මම ඉපදුණා.
බයිබල් සත්‍යය ඉගෙනගැනීම
අම්මයි තාත්තයි ක්‍රිස්තු සභාවට අයත්ව සිටි නිසා ඔවුන් සිතුවා ඔවුන් බයිබලයේ තියෙන දේවල් දන්නවා කියලා. නමුත් 1932දී ජී. ඩබ්. කුක්, වොච් ටවර් සමිතිය මගින් ප්‍රකාශිත ගැළවීම හා ආණ්ඩුව (ඉංග්‍රීසියෙන්) යන පොත් අපේ මහප්පා වූ මොන්රෝ ෆෞන්ටන්ට දීලා තිබුණා. තමා ඉගෙනගනිමින් සිටිය දේ මගේ දෙමාපියන්ට කීමට ආශාවෙන් මොන්රෝ නිතරම උදේ ආහාර ගන්න වෙලාවලදී ඇවිත් මුරටැඹෙන් ලිපියක් කියෙව්වා; ඊට පස්සේ “අමතක වෙලා” සඟරාව දාලා යනවා. පස්සේ අම්මයි, තාත්තයි ඒක කියවනවා.
එක උදෑසනක බයිබල් පාඩමක් සඳහා අසල්වැසියෙකුගේ නිවසට එන්න කියලා මහප්පා තාත්තට ආරාධනා කළා. ඔහුගේ හැම ප්‍රශ්නයකටම බයිබලයෙන් උත්තර දෙන්න කුක් මහත්මයාට පුළුවන් කියලා ඔහු සහතික කළා. පාඩම ඉවර වෙලා තාත්තා ගෙදර ආවහම, අමුතු ප්‍රීතියකින් අපිට මෙහෙම කිව්වා: “මගේ ඔක්කොම ප්‍රශ්නවලට මට උත්තර ලැබුණා විතරක් නෙවෙයි, තවත් දේවල් ගැනත් තොරතුරු ලැබුණා! මං හොඳට දන්නවා කියලා හිතාගෙන හිටියත්, නිරය, ආත්මය, පොළොව සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ වගේම දේවරාජ්‍යය මාර්ගයෙන් ඒක ඉටු කරන විදිහ ගැන කුක් මහත්මයා පැහැදිලි කරන්න පටන්ගත්තහම මම බයිබලය ගැන කිසිම දෙයක් දන්නේ නැහැනෙ කියලා මට හිතුණා!”
අපේ ගේ හරියට සමාජ ශාලාවක් වගෙයි. නෑදෑයන් සහ මිත්‍රයන් නිතර ආවා ගියා; රස කැවිලි සහ පොරි හැදුවා; අම්මා පියානෝව වාදනය කරද්දී අපි එකතු වෙලා සිංදු කිව්වා. ක්‍රමක්‍රමයෙන් මෙම අවස්ථාවලදී අපි බයිබල් විෂයන් ගැන සාකච්ඡා කරන්න පටන්ගත්තා. සාකච්ඡා කළ හැම දෙයක්ම දරුවන් වූ අපට තේරුම්ගන්න බැරි වුණත්, දෙවිට සහ බයිබලයට අපේ දෙමාපියන් දැක්වූ බලවත් ප්‍රේමය පැහැදිලිව පෙනෙන්න තිබුණ නිසා අපි හැමෝම දෙවිට හා ඔහුගේ වචනයට එවැනිම ප්‍රේමයක් ඇති කරගත්තා.
සතිපතා බයිබල් සාකච්ඡා සඳහා වෙනත් පවුල්ද ඔවුන්ගේ නිවෙස් විවෘත කළ අතර, එය සාමාන්‍යයෙන් අලුත්ම මුරටැඹ සඟරාවක විෂයක් වටා ගොඩනැඟුණා. අසල්වැසි නගර වූ ඇපල්බි සහ නැකඩෝචස්වල පවුල් තමන්ගේ නිවෙස්වල රැස්වීම් පැවැත්වූ විට, අව්ව වැස්ස නොබලා අපි ඔක්කොම අපේ ෆෝඩ් රථයෙන් රැස්වීම්වලට ගියා.
ඔවුන් ඉගෙනගත් දේ අනුව ක්‍රියා කරයි
ඉගෙනගත් දේ ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව තේරුම්ගන්න අපේ දෙමාපියන්ට වැඩි කල් ගත වුණේ නැහැ. දෙවිට ප්‍රේම කරනවා නම් ඉගෙනගන්න දේවල් අනිත් අයට කීමට අවශ්‍යව තිබුණා. (ක්‍රියා 20:35) නමුත් විශේෂයෙන්ම අපේ දෙමාපියන් සාමාන්‍යයෙන්ම ලජ්ජාශීලී, යටහත් පහත් අය වූ නිසා, තම ඇදහිල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේ මෙම පියවර අභියෝගයක් වුණා. එහෙත්, දෙවිට ඇති ඔවුන්ගේ ප්‍රේමය ඔවුන්ව පෙලඹවූ අතර, ප්‍රතිඵලයක් වශයෙන් අප තුළ යෙහෝවා කෙරෙහි ගැඹුරු විශ්වාසයක් වර්ධනය කරන්න එය ඔවුන්ට උපකාරයක් වුණා. තාත්තා ඒක ගැන කිව්වේ මෙහෙමයි: “යෙහෝවා ගොවියන්ගෙන් දේශනාකරුවන් හදනවා!” වර්ෂ 1933දී, අම්මයි තාත්තයි ටෙක්සස්හි හෙන්ඩසන් කිට්ටුව පොකුණක බව්තීස්ම වීමෙන් යෙහෝවාට ඔවුන්ගේ කැපවීම සංකේතවත් කළා.
වර්ෂ 1935 මුල්භාගයේදී, තාත්තා වොච් ටවර් සමිතියට ලියලා, සදා ජීවනය පිළිබඳ ක්‍රිස්තියානි බලාපොරොත්තුව සම්බන්ධයෙන් හුඟක් ප්‍රශ්න ඇහැව්වා. (යොහන් 14:2; 2 තිමෝති 2:11, 12; එළිදරව් 14:1, 3; 20:6) එවිට සමිතියේ සභාපතිව සිටි ජෝසෆ් එෆ්. රදෆ’ඩ්ගෙන් ඔහුට කෙළින්ම පිළිතුරක් ලැබුණා. තාත්තාගේ ප්‍රශ්නවලට උත්තර දෙනවා වෙනුවට, වොෂිංටන් ඩී. සී. වල මැයි මාසයේදී පැවැත්වෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවට පැමිණෙන්න කියා සහෝදර රදෆ’ඩ් ඔහුට ආරාධනා කරලා තිබුණා.
‘කොහොමටවත් බැහැ!’ කියලා තාත්තා හිතුවා. ‘අපි හෙක්ටෙයාර් 26ක එළවළු වවලා තියෙන ගොවියන්. ඵලදාව අරගෙන වෙළඳාම් පොළට ගෙනියන්න තියෙන්නේ ඒ දවස්වලදිමයි.’ කෙසේවුවත්, ඊට ටික දවසකට පස්සේ, ගංවතුරක් ඇවිත් ඔහුගේ නිදහසට කරුණු වූ ඵලභෝග, වැටවල් සහ ඒදඬු යන හැම දෙයක්ම ගහගෙන ගියා. එනිසා අපි අනිත් සාක්ෂිකරුවන්ට එකතු වී කුලියට ගත් බස් රථයකින් කිලෝමීටර් 1,600ක දුරක් ගෙවා ඊසානදිගෙහි පැවැත්වූ සමුළුවට ගියා.
සමුළුවේදී ‘මහත් පීඩාවෙන්’ බේරී එන “මහත් සමූහය” ගැන හඳුන්වා දුන් පැහැදිලි විස්තරයට සවන් දීමෙන් තාත්තයි අම්මයි ලොකු ප්‍රීතියක් ලැබුවා. (එළිදරව් 7:9, 14) අම්මගෙයි තාත්තගෙයි ජීවිතයේ ඉතිරි කාලය සම්බන්ධයෙන් බැලුවහම, පාරාදීස පොළොවක සදා ජීවනය පිළිබඳ බලාපොරොත්තුව ඔවුන් තුළ පෙලඹීමක් ඇති කර තිබුණ අතර, ‘ජීවනය වූ ඒ සැබෑ ජීවනය අල්ලාගන්න’ කියලා ඔවුන් අපිට දිරිගැන්නුවා; එයින් අපට අදහස් වුණේ යෙහෝවා ඉදිරිපත් කරන පොළොව මත සදා ජීවනයයි. (1 තිමෝති 6:19; ගීතාවලිය 37:29; එළිදරව් 21:3, 4) මට වයස පහක්ව සිටියත් මේ ප්‍රීතිමත් අවස්ථාවේදී මගේ පවුලේ අය එක්ක සිටීම මට ලොකු සතුටක් වුණා.
සමුළුව ඉවර වෙලා ගෙදර ආවට පස්සේ අපි ආපහු වගා කළා; ඊට පස්සේ අපිට කවදාවත් නොලැබුණ විදිහට කදිම අස්වැන්නක් ලැබුණා. යෙහෝවා කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබීම කවදාවත් නිෂ්ඵල දෙයක් වෙන්නේ නැති බව ඒත්තුගන්න මේක ඇත්තෙන්ම අම්මටයි තාත්තටයි උපකාර වුණා. ඔවුන් මාසෙකට පැය 52 ගානේ අවශ්‍ය කරවන විශේෂ දේශනා වැඩයක යෙදෙන්න කැමැත්ත පළ කළා. ඊට පස්සේ, වගා කරන ඊළඟ කන්නය ආපුවහම ඔවුන් ගොවිපොළ විකුණුවා! අපි පස්දෙනාට ජීවත් වෙන්න පුළුවන් මීටර් 6 X 2.4ක ට්‍රේලර් රථයක් තාත්තා හැදුව අතර ඒක ඇදගෙන යන්න ඔහු දොරවල් දෙකේ අලුත්ම ෆෝඩ් සීඩන් රථයක් මිල දී ගත්තා. මොන්රෝ මහප්පත් ඒ විදිහටම කළා; ඔහුත් ඔහුගේ පවුලේ අය එක්ක ට්‍රේලර් රථයක පදිංචි වුණා.
අපිට සත්‍යය ඉගැන්වීම
වර්ෂ 1936 ඔක්තෝබර්වලදී තාත්තයි අම්මයි පුරෝගාමී සේවය පටන්ගත්තා; පූර්ණ-කාලීන දේවසේවය හඳුන්වන්නේ ඒ විදිහටයි. ඉඳලා හිටලා රාජ්‍යය පණිවිඩයට සවන් දී තිබුණු නැඟෙනහිර ටෙක්සස්හි ජනපදවල පවුලක් වශයෙන් දේශනා කිරීමට අපි පටන්ගත්තා. අවුරුද්දක් පුරාම වගේ තැනින් තැනට ගියත් අපි ඇත්තෙන්ම මේ ජීවිතයෙන් ප්‍රීතියක් ලැබුවා. බයිබල් සත්‍යයන් අන්‍යයන්ට කියා දීමට තමන්ව කැප කළ මුල් ක්‍රිස්තියානීන් මෙන්, තාත්තයි අම්මයි ඔවුන්ගේ වචනයෙන් හා ආදර්ශයෙන් අපිට ඉගැන්නුවා.
අම්මා ඇගේ නිවස ඇත්හැරීමෙන් කළ පරිත්‍යාගයන් ගැන දරුවන් වන අපි විශේෂයෙන්ම අගය කළා. ඒත්, ඇයගෙන් වෙන් කරන්න බැරි එක දෙයක් තිබුණා; ඒ තමයි ඇගේ මහන මැෂිම. ඒකත් හොඳ දෙයක් වුණා. ඇඳුම් මසන්නියක් හැටියට තිබූ ඇගේ හැකියාව නිසා ඇය හැම තිස්සෙම අපිව හොඳට ඇන්දුවා. හැම සමුළුවකදීම, අපිට අඳින්න අලුත් ලස්සන ඇඳුම් තිබුණා.
හ’මන් ජී. හෙන්ෂල් ඔහුගේ පවුලේ අයත් එක්ක ශබ්ද විකාශනයක් සවි කළ වොච් ටවර් සමිතියේ ට්‍රක් රථයකින් අපේ ප්‍රදේශයට ආවා මට අද වගේ මතකයි. ඔවුන් සෙනඟ පිරිලා ඉන්න ප්‍රදේශයක ට්‍රක් රථය නවත්වලා, තැටිගත කළ කෙටි දේශනයක් වාදනය කරනවා; ඊට පස්සේ වැඩි දුර තොරතුරු කියා දෙන්න ජනයාව පෞද්ගලිකව හම්බ වෙලා කතා කරනවා. වයස අවුරුදු 15ක් විතර වූ හ’මන්ගේ පුතා මිල්ටන් එක්ක ඩ්යූවී කණිෂ්ඨ යාළු වුණා. දැන් මිල්ටන්, වොච් ටවර් සමිතියේ සභාපතියි.
වර්ෂ 1937දී ඔහියෝ, කොලම්බස්හි පැවැත්වූ සමුළුවේදී එඩ්විනා බව්තීස්ම වූ අතර, අම්මටයි තාත්තටයි විශේෂ පුරෝගාමීන් හැටියට සේවය කිරීමේ වරප්‍රසාදය පිරිනැමුවා. ඒ කාලයේදී, එම වැඩයට අඩුම තරමින් මාසෙකට පැය 200ක්වත් දේශනා වැඩයෙහි නිරත වීම අතුළත් වුණා. අතීතය ගැන හිතල බලද්දී, මගේ සැමියාට ඔහුගේ ක්‍රිස්තියානි පැවරුම්වලට උපකාර කරන්න අම්මගේ කදිම ආදර්ශය මොනතරම් උපකාර වෙලා තියෙනවද කියලා මට වැටහෙනවා.
තාත්තා පවුලක් එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තහම, ඔවුන්ගේ දරුවන්ට හරි ආදර්ශයක් සැපයීම සඳහා ඔහු අපිවත් පාඩමට එක්කරගෙන ගියා. බයිබල් පද පෙරළලා කියවන්නත්, ප්‍රධාන ප්‍රශ්නවලින් සමහරකට උත්තර දෙන්නත් ඔහු අපිට පැවරුවා. ප්‍රතිඵලයක් වශයෙන්, අපිත් එක්ක පාඩම් කළ ඒ බාලයන්ගෙන් බොහෝදෙනෙක් මේ දක්වා විශ්වාසවන්තව යෙහෝවාට සේවය කරමින් ඉන්නවා. ඇත්තෙන්ම, දෙවිට දිගටම ප්‍රේම කිරීමට අපිටත් ස්ථිර අත්තිවාරමක් දැමුවා.
ඩ්යූවී කණිෂ්ඨ ලොකු මහත් වෙද්දී, ඒ වගේ තදබද වුණු නවාතැනක නංගිලා දෙන්නත් එක්ක ඉන්න අපහසුබවක් ඔහුට දැනුණා. ඒ නිසා 1940දී ඔහු පිට වී වෙනත් සාක්ෂිකරුවෙක් එක්ක පුරෝගාමී සේවයේ යෙදෙන්න තීරණය කළා. පස්සේ, ඔහු ඔඩ්රි බැරන් එක්ක විවාහ වුණා. මෙනිසා ඔඩ්රිටත් අපේ දෙමාපියන් හුඟාක් දේවල් ඉගැන්වූ අතර ඇය අම්මටයි තාත්තටයි හුඟක් ආදරේ කළා. ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය නිසා ඩ්යූවී කණිෂ්ඨ 1944දී සිරභාරයට ගියායින් පසු, අපේ තදබද වූ ට්‍රේලර් රථයේ අපි එක්ක යම් කලකට නවතින්න ඇය ආවා.
වර්ෂ 1941, මිසූරි, ශා. ලුවිස්හි පැවැත්වූ විශාල සමුළුවේදී, සහෝදර රදෆ’ඩ් වයස 5 සිට 18 දක්වා දරුවන්ට කෙළින්ම කතා කළා; ඔවුන් ඉඳගෙන හිටියේ විශේෂයෙන් වෙන් කළ ඉදිරි ආසනවලයි. එඩ්විනායි, මමයි ඔහුගේ සන්සුන්, පැහැදිලි හඬට සවන් දුන්නා; ඔහු හරියට ගෙදර ඔහුගේම දරුවන්ට උපදෙස් දෙන ප්‍රේමනීය පියෙක් වගෙයි. ඔහු දෙමාපියන්ට මෙසේ උනන්දු කළා: “අදදින යේසුස් ක්‍රිස්තුස් තම ගිවිසුමේ ජනයාව තමා ඉදිරියට එක්රැස් කරගෙන තිබෙනවා; ධර්මිෂ්ඨ මාර්ගයේ තම දරුවන්ව ගෙන යන්න කියා ඔහු දැඩි ලෙස ඔවුන්ට උනන්දු කරනවා.” ඔහු මෙහෙමත් කිව්වා: “ඔවුන්ව ගෙදර තියාගෙන ඔවුන්ට සත්‍යය උගන්වන්න!” අපේ දෙමාපියන් එහෙම කළ එක අපිට සතුටක්!
ඒ සමුළුවේදී, යෙහෝවාගේ සේවකයන් ආරක්ෂා වී (ඉංග්‍රීසියෙන්) කියන අලුත් පොත් පිංචය අපිට ලැබුණා; එහි එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ඇතුළු යෙහෝවාගේ සාක්ෂිකරුවන් දිනාගෙන තිබුණු නඩු සම්බන්ධයෙන් සමාලෝචනයක් කෙරුණා. තාත්තා පවුලක් හැටියට අපිත් එක්ක ඒක පාඩම් කළා. සති කීපයකට පස්සේ ඇලබාමා, සෙල්මාහි සිදු වුණ දෙයට අපිව සූදානම් කරමින් සිටි බව එතකොට අපි දැනගෙන හිටියේ නැහැ.
සෙල්මාහි කල්ලි ප්‍රහාර
ඒ තැතිගන්වන අද්දැකීම සිද්ධ වෙච්ච උදෑසන, තාත්තා සෙල්මාහි නගරාධිපතිට සහ පොලිස්පතිට ලිපියක පිටපත් යවලා තිබුණා; ඒකෙ විස්තර කරලා තිබුණේ නීතියේ රැකවරණය යටතේ අපේ දේවසේවය කරගෙන යන්න අපිට තියෙන ව්‍යවස්ථානුකූල අයිතිය ගැනයි. කොහොමනමුත් අපිව නගරයෙන් පන්නලා දාන්න ඔවුන් තීරණය කළා.
දවල් ආයුධ සන්නද්ධ මිනිස්සු පස්දෙනෙක් අපේ ට්‍රේලර් රථය ළඟට ඇවිත්, අම්මවයි, අක්කවයි, මාවයි හිර කරගෙන හිටියා. විප්ලවකාරි යමක් තියේවිද කියලා සොයාගන්න ඔවුන් ඇතුලේ තිබුණ හැම දෙයක්ම අවුස්සලා බැලුවා. ට්‍රේලර් රථය කාර් එකට සම්බන්ධ කරන්න කියලා එළියේ හිටිය තාත්තට ඔවුන් අණ කළා. ඔවුන් දිගටම තාත්තට පිස්තෝල එල්ල කරගෙන හිටියා. මේ අවස්ථාවේදී නම් මට බයක් හිතුණේ නැහැ. අපි භයානක අය කියලා මේ මිනිස්සු හිතුව එක විහිළුවක් වගේ පෙනෙන්න තිබුණ නිසා අක්කටයි, මටයි හිනා ගියා. කොහොමනමුත්, තාත්තගේ එක බැල්මකින් අපි දෙන්නා ඉක්මනටම සන්සුන් වුණා.
අපි යන්න සූදානම් වෙලා ඉන්නකොට, මේ මිනිස්සුන්ට ඕනෙ වුණා එඩ්විනාවයි, මාවයි ඒගොල්ලන්ගේ කාර් එකේ ගෙනියන්න. “මගේ මළමිනිය උඩින් තමයි ගෙනි යන්න වෙන්නේ!” කියලා තාත්තා තදින් කියා සිටියා. ටික වෙලාවක් සාකච්ඡා කළාට පස්සේ අවි සන්නද්ධ මිනිස්සු ඔවුන්ගේ රථයෙන් අපේ පිටුපසින් එද්දී, අපේ පවුලට එකට ගමන් කරන්න අවසර ලැබුණා. නගරයෙන් කිලෝමීටර් 25ක් විතර ඈතින් මහමාර්ගයේ පැත්තක රථය නතර කරන්න අපිට ඔවුන් සංඥා කරලා, අම්මවයි තාත්තවයි පැත්තකට ගෙනිච්චා. එක්එක්කෙනා සැරෙන් සැරේ ඔවුන්ට මෙහෙම ඒත්තුගන්වන්න හැදුවා: “ඔය ආගම අතඅරින්න. ආපහු ගොවිපොළට ගිහින් තමුන්ගේ ගෑනු දරුවන්ව හොඳට හදාගන්න!” ඔවුන්ට කරුණු පහදලා දෙන්න තාත්තා උත්සාහ කළත් ඵලක් වුණේ නැහැ.
අන්තිමේදී, එක මනුස්සයෙක් මෙහෙම කිව්වා: “යන්න, හැබැයි ආපහු ඩැලස් ජනපදයට ආවොත්, අපි ඔහෙලා හැම කෙනාවම මරලා දානවා!”
නිදහස් වෙලා, ආපහු එකට ඉන්න ලැබුණ අපි පැය කීපයක් ගමන් කරලා, රාත්‍රිය ගත කිරීමට නැවතුණා. අපි ඔවුන්ගේ වාහනේ නොම්මරය ලියාගෙන තිබුණා. තාත්තා ඉක්මනට හැම දෙයක්ම වොච් ටවර් සමිතියට වාර්තා කළා; මාස කීපයකට පස්සේ ඒ මිනිස්සුන්ව හඳුනගෙන, අත්අඩංගුවට ගත්තා.
ගිලියද් මිෂනාරි පාසැලට
වර්ෂ 1946දී නියූ යෝක්, දකුණු ලැන්සිංවල ගිලියද්හි මුරටැඹ බයිබල් පාසැලේ 7වන පංතියට එඩ්විනාට ආරාධනාවක් ලැබුණා. ඇල්බට් ෂ්‍රෝඩ, ඔහුගේ කලින් පුරෝගාමී සහයකයා වූ බිල් එල්රාඩ්ට ඇගේ කදිම ගුණාංග ගැන පැවසුවා; ඔහු එවිට සේවය කරමින් සිටියේ නියූ යෝක් බෘක්ලින්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ බෙතෙල් නිවසෙයි.a එඩ්විනාව බිල්ට හඳුන්වලා දුන් අතර, ඇය ගිලියද් උපාධිය ලබා වසරකට පමණ පසුව ඔවුන් විවාහ වුණා. බෙතෙල්හි වසර පහක් එකට සේවය කිරීම ඇතුළත්ව, වසර ගණනාවක් ඔවුන් පූර්ණ-කාලීන දේවසේවයේ යෙදී සිටියා. දිනක් 1959දී, තමාගේ හිතවත් මිත්‍රයා පිරිමි දරුවෙකුගේ හා ගෑනු දරුවෙකුගේ, එනම් නිඹුල්ලු දෙන්නෙකුගේ පියෙක් වී ඇති බව සහෝදර ෂ්‍රෝඩ 34වෙනි ගිලියද් පංතියට නිවේදනය කළා.
මිසිසිපි, මෙරිඩියන්හි මගේ දෙමාපියන් එක්ක මම සේවයේ යෙදෙද්දී, 1947 අගභාගයේදී, ගිලියද්හි 11වන පංතියට පැමිණෙන්න කියලා අපි තුන්දෙනාටම ආරාධනාවක් ලැබුණා. අවශ්‍ය කරන සුදුසුකම් අනුව බලද්දී මගේ වයස හුඟක් අඩු වූ නිසාත්, අම්මගෙයි තාත්තගෙයි වයස හුඟක් වැඩි නිසාත් අපි පුදුමයට පත් වුණා. නමුත් විශේෂයක් කරලා තිබුණ අතර එම ලබන්ට නොවටිනා උසස් බයිබල් උපදෙස් ලැබීමේ වරප්‍රසාදය අපිට ලැබුණා.
මගේ දෙමාපියන් සමඟ මිෂනාරි සේවයේ
අපේ මිෂනාරි පැවරුම අපට ලැබුණේ දකුණු අමෙරිකාවේ කොලොම්බියාවලටයි. කෙසේනමුත්, තවත් මිෂනාරිවරුන් තුන්දෙනෙක් සිටි බොගෝටාවල මිෂනාරි නිවසකට යන්න පුළුවන් වුණේ අපේ උපාධියෙන් වසරකටත් වැඩි කාලෙකට පස්සේ, 1949 දෙසැම්බර්වලදීයි. මුලදී, ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගන්නවාට වඩා ජනයාට ඉංග්‍රීසි උගන්වන එක පහසුයි කියලා තාත්තා නිගමනය කළා! අපිට පීඩා තිබුණ එක ඇත්තයි; නමුත්, ඊට වඩා මොනතරම් ආශීර්වාද ලැබිලා තියෙනවද! වර්ෂ 1949දී කොලොම්බියාවේ හිටියේ සාක්ෂිකරුවන් සියදෙනෙකුටත් වඩා අඩු පිරිසක් වූ නමුත් දැන් 1,00,000ටත් වඩා වැඩි පිරිසක් ඉන්නවා!
බොගෝටාවල අවුරුදු පහක් සේවය කළාට පස්සේ, අම්මවයි තාත්තවයි කාලි නගරයට යැව්වා. මේ අතරතුරේ 1952දී මම කොලොම්බියාවේ සේවය කළ තවත් මිෂනාරිවරයෙක් වූ රොබට් ට්‍රේසි එක්ක විවාහ වුණා.b අපි 1982 වෙන තුරු කොලොම්බියාවේ හිටියා; ඊට පස්සේ අපිට මෙක්සිකෝවලට පැවරුමක් ලැබුණු අතර එතැන් පටන් අපි සේවය කළේ එම ස්ථානයෙයි. අන්තිමට 1968දී, වෛද්‍ය ප්‍රතිකාර ගන්න මගේ දෙමාපියන්ට ආපහු එක්සත් ජනපදයට යන්න සිද්ධ වුණා. ඔවුන් යළිත් හොඳ සෞඛ්‍ය තත්වයක් ලබාගත්තට පස්සේ, ඇලබාමා මොබිල් කිට්ටුව විශේෂ පුරෝගාමීන් හැටියට දිගටම සේවය කළා.
අපේ දෙමාපියන්ව බලාගැනීම
කාලය ගෙවී යද්දී, අම්මයි තාත්තයි දුර්වල වෙන්න පටන්ගත්තා; ඔවුන්ට වැඩිපුර උපකාරයක් හා අවධානයක් දීම අවශ්‍ය වුණා. ඔවුන්ගේ ඉල්ලීම පරිදි, ඇලබාමා ඇතන්ස්හි හිටිය එඩ්විනා හා බිල් ළඟට ගිහින් සේවය කරන්න ඔවුන්ට පැවරුම් ලැබුණා. පසුව, දකුණු කැරලිනාවලට ඇවිත් පවුලේ අය කිට්ටුවෙන් සිටීම ඥානවන්ත දෙයක් බව අපේ සහෝදර ඩ්යූවී කණිෂ්ඨ අපිට කිව්වා. ඉතින් බිල් අම්මවයි, තාත්තවයි, ඔහුගේ පවුලේ අයවයි ග්රීන්වුඩ්වලට එක් කරගෙන ආවා. මෙම ප්‍රේමනීය සකස් කිරීම නිසා රොබට්ටත්, මටත් දෙමාපියන්ව හොඳින් බලාගනියි යන විශ්වාසයෙන් කොලොම්බියාවල අපේ මිෂනාරි සේවය දිගටම කරගෙන යන්න පුළුවන් වුණා.
ඊටපස්සේ, 1985දී, තාත්තට අංශභාගෙ හැදිලා කතා කරන්නත් බැරුව ගියා; අන්තිමේදී ඇඳටම වෙන්න සිද්ධ වුණා. අපි එකතු වී අපේ දෙමාපියන්ව හොඳින් බලාගන්න පුළුවන් විදිහ ගැන සාකච්ඡා කළා. ඔඩ්රි තාත්තව බලාගන්න තීරණය කළ අතර රොබට් සහ මම දිරිගන්වන අද්දැකීම් ලියා හැම සතියකම ලිපියක් එවීමටත්, හැකි සෑම අවස්ථාවකම බලන්න ඒමටත් තීරණය කළා.
තාත්තව බලන්න ගිය අන්තිම අවස්ථාව තවමත් මගේ මතකයේ රැඳිලා තියෙනවා. ඔහුට සාමාන්‍ය විදිහට කතා කරන්න බැරි වුණත්, අපි ආපහු මෙක්සිකෝවලට යනවා කියලා කිව්වහම, ඔහු කොහොමහරි වෙර දරලා, හැඟීම් බරව “සුභ පැතුම්” කියලා අමාරුවෙන් කිව්වා. අපේ මිෂනාරි සේවය දිගටම කරගෙන යන්න අපි අරගෙන තිබුණු තීරණයට ඔහු හද පත්ලෙන්ම සහයෝගය දෙන බව ඒකෙන් අපි දැනගත්තා. ඔහු 1987 ජූලිවලදී මියගිය අතර ඊට මාස නවයකට පස්සේ අම්මා මියගියා.
අපි හැම කෙනාටම අපේ දෙමාපියන් සඳහා තිබෙන අගය ගැන කෙටියෙන් සඳහන් කළ ලිපියක් මගේ වැන්දඹු සහෝදරියගෙන් මට ලැබුණා. “මගේ අගනා ක්‍රිස්තියානි උරුමය මම අගය කරනවා; අපේ දෙමාපියන් අපිව වෙන විදිහකට ලොකු මහත් කරන්න තීරණය කළා නම් මම කවදාවත් මේ වගේ ප්‍රීතියෙන් ඉන්නෙ නැහැයි කියලා මට හැඟෙනවා. ශක්තිමත් ඇදහිල්ලේ, ආත්ම පරිත්‍යාගයේ හා යෙහෝවා කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබීමේ ඔවුන්ගේ ආදර්ශය මගේ ජීවිතයේ කලකිරීම් තිබුණු අවස්ථාවලදී මාව උසුලාගෙන තිබෙනවා.” එඩ්විනා මෙසේ නිගමනය කළා: “අපේ ප්‍රේමනීය යෙහෝවාට සේවය කිරීම වටා අපේ ජීවිත ගොඩනඟනවා නම් අපිට සතුටෙන් සිටිය හැකි බව වචනයෙන් හා ආදර්ශයෙන් පෙන්වපු දෙමාපියන්ව ලබා දීම ගැන මම යෙහෝවාට ස්තුතිවන්ත වෙනවා.”
[පාදසටහන්වල]
[22, 23වන පිටුවේ පින්තූර]
ෆෞවුන්ටන් පවුල: (වමේ සිට දකුණට) ඩ්යූවී, එඩ්විනා, විනී, එළිසබෙත්, ඩ්යූවී කණිෂ්ඨ; දකුණ: හෙන්ෂල්ගේ ශබ්ද විකාශන රථයේ බොනට්ටුව දෙපැත්තේ එළිසබෙත් සහ ඩ්යූවී කණිෂ්ඨ (1937) පහත දකුණේ: වයස 16දී එළිසබෙත් පාඨ පුවරු සේවයෙහි