යෙහෝවා අපෙන් ඕනෑවට වැඩියෙන් ඉල්ලනවාද?
“යුක්තිය ඉෂ්ට කිරීමත්, කරුණාවට ප්‍රේමවීමත්, ඔබේ දෙවි ඉදිරියෙහි විනීතව ගමන් කිරීමත් මිස යෙහෝවා ඔබෙන් ආපසු ඉල්ලන්නේ වෙන කුමක්ද?”—මීකා 6:8, NW.
1. ඇතැම් අය යෙහෝවාට සේවය නොකරන්න හේතුව කුමක් විය හැකිද?
යෙහෝවා තම සෙනඟගෙන් යමක් ඉල්ලනවා. කෙසේවෙතත්, මීකාගේ අනාවැකියෙන් රැගත් ඉහත සඳහන් වදන් කියවීමෙන් පසු, දෙවිට අවශ්‍ය කරන දේ සාධාරණ බව ඔබ විසින් නිගමනය කිරීමට බොහෝ ඉඩ කඩ ඇත. කොහොම නමුත්, බොහෝදෙනෙක් අපගේ උදාර මැවුම්කරුට සේවය කරන්නේ නැහැ. කලක් ඔහුට සේවය කළ තවත් සමහරුන් දැන් එසේ නොකරයි. ඒ මන්ද? දෙවි අපෙන් ඕනෑවට වැඩියෙන් ඉල්ලනවා කියා ඔවුන්ට සිතෙන නිසයි. එය සැබෑවක්ද? එසේ නැත්නම්, ගැටලුවට හේතුව යෙහෝවා බලාපොරොත්තු වන දේ සම්බන්ධයෙන් පුද්ගලයාගේ ආකල්පය විය හැකිද? මේ කාරණය ගැන පැහැදිලි පින්තූරයක් ලබාගැනීමට අපි ඉතිහාස වාර්තාවක් සලකා බලමු.
2. නාමන් කවුද? යෙහෝවාගේ අනාගතවක්තෘ ඔහුට කරන්න කිව්වේ කුමක්ද?
2 සිරියානු හමුදාපති නාමන් කුෂ්ඨ රෝගියෙකුව සිටියා. එහෙත් ඔහුට සුවයක් දෙන්න පුළුවන් යෙහෝවාගේ අනාගතවක්තෘ කෙනෙක් ඉශ්රායෙල්හි සිටින බව ඔහුට දැනුම් දී තිබුණා. එමනිසා නාමන්ද ඔහුගේ පිරිවරද ඉශ්රායෙලය බලා ගොස්, දෙවිගේ අනාගතවක්තෘ එලිෂාගේ නිවසට පැමිණියා. මේ සම්භාවනීය අමුත්තා පිළිගැනීමට තම නිවසින් පිට වී එනවා වෙනුවට, එලිෂා තම සේවකයා මාර්ගයෙන් නාමන්ට මෙසේ අණ කළා: “නුඹ ගොස් යොර්දානෙහි සත් වරක් නාන්න, එවිට නුඹේ මාංසය හරිගැහී නුඹ පවිත්රවන්නෙහිය.”—2 රාජාවලිය 5:10.
3. යෙහෝවා ඉල්ලා සිටි දේ කිරීම නාමන් මුලින්ම ප්‍රතික්ෂේප කළේ මන්ද?
3 දෙවිගේ අනාගතවක්තෘ ඉල්ලා සිටිය දේ අනුව ඔහු ක්‍රියා කරනවා නම්, ඉතා බරපතළ රෝගයකින් සුවයක් ලබන්න ඔහුට හැකි වෙනවා. යෙහෝවා ඔහුගෙන් ඕනෑවට වැඩියෙන් ඉල්ලමින් සිටියාද? ඇත්තෙන්ම නැහැ. එනමුත්, යෙහෝවා බලාපොරොත්තු වූ දේ නොකර ඉන්නයි නාමන් අදහස් කළේ. “දමස්කයෙහි ගංගා වන අබානා සහ පර්පර් ඉශ්රායෙල් දේශයේ සියලු ජලවලට වඩා හොඳ නොවේද? ඒවායේ නාලා පවිත්‍රවෙන්ට මට බැරිදැයි” කියා ඔහු විරෝධය පළ කළා. එසේ පවසා, නාමන් කෝපයෙන් හැරී ගියා.—2 රාජාවලිය 5:12.
4, 5. (අ) නාමන් කීකරු වූ නිසා ලැබූ විපාකය කුමක්ද? එම විපාකය ලැබූ විට ඔහු ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? (ආ) අප දැන් සලකා බලන්න යන්නේ කුමක්ද?
4 මොකක්ද නාමන්ට ඇත්තෙන්ම තිබුණු ගැටලුව? අවශ්‍ය කළ දෙය කරන්න අමාරුයි කියා පැවසිය නොහැකියි. නාමන්ගේ සේවකයන් උපායශීලීව මෙසේ පැවසුවා: “අනාගතවක්තෘ මහත් දෙයක් කරන්ට ඔබට කීවේ නම් ඔබ කරන්නේ නැද්ද? එසේවී නම් නාලා පවිත්‍රවන්නැයි ඔහු ඔබට කී කල ඒක කරන්ට බැරිද”? (2 රාජාවලිය 5:13) නාමන්ට තිබුණු ගැටලුව ඔහුගේ ආකල්පය හා සම්බන්ධයි. තමාට ලැබිය යුතු ගෞරවය නොලැබුණු බවත්, පෙනුණු විදිහට නිරර්ථක මෙන්ම නින්දාසහගත දෙයක් තමාට කරන්න කියා තිබුණු බවත් ඔහුට හැඟුණා. කෙසේවෙතත්, නාමන් තම සේවකයන්ගේ උපායශීලී උපදෙස්වලට අවනත වී, යොර්දාන් ගඟෙහි සත් වරක් නෑවා. “ඔහුගේ මාංසයද කුඩා ළමයෙකුගේ මාංසය මෙන් හරි ගැහී ඔහු පවිත්‍ර” වූ විට ඔහු අද්දුටු ප්‍රීතිය මොහොතකට සිතා බලන්න! ඔහු කෘතඥතාවෙන් පිරී ගියා. එපමණක්ද නොව, එතැන් පටන් යෙහෝවාට මිස වෙන කිසිම දෙවිකෙනෙකුට තමා නමස්කාර නොකරන බවත් නාමන් ප්‍රකාශ කළා.—2 රාජාවලිය 5:14-17.
5 මුළු මිනිස් ඉතිහාසය පුරාම, විවිධාකාර නීතිවලට අවනත වන්න කියා යෙහෝවා තම සෙනඟගෙන් ඉල්ලා තිබෙනවා. මේවායින් සමහරක් සලකා බලන මෙන් ඔබෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු. එසේ සලකා බලද්දී, එවැනි දේවල් කිරීම යෙහෝවා ඔබෙන් ඉල්ලා සිටියා නම්, ඔබ මොන වගේ ප්‍රතිචාරයක් දක්වනවාදැයි ඔබෙන්ම විමසන්න. පසුව, යෙහෝවා අදදින අපෙන් ඉල්ලන්නේ කුමක්දැයි සෝදිසි කර බලමු.
යෙහෝවා අතීතයේදී ඉල්ලා සිටිය දේ
6. මුල් මිනිස් යුවළට කරන්න කිව්වේ කුමක්ද? ඔබට එවැනි උපදෙස් ලැබුණා නම්, ඔබේ ප්‍රතිචාරය කුමක් වනු ඇද්ද?
6 යෙහෝවා මුල්ම මිනිස් යුවළ වූ ආදම් සහ ඒවට දරුවන් බිහි කරන්න, පොළොව යටත් කරගන්න සහ සතුන් කෙරෙහි අධිපතිකම් කරන්න කියා අණ කළා. ඒ පුරුෂයාටත් ඔහුගේ භාර්යාවටත් විශාල උද්‍යානයක විසීමේ භාග්‍යයද ලැබුණා. (උත්පත්ති 1:27, 28; 2:9-15) එනමුත් එක දෙයක් තහනම් කර තිබුණා. ඒදන් උයනෙහි ඵල දැරූ ගස් රාශිය අතුරින් එක්තරා ගසකින් ගෙඩි කෑම තහනම් කරනු ලැබුවා. (උත්පත්ති 2:16, 17) එය ඕනෑවට වඩා වැඩියෙන් ඉල්ලීමක් කියා ඔබ සිතනවාද? පරිපූර්ණ සෞඛ්‍යයක් භුක්ති විඳිමින් සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව ඇතුව එවැනි පැවරුමක් ඉටු කරන්න ඔබට අවස්ථාව ලැබුණා නම්, ඔබ සතුටු වන්නේ නැද්ද? එම උයනට පරීක්ෂාකාරයෙක් පැමිණියත්, ඔහුගේ තර්කය ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නැද්ද? තවද ඉතා සරල වූ එම සීමාව පනවන්න යෙහෝවාට අයිතියක් තිබූ බව ඔබ පිළිගන්නේ නැද්ද?—උත්පත්ති 3:1-5.
7. (අ) නෝවාට දුන්නේ කුමන පැවරුමද? ඔහු අද්දුටුවේ මොන වගේ විරුද්ධවාදිකම්ද? (ආ) යෙහෝවා නෝවාගෙන් ඉල්ලූ දෙය ඔබ සලකන්නේ කෙසේද?
7 පසු කාලයකදී, සමස්ත ලෝක ජලගැලීමකින් ගැළවීමේ මාර්ගයක් සලසා දීමට යෙහෝවා නෝවාට නැවක් සාදන්න අණ කළා. නැවේ දැවැන්ත ප්‍රමාණය ගත් කල, එම කර්තව්‍යය පහසු එකක් වූ බව පැවසිය නොහැකියි. තවද එය සරදමින් සහ එදිරිවාදිකම්වලින් පිරි වාතාවරණයක් මැද සිදු කරන්නත් ඇති. එනමුත්, තම පවුලේ මෙන්ම සතුන් රැසකගේ ගැළවීම උදෙසා කටයුතු කරන්න ලැබීම නෝවාට මොනතරම් වරප්‍රසාදයක් වීද! (උත්පත්ති 6:1-8, 14-16; හෙබ්‍රෙව් 11:7; 2 පේතෘස් 2:5) ඔබට එවැනි පැවරුමක් දුන්නා නම්, එය ඉටු කරන්න ඔබ වෙහෙස මහන්සි වී වැඩ කරනවාද? එසේ නැත්නම්, යෙහෝවා ඔබෙන් ඕනෑවට වඩා වැඩියෙන් ඉල්ලනවා කියා ඔබ නිගමනය කරනවාද?
8. ආබ්‍රහම්ට කරන්න කිව්වේ කුමක්ද? ඔහුගේ කීකරු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් පූර්වාදර්ශනය කරනු ලැබුවේ කුමක්ද?
8 දෙවි ආබ්‍රහම්ගෙන් සෑහෙන අමාරු දෙයක් ඉල්ලුවා. “නුඹේ පුත්‍රවූ නුඹ ප්‍රේමකරන නුඹේ එකම පුත්‍රවූ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස්, මා විසින් නුඹට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පුකරවයි” ඔහුට කියනු ලැබුවා. (උත්පත්ති 22:2) ඊසාක්ට පැවතෙන්නන් සිටියි කියා යෙහෝවා පොරොන්දු වී තිබුණු නිසා, ඒ වන විටත් දරුවන් නොසිටි ඊසාක්ව නැවත ජීවත් කරවීමට දෙවි සතු බලය සම්බන්ධයෙන් ආබ්‍රහම්ගේ ඇදහිල්ල පරීක්ෂා කෙරුණා. ආබ්‍රහම් ඊසාක්ව පූජා කරන්න තැත් කළ විට, දෙවි ඒ තරුණයාට හානියක් සිදු වන්න ඉඩ දුන්නේ නැහැ. දෙවි මනුෂ්‍යවර්ගයා උදෙසා තම පුත්‍රයා පුදා, පසුව ඔහුව නැවත නැඟිටුවන බවත් මෙම සිද්ධියෙන් පූර්වාදර්ශනය කරනු ලැබුවා.—උත්පත්ති 17:19; 22:9-18; යොහන් 3:16; ක්‍රියා 2:23, 24, 29-32; හෙබ්‍රෙව් 11:17-19.
9. යෙහෝවා ආබ්‍රහම්ගෙන් ඕනෑවට වඩා වැඩි යමක් ඉල්ලුවේ නැති බව කිව හැක්කේ මන්ද?
9 යෙහෝවා දෙවි ආබ්‍රහම්ගෙන් ඕනෑවට වඩා වැඩියෙන් ඉල්ලුවා කියා ඇතමුන් සිතන්න පුළුවන්. එනමුත් එය සැබෑවක්ද? මළවුන්ව නැවත නැඟිටුවිය හැකි අපගේ මැවුම්කරු, තාවකාලිකව මරණ නින්දෙහි පසුවීමට හේතු වන ආකාරයෙන් ඔහුට කීකරු වන්න කියා ඉල්ලා සිටීම ඇත්තෙන්ම ප්‍රේමනීය නොවන ක්‍රියාවක්ද? යේසුස් ක්රිස්තුස්ටවත් ඔහුගේ මුල් අනුගාමිකයන්ටවත් ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. දෙවිගේ කැමැත්ත කිරීමට ඔවුන් ශාරීරික වධ හිංසා මෙන්ම මරණය පවා විඳින්න කැමති වුණා. (යොහන් 10:11, 17, 18; ක්‍රියා 5:40-42; 21:13) ඔබ සම්බන්ධයෙන් එවැනි තත්වයක් උද්ගත වූවොත්, ඒ හා සමානව ක්‍රියා කරන්න ඔබත් සූදානම් වෙයිද? තම සෙනඟ වීමට එකඟ වූ අයගෙන් යෙහෝවා ඉල්ලා සිටි ඇතැම් දේවල් අපි දැන් සලකා බලමු.
යෙහෝවා ඉශ්රායෙල්ට දුන් ව්‍යවස්ථාව
10. යෙහෝවා ඉල්ලූ සෑම දෙයක්ම කරන්න පොරොන්දු වූයේ කවුරුන්ද? තවද ඔහු ඔවුන්ට දුන්නේ කුමක්ද?
10 ආබ්‍රහම්ගේ පුත් ඊසාක් සහ මුනුපුරා වූ යාකොබ් නොහොත් ඉශ්රායෙල් තුළින් ඉශ්රායෙල් ජාතිය බිහි වුණා. යෙහෝවා මිසර වහල්කමින් මෙම ඉශ්‍රායෙලිතයන්ව ගැළෙව්වා. (උත්පත්ති 32:28; 46:1-3; 2 සාමුවෙල් 7:23, 24) ඉන් වැඩි කලක් යන්න මත්තෙන්, දෙවි ඔවුන්ගෙන් ඉල්ලූ ඕනෑම දෙයක් කරන්න ඔවුන් පොරොන්දු වුණා. ‘යෙහෝවා කී සියල්ලම කරන්නෙමුයයි’ ඔවුන් කිව්වා. (නික්මයාම 19:8) යෙහෝවාගේ පාලනයට යටත්ව සිටින්න ඉශ්‍රායෙලිතයන් දැක්වූ කැමැත්තට එකඟව, ඔහු එම ජාතියට දස පනත ඇතුළුව, පනත් 600කට වැඩිය ලබා දුන්නා. කාලයාගේ ඇවෑමෙන්, මෝසෙස් තුළින් දෙන ලද දෙවිගේ මෙම පනත්, ව්‍යවස්ථාව හැටියට හඳුන්වන්න පටන්ගත්තා.—එස්රා 7:6; ලූක් 10:25-27; යොහන් 1:17.
11. ව්‍යවස්ථාවෙන් ඉටු වූ එක අරමුණක් නම් කරන්න. එම අරමුණ ඉටු කරගැනීමට දායක වූ රෙගුලාසි සමහරක් සඳහන් කරන්න.
11 ව්‍යවස්ථාවේ එක් අරමුණක් වූයේ ඉශ්‍රායෙලිතයන්ව ආරක්ෂා කිරීමයි. එසේ කළේ සදාචාරය, ව්‍යාපාරික ගනු දෙනු සහ දරුවන් රැකබලා ගැනීම වැනි කාරණා හා සම්බන්ධ හිතකර රෙගුලාසි සැපයීමෙනුයි. (නික්මයාම 20:14; ලෙවී කථාව 18:6-18, 22-24; 19:35, 36; ද්විතීය කථාව 6:6-9) සෙසු ජනයාට මෙන්ම සතුන්ට සලකන ආකාරය ගැනත් නීති සපයා තිබුණා. (ලෙවී කථාව 19:18; ද්විතීය කථාව 22:4, 10) වාර්ෂික මංගල්‍යයන් සහ නමස්කාරය සඳහා එකට එක්රැස්වීම හා බැඳි අවශ්‍යතා, ජනයාට ආත්මික ආරක්ෂාවක් සැපයීමට ඉවහල් වුණා.—ලෙවී කථාව 23:1-43; ද්විතීය කථාව 31:10-13.
12. ව්‍යවස්ථාවේ ප්‍රධාන අරමුණ වූයේ කුමක්ද?
12 ප්‍රේරිත පාවුල් ව්‍යවස්ථාවෙහි ප්‍රධාන අරමුණක් මෙසේ කාවැද්දුවා: “ඒක වනාහි පොරොන්දුව ලැබූ ඒ බීජය [ක්‍රිස්තුස්] එන තුරු . . . අපරාධ නිසා [හෙළි කිරීමට, NW] එකතුකරන ලද්දේය.” (ගලාති 3:19) ඉශ්‍රායෙලිතයන් අසම්පූර්ණ බව ඔවුන්ට මතක් කර දුන්නේ ව්‍යවස්ථාවයි. එසේ නම්, ඔවුන්ගේ පාප සම්පූර්ණයෙන්ම පහ කර දැමීමට පරිපූර්ණ පූජාවක් ඔවුන්ට අවශ්‍ය වුණා. (හෙබ්‍රෙව් 10:1-4) එමනිසා ව්‍යවස්ථාවෙහි අරමුණ වූයේ, මෙසියස් නැතහොත් ක්‍රිස්තුස්ව සිටි යේසුස්ව පිළිගැනීම සඳහා ජනයාව සූදානම් කිරීමයි. පාවුල් මෙසේ ලිව්වා: “අපි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන පිණිස, ව්‍යවස්ථාව අප [ක්‍රිස්තුස්] ළඟට පමුණුවන අපේ ගුරුවරයෙක් වී තිබේ.”—ගලාති 3:24.
යෙහෝවාගේ ව්‍යවස්ථාව පීඩාකාරි වූවාද?
13. (අ) අසම්පූර්ණ මනුෂ්‍යයන් ව්‍යවස්ථාව සැලකුවේ කෙසේද? ඒ මන්ද? (ආ) ව්‍යවස්ථාව ඇත්තෙන්ම පීඩාකාරි බරක් වුණාද?
13 ව්‍යවස්ථාව ‘ශුද්ධ, ධර්මිෂ්ඨ මෙන්ම යහපත්’ වුවද, බොහෝදෙනෙකු එය සැලකුවේ පීඩාකාරි බරක් ලෙසයි. (රෝම 7:12) ව්‍යවස්ථාව පරිපූර්ණ එකක් වූ නිසා, එහි උසස් ප්‍රමිති රැකීමට ඉශ්‍රායෙලිතයන්ට බැරි වුණා. (ගීතාවලිය 19:7) ප්‍රේරිත පාවුල් එය “අපගේ පියවරුන්ටවත් අපටවත් දරන්ට නොහැකිවුණු වියගහක්” හැටියට හැඳින්වූයේ එනිසයි. (ක්‍රියා 15:10) ඇත්තෙන්ම කියනවා නම්, ව්‍යවස්ථාව පීඩාකාරි වූයේ නැහැ. සැබෑවටම ඊට කීකරු වීම ජනතාවට ප්‍රයෝජන අත් කර දුන්නා.
14. ව්‍යවස්ථාවෙන් ඉශ්‍රායෙලිතයන්ට ප්‍රයෝජන රැසක් අත් කර දුන් බව පෙන්නුම් කිරීමට උදාහරණ කිහිපයක් සඳහන් කරන්න.
14 නිදසුනක් ලෙස, ව්‍යවස්ථාව යටතේ සොරෙකුව සිරගත කළේ නැහැ. ඒ වෙනුවට තමා සොරකම් කළ දේ මෙන් දෙගුණයක් හෝ ඊට වැඩියෙන් පියවීමට වැඩ කරන්න සිදු වුණා. මෙලෙස සොරකමට ගොදුරු වූ තැනැත්තාට ඇත්තෙන්ම පාඩුවක් අත් වුණේ නැති අතර, වෙහෙස මහන්සි වී වැඩ කළ ජනතාවකට බන්ධනාගාර වැඩ පිළිවෙළක් පවත්වාගෙන යෑමේ බර ඉසිලීමට සිදු වූයේ නැහැ. (නික්මයාම 22:1, 3, 4, 7) අනාරක්ෂිත ආහාර වර්ග අනුභව කිරීමද තහනම් කර තිබුණා. ඌරු මස් හොඳින් උයන්නේ නැත්නම්, ට්රිකිනෝසිය වැළඳිය හැකි අතර, හා මස්වලින් ටුලරීමියා රෝගය වැළඳිය හැකියි. (ලෙවී කථාව 11:4-12) ඒ හා සමානව, මළ සිරුරු ස්පර්ශ කිරීම තහනම් කිරීමෙන්ද ව්‍යවස්ථාව ආරක්ෂාව සැලසුවා. පුද්ගලයෙක් මළ සිරුරක් ස්පර්ශ කළා නම්, තමාව හා තම වස්ත්‍ර සේදීමට සිදු වුණා. (ලෙවී කථාව 11:31-36; ගණන් කථාව 19:11-22) අසූචි වැළලිය යුතු වුණා. මෙයින් විෂබීජ ව්‍යාප්ත වීමේ අන්තරාවෙන් ජනයාව ආරක්ෂා කළා. ඇත්තෙන්ම එවන් විෂ බීජ පවතින බව විද්‍යාඥයන් සොයාගත්තේ මෑතකදීයි.—ද්විතීය කථාව 23:13.
15. ඉශ්‍රායෙලිතයන්ට පීඩාකාරි බරක් වුණේ කුමක්ද?
15 ව්‍යවස්ථාව ජනතාවගෙන් ඕනෑවට වැඩියෙන් ඉල්ලුවේ නැහැ. හැබැයි, ව්‍යවස්ථාවේ අර්ථ දක්වන්නන්ගේ කාර්යය තම කරට ගත් පුරුෂයන් ගැන ඒ හා සමාන දෙයක් පැවසිය නොහැකියි. ඔවුන් පැනවූ නීති සම්බන්ධයෙන් ජේම්ස් හේස්ටිංස් සංස්කරණය කළ බයිබල් ශබ්දකෝෂයෙහි (ඉංග්‍රීසියෙන්) මෙසේ සඳහන් වුණා: “බයිබලයෙහි හැම ආඥාවක්ම පුහු රෙගුලාසි රැසකින් වට වුණා. . . . සිතාගත හැකි සෑම කාරණයක්ම ව්‍යවස්ථාවේ රාමුව තුළට දමන්නත්, හිතක් පපුවක් නැති ආකාරයේ තර්කවලින් මිනිසාගේ හැසිරීමේ හැම අංශුමාත්‍රයක්ම දැඩි ලෙස පාලනය කරන්නත් වෑයමක් දරනු ලැබුවා. . . . හෘදය සාක්ෂියේ හඬ මර්දනය කළා; දිව්‍ය වචනයෙහි ජීවමාන බලය බාහිර නීති කන්දරාවකින් යට වුණා.”
16. ආගමික නායකයන්ගේ පීඩාකාරි නීති සහ සම්ප්‍රදායන් ගැන යේසුස් පැවසුවේ කුමක්ද?
16 යේසුස් ක්‍රිස්තුස් නීති කන්දරාවකින් බර පටවන්න උත්සාහ කළ ආගමික නායකයන්ට මෙලෙස දෝෂාරෝපණය කළා: “ඔව්හු උසුලන්ට අමාරු මහත් බර බැඳ මනුෂ්‍යයන්ගේ කරේ තබති; නුමුත් තමුන්ගේ ඇඟිල්ලවත් ඒවාට තබන්ට කැමති නොවෙති.” (මතෙව් 23:2, 4) පුහුමාන්නෙන් පිරි පවිත්‍ර වීමේ වතාවත් ඇතුළු, මිනිසුන් ගෙතූ ඔවුන්ගේ පීඩාකාරි නීති සහ සම්ප්‍රදායන් මගින් ‘දෙවිගේ වචනය අවලංගු කළා’ කියා ඔහු පෙන්වා දුන්නා. (මාර්ක් 7:1-13; මතෙව් 23:13, 24-26) කෙසේවෙතත්, යේසුස් මිහිපිට සිටින්නත් කලින්, ඉශ්රායෙල්හි ආගමික නායකයන් යෙහෝවා ඇත්තෙන්ම ඉල්ලා සිටියේ කුමක්ද යන්න ගැන වැරදි අදහස් ඉදිරිපත් කරමින් සිටියා.
යෙහෝවා ඇත්තටම ඉල්ලන දේ
17. ඇදහිල්ලෙන් හීන වූ ඉශ්‍රායෙලිතයන් ඔප්පු කළ දවන පූජා ගැන යෙහෝවා සතුටට පත් නොවූයේ මන්ද?
17 අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් යෙහෝවා මෙසේ පැවසුවා: “මුළු බැටළු පූජාවලින්ද තරකළ සතුන්ගේ තෙලින්ද පිරී සිටිමි; ගොනුන්ගෙත් බැටළුවස්සන්ගෙත් එළුවන්ගෙත් ලෙයට මම ප්‍රසන්න නොවෙමි.” (යෙසායා 1:10, 11) දෙවිම ව්‍යවස්ථාව තුළින් නියම කළ පූජාවලට අප්රසන්නබවක් දැක්වූයේ මන්ද? (ලෙවී කථාව 1:1–4:35) ජනතාව ඔහුට අගෞරවනීය ආකාරයෙන් සැලකූ නිසයි. එමනිසා, ඔවුන්ට මෙසේ අවවාද කළා: “නුඹලා සෝදාගෙන පවිත්‍රවෙන්න; නුඹලාගේ ක්‍රියාවල නපුරුකම මාගේ ඇස් ඉදිරියෙන් පහකර නපුරුකම් කිරීමෙන් වැලකෙන්න. යහපත්කම්කරන්ට ඉගෙනගන්න; යුක්තිය සොයා, බලාත්කාරය මැඩපවත්වන්න, මවුපියන් නැත්තාට යුක්තිය කර, වැන්දඹුවගේ නඩුව අසන්න.” (යෙසායා 1:16, 17) යෙහෝවාට තම ජනයාගෙන් ඕනෑ කරන දේ කුමක්දැයි තේරුම්ගන්න මෙය උපකාර කරන්නේ නැද්ද?
18. යෙහෝවා ඉශ්රායෙලිතයන්ගෙන් ඇත්තටම ඉල්ලුවේ කුමක්ද?
18 දෙවිට ඇත්තෙන්ම ඕනෑ කරන දේ යේසුස් පෙන්නුම් කළා. ඔහු එසේ කළේ, “ව්‍යවස්ථාවෙහි ඉතා උතුම් ආඥාව කොයි එකදැයි” ඔහුගෙන් ඇසූ විටයි. යේසුස් මෙසේ පිළිතුරු දුන්නා: “නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු [ප්‍රාණයෙන්ද] නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ [යෙහෝවාට] ප්‍රේමකරව. මේක උතුම්වූ පළමුවෙනිවූ ආඥාවය. මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ, එනම්, නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යනුය. මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් අනාගතවාක්‍යයත් පිහිටා තිබේ.” (මතෙව් 22:36-40; ලෙවී කථාව 19:18; ද්විතීය කථාව 6:4-6) “ඔබේ දෙවි වූ යෙහෝවාට භයවීමත් ඔහුගේ සියලු මාර්ගවල ගමන් කිරීමත් ඔහුට ප්‍රේම කිරීමත් ඔබේ දෙවි වූ යෙහෝවාට ඔබේ මුළු හෘදයෙන්ද ඔබේ මුළු ප්‍රාණයෙන්ද සේවය කිරීමත් ඔබේ යහපත පිණිස අද මා විසින් ඔබට අණ කරන යෙහෝවාගේ ආඥාද පනත්ද පැවැත්වීමත් මිස ඔබේ දෙවි වූ යෙහෝවා ඔබෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද” කියා ඇසූ විට, අනාගතවක්තෘ මෝසෙස්ද එම කාරණයම ගෙනහැර දැක්වූවා.—ද්විතීය කථාව 10:12, 13, NW; 15:7, 8.
19. ඉශ්‍රායෙලිතයන් ශුද්ධකමේ මවාපෑමක් කරන්න උත්සාහ කළේ කෙසේද? එනමුත් යෙහෝවා ඔවුන්ට පැවසුවේ කුමක්ද?
19 වැරදි කළත්, තමන් ශුද්ධ බවට මවා පෙන්වන්න ඉශ්‍රායෙලිතයන්ට වුවමනා වුණා. ව්‍යවස්ථාවෙන් උපවාසයෙහි යෙදීමේ අවශ්‍යතාව, වාර්ෂික සමඟි කිරීමේ දවසට සීමා වුවද, ඔවුන් නිතරම පාහේ උපවාසයෙහි යෙදෙන්න පටන්ගත්තා. (ලෙවී කථාව 16:30, 31) එනමුත් යෙහෝවා ඔවුන්ට මෙසේ තරවටු කළා: “මා විසින් තෝරාගත් උපවාසය නම් දුෂ්ටකමේ විලංගු මුදාහැරීමත්, වියගහේ බැඳුම් ලිහීමත්, බලාත්කාරය විඳින්නන් නිදහස්කර හැරීමත්, සියලුම වියගස් නුඹලා විසින් කඩාදැමීමත් නොවේද? බඩගිනි ඇත්තන්ට නුඹේ කෑම බෙදාදීමත්, ගෙයක් දොරක් නැති අසරණයන් නුඹ විසින් නුඹේ ගෙදරට පැමිණවීමත්, නිර්වස්ත්‍ර කෙනෙක් දුටුවිට ඔහුට ඇඳුම් දීමත්, නුඹේම නෑසියන්ගෙන් නොසැඟවී සිටීමත් නොවේද?”—යෙසායා 58:3-7.
20. යේසුස් ආගමික කුහකයන්ට තරවටු කළේ කුමක් නිසාද?
20 ආත්ම ධර්මිෂ්ඨ වූ එම ඉශ්‍රායෙලිතයන්ට යේසුස් හෙළා දුටු ආගමික කුහකයන්ට සමාන ගැටලුවක් තිබුණා. ඔහු ඔවුන්ට කිව්වේ, “නුඹලා සුවඳතලාය, ශතපුෂ්පය, සුදුදුරුය යන මෙයින් දසයෙන් කොටසක් දෙන්නහුය, නුමුත් යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා නුඹලා විසින් අත්හැර තිබේ. ඒ දේවලුත් නෑර මේවාත් කටයුතුව තිබුණේය” කියායි. (මතෙව් 23:23; ලෙවී කථාව 27:30) යෙහෝවාට අපෙන් ඇත්තටම ඕනෑ කරන්නේ කුමක්දැයි තේරුම්ගැනීමට යේසුස්ගේ වදන් අපට උපකාර කරන්නේ නැද්ද?
21. යෙහෝවා අපෙන් ඉල්ලන සහ නොඉල්ලන දේවල් අනාගතවක්තෘ මීකා කැටි කොට දක්වන්නේ කෙසේද?
21 යෙහෝවාට අපෙන් ඕනෑ කරන හා ඕනෑ නොකරන දේ කුමක්දැයි පැහැදිලි කර දීමට දෙවිගේ අනාගතවක්තෘ මීකා මෙසේ ඇසුවා: ‘මම යෙහෝවා ඉදිරියට කුමක් රැගෙන ඇවිත් උසස් වූ දෙවිට වඳිම්ද? මම දවන පූජාද අවුරුද්දක් වූ එළවස්සන්ද රැගෙන ඔහු ඉදිරියට පැමිණෙම්ද? දහස් ගණන් බැටළුවන්ටවත් දසදහස් ගණන් තෙල් ගංගාවලටවත් යෙහෝවා ප්‍රසන්න වෙනවාද? මාගේ වරද නිසා මාගේ කුලුඳුලාත් මාගේ ආත්මයේ [ප්‍රාණයේ, NW] පාපය නිසා මාගේ ශරීරයේ ඵලයත් දෙම්ද? එම්බා මනුෂ්‍යය, යහපත මොකද කියා ඔහු නුඹට පෙන්වා තිබේ.’ “යුක්තිය ඉෂ්ට කිරීමත්, කරුණාවට ප්‍රේමවීමත්, ඔබේ දෙවි ඉදිරියෙහි විනීතව ගමන් කිරීමත් මිස යෙහෝවා ඔබෙන් ආපසු ඉල්ලන්නේ වෙන කුමක්ද?”—මීකා 6:6-8අ; 6:8ආ, NW.
22. යෙහෝවා ව්‍යවස්ථාව යටතේ සිටි අයගෙන් විශේෂයෙන් ඉල්ලුවේ කුමක්ද?
22 එසේ නම්, ව්‍යවස්ථාව යටතේ ජීවත් වූ අයගෙන් යෙහෝවා විශේෂයෙන්ම ඉල්ලා සිටියේ කුමක්ද? ඇත්තෙන්ම යෙහෝවා දෙවිට ප්‍රේම කිරීම අනිවාර්ය දෙයක් වුණා. එපමණක්ද නොව, ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවා: “නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරන්න යන එක වාක්‍යයෙන්ම මුළු ව්‍යවස්ථාව සම්පූර්ණ වේ.” (ගලාති 5:14) ඒ හා සමානව පාවුල් රෝමයේ ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවා: “තමාගේ අසල්වාසියාට ප්‍රේමකරන්නා ව්‍යවස්ථාව සම්පූර්ණකර තිබේ. . . . ප්‍රේමය නම් ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමය.”—රෝම 13:8-10.
ඕනෑවට වඩා වැඩියි කියා කිව නොහැකියි
23, 24. (අ) යෙහෝවා ඉල්ලන දේ කිරීම කවදාවත් ඕනෑවට වඩා වැඩි යමක් නොවිය යුත්තේ මන්ද? (ආ) අපි ඊළඟට සලකන්න යන්නේ කුමක්ද?
23 යෙහෝවා කොයිතරම්, ප්‍රේමනීය, සැලකිලිමත්, දයාන්විත දෙවිකෙනෙක්ද කියන එක අපට මෙයින් ඒත්තුයන්නේ නැද්ද? ඔහුගේ ඒකජාතක පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් පොළොවට පැමිණියේ දෙවිගේ ප්‍රේමය කාවද්දන්නයි. ඒ කියන්නේ යෙහෝවා ඉදිරියෙහි ඔවුන් කොතරම් අනර්ඝද කියා ජනයාට දැනුම් දෙන්නයි. දෙවිගේ ප්‍රේමය නිදර්ශනය කරමින්, යේසුස් කුඩා ගේකුරුල්ලන් ගැන මෙසේ පැවසුවා: “උන්ගෙන් එකෙක්වත් නුඹලාගේ [පියා] නොදැනුවත්ව බිම වැටෙන්නේ නැත.” එමනිසා ඔහුගේ නිගමනය වූයේ, “භය නොවෙන්න; නුඹලා බොහෝ ගේකුරුල්ලන්ට වඩා වටින්නහුය” කියායි. (මතෙව් 10:29-31) ඇත්තෙන්ම, එතරම් ප්‍රේමනීය දෙවිකෙනෙක් ඉල්ලා සිටින ඕනෑම දෙයක් ඕනෑවට වඩා වැඩි යමක් කියා කොහොමද කියන්නේ!
24 කෙසේවෙතත්, අදදින යෙහෝවා අපෙන් ඉල්ලන්නේ කුමක්ද? තවද, දෙවි ඕනෑවට වැඩිය ඉල්ලනවා කියා ඇතැම් අය සිතන බවක් පෙනෙන්නේ මන්ද? මෙම ප්‍රශ්න සෝදිසි කිරීමෙන් යෙහෝවා ඉල්ලන ඕනෑම දෙයක් කිරීම මොනතරම් විශිෂ්ට වරප්රසාදයක්දැයි දැකගැනීමට අපට පුළුවන් වෙයි.
ඔබට පිළිතුරු දිය හැකිද?
◻ ඇතැම් අය යෙහෝවාගේ සේවයට පිටුපාන්නේ මන්ද?
◻ යෙහෝවාගේ ඉල්ලීම් ඉතිහාසය පුරා වෙනස් වී ඇත්තේ කෙසේද?
◻ ව්‍යවස්ථාවෙන් ඉටු වූ අරමුණු මොනවාද?
◻ යෙහෝවා අපෙන් ඉල්ලා සිටින දේ ඕනෑවට වඩා වැඩි යමක් නොවන්නේ මන්ද?
[18වන පිටුවේ පින්තූරය]
පුහුමාන්නෙන් පිරි පවිත්‍ර වීමේ වතාවත් ඇතුළු, මිනිසුන් ගෙතූ නීති රීති නමස්කාරය පීඩාකාරි දෙයක් බවට පත් කරයි